සීත මාරුතේ -25

අර ඈතින් පෙනෙනා මහ කන්දක් තරම් බරක් මගේ පපුව මත පැටවී තිබුණේ ය. එය හුස්ම හිර කරනා විදිහේ හැඟීමකි. මම අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියෙමි.

ඒ රිදුම ගැන අර්ථ කතන දෙන්නට තරම් අවබෝධයක් මට නැත. සමහර රිදුම් වල දිග පළල ගැන කියන්නට සැබවින් ම අපි අපොහොසත් වෙමු.

මිනිසුන් යනු වර්තමානය තුළ අප දකිනා ඔවුන් ම නොවේ. මිනිසෙකු නිර්මාණය කරත්දී අතීතය විශාල කොටසක් සිදු කරන්නේ ය. වඩා වැදගත් වන්නේ එදා සිටි කෙනා නොව අද සිටිනා කෙනා යයි කතාවක් තිබේ. නමුත් අද සිටිනා පුද්ගලයා ව නිර්මාණය කරනු වස් දර දිය ඇද්දේ අතීතය බව අමතක කළ නො හැකි ය.

පාරම්පරික ඉඩම් අහිමි කර ගන්නට නො සිතීමේ වරදට දඬුවම් වශයෙන් මුණිවර ගේ සීයා ට ද බාප්පා ට ද තාත්තා ට ද සිය ජීවිත අහිමි වී තිබේ. නමුත් ඔවුන් දිවි පරදුවට තබා සිය පරපුර වෙනුවෙන් රැක ගත් එම ඉඩම්, උමා ඔය ව්‍යාපෘතිය විසින් හිත් පිත් නැතිව යට කොට දමා ඇතිය කියා සිතෙත්දී පපුව නාය යනවා මට දැනිණ..මිනිස් ජීවිත වලට වඩා මහ පොළොව වටින්නේ නැත. නමුත් මහ පොළොවට දිරා යන්නට එන මිනිස්සු මහ පොළොව වෙනුවෙන් දිවි අහිමි කර ගනිති.

“අම්…මං මේව ඔයාට කියපු එක…වදයක්ද දන්නෑ”

“නෑ නෑ”

මම වහා මැදින් පැන මුණිවර ගේ අදහස වෙනස් කළෙමි.

“ඒත් මං ඇත්තටම ශොක්…සමහර තැන් හරි පුදුමයි. හරියට ගොතල ලියන කතාවක වගේ…ඒ කියන්නෙ මිස්ට මුණිවර කාලයක් කොළඹ ඉඳල. තෝමියන් කෙනෙක්…”

මගේ මුවග සිනහවක් නලියෑවේ ය. ඒ කාලේ බාලිකාවන් උන්මාදයට පත් කළ පිරිමි ළමයින් අතරේ ඔවුහු ද සිටියහ.

“ඒත් අපි මුණගැහෙන්නෙ ඊට කොච්චර කාලෙකට පස්සෙද..ජීවිතේ හරි අමුතුයි”

“මං අවුරුදු දෙකක් එහෙ හිටිය. රන්මුතුගේ සර් මං මුලින් දකින්නෙ එහෙදි. සර් ගැන මගෙ හිතේ තිබුණෙ ගෞරවයක්. හැබැයි කවදාවත් එහෙදි මට සර් එක්ක කතා කරන්න ලැබිල නෑ. මට මතකයි කොල්ලො කියනව…සර්ට ලස්සන දුවල දෙන්නෙක් ඉන්නව කියල. ඒ දුවෙක්  දැං මගෙ සයිඩ් එකෙන් ඉඳන් මගෙ කතාව අහන් ඉන්නව කියල කොහොම විශ්වාස කරන්නද…එක අතකට ඉරණම ඊළඟ මොහොතෙ අපේ ජීවිත එක්ක කරන්න ඉන්න සෙල්ලම මොකද්ද කියල හිතා ගන්න බෑ”

ඔහු ගෙන් ඇසිය යුතු, ඔහු කී කතාවේ අසම්පූර්ණ හෝ මගහැරුණු තැන් බොහොමයක් මගේ හිතට එබිකම් කරමින් තිබිණ. මුණිවර ගේ මිස්ට් ෆීල්ඩ් වලින් නිදහස් ව පැමිණෙන ලෙස මට ආරාධනා කළ දුරකතන ඇමතුම ගැන මේ මොහොතේ ඔහු ට පැවසිය යුතු ද නැතිද යන පැනය ඒ සියල්ල පරයා පෙරට ආවේ ය. දැනට ඒ බව නො කියන එක හොඳ යයි මම සිතුවෙමි. එය ඔහු ට තවත් මානසික පීඩනයක් ගෙන දෙන්නට පුළුවන. නමුත් මේ මොහොතේත් යමක් තිරය පිටුපස සිදු වෙමින් පවතිනවා විය හැක. තිරය ඉදිරියේ එම නාටකය රඟ දැක්වෙන්නේ කවදා කොතැනක කොයි ලෙස දැයි නිශ්චිත නැත. මම ලොකු සුසුමක් ගතිමි. සුසුමකට හදවතක බරක් සැහැල්ලු කරලිය නො හැක!

“අම්..මන්දාකිණී දැන් ඔය හැම දේම අමතක කරල දාන්න. ඒ මුකුත් මං ඔයාට කිව්වෙ නෑ කියල හිතන්න. ඇක්චුවලි…මේ දවස් ටිකේ මගෙ හිතට අමුත්තක් දැනෙනව. සමහර විට…මං නොදැන හිටියට උංගෙ ඊළඟ ඉලක්කෙ මන්ද දන්නෑ. මට මේව මතක් කරන්නෙ මගෙ තාත්තයි සීයයි බාප්පයිද කියන්න දන්නෙත් නෑ. ඔයාට මේව කියපු එක ගැන මුකුත් හිතන්නෙපා”

“නෑ”

සරල ලෙස එසේ කීවාට ඔහු කී දේවල් අමතක කොට දැමිය නො හැකි ලෙස මට දැනෙයි. සමහර දේවල් එහෙම ය. අමතක කළ යුතු ම වුණත් එසේ කළ නො හැකි ය. ඒවා ම මතකය මතු පිටට පැමිණෙයි. නමුත් සමහර කතා අමතක කර දමනා තරමට හොඳ ය. සැබවින් ජීවිතය කියන්නේ සුසානයක් දිග යන ගමනක් වැනි එකකි. අපේ හදවත පුරා ම වන්නේ පරණ සොහොන් නො වන්නේ ද? අපි අතීතය වළ දමමින් ජීවිතය දිග අසීරුවෙන් ඉදිරියට පිය නගන්නෙමු. 

“මිස්ට මුණිවරගෙ ලොකු තාත්ත දැං කොහෙද ඉන්නෙ…”

මේ කතාවේ වැදගත් ම සාධකයක් සේ මට ඔහු දැනුණේ ඇයි දැයි නො දනිමි.

“අම්..මහ ගෙදර. මහ ගෙදරට යන්න ඉස්සර අපි බස් එකෙන් බහින්නෙ මැදුලැහින්. මැදුලැහින් බැහැල වෙල දිගේ පීල්ල පහු කර ගෙන යන්න ඕනෙ. ඉස්සර මං චූටි එකා කාලෙ වක්කඩේ බැහැගෙන ගප්පි පැටව් අල්ලනව. අප්පච්චි මුලිං ම මොරිස් මයිනර් එකක් ගත්තට පස්සෙ බස් ගමන් ගැන මට මතකයක් නෑ. කොහොමත් බාප්පගෙ මරණෙන් පස්සෙ අපි පුහුල් පොල එන එක අඩු වුණා. තාත්ත එන්න ඇති. පස්සෙ කාලයක් ම පුහුල්පොලත් එක්ක මගෙ මතක නෑ. ඒක වෙන්න ඇති අර පරණම මතක මේ තරං තදින් මට මතක තියෙන්නෙ”

“මට ලොකු තාත්ත බලන්න ආසයි”

සිනහව! අද ප්‍රථම වතාවට ඔහු ගේ මූණේ අර සිනහව පිපිණ. ඔහු එය දුන්නේ සිය මතකයන් වසා ගත් උමා ඔය දිය කඳට ම ය. උමා ඔය පිස එන සුළඟ ලෝභ නැතිව මුණිවර ගේ සිනහව ද සිප ගත්තේ ය. මම පසෙක සිට ඇස් වලින් ඒ මුව මඳහස සිප ගතිමි.

මේ සිනහව කෙතරම් නම් මන බඳනේ වෙයි ද? නමුත් සමහර මිනිසුන් ට මිනිස් ජීවිත වලට වඩා වටිනා දේවල් තියේ. එහෙම මිනිසුන් ට පාඩුවේ ජීවත් වෙන්නට හදනා මිනිසෙකු සමග වුව පැටලී ඔහු විනාශ කොට දමන්නට ම සිතෙන්නේ ය. පපුව අළු වී යනවා මට දැනිණ. සීයා ට වුණ දේ, බාප්පා ට වුණ දේ, තාත්තා ට වුණ දේ මුණිවර ට වෙන්නට දිය නො හැකි ය. මා සීතලින් හිරිගඩු නැංවී ගියේ ය. නමුත් ඒ පරිසරයේ සීතලට නොව සිතිවිලි වල කටුක සීතලට බව මම දනිමි.

“යං”

ඔහු ඒ යං කීවේ මහ ගෙදර ද නැත්නම් ආපසු දැයි නිනව් නැතිව ම ගොස් මම රියට නැගුණෙමි. ඕනෑ ම දේ මා තවමත් දන්නේ නෑ නොවේ දැයි සිහිපත් වූයේ එවිට ය.

“ඒ මිනිස්සු…දැං මොනාද කරන්නෙ…”

මා ඒ තැනට රිංගා ගත්තේ අසීරුවෙන් කටු රොදකට රිංගනවා වැනිව ය.

“මං ඔයාට කිව්වනෙ…දැං ඒව අමතක කරල දාන්න”

ඔහු පුරුදු ආඩම්බරය මවා ගන්නට තැත් කළාට කරුණාවත් හඬක් සුසර වූයේ ය. 

“ඒ මිනිස්සු මිස්ට මුණිවරව දන්නවද…”

“එළවළු බිස්නස් කරනව. මේ මෑතක ෆ්ලවර් ෆාම් එකකුත් පටං අරං කියල ආරංචියි”

එසේ නම් ඔවුන් ඔහු හා තරගයට එළඹ තිබෙන්නේ එතැනිනි. 

“මං බය නෑ. ඒත් අම්ම මං ගැන හරි බයෙන් ඉන්නෙ. අම්…මං දන්නව අම්මට මාත් නැති කර ගන්න බෑ කියල”

මගේ ඇස් වලට තෙතමනයක් දැනිණ. අම්මා ට විතරක් නොව ඔහු නැති වීමක් ගැන මට ද සිතා ගත නො හැකි ය. ඒ නිසා ඒ ගැන නො හිතා ඉන්නා එක හොඳ ය. 

“මං පුළුවන් තරං පාඩුවෙ දෙයක් කරං ඉන්න බැලුවෙ ඒකයි. කොටින්ම බිස්නස් වලට අත ගහද්දි එළවළු ගැන හිතුවෙවත් නැත්තෙ ඒකයි. ඒත් උන් එන්නෙ පස්සෙන් පන්නගෙන. සමහර වෙලාවට සංසාර වෛර කියල දේවල් තියෙනවනෙ. ඇදි ඇදි පරම්පරා ගණන් පිරිමහන වෛර. මේ එහෙම එකක් වෙන්න පුළුවන්. මං මේ දේවල් කිව්වෙ සමහර විට…ඔයත් පරිස්සං වෙන්න ඕන කියල මට දැනුණ නිසා වෙන්නැති. අපේ සීයව මරපු මනුස්සයගෙ පුතා ගෙ පුතා තමයි අවුරුදු එක හමාරක් මාත් එක්ක අෆෙයා එකක් තිබුණ ගෑනු ළමයව මැරි කළේ”

ඒ බෝම්බය නම් පුපුරා ගියේ මගේ දෙපා ඉදිරියේ ය. එහි කම්පනය සෑහෙන වෙලාවක් යන තුරු මා තුළ විය.

නංගී එක්ක මම ඒ සියල්ල පැවසීමි. මා කෙතරම් බිය විය යුතු ද නමුත් මා තවමත් ලාදුරු හැඟීමකින් පසු වන්නේ ය කියා මට තේරුම් ගියේ නංගි ගේ බිය දැකීමෙනි.

“ඔයත් පරිස්සං වෙන්න වෙයි අක්කෙ. ඒ කියන්නෙ දැනටමත් උංගෙ ඇහැට ඔයා අහු වෙලා ඉවරයි. මේක සෙල්ලමක් නෙවෙයි. අපි මේක අප්පච්චිට කියන්න වෙයි”

“එපා එපා. ඒගොල්ලො කලබල කරවන්නෙ නැතුව ඉමු. සමහර වෙලාවට කලබල වුණාම කොරොස් කටෙත් අත දා ගන්න බෑ. අපි කලබල වුණා කියල දැනුණොත් ඒ ජරා සත්තු ඉක්මන් වෙලා විනාසයක් කරන්න වුණත් පුළුවන්. මට අර අහිංසක කොල්ලව මේ වෛරයෙන් මුදවගන්න ඕන”

“අහිංසක කොල්ල..ආව් ඒක කියද්දි මූණෙ පෙම් පාට”

“විහිළුවක් නෙවේ නංගි. ජීවත් වෙද්දි මැරි මැරි ජීවත් වෙනව කියල කියන්නෙ මොකද්ද කියල මං හරියට තේරුං ගත්තෙ මුණිවර එයාගෙ කතාව කියද්දි. එ්ක හරියට ඩිටෙක්ටිව් ස්ටෝරි එකක් වගේ තාමත් මගෙ ඇඟ සීතල වෙනව. ජීවිතේ කියන්නෙ එහෙම ස්ටෝරි එකක් නෙවෙයි. එහෙම වෙන්න ඕනත් නෑ. මුණිවරගෙ පවුලයි අර කාලකණ්ණි සල්ලි පස්සෙ දුවන උන් ටිකයි සම්බන්ද කරන ගැටේ ලෙහල දාන්න මට ඕනෙ”

“මොකක්…”

නංගී ඉණට අත් දෙක තියා ගත්තේ මා හදිසියේ වෙනත් ග්‍රහ ලෝක තරණයකට සූදානම් වූවා සේ ය.

“ඔයා මේ කොහෙවත් යන ප්‍රශ්නයක් මැද්දට පනින්න හදන්නෙපා හරිද…මේක ඔයාට අදාල දෙයක් නෙවෙයිනෙ. එහෙම වුණොත් මට අප්පච්චිට කියන්න වෙනව”

“ආදරේ කියන දේ ඇත්තටම දැනුණ දවසක ඔයාට තේරෙයි නංගි. මට මුණිවරව නිදහස් කර ගන්න ඕන. එයා අර මනුස්ස හිතක් වශී කරන හිනාව හැම වෙලේම එයාගෙ මූණෙ තියා ගන්න ඕනෙ. ඒක ඉඳ හිට මං විතරක් දැක්කත් ඇති කියමුකො. එයා සනීපෙං නිදා ගන්න හරි ඕනෙ නංගි. මට තේරෙනව එයාව. මට දැං එයාව අත් ඇරල මගෙ පරිස්සම ගැන හිතන්න බෑ. මං ඒ ස්ටේජ් එක පහු කරල ගිහිං නංගි”

“හ්ම්. හැබැයි කරන දෙයක් මටත් කියන්න ඕන. රහසෙං බෑ. ඔයා අපායට ගියත් මටත් පුළුවං එන්න”

ඇය මගේ අතක් දැඩි කොට අල්ලා ගත්තා ය. මම දෙතොල් තද කොට සිනහ වීමි. නමුත් මගේ පපුව පුරා මීදුමක් සේ අවිනිශ්චිත බියක් ඉතිරී පැතිරී තිබිණි.

අපි ඉරිදා උදේ බෝඹුරු ඇල්ල බලන්න යන්න සූදානම් වුණෙමු. ඇවිදින්නට යනවා කියා මිස ඇල්ලක් ගැන ගෙදරට කීවේ නැත. ඒ ගැන යාන්තම් මල්ලීට ඉවක් වැටුණොත් ගමන අවසාන බව දන්නා නිසා සියල්ල සංවිධානය වූයේ රහසේ ය. 

“බෝඹුරු ඇල්ලට යන්න ලේසි පාර කියනවද…අපි යන්න හදන්නෙ බයික් දෙකේ”

අප ස්කූටි වලින් හපුතලේ වැලිමඩ පාරට අවතීර්ණ වූ පසු මම මුණිවර ට වට්සැප් පණිවිඩයක් තැබීමි. එය එසැනෙන් ලා නිල් පාට හරි දෙකකින් සලකුණු වූයේ ඔහු දුරකතනය අතැති ව සිටි නිසා වන්නට ඇත. හැරෙන තැපෑලෙන් ඇමතුමක් ආවේ ය.

“පිස්සුද ආ…කොල්ලෙක් කියලද හිතං ඉන්නෙ…”

“ඉතිං වෝටර් ෆෝල් එකක් බලන්න යන්න හොඳ කොල්ලන්ට විතරද…මේක මාර වැඩක්නෙ…පිරිමි හිතං ඉන්නෙ මේ ලෝකෙ ඒගොල්ලො වෙනුවෙං විතරක් මවපු එකක් කියලනෙ. ඊවාව මැව්වෙ ආදම්ගෙ ඉල ඇටේකිං කියල කිව්ව පලියට…”

“ඕකේ ඕකේ…”

මගේ වාක්‍යය හෝ ඡේදය හෝ අවසාන කරන්නට ඉඩක් ලැබුණේ නැත. 

“අම්…මං එන්නං. බයිසිකල් දාල ග්‍රවුන්ඩ් එක හරියට ඇවිදං එන්න”

කෙල්ලෝ සිනහව තද කර ගෙන සිටියේ මා ගැන ආඩම්බරයෙන් වාගේ ය. ඔහු ගේ පුරුෂ පෞරුෂය ඉදිරියේ පවා මගේ ස්ත්‍රීත්වයට එලෙස – මා ලෙස – පවතින්නට අවස්ථාව ලබා දීම ගැන මම මට ම ස්තූතිවන්ත වීමි. අපි කසුනි ලා ගේ ක්වාටර්ස්  ඉදිරියේ බයිසිකල නවතා යළි ගුරුතලාවෙන් පිටතට ආවෙමු. ඒ එන ගමන් මම කෝල් හිස්ට්‍රි වලට ගොස්, අග ඉලක්කම් මතකයේ තබා ගත් නිර්ණාමික අමතන්නා ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් තැබුවෙමි.

“මං කතා කරන්න කැමතියි”

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content