මල් තුහින – 53

දරා ගැනීමේ සීමාවන් මේ මේ ආකාර යැයි නිර්නායක පනවන්නට නොහැකි ය. සියදිවි නසා ගැනීම අනුමත කරන්නට අසීරු වුව ද ඒ නික්ම යෑමට උත්පලාට ඇගේම හේතු තිබෙන්නට ඇතැයි මලිතිට සිතිණ.

“ආදරේ කරන්න කෙනෙක් හිටියත් නැතත් අපිව දරාගන්න යාලුවෝ ඉන්න ඕන කියලා මං හැමතිස්සෙම කියන්නෙ ඔය හින්දා. ඒ යාලුවෝ ෆේස්බුක් එකේ රත්තරං,පැටියෝ, මැණික කියලා කමෙන්ට්ස් දාන උන් නොවී ඇත්ත ජීවිතේ අඬන්න උරහිස දෙන අය වෙන එක පුදුමාකාර විදියට වටිනවා.”

රුවිනිට කියන්නට තිබුණේ එවැන්නකි. ප්‍රේමයක හැඟීම අමතකම කළ ද තුහින හඬමින් තමන් වැළඳ ගත් අන්දම මලිති සිහි කළා ය. ඔහුට ඒ වේදනාව දිය කරන්නට හොඳ මිත්‍ර සමාගමක් තිබිණ. ඒ හන්දාම ඔහුට දරා ගැනීම අපහසු නැත.

“නවීන්ගේ වෙන අෆෙයාස් ගැන මම දැනන් හිටියා. නවීන් මට නොසලකා ඉන්න හේතුව ඒකයි කියලා මං දැනගෙන හිටියා. ඒ ගැන කාටවත්ම නොකියා හිටියට දරා ගන්නම බැරි වෙලාවක ඒ ගැන කියලා අඬන්න ඔයා ඉන්න බව මම දැනන් හිටියා.”

මලිති එසේ කියන්නේ සොම්නසකිනි. සමහර මෝඩ වැඩ ගැන හඬමින් කියද්දී අතපය බැඳ  ගඟකට හෝ මුහුදකට අත් හරින බවට දිවුරමින් පැවසූ නමුත් රුවිනි ඇය දරා ගත් අන්දම විස්තර කරන්නට මලිතිට වචන නොවේ. ජීවිතයට මොනවා නොතිබුණ ද මිත්‍ර සම්පත්තිය තිබිය යුතුම බව සිතෙන්නේ එවැනි මොහොතකදී ය.

“මේවා මොනවා වුණත් තුහිනට පුදුම අමාරු කාලයක් එන්නේ.”

රාජකාරියකට වග අඟවා මලිතිවත් රුවිනිවත් කාර්යාල කාමරයට කැඳවා ගත් රනුක පැවසී ය. ඔහු දුරකථනය අතට ගෙන උත්පලාගේ මරණය ආශ්‍රිත ඕපාදූප එකින් එක දෙමිතුරියන්ට පෙන්වන්නට වූයේ ය.

“උත්පලා මහ පොළොවෙන් අයින් වෙලා ඩිජිටල් ලෝකෙක ජීවත් වුණා. එයා ඒ ලෝකේ ඇතුළේ සම්පූර්ණ සුදු චරිතයක් වුණා. එයා ඇත්තටම පුදුමාකාර හොඳ මනුස්සයෙක්නෙ ෆේස්බුක් එකට. ඒ නිසා එයාට දිල්මි ඇරෙන්න ඇත්ත යාළුවෙක් ඉඳලා නැතිම තරම්.”

උත්පලා මුල්ම රැකියාවේ යෙදී සිටියදී ඇයට පෙම්වතෙකු හමුව තිබේ. ඔහු විවාහ මංගලෝත්සවයකට සූදානම් වෙමින් සිටි ඒ වෙද්දීත් විවාහය ලියාපදිංචි කර සිටි චරිතයක් බව දැන ගනිද්දී ඇය බොහෝ දුරක් ගොස් සිටියා ය.ඒ සත්‍යය දැනගැනීම විශාදය මුලින්ම ඇති වීමට හේතුවක් වී තිබේ. ඉන්පසු ඇය වේදනාව සමනය කරගන්නට ෆේස්බුක් සටහන් තැබූ බවත් එතැනින් ඇය සමාජ ජාලා තාරකාවක් වන්නට පටන් ගත් බවත් රනුක විස්තර කළේ ය.

“චාතුර්යා අබේවික්‍රම කියන නම මතකද? ඉස්සර හරියට ෆේස්බුක් එකේ ලිව්වා. දැන්නම් නොලියන තරම්. හැබැයි ඔය ලේඩීස් ගෘප් වල නිර්නාමික පෝස්ට් වලට එහෙම මාර පොසිටිව් උත්තර දෙන හරි ෂෝක් මනුස්සයෙක්.”

රුවිනි ඇසුවේ මලිතිගෙනි. නිවුන් දරු දෙදෙනෙකුගේ අම්මා වන ඇය ඉතා කාර්යබහුල රැකියාවක නිරත සුන්දර යොවුන් අම්මා කෙනෙකු ලෙස මලිතිට මතකයේ තිබේ.නවීන් සම්බන්ධ සමහර කාරණා නිර්නාමික කතාන්දර ලෙස කාන්තා සමූහවලට යොමු කරද්දී චාතුර්යා ඒවාට ලබා දුන් සාධනීය සහකම්නය පිරුණු පිළිතුරු මලිතිගේ ජීවිතය උවමනාවටත් වඩා සුවපහසු කළ අවස්ථා තිබිණ. ඒ හන්දා චාතුර්යා ගැන මලිති හොඳින් දන්නී ය

“ඒ බ්‍රේකප් එක කාලේ චාතුර්යයි දිල්මිටයි ඔෆිස් එකකදී උත්පලා මුණ ගැහිලා. උත්පලා ඉන්නේ සෑහෙන අවුල් අඩියක කියලා තේරුම් ගිහින් දිල්මියි චාතුර්යායි දෙන්නා උත්පලාට උදව් කරල තියනවා. කොහොමහරි අන්තිමට ඒ යාළුකම මහ රණ්ඩුවකින් කෙළවර වෙලා දිල්මියි උත්පලායි යාළුවෝ වෙලා චාතුර්යා එතැනින් අයින් වෙලා තියනවා. රණ්ඩුව වෙද්දී චාතුර්යා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා බබා නැති වුණු කතාවකුත් මං අහලා තියනවා.”

රුවිනි ඕපාදූපය සවිස්තරව විස්තර කරද්දී උත්පලා මුල් කාලයේදී තුහින ගැන ලියූ ආදර සටහන් මලිති සිහි කළා ය. යෝජනාවකින් හමු වූ බව පැවසුවද උත්පලාගේ ආදර කතාවට මලිති බොහෝ ඉරිසියා කළා ය. නමුත් ලෝකයට නොපෙන්වා ආදරයෙන් ජීවත් වන රනුක ඊටවඩා වාසනාවන්ත බව දැන් මලිති දන්නී ය.

“රඟපාන්න ගිහිං අතරමං වීමක් තියෙන්නෙ. ජනප්‍රිය වෙන්න වෙන්න උත්පලා දිල්මිගෙන් වුණත් ඈත් වුණානේ. අන්තිමට කාටවත්ම කියන්න බැරි පීඩනේ අන්තිම නරක විදියට පුපුරලා ගියා.”

මොනතරමට කතා කළ ද උත්පලා නැවත නොපැමිණෙන බව ඔවුන් දනියි. ඇය ගැන කිසිවක්ම නොදන්නා ඇගේ සටහන් සහ වීඩියෝ වලින් ඇය ගැන මැනගත් සිය ගණනක පිරිසක් තුහිනට දොස් නගමින් සිටිති. එය ඛේදවාචකයකි.නමුත් කරන්නට දෙයක් නොවේ.

“ඕනෙම මාතෘකාවක් දවස් තුනක් තියෙයි. ඊටපස්සෙ මිනිස්සු ආයේ කුණු ගොඩක් පස්සෙ යනවා. ඒ නිසා තුහින ගැන අපි පරිස්සමින් ඉමු. තුහින ආයේ මැරි කළා නොකළා ශේන්යාට අම්මයි තාත්තයි දෙන්නම වෙන්න එයා ඉතුරු වෙන්නෝන.”

රනුක එසේ කියන්නේ කල්පනාකාරීව ය.

(ස්මාර්ට්ලේඩි අලුත්ම නවකතාව “බිම්මල්” ප්‍රියංකා අමරතුංග මහත්මිය ඔබ වෙනුවෙන් රචනා කරනවා. බිම්මල් සමඟද ඔබ ආදරයෙන් රැඳීම අපිට සතුටක්.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles