මල් තුහින – 36

තුහින නීතිඥවරයෙකු හමු වන්නට සිතුවේ ය. මලිති ජීවිතයට පැමිණිය ද නැති වුව ද උත්පලා තවදුරටත් ජීවිතයට අලවා තබා ගන්නට ඔහුට ඕනෑ නැත.

“මට තිබ්බ එකම බය දරුව ගැන. දරුවා උත්පලාට දෙන්න වුණානං මං කීයටවත්ම නඩු කියන්නේ නැති වෙයි. ඒත් මටයි දරුවටයි පාඩුවෙ ඉන්න පුලුවන්නම් මං මේ තීරණය නොගන්න එකේ තේරුමක් නෑ.”

නීතිඥවරයා හමු වීමට පෙර තුහින අම්මාට එසේ පැවසී ය. උස් මහත් වූ දරුවන්ගේ තීරණ වලට බලපෑම් කරන්නට තමන්ට නොහැකි බව හොඳින්ම දන්නා අම්මා නිහඬ සිනාවක් තිළිණ කළා ය.

“දිගටම රඟපාන්න වෙන්නේ නැතුව ඔය  ප්‍රශ්නේ එතනින් ඉවර වුනා ඇතිනේ අම්මා. අරයගෙ ව්ලොග්ස් බලලා මගේ යාලුවෝ කොච්චර හිනා වුනාද කියලා දන්නේ මම විතරයි. මං ඒවා අම්මට කිව්වේ නැත්තේ මෙතන නෑනා නෑනා ප්‍රශ්න ඇති කරන්න ඕන නැති නිසා. ඇත්තටම මට උත්පලා අක්කගෙ බොරුකාර ජීවිතේ ඇතිවෙලා අම්මේ තිබුණේ.”

තුහිනගේ නැගණිය අවංක අදහස පැවසුවා ය. සැබෑවටම ඇය සිටියේ අයියා ගැන ශෝකයෙනි. නමුත් ඇයට අයියා හිඳින්නේ සතුටෙන් යැයි අදහසක් තිබිණ. ඒ නිසා උත්පලා සම්බන්ධ කටයුතුවලට ඇය මැදිහත් වූයේ නැත. නමුත් අයියා තීරණයක් ගන්නට සැරසෙන මොහොතක ඔහුව අධෛර්යමත් කරන්නට ඇයට ඕනෑ වූයේ නැත.

“ඒ උනාට ඕවට ඕනෑවට වඩා පෝර දාන්න එපා. පවුලක් එකතු කරන තරම් කඩන එක හොඳ දෙයක් නෙමෙයි.”

අම්මා එසේ පැවසුව ද තුහිනගේ නැගණිය ඒ සම්බන්ධයෙන් පසුතැවීමක් ඇති කරගත්තේම නැත.

තුහින නීතිඥවරයා මුණ ගැසී ඉන් අනතුරුව අවන්හලක් වෙත පැමිණියේ ඔහුව බලාපොරොත්තුවෙන් එතන රැඳී සිටින්නිය මුණගැසීමට ය. ඇය ඔහු මුණ ගැසීමට අවශ්‍ය බව පැවසුවේ පෙරදා ය. තුහිනට ඒ ඉල්ලීම ඉවත දමන්නට හේතුවක් තිබුණේ නැත.

“මට ඔයාව මුණ ගැහිලා කතා කරන්න ඕන වුණා.”

රුවිනි එසේ කියද්දිත් තුහින හිනැහුණේ ය.

“මේක අනිවාර්යෙන් එන රික්වෙස්ට් එකක් කියලා මම දැනගෙන හිටිය. ඔයා මලීගෙ අම්මා අක්කා ගාණයිනෙ. එයා වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී ඉන්නේ ඔයා.”

රුවිනි කිසිත් නොපැවසුවා ය. ඒ රංගනී කාර්යාල කටයුතුවලදී චෝදනා කරන්නට පවා  යොදාගන්නා කාරණාවකි. එහි වරදක් නැති බව ද රුවිනි දනියි. ඒ නිසා තුහිනගේ පන්දුවට නිදැල්ලේ ගලා යන්නට ඉඩ හරින්නට රුවිනිට ඕනෑ විය.

“මං මලීට ආදරෙයි කිව්ව.එයා ඒකට උත්තරේකුත් එව්වා. කාලෙට ඉඩ දෙන්නයි අපි හිතන්නෙ.”

කාලයට ඉඩ දීම සියල්ල විසඳන බව රුවිනි තරම් දන්නා කෙනෙකු නොවේ. ඒ හන්දාම ඇය හිස වනා එය පිළි ගත්තා ය.එහෙත් අසන්නට දෙයක් විය.

“ඔයා එයාගෙන් ඇහුවේ බබාට අම්මෙක් වෙනවද කියලනෙ. එතනදි ඔයාගේ ඉල්ලීම ආත්මාර්ථකාමි වුණා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”

රුවිනිගේ පැනයට තුහිනට තිබුණේ අමුතු උත්තරයකි.

“අපි දැන් බබාලා නෙවේනෙ. මං එයාට ආදරෙයි කිව්ව වතාවල් වලදි එයා ඒ ආදරේ පිළි ගත්තේ නෑනේ. දැන් මට අහන්න තියෙන අවංක ප්‍රශ්නය ඕක. ඒක ආත්මාර්ථකාමී කියල ඔයාට හිතෙනවද?”

රුවිනි එවැනි හැඟීම් ගනුදෙනු වලින් මෙල්ල කරන්නට පහසු තැනැත්තියක නොවේ. ඇය සෘජු ප්‍රශ්නයක් අසන්නට සිතුවා ය.

“මලී කියන්නේ අවුරුදු ගාණකට කලින් ඔයාව රිජෙක්ට් කරපු කෙනෙක්. මට ඇත්තටම හිතුන ඔයා මේ කරන්නේ එයාගෙන් පලි ගැනිල්ලක් ද කියලා  එහෙම නෑ නේද?”

තුහින මෘදුව හිනැහී ය.

“මං දරුණු මනුස්සයෙක් වගේ ඔයාට පේනවද? ඇත්තටම අවංක වුණොත් මට කාලයක් තිස්සෙ මලී නොලැබුණු හිස්තැන හිතේ තිබුණා. උත්පලා ගැන හොයන්නේ බලන්නේ නැතුව එයා මට ගැලපෙනවද නැද්ද හිතන්නේ නැතුව මං එයාව මැරි කරන්න ඇත්තෙත් ඒකයි. උත්පලාට ලෝකෙට පේන්න ජීවිතේ බාර ගන්න ඇත්තෙත් ඒකයි.අවුරුදු තිහත් පැන්න මිනිහෙක් උනාට අවුරුදු දහ අටේ දී අහිමිවීමක් වුණු කොල්ලා තාම මං අස්සෙ ඉන්නවා. එදා අහිමිවෙච්ච දේ  අද අතට ලැබෙනකොට මං ඒක අත් අරින් නෑ. මේ වෙලාවේ මං ඉන්න මානසිකත්වයත් එක්ක මට ඕනවට වඩා ආදරණීය වෙන්න බැරි වෙන්න ඇති. ඒක ඉතිං මගේ මෝඩකම.”

තුහින ගැන හදවතේ ඇඳී තිබූ අඳුරු සෙවණැලි පහව යන ගතියක් රුවිනිට දැනිණ. නමුත් ඇයට ඉනික්බිතිව තුහිනගේ දරුණු ප්‍රශ්නයකට ලක්වෙන්නට සිදු වූයේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles