මල් තුහින – අවසන් කොටස

තුහින නිවසට ගොඩ වූයේ නිස්කලංක හැඟීමකිනි. දොරකඩ කොතැනක හෝ කැමරාවක් නැති බවට සැක හැර දැන ගැනීම ම සහනයකි. තුහින කොහේටවත් යන්නට පෙර මුළුතැන්ගෙයට එබුණේ පුරුදු සුවඳක් හන්දා ය. අම්මා පහේ බදිමින් ආහාර සකසන්නී ය. ඇය හිඳින්නේ දෑස්වලින් පවා හිනැහෙමිනි.

“අම්මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දෙන්න හිතිලා තියෙන්නෙ මට.”

එදවස නංගි එසේ කියන්නට ගත්තේ හිනැහෙමිනි. නමුත් කාලය සමඟ ඇය වඩවඩාත් කෝප ගන්නට පටන් ගත්තා ය. ඇගේ අම්මා උයන රසවත් ආහාර වඩා ආකර්ෂණීය ඡායාරූප වලින් පසු තමන්ගේ නමට පවරා ගන්නා උත්පලාගේ වංචනික භාවය ගැන නංගි අප්‍රසාදයෙන් කතා කරන්නට ගත්තා ය. ලෝකයේ සිටින රසවත්ම කෑම පිසින්නිය ෆේස්බුක් නංගිලාගේ උත්පලා අක්කා නොවන බවත් ලෝකයේ සිටින හොඳම ගෘහනිය ද ඇය නොවන බවත් ඒ සියල්ලම කරන්නේ උත්පලාගේ නැන්දම්මා බවත් ප්‍රසිද්ධියට පත් කරන බව කියමින් නංගී තුහිනට පවා තර්ජනය කළ දවස් අතීතයේ තිබිණ.

“අනික ආස කෑමක් ඉල්ලනව මිසක ඔයයි මායි උයන ඒවට ඕඩර්ස් දුන්නෙ කවද්ද?”

අම්මාගේ මුදු මන්දහාසය දකිද්දී තුහිනට ඒ අතීතය සිහි විණ. අම්මාගේ දෑසක අඳුර මිස මෙසේ මන්දහාසයක් රැඳුණු අතීතයක් තිබුණේම නැත.

“සුවඳට ඉව කරන්න එපා. පොළෙන් හොඳ පොළොස් ගෙඩියක් හම්බුණා. මලීට උයන්නේ. දූ දැන් දවස් ගාණක ඉඳන් පොළොස් ඉල්ලනවා. ජානකී නංගිටත් කෝල් කරලා පොළොස්ම ඉල්ලලා”

එසේ පැවසූ අම්මා මන්දහාසය වෙනුවට සුවිශාල සිනාවක් පැළැන්දා ය.

“ඔය නම් පුතෙක්. ඔයා වගේ කරදරකාරයෙක්. ඔයා ලැබෙන්න ඉන්නකොට මට ආව ආසාවල්මයි මලී දූටත් තියෙන්නෙ. “

ශේන්යා ලැබෙන්නට හිඳිද්දී මේ නිවස මෙතරමට සන්තෝසය උතුරා ගිය තැනක් නොවී ය. තුහින කාමරයට එබුණේ ඔහු දකින්නට වඩාත් ආශා කරන සිව් නෙත හා ගැටෙන්නට ය. එහෙත් මලිති ඔහු කාමරයට ඇතුළු වෙද්දීම දෙතොල් මත ඇඟිල්ලක් තබා නිහඬ වන්නැයි සන් කළා ය. ශේන්යා සැප නින්දක ය.

“චූටි මැඩම් අද හතටත් කලින් නිදි.”

ඇය කියන්නේ හිනැහෙමිනි. අම්මා කෙනෙකු වෙන්නට පෙර සුදු අම්මා කෙනෙකු වෙන්නට ලැබීම ඉරණම ඇයට දුන් අපූරු තෑග්ගක් බව මලිති සිතන්නී ය. බිළිඳු වියේදීම ඈ අත් හළ අම්මා වෙනුවට සුදු අම්මා මහත් ආදරයකින් ඈ දරා ගත්තා ය. අදට ද තමන් වෙනුවෙන් හේතු රහිත ආදරයක් දෙන ලැයිස්තුවේ පළමුවැනි තැන ඇය සුදු අම්මා නමට වෙන් කර තිබේ.

“ඔයාට මහන්සි වෙන්න හොඳත් නෑ. තාම මුල් කාලේ.”

තුහින එසේ කියද්දී මලිති සුන්දරම සිනාවක් පැළැන්දා ය.

“නංගිව ලැබෙන්න ඉන්නකොට සුදුඅම්මා මාව තියාගෙන හොස්පිටල් පවා හිටියා. මං උණක් හදාගෙන. ඒ කාලේ ප්‍රයිවෙට් යනව කියලය. එයා එච්චර දේවල් කරානම් මට මේ බටු ඇටේ නාවලා කවලා නිදි කරන එක මහ දෙයක් යැ.”

ආදරය සහ ප්‍රීතිය පිරී ඇති තැනක වෙහෙසට ඉඩක් නැති බව මලිති විශ්වාස කරන්නී ය. දැන් කාර්යාලයට යන්නට ඇත්තේ ඇවිද යන දුර හන්දා කොහොමටත් ඇගේ වෙහෙස ඉතා අල්ප ය.

“තාම ඔය වීදුරු බිත්තියෙන් එබීගෙන අල්ලපු ගෙදර කොල්ලට ඇහැ දාන්න දෙයක් නෑ. දැන් එයා තමුසෙව බැඳලා ඉන්නේ”

රුවිනි හිටි හැටියේ එසේ සිහි කරන්නේ වීදුරු බිත්තියේ ඇස අලවාගෙන නිවසට බැලුම් හෙළන මලිතිට ය. ඒ ඇගේ නිවහන වග අමතක නොවන වග ඇත්තකි. නමුත් වෙනදාට වඩා ආදරයෙන් ඒ දෙස නිරන්තරයෙන්ම ඇස අලවන්නට ඇයට ඕනෑ ය. එහි හිඳින්නේ ලෝකයේ ඈ වඩාත්ම ආදරය කරන අය ය.

“ඔයා නැත්තං මේ මොකුත්ම නෑ. මං ඒකයි හැමදාම කියන්නේ මිනිස්සුන්ට මොනවා නැතත් හොඳ යාලුවෙක් ඉන්න ඕනෑ. මොන අමාරු පාරක් වුණත් මල් ඉහිරුණු පාරක් කරන්න හොඳ යාළුවෙක්ට පුලුවන්”

මලිති එසේ පැවසුවේ වසරකටත් එහා දවසක ඈ නැවත මනාලියක් වූ දිනයේ පමණක් නොවේ. ඇය දිනයකට වතාවක්වත් ඇගේ ප්‍රාණ සම මිතුරියට එසේ කියන්නට අමතක නොකරන්නී ය. අත නෑර දරා ගත් මේ මිත්‍රත්වය නොවූවානම් ජීවිතය මේ තරමට පහසු නොවන බව මලිති දන්නී ය.

“වැස්සක් වහිනවා.”

තුහින කාමරයට ආවේ එසේ කියමිනි. ඔහුගේ ආදරය පිළි ගත් දවසේ ඇද හැලුණු මල් වැස්සට මලිති කියන්නේ “මල් තුහින”යක් බව ය. මල් තුහින ඇද හැලෙන ජීවිතය ප්‍රීතියෙන් පුරවන්නේ කුස තුළ සරන වග තවම එතරමට නොවැටහෙන කුඩා ආදරය ද ශේන්යාගේ තාරකා දෑස ද තුහිනගේ උණුසුම් සුසුම්දැයි සිතන්නට මලිති වෙහෙස වන්නේ නැත.

ඒ හැම තැනකම ඇත්තේ ආදරය ය.

“මොනවද ලියන්නේ?”

ඔහු අසන්නේ යහන මත ඇති කවරයේ වර්ණය වෙනස් එහෙත් එකම පෙනුමැති සටහන් පොත් දෙස බලමිනි.

“අක්කිටයි මල්ලිටයි ලියුම්. තාත්තට ලියපුවා හොරෙන් කියෝපු දවසෙ ඉඳලා තාත්තටනම් අකුරක්වත් ලියන්නේ නෑ.”

මලිති නෝක්කාඩු කියන්නී ය. තුහිනගේ උස් සිනාව පිපී එයි. ඔහුගේ සිනාව දෙස මොනතරම් වෙලාවක් බලා සිටිය ද මලිතිට ඇති වන්නේ නැත. හොඳටෝම බනින්නට හිතෙන මොහොතක පවා ඔහුගේ තොල් අතර පිපෙන සිනාවට මෝහනය වී ඇය නැවත නැවතත් ආදරයෙන් බැඳෙන්නී ය.

“මට මොකුත් ලියන්න ඕන නෑ.”

තුහින බොරු නෝක්කාඩුවක් මවාගෙන සඳැල්ලට පිවිසියේ ය. මලිති ඔහු දෙස බලා හිඳින්නේ මුදු මඳහසකිනි. ප්‍රේමය එතරමට සැහැල්ලු බව හඟවන මිනිසා දෙස මොනතරම් වෙලාවක් බලා සිටිය ද ප්‍රමාණවත් නොවේ. එක අතකට මේ කඩවසම් මිනිසා නව යොවුනෙකු කාලයේම ඔහුගේ ආදරය පිළි ගත්තානම් යැයි සිතමින් තමන්ටම දොස් නඟා ගැනීම ඇගේ පුරුද්ද ය. ගිලිහී ගිය කාලය ගැන පවා ඇයට දැනෙන්නේ සංවේගයකි.

“මොකුත් ලියන්න ඕන නෑ තමා.”

මලිති තුහිනව වැළඳ ගත්තේ එසේ කියමිනි.ඔහුගේ හදවත ගැහෙන හඬ ඇසේ. ඒ ඈ නමින් ද ශේන්යා නමින් ද අලුත උපදින බිළිඳා නමින් ද සිතන්නට මලිතිට නුවුමනා ය. ඒ හදවත ගැහෙන්නේ ප්‍රේමයේ නාමයෙනි.

“අපි ඒ තරම් කතා කරනවනෙ. මං හිතන්නේ ඒකම තමයි අපි ආදරෙන් ඉන්න හේතුවත්. අපි කවමදාවත් කතා නොකර ඉන්නේ නෑ. කොච්චර නම් දේවල් තියනවද අපිට කතා කරන්න. මොනතරම් දේවල් තියනවද අපිට බෙදා ගන්න.”

හොඳ සන්නිවේදනයක් නැති තැනක ප්‍රේමයක් නොරැඳෙන වග ඔවුන් අතීතයෙන් උගත් පාඩමකි. ඒ පාඩම වර්තමානය ද අනාගතය ද වඩා වර්ණවත් කරන්නට ප්‍රේමවන්තයන්ට උපකාරී වේ.

“කෙල්ලයි කොල්ලයි දෙන්නම ලංකාවෙවත් නැති දවසක් එයි. අන්න එදාටත් මෙතනට වෙලා කියවන්න අපිට මොනතරම් දේවල් තියෙයිද?”

වැහි පොද සැලෙයි.වැහි බිඳුවක සීතල කම්මුලක හැපෙන වග මලිතිට දැනේ. නමුත් ඒ සීතල රැඳෙන්නට ඉඩක් නැත. තුහිනගේ සුසුම් එතරම් ම උණුසුම් ය.

ප්‍රේමය එතරමට උණුසුම් ය!

සමාප්තයි!

(මල් තුහින හා රැඳුණු ඔබට බොහොම ස්තූතියි! නවීන් කෙනෙකුගේ ලෝකය තුළ විඳවීම් ලබන සෑම මලිති කෙනෙකුගේම ජීවිත මත මල් තුහින ඇද හැලේවා) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles