පෙමාතුර – අවසන් කොටස

මම මවිසින් ම නිවාස අඩස්සියට පත් වීමි. මා වට කොට විවිධාකාර සිතිවිලි සේනා ක්‍රියාත්මක වෙන්නට කල් යල් බලමින් තිබිණ. අප්‍රමාණ කැප කිරීම් වලින් පසුව ද සහනයක් නො ලද ගැහැනියක ගේ ඉච්ඡා භංගත්වය තුළ මා ගිලී යමින් ද යළි ගොඩ එමින් ද යළිදු ගිලී යමින් ද පවතින්නට විය.

මෙතෙක් මා විසල් පිළිබඳව ඍජුව කතා කොට තිබුණේ ගැහැනු ගෙදර ගැහැනු අතරින් අම්මා සමග පමණකි. එද ඇය කතා කළා විනා මූලිකත්වය ගත්තේ මා නොවේ. ඒත් ලංකාවෙන් පලා යන මොහොතේ ඇය මා සමගින් කෙලින් ම විසල් ගැන කතා කළා ය. මා නික්ම ගිය පසු අපේ ගෙදර අය අප ගැන කතා කරන්නට ඇත. නමුත් මා හා විසල් අතරේ වූ සම්බන්ධය පාදක කොට ගෙන ඔවුන් කවදාවත් කතා කරන්නට පෙළඹුණේ නැත. ඒ, යළි මා ලංකාවට එත්දී ඒ ගැන කතා කරන්නට දෙයක් ඉතිරි වී නො තිබි අතර, කතා කළේ වී නම් මගේ හිත රිදේ යයි සිතා විය යුතු ය.

නමුත් විරංග සමග නුවර ගොස් විසල් හමු වී මා ගෙදර ආවේ හඬාගෙන ය. ඒ වෙලාවේ තව දුරටත් ඒ කඳුළු ගෙදර ගැහැනුන්ගෙන් හංගන්නට මට ඕන වුණේ නැත. ඔවුන් ගේ ශක්තිය වෙන කවදාටත් වඩා මට ඕනෑ වී තිබිණ. 

“අඬපං ඉතිං…අඩු ගානෙ අඬල අඬල කඳුළු ඉවර කර ගත්ත අතීතයක් හරි අපිට තියෙන්න එපැයි”

ඉකි ගසා මා හඬත්දී, ඊට හේතුවක් නො දැන වුව මහිස පිරිමදිමින් නදීරා කීවා ය. ගමන ගැනත් විසල් ගේ ප්‍රතිචාරය ගැනත් මම හඬමින් ම කියවීමි.

“මං ආයෙ යන්නෑ. යන්නෑ කිව්වොත් යන්නෑමයි. මේ දුකට මාව පුපුරල මැරිල ගියත් ආයෙ මං ආදරේ ඉල්ලගෙන එයා පස්සෙන් යන්නෑ. ඕනනං එයාම ආවාවෙ. මට විරංගව බඳින්නලු. විරංගට කියනව දුකක් නොදී මාව බලා ගන්නලු. හහ්. එයා හිත ඉන්නෙ එහෙම කළාම හරි කියල වෙන්නැති. කවුරුවත් මට මගුල් හොයන්න ඕන නෑ. විරංගව ඕනනං මං බැඳ ගන්නෙ මීට කලින්නෙ”

නාසය සූරමින් ද කඳුළු පිසිමින් ද මම ඉකි බින්දෙමි. අම්මාත් පුංචීත් මා වටා සිටියහ. ඔවුන් ද විවිධ අවස්ථා වල දී ආදරයෙන් පැරදුණ, ඒ නිසා ම යකඩ ගැහැනුන් බවට පත් ව ජීව්තයේ ඉතිරි කොටස ආදරය වපුරමින් ජීවත් වූ ගැහැනුන් ය. 

“ඒක හරි. ඔයා ආයෙ යන්න එපා ආදරේ හිඟමන් ඉල්ලගෙන”

අම්මා බිඳුණු හඬකින් කීවා ය. ඇගේ කට හඬේ වූ කම්පනය මගේ හද බිත්ති පවා සුසර කරන ලදී.

“මේ විශ්වය ඔයා දිහා බලං හිටියනං…හැම දේම දකින්නැති කිසා. යශෝදරා කියන්නෙ සිදුහත් වම පතාගෙන ආපු ගෑනියක්. සිදුහත් බුදු වෙලා සර්වඥ වෙලා කිඹුල්වත් පුරේ සුද්ධෝදන මාළිගාවට ආපු වෙලාවෙ…ආදරෙයි කියාගෙන යශෝදරා දුවං ගියේ නෑ. කාමරේට වෙලා හිටිය. මගෙ ආදරේ ඇත්තක් නං උන් වහන්සේ මගෙ කුටියට ඇවිත් මාව බලයි කියන අධිෂ්ඨානයෙන්. අවංක ගෑනු හිතක අධිෂ්ඨානයක් හරි බලවත් කිසා”

ඉනික්බිති ගැහැනු ගෙදර ගැහැනුන් මා කෙරේ දැක්වූ ආදරයෙහි වැඩි වීමක් වූවා සේ මට දැනිණ. එහි අමුතු වටිනාකමක හැඩ තල විය. කිසි සේත් එය අනුකම්පාවක් ද නොවූයේ ය. වැටෙයි කියා සිතිය හැකි වෙලාවක වැටෙන්නට නොදී අල්ලා ගන්නවා යයි විශ්වාස අත් කිහිපයක් අප වටා පවතින එක කෙතරම් නම් සුරක්ෂිත හැඟීමක් ද?

“හුඟක් ගෑනු දුක් විඳින්නෙ ඇත්ත ආදරයක් හම්බ වුණෙ නැති නිසා. ඒ අතින් කිසා වාසනාවන්තයි. කිසා ගෙ ජීවිතේට ලං වුණ පිරිමි දෙන්නම ඔයාට ඇත්තටම ආදරෙයි”

“ඒත් ඒකෙ තියන අවාසනාව බලන්න පුංචා. ඒ පිරිමි දෙන්නම මගෙ ජීවිතේට දුරින් ඉඳීවි. මට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ලං වෙන්න පුළුවන් කමක් නෑනෙ”

මා කීවේ සිනහ වෙවී ය. නමුත් මගේ කොපුල් තලා දිග කඳුළු ගලා යමින් තිබිණි.

“අඬ අඬා හිනා වෙන්නත් වාසනාව තියෙන්න ඕන කිසා”

අනාගත ඉරණම කෙසේ විසඳේවි ද කියා මා දැන සිටියේ නැත. හිත ප්‍රේමයෙන් ආතුර ව ද ශෝකයෙන් තෙත්බර ව ද තිබුණා වුණත්, ශක්තිමත් ගැහැනුන් තිදෙනෙකු ගේ ඇල්ම බැල්ම නිබඳ මා මත වැටිණ. මම ටික දවසකට විරංග හමු නොවන්නට ද හිතා ගෙන සිටියෙමි. ඔහු වුව ඇට මස් ලේ නහර වලින් සැදුණා වූ ප්‍රාණියෙකි. ඔහු ගේ හිතට ද මේ දේවල් ඔරොත්තු දෙන්නා වූ ප්‍රමාණයක් තිබිය හැක. ඔහු ගේ හිත සුදු වැලි මළුවක් නම් එ් මත්තේ පිනුම් ගසා අවුල් කර දැමීමේ අයිතියක් අපට ඇත්තේ නැත.

“හිතක් කියන දේ කැඩිල බිඳිල ගියාට පස්සෙ ආයෙ හදන්න ලේසි නෑ. සමහර විට විසල්ට ත් එහෙම වෙලා ඇති. හැබැයි විරංගට ඒක වෙන්න ඉඩ තියන්න එපා කිසා. මොකද දවසක දුක කිය කිය අඬන්න හරි අපිට හිතට ළඟ කෙනෙක් ඉන්න ඕනෙ. විරංගගෙ හිත තුවාල වුණොත් එයාට ඔයා ළඟ එහෙම ඉන්න බැරි වෙනව. තාම එයා එතනට ඇවිත් නෑ. මොකද කිසා කවදාවත් එයාට ආදරේ කරලවත් ආදරේ කරන්න අනුබල දීලවත් නැති නිසා. දැනට විරංගට තියෙන්නෙ ප්‍රතික්ෂේප වීමේ සාංකාවක් විතරයි.  ඒක කාලෙත් එක්ක තුනී වෙලා යන දෙයක්. අනිවාර්යෙන්ම වෙන ගෑනු ළමයෙක්ට ලං වුණාම එයා ඕකේ වෙයි”

මට තිබුණ ලොකු ම සැනසිල්ල මේ ගැහැනුන් මේ ආකාරයෙන් මා තේරුම් ගැනීම ය. ඔවුන් කිසිවෙකු විරංග ට අවස්ථාවක් දෙන්න කියා හෝ ඔහු හොඳ සැමියෙකු වෙනු ඇත කියා කියන්නට පෙළඹුණේ නැත. හොඳ වූ පළියට ගැහැනියකට ඕනෑ ම පිරිමියෙකු සිය ප්‍රේමයෙහි හිමිකරුවා වශයෙන් තෝරා ගත නො හැකි බව ඔවුහු දැන සිටියහ.

මම ගෙතුලට වැදීගෙන නවකතාව ලියන්නට උත්සාහ කළෙමි..  විසල් නිසා හදවතේ ඇති ව තිබූ තුවාලය පෑරි පෑරී ලේ ගැළුවේ ය. හිත හදා ගත හැකි වෙතැයි සිතුවා ට එය පහසු නැති බව, නිරන්තර බඩ පපුව දැවූ ගින්දර අනුව සිතා ගත හැකි විය. අවසන හුඟක් හිතා බලා, යළි ඉන්දියාවට යන්නට මම තීරණයක් ගතිමි.

“ඒක හොඳයි. ඒ පරිසරේ කිසාට නිකං ඉන්න දෙන එකක් නෑ. පරිසරෙයි පපුවෙ තියන තුවාලෙයි එකතු වුණාම මොකක් හරි ලොකු දෙයක් එළියට දායි. කිසා එහෙ ඉඳං ඇවිදින ගමං හිතෙන වෙලාවට ලියන්න. හිතුන ගමන් ගෙදර එන්න. මේ ගෙදර ඔයාව දරා ගන්න අපි තුන් දෙනෙක්ම ඉන්නව”

ගිය වතාවේ මෙන් නොව මෙවර මගේ ගමන වඩා හොඳින් සංවිධානය විය. මට අවශ්‍ය කරන්නේ මොනවා ද ගෙන යා යුත්තේ මොනවා ද සහ එහි දී සපයා ගැනීම වඩාත් පහසු මොනවා ද කියා මා හොඳින් දැන සිටියෙන්, මගේ ගමන් මලු වැඩිපුර පොත් වලින් පුරවා ගන්නට හැකි විය. ලිවීම කෙසේ වතුදු අඩු තරමින් මා මේ පොත් ටික කියවා නිම කරනු ඇත. 

ගුවන් ගමන යෙදී තිබුණේ සන්ධ්‍යාවට ය. අපි දවාලේ ගුවන් තොටු පළට යන්නට සූදානම් වෙමින් සිටියෙමු. අප ගුවන් තොටුපළ වෙත ගෙන යන්නට පැමිණෙන ලෙස විරංග පොරොන්දු වී සිටියේ ය

උදේ සිට ම වැස්සක් කඳුළු සලමින් හැඬුවේ ය. පසු ගිය වතාවේ හදිසියේ හැංගී පලා යාමට වැඩි රිදුමක් මේ වතාවේ මුළුමනින් මා අකර්මන්‍ය කොට තිබිණ. මේ වැස්ස මට සිහිපත් කරන්නේ ම විසල් ව ය. එදා ඒ හුදෙකලා බස් නැවතුමේ අතරමං වී වැස්සේ චමත්කාරය සජීවී ව විඳිමින් සිටි කිසා කියනා කෙල්ල මගේ මනස් රූප වල සිනහ වෙවී දෝතින් වැහි දිය එකතු කරමින් සිටියා ය. තද වැස්සට මග නොපෙනෙන තරමට සුදු වැහි පින්නකින් පරිසරය බොඳ ව තිබිණ. ඒ වැහි මන්දාරම දෙපළු කොට වැදුණ විසල් ගේ රියෙහි විදුලි පහන් එළිය වැදුණේ මගේ පපුවට ය. ඉතා හෙමිහිට පැමිණි කාල වර්ණ ඇක්වා රිය, වැස්ස අතරින් ම පැති වීදුරුව මඳක් පහත් කළේ ය. ඊට මත්තෙන් පෑයූ පිරිමි ඇස් දෙක! ඒ සිය ජීවිතයට මේ වගේ රිදුමක් ඉතිරි කරාවියි එවෙලේ නිකමට හෝ මට සිතුණේ නැත.

 ජංගම දුරකතනයේ තෝරා තැබූ ගීතයක් නිම වී අලුත් ගීතයක් ඇරඹිණි. ඒ කවදත් මා සසල කොට මොහොතකට පාෂාණිභූත කළා වූ අභිශේකා ගේ හඬ ය. මේ මොහොතේ මම අයිස් සේ තද වන්නටත් දිය වන්නටත් වීමි.

‘මතක ලන්තෑරුම් අඳුර මැද

ඔබේ හුස්මක සුවඳ දැනුණා

අහම්බෙන් වට මුරුගසං වැහි

මැද්දෙ මම කඳුළින් ම තෙමුණා…

කියන්න ම මග බලා ගෙන උන්

වචන අමතක වෙලා රිදුණා

දැනුණෙ නැතුවට මගේ කඳුළින්

කමිස උරහිස තෙමී තිබුණා’

කම්මුල තෙමා ලූ කඳුළු, සඳැල්ලට හමා ආ හිරි පොදය විසින් සෝදා හරින්නට විය. නමුත් දිවුල්ගනේ ගේ හඬ ඒ කඳුළු උල්පත් හිඳෙන්නට දුන්නේ නැත.

‘මතක ලන්තෑරුම් අඳුර මැද

හුස්ම නො තියා ඉන්න තිබුණා

අහම්බෙන්වත් මුරුගසං වැහි

නොදී ඈතට යන්න තිබුණා…

කියන්න ම ගිය වචන අමතක 

වුණත් මගෙ හදවතට දැනුණා

නො දැනුණා වාගේ ම උන්නට

සුදු කමිස උරහිසට රිදුණා…

පර වෙලා මිහිදන් වෙලා උන්

හිත ඔහේ පර වෙන්න තිබුණා

නිල් පාට කටරෝළු මලේ නිල

පිපුණු හිතකට දෙන්න තිබුණා’

‘තනිය හුරු මට මගේ ලෝකේ

තනිය තනි නොකරන්න තිබුණා

එදා ඔය ඇස් දිහා නො බලාම

බිම බලාගෙන යන්න තිබුණා’

මම කඳුළු මුරුගසං වරුසාවේ වියරුවෙන් තෙමෙන්නට වූයෙමි. ආතුර ව උන් ප්‍රේමය මා නමින් ඉකි බිඳින හඬ ඇසිණ. මම ඇස් දෙක තද කොට පියාන බැල්කනි වැට තදින් අල්ලා ගෙන සිටියෙමි.

මට ගෙන යන්නට තියෙන්නේ මේ මතක විතර ය!

උරහිස මත තැබුණ අතක් හිතේ ඈත ම පත්ලෙහි ගැස්මක් ඇති කරවී ය. මම තිගැස්සී නෙතු හැරියෙමි. විසි වුණ කඳුළු බිඳුවක් මගේ ම තොල් පෙත්තක් මතට වැටිණ.

බොර පාට ගැන්වුණ ගැඹුරු පෙමාතුර දෑසක් සන්තාපයෙන් මදෙස බලා ගෙන ම සිටියේ ය. මම උමතුවෙන් වාගේ ඒ ඇස් වල පැටළුණෙමි.

විසල්!

ඉතා තදින් ඔහු වැළඳ ගැනීමේ හා ඔහු ට තුරුලු වීමේ විකල් ආශාවකින් මා ගැහෙන්නට ගති. නමුත් මම හිතට ඉඩ නොදී ඉකිලන වර්ෂාව දෙස බලා ගතිමි.

“විසල්…ඇයි විසල්…ඇයි විසල් ඔයා මේ ආවෙ…”

ස්වර පටක බිඳී යන අන්තිම මොහොතේ මම උගුර යටින් අසා ගතිමි.

“කියන්න අමතක වෙච්ච දෙයක්…කියන්න…”

ඔහු ද බැල්කනි වැටට බර වූයේ ය. වැස්ස සැඩ වෙමින් පැවතිණ. මා යන්න යන දුක වාවා ගත නොහී අහස හැඬුම්බර වී ඇතැයි යන බොළඳ සිතිවිල්ලේ රඳන්නට උදේ පටන් මම උත්සාහ කරමින් සිටියෙමි. මා තෙමූ හිරිකඩය ඔහු ව ද තෙත් කරමින් හමා ගියේ ය.

“අමතක වෙච්ච…”

“හ්ම්…අමතක වෙච්ච”

“එ්කත් කියල යන්න විසල්”

ඈත අහසේ අකුණක් පුපුරා ගියේ ය. මම ඔහේ කඳුළු ගලන්නට ඇස් වලට ඉඩ දුන්නෙමි. 

“මට…ඔයා නැතුව ජීවත් වෙන්න බෑ”

ඒ වැස්ස අතරින් ඇහුණ විකාර හඬක් යයි සිතන්නට මට ඕනා විය..

“යන්න එපා කිසා”

ඒ ඇස් වලින් කඳුළක් පිට වෙනවාත් ඔහු ගේ හඬ වෙව්ලා යනවාත් විතරක් මට මතක ය. මම ඒ පපුතුර තදින් මගේ මුහුණ හොවා ගතිමි. ඔහු ගේ දෑත් හා පපුව අතරේ මා දැඩි ව සිර වී ගියේ ය. ඔහු ගේ අතැඟිලි මගේ හිස, උරිස් හා පිට පුරා උණුහුම තවරන්නට විය. මම ඒ කමිස කොලරය අසලින් අල්ලා තදින් මිරිකා ගතිමි. මගේ නොවන කඳුළක උණුසුම් සීතල මගේ පිට මුළුමනින් තෙමා තිබිණ. 

“මාව තනිකරල යන්න එපා මැණික…ඔයා නැතුව ජීවත් වෙන හැටි මට තේරෙන්නෑ. මං ඉක්මනට මැරෙයි කිසා…”

“මං මේ…හීනයක් දකිනව නෙවෙයි නේද විසල්…”

“අද පාන්දර විරංග කිව්වෙ…ඔයා යනව කියල…මට ඔයා නැති කර ගන්න බෑ කියල මං හොඳටම තේරුං ගත්තෙ ඒ වෙලාවෙ. ඩිවෝස් එක ලැබුණට පස්සෙ අපි බඳිමු. මට කියන්න…ඔයා මාව අත් ඇරල යන්නෑ නේද….”

ඔහු ගේ දෝත් අතරේ මගේ දෙකොපුල් තද වී තිබිණ. ඒ රත් පැහැ වූ දුක්බර දෑස් මගේ ඇස් අල්ලා ගෙන සිටියේ ය. මගේ අතක ඇඟිලි විසල් ගේ උරහිසක් ලේ එන තරම් තදින් අල්ලා සිටියේ ය. 

“මං හිතුවෙ මං මාව අත් අරින්න යනව කියලයි විසල්. ඒ මරණයෙං මං එහෙනං බේරුණා”

ඔහු තවත් තදින් මා වැළඳ ගත්තේ ය.ප්‍රශ්න කෝටි ගණනක් හිත ළඟ පෙළ ගැසී තිබූ බව ඇත්ත ය. මම ඒ එකක්වත් අසන්නට නො ගියෙමි. ඒ සියල්ලට පෙර ප්‍රේමය ජීවත් කළ යුතු වග දැන් මම විශ්වාස කරමි. අනතුරුව අවශේෂ ගැටළු වලට විසඳුම් සෙවිය හැක. 

“කිසා…විසල් එක්ක එන්න කෝපි බොන්න”

පුංචි ගේ හඬ ඈතකින් ඇසුණේ ය..මම පිටි අත්ලෙන් කඳුළු පිස ගෙන විසල් ගේ ඇඟිල්ලක් යන්තමින් ඇල්ලුවෙමි. නමුත් පියගැට පෙළ බහිත්දී ඒ අතැඟිලි ඉතාමත් මුදු ලෙස එකිනෙක හැපුණා විතර ය.

“සිරි යහන් ගබඩාවටම ඔන්න එහෙනං සිදුහත් වැඩියනෙ. යසෝදරා ඔය අඩුම කුඩුම ටික බැගේජ් වලින් එළියට දාල ගෙදරට අඳින ගවුමක් ඇඳ ගනිං”

මගේ ඇස් වල මට හුරු නැති ලැජ්ජාවක් සියුම් ව තැවරෙමින් තිබිණ. විසල් ගේ ඇස් ආදරයෙන් හා  උණුහුමෙන් හද බිත්ති තවමින් මා මත පායා තිබිණ. මම විරංග සෙව්වෙමි. අසුන් ගත ව නිසංසලේ මදෙස බලා උන් ඔහු දුටු වන මගේ කඳුළු ආයේ ම අලුත් වන්නට වූයේ ය.

 විරංග අසුනෙන් නැගිට මවෙත ආවේ ය. අපි දැඩි ව අපි ව වැළඳ ගතිමු. ඔහු වෙනුවෙන් කිසිත් කියන්නට මට වචන සිහිපත් වූයේ නැත. නමුත් විරංග ඒ ගැන කිසි දාක අමනාප නො වෙන බව මම දැන සිටියෙමි.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...