සුහදිනී -05

“සාරන්‍යාගෙන් ඈත් වෙනකම් උඹට හොඳක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.”

සත්‍ය ඒ අයුරින්ම පවසනු විනා ආටෝප ඇති කිරීමේ ඵලක් නොවේ.මිතුරාගේ කතාව අහස්ව කළඹන්නට සමත් විය.නමුත් කරන්නට කිසිවක් නොවේ.

“මං කියන්නේ මට හිතෙන දේ.”

සියුම් තමන්ගේ අදහස පවසන්නට පටන් ගත්තේ ය.ජීවිතය අතිශය සාර්ථක කරගත යුතු තැන් වල ඕනෑවටත් වඩා අසාර්ථක වීම ඇතැම්විට සැලසුම්සහගතව සිදුවන්නක් නොවේ.නමුත් එවැනි අවස්ථා අනන්ත ය.ඒවැනි අවස්ථාවක සමීපතමයෙකු සිදු කළ යුත්තේ අපහාස කිරීම නොවේ.දරා සිටීම ය.දරා ගැනීම උදව් කිරීම ය.

“ඔයා හොඳටම ෆේල් කියලා ළඟම ඉන්න එකා කියන තරම් වේදනාවක් තවත් තියෙනවා කියලා හිතෙනවද? දැන් උඹට වෙන්නේ ඒක.සාරණ්‍යා ඒක මන්තරේ වගේ මතුරනව.උඹව සහමුලින්ම අවුල් වෙනවා.”

සාරන්‍යා මුණ ගැසුණු අතීත දවස් අහස් සිහිකළේ ය.රූපවාහිනි වැඩසටහනකදී දුටු ඇයට මුලින්ම කතා කරන්නට සිත් වූයේ ඔහුට ය.ක්‍රිකට් ගසනවාටත් වඩා දක්ෂ ලෙස ගී ගයන්නට සමත් අහස් ගීයක් ගයද්දී එයට නර්තනයක් ඉදිරිපත් කරන්නැයි නිවේදකයා ඇයට ආරාධනා කළ මොහොතේ ඒ ආඩම්බරකාර යුවතිය දිනාගැනීමේ තදබල ඕනෑකමක් ඔහුට දැනෙන්නට විය.එහෙත් සාරණ්‍යා අහස්ට ලොකුකම් පෙන්වන්නට නොසිතී ය.ඒ ඔහු තමන්ගේ ජීවිතය තුළ අතිශයින් සාර්ථක වෙමින් සිටි කාලය ය. අනුෂ්කා ෂර්මා අනුකරණය කරන්නට ලැබෙන අවස්ථාව මඟ හැර ගත යුතු නැතැයි සාරණ්‍යා සිතුවා ය.ඇය එකල හැසිරෙන්නට උත්සාහ කළේ ද අනුෂ්කා වාගේ ය.නමුත් විරාට් කෝලිට මෙන් දිගින් දිගටම සාර්ථක වන්නට අහස්ට හැකි වූයේ නැත.දැන් ඔහු සහ අසමත්කම සමාන පද වී හමාර ය.

“දිගටම දිගටම දිගටම ෆේල් කියලා අහ ගන්න මිනිස්සු තමයි දවසක ඕනෑවටත් වඩා දිනන්නෙ.රට පාලනය කරන උන් හිතලම ෆේල් වෙනකොට චාන්ස් දෙන්න බැරි උනාට අනිත් ඕනම මනුස්සයෙක්ට ජීවිතය අසාර්ථක වෙනකොට චාන්ස් එකක් ලැබෙන්න ඕනේ.මොකද තමන් කරන දේ මහන්සි වෙවී කරද්දි පවා ඒ මිනිස්සු ෆේල් වෙන්න පුළුවන්.මෙලෝ වැඩක් නොකර උඩ බලාගෙන ඉඳලා මෝඩකමට හිනා වෙන පාලකයො ගෙදර පළයං කියලා පන්නන එක පට්ටම සාධාරණයි.ඒත් මහන්සි වෙලා තමන්ට පුලුවන් දේ කරන ඒත් මේ වෙලාවෙ මොකක්දෝ හේතුවකට දිගටම ෆේල් වෙන උඹට එහෙම ගෝ හෝම් කියන්න දෙන්න බෑ.”

සියුම් කියවාගෙන යන්නේ අධිෂ්ඨානයෙනි.අහස්ට පාසල් දවස් සිහියට නැඟිණ.පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වී හුන් දවස්වලදී ද අහස්ට සියුම්ගෙන් ලැබුණේ මේ ධෛර්යමත් කිරීම ය.එක් තරගයක් පැරදී මුහුණ එල්ලා ගෙන පාසල් ක්‍රීඩාගාරයට වී සිටි මිතුරාට ඔහුගේ සිහින මතක් කර දෙන්නට සියුම් තරම් කෙනෙකු කිසිම දිනක සිටියේ නැත.

“ආයේ ආයේ අපහාස කරන්න ගත්තොත් එයාට ඇත්තටම උඹේ ජීවිතේ ඉන්න ඕනෙද කියලා කෙලින් අහල බලපන්”

සියුම් එසේ කීවේ තරහින් නොවේ.නමුත් ඔහුට සාරන්‍යා ගැන පුදුමාකාර කළකිරීමක් තිබිණි.ඇය සිතන තරමට ජීවිතය පහසු නැති බව ඒ කමකට නැති කෙල්ලට පැවසීමට තරම් තරහකින් ඔහු පිරී ගොස් තිබිණි.

“ආදරේ කරපු මනුස්සයෙක් එහෙම ඈත් කරන්නේ කොහොමද සියුම්?”

අහස් අහන්නේ වේදනාවෙනි.නමුත් වේදනාව සැබෑවටම ඇති වන්නේ ආදරය කරන්නට නොදන්නා කෙනෙකුට ආදරය කරන්නට යාමෙන් බව නොකියා හිඳින්නට සියුම්ට නොහැකි විය.

“ජීවිතේ මාරම වෙහෙසයි.”

අහස් කියන්නේ කලකිරීමෙන් ය.සියුම් ඔහුගේ උරහිසට තට්ටුවක් දැම්මේ ඔහු සන්සුන් කරන්නට ය.

“ඇති යන්තන් මෙයා ආපහු පාඩම් කරනවා.”

නිම්නා එසේ පැවසුවේ සකී සටහන් තොගයක් ඇඳ මත විසුරවාගෙන සිටියදී ය.මෙවර විභාගය නොලියන්නට පිළිණ දුන් ඇය පාඩම් කිරීම ම සතුටකි.නමුත් සකී හිනැහුණේ නිම්නා සරදමට ගෙන මෙන් ය.

“එහෙම තමයි.හිත් කැඩෙනව ආයේ හරියනව.ජීවිතේ හැටි එහෙම තමයි.”

සකීගේ ඒ බසට නිම්නා තොල පෙරළා හිනැහුණා ය.ඇයට මේ ධෛර්යය ආවේ ඊයේ දුටු සිහිනය නිසා බව නොකියන්නට පමණක් ඇය ප්‍රවේසම් ය.ඉතා වෙහෙසකින් බියපත්ව ඇහැරෙන උදෑසනක් හිමි නොවී සැනසිලිදායක උදෑසනක අවදි වන්නට ලැබීම ම සතුටකැයි ඇයට සිතේ.

“සකී,ඔයා මේ දවස්වල භාවනා කරනවද?”

රන්මිණි හදිසි පැනයක් නැඟුවා ය.කාමරය දෙදරා යන හඬකින් කෑගසන සකී ඇයව රාත්‍රියේ අවුලෙන් අවුලට පත් කරන්නී ය.නමුත් දැන් දින කිහිපයක සිට සකී සිහිනයෙන් බියපත් නොවී ය.

“නෑ.”

මේ අසන්නේ ද සිහිනය ගැන බව සකී දන්නී ය.නමුත් ඇයට ඒ සිහිනය ගැන කියන්නට තරම් කැමැත්තක් නොවේ.ඒ ගැන පැහැදිලිව කතා කරන්නට හැකි කෙනෙකුට සිටින්නේ එක් අයෙකි.

එහෙත් ඇය ඔහුගේ ඇමතුම පවා මඟ හැරියා ය. ඔහුට කතා කරන්නට සිත එකඟ කර ගන්නට හැකි වූයේ නම් මැනවි බව ඇය දනියි.එහෙත් කියන්නේ කුමක්දැයි නොදැනම ඇය කම්පනයෙන් හිඳින්නී ය.

ආකර්ෂණය යැයි මිතුරියන් වරදවා වටහා ගන්නේ ප්‍රේමයකි.පවසන්නට අපහසු ප්‍රේමයකි.මේ ප්‍රේමය ගැන ඔහුට කියන දවස එනතුරු ඇඟිලි ගනින්නට ඇයට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles