සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ සන්තෝෂය රැගෙන එනතුරු මග බලන්නට පටන් ගෙන තිබිණ.

“අම්මලා මේ මැච් එක බලන්න එනවනෙ.”

සකී ඇගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් විමසුවා ය.මුළු තරඟාවලිය ම නරඹන්නට පැමිණෙන්නැයි අහස්ගෙන් ආරාධනා තිබුණ ද ඔවුන් රූපවාහිනි තිරයම තෝරා ගෙන තිබුණේ ඒ ඔවුන්ට හුරුපුරුදු රටාව හන්දා ය.තාත්තා සහ අම්මා වැඩි සද්ද බද්ද ඇති තැන්වලට අකමැති බව සකී ද දැන සිටියා ය.ඒ හන්දා ඇය බලපෑම් කරන්නට නොගියා ය.

“මම පුතාට බාරයක් එහෙම වුණා.මං වැඩිය ඔය තරග ගැන නම් දන් නෑ.ඒ වුණාට එයාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙයි.”

එහෙන් මෙහෙන් අහුලා ගන්නා පුවත්වලින් මාධ්‍ය මවන්නට පුරුදු වී සිටි මාධ්‍යකරුවන්ට පින්සිදුවන්නට අම්මා අහස් ඉලංගසිංහ කියන්නේ ඉතා නරක කොලුවෙකු බව සිතා සිටියා ය.නමුත් දැන් ඇය ඒ සිතුවිලි අහකටම විසි කර දමා තිබේ.කෙසේ කාර්යබහුල දවස් අග පවා කෙසේ හෝ සකීගේ අම්මාට අමතන්නට වෙලාව වෙන්කරගන්නා අහස් දැන් අම්මාගේ හදවත තුළ සකීට තිබූ ස්ථානය පවා අතික්‍රමණය කර ඇති බව සකීට සහතික ය.අම්මා මේ බාරහාර වන්නේ ඇගේ ලෝකය බවට පත් වෙමින් තිබූ පුතුට ය.

“එදාට පොඩ්ඩක් ලස්සනට එන්න හොඳේ.”

අහස් සකීට සිහි කළේ ය.සැහැල්ලු ඇඳුමකින් සැරසී වැඩි ආටෝප නැතිව ප්‍රසිද්ධ සමාජයට යාම ඔහුට ලැජ්ජාවක් ඇති කටන කාරණාවක්දැයි සකීට සැක මතු විණි.නමුත් අහස්ට කියන්නට ඇත්තේ වෙනත් කතාවකි.

“අපි මැච් එක අනිවා දිනනවනෙ.එදාට ඉතිං හැමෝම බලන්නෙ ඔයා දිහා ඔන්න බලන්නකො.”

මේ දිනිය යුතුම තරගයක් බව සිතන්නට අහස්ට හේතු කාරණා තිබිණ.ඔහු ඉතා සුන්දර සිහිනයක් සැලසුම් කරමින් හිඳියි.එය කුමක්දැයි සිතමින් වෙහෙසෙන්නට සකීට ඉඩ දිය යුතු නැති නිසා ඒ ගැන නොකියා ඉන්නට අහස්ට වැඩි වෙහෙසක් දරන්නට සිදු විණ.

“ඉන්ග්ලන්ඩ් අය ලේසි නෑ ඉතිං.හොඳ මැච් එකක් බලන්න පුලුවන් වෙයි.”

නිම්නා එසේ පැවසුවේ සකී ඕනෑවට වඩා බලාපොරොත්තු තබා ගන්නවාට  බියෙනි.ඉතා විශිෂ්ට ලෙස සියල්ල ඉටු කර අවසාන අවස්ථාවේදී හොට පටලා ගන්නා අහස් ඉලංගසිංහ කෙනෙකු ගැන ක්‍රිකට් රසිකාවියක ලෙස නිම්නාට මතක තිබේ.දැන් ඔහු ඇගේ සහෝදරයා බවට පත්වී සිටීම සැබෑවකි.නමුත් අහස් කියන්නේ එවැනි කණපිට පෙරළෙනවා වැඩ කරන කෙනෙකු බව ද අමතක කරන්නට නොහැකි ය.

“එයා ලෝකෙම දිනා ගත්තු දවසටත් මගෙ අහස්.මොකුත්ම නැතුව දුකින් ඉන්න දවසටත් මගේ අහස්.එච්චරයි.ඒකෙ වෙනසක් නෑ.”

සකී එසේ පැවසුවේ අවංක ව ය.ඇය ක්‍රිකට් වලට ඇබ්බැහි වන්නට  එකම හේතුව ඔහු ය.ජයග්‍රහණය සෑම දවසකම උරුම නැති බව ඇය දැන සිටියා ය.නමුත් ප්‍රේමය එවැනි විචල්‍ය වන කාරණාවක් නොවේ.ප්‍රේමය කියන්නේ නොවෙනස් හැඟීමක ට ය

“ලංකාවම මෙතනද කියලා හිතෙනවා.”

ක්‍රීඩාංගනය ඔල්වරසන් හඬින් පිරී යයි.අහස්ගේ අම්මා සහ තාත්තා ද සකීගේ අම්මා සහ තාත්තා ද පමණක් නොව සියුම්ගේ අම්මා සහ තාත්තා ද අද තරගය වෙනුවෙන් පැමිණ තිබේ.ඔහුට දුම් ආකාර ලෙස ආදරය කරන අම්මලා තාත්තලා හය දෙනෙකුම ලැබෙන්නට තරම් අහස් වාසනාවන්ත බව සකී සියුම් සමග පැවසී ය.

“මේ රටෙන් බාගයක් අම්මලා තාත්තලා ඌට ආදරෙයි නංගි.අදින් පස්සෙ තවත් ආදරේ වෙයි.”

සියුම් බලාපොරොත්තු සහගතව කියයි.බලාපොරොත්තු නැති කර ගන්නට නොකැමති එහෙත් බලාපොරොත්තු තබා ගන්නට ද බියෙන් සකී ගැහෙන්නට වූවා ය.

“බය වෙලාද ඉන්නේ නංගි?”

සකීගේ අනාගත මල් කුමරියගේ අම්මා කුඩා කෙල්ලකගේ මුහුණේ රැඳි බිය වටහා ගත්තා ය.එවැනි බොහෝ දවස් පැය ද පසු කර තිබේ.

“ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.වැඩිය හිතන්න එපා.මොනදේ උනත් එයාට ඔයා නැති වෙන්නේ නැති නිසා මල්ලි වුණත් ඒ ගැන වැඩිය හිතන එකක් නෑ.ඒත් අද හැමදේම හොඳට වෙනවයි කියලා කියල මම දන්නවා.”

ඉතා කටුක කතන්දර ඇසෙන දවස් ද බොහෝ පැසසුම් ඇසුණු දවස් ද තමන්ගේ හදවත බඳු ආදරණීයයා වෙනුවෙන් දරාගත්  තවත් තරුණ ගැහැනියක සකීගේ අතින් අල්ලා ගත්තා ය.සකී මන්දහාසයක් සොයා ගන්නට වෙහෙසෙන්නට වූවා ය.

තරගය ශ්‍රී ලංකාව අතිශය තීරණාත්මක තැනකට ඇද දමමින් තිබිණ.අහස් ප්‍රමුඛ පන්දු යවන්නන් කිසිසේත්ම සාර්ථක නොවී ය.අහස් සහ කණ්ඩායමේ සිටි ළාබාලතම සාමාජිකයා කඩුල්ලක් දෙකක් දවා ගත්ත ද උඩ පන්දු අත හැරීම් සහ එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඔවුන්ව ළකුණු තුන්සියයේ සීමාව ඉක්මවා රැගෙන යමින් තිබිණ.

“මැච් එක කනවා.”

සමාජ මාධ්‍යවල එවැනි සටහන් පළ වන්නට පටන් ගෙන තිබිණ.ඉතා කෙටි සටහන් තබා ප්‍රේක්ෂකයන් අවුලුවන්නට සමන් සමහර ත් සමහර ක්‍රීඩා මාධ්‍යවේදීහු ක්‍රියාත්මක වෙමින් සිටියහ.ඔල්වරසන් නැඟෙමින් ද මැකෙමින් ද තිබිණ.

“තාම ඉවර නෑනෙ.අපේ අයට බැට් කරන්න පුලුවං හොඳට.”

ක්‍රීඩාගාරයේ සිටි කවුරුන් හෝ කියන හඬ ඇසේ.නමුත් එය ද එතරමකට සාර්ථක කතාවක් වූයේ නැත.ශ්‍රී ලංකා පිලේ ආරම්භය සාර්ථක වුව ද එක්වරම කඩුළු දෙකක් ම බිඳ වැටිණ.අසාර්ථක වීම ඇරඹිණ.එහෙත් තරගයක් අත හරින්නට අකමැති යෞවනයන් දෙදෙනෙක් නැවත තරගය ඔවුන් වෙත හරවා ගනිමින් තිබිණ.

“හාට් ඇටෑක් හැදෙන මැච්!”

නැවත ආදරණීය සටහන් ඇරඹෙද්දී තවත් කඩුල්ලක් දැවී ගියේ ය.තරගය කෙසේ හෝ ජයග්‍රහණය කරන්නට සිතා පිත්ත හසුරවමින් සිටි නායකයාගේ තැන්පත් මුහුණ මත වේදනාත්මක රැළි ඇඳෙන අන්දම සකීට පෙනෙයි.නමුත් ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නේ මේ මොහොතේ ය.

අහස් ඉලංගසිංහ අවසන් බලාපොරොත්තුව බවට පත් වෙමින් පිත්ත ද රැගෙන පිටියට පිවිසෙමින් සිටියේ ය.

(ඔයාලාගේ දැඩි ආදරය මත සහ ලිවීම මඳක් දිගු වුණු නිසා හෙට අවසන් වෙන්නේ නෑ.ඔබේ ආදරය ප්‍රතිචාර ලෙස බලාපොරොත්තු වෙන්නේ හරිම ආදරෙන් 🌻)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles