සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන දුරකට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට හැකි වීමෙන් පසු ය.

අහස් ඉලංගසිංහ!

තරග වාර්තා අලුත් කරමින් සිටියේ ය.මව්බිම මත නැඟෙන ජය ඝෝෂා ඔහුගේ දෙසවනෙහි ගිගුම් දෙද්දී සෑම තරගයකම උපරිමය අයත් තමන්ට බව ඔහු නායකයාටත් වඩා සිතී ය.මේ පවතින නායකත්වයෙන් පසු නායකත්වය පැවරිය යුතු වන්නේ අහස් ඉලංගසිංහට බව විස්තර විචාරකයන් පවසන්නට පටන් ගත්තේ අහස්ගේ කැපවීම මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දවසේ ය.

“ගෑනුන්ගෙ ප්‍රශ්නයි අත පය කඩා ගැනිල්ලයි මෙලෝ සිහියක් නැති ප්ලේ කිරිල්ලයි හින්දා සදහටම ටීම් එකෙන් අතුගාන්න ඕන කිව්ව මගෙ එකා දැන් ඉන්න තැන”

අවසන් පූර්ව වටයට පිටියට පිවිසෙන අහස් දෙස බලමින් කියන සියුම්ගේ දෑස් මත සියුම් තෙතක් ඇඳී තිබේ.ඔහුට එය සැඟවීමේ අවශ්‍යතාවයක් නොවේ.

අහස් පන්දු යවන්නට පිවිසෙද්දී ඔහු පන්දුවක් රැක ගනිද්දී සහ පන්දුවට පහර දෙද්දී දෙකම්මුල් මත දෑත් තද කොට තබාගෙන එදෙස බලා හිඳින යුවතිය නිරන්තරයෙන්ම කැමරාවට නිරාවරණය වීම තරග කිහිපයක් පුරා පුරුද්දක් වෙමින් පැවතිණ.

“පුදුම වාසනාවක් තියන කෙල්ලක්”

“ලංකාවේ ක්‍රිකට් වලට වාසනාව ගෙනාව පොඩි කෙල්ල.”

“අඩෝ අහස්,ලක් එක ඩබල් වෙන්න ඉක්මනින් බැඳපං බං”

සකීගේ ඡායාරූප සමාජ ජාලාවල පළවෙන වාරයක් ගණනේ එවැනි ප්‍රතිචාර වැසි වසින්නට විය.අනාරාධිතව ලබා ගන්නා ඇගේ ඡායාරූප වලින් සමාජ මාධ්‍ය වැසී යන්නට පටන් ගෙන තිබිණ.

“අහස්ගේ සන් ෆ්ලවර් නේද? ෆොටෝ එකක් ගමු.”

අහස් ඒකපාර්ශ්වික ප්‍රේමය කරගත් බොහෝ යුවතියන් ක්‍රීඩාංගනයේදී සකී මුණ ගැසී එවැනි ඉල්ලීම් කරද්දී නිම්නා හෝ සියුම් ඡායාරූප ශිල්පීන් වූයේ අතිශය කැමැත්තෙනි.අහස්ගේ අම්මාගේ අත අල්ලාගෙන පිය මැන යන සුන්දර යුවතිය දරා ගන්නට පවා බොහෝ තරුණියන්ට පහසු නොවී ය.මේ ඔවුන් සිහින දුටු තැන ය.මලක් බඳු කෙල්ලක ඒ තැන දිනාගෙන තිබේ.

“කිසිම කෙනෙක් නොදැන හිටිය මට එකපාරටම වුණු දේ.”

සකී ඇතැම්විට කම්පා වේ.

“ඕවා ඇරිලා යනව පුතේ.අනිත් කොල්ලන්ගෙ කෙල්ලන්ටත් ඕකම වුණා.ඊටපස්සෙ බබාලා එහෙම ලැබුණම මිනිස්සු ඒ බබාලට ආස වෙනවා.ටික කාලෙකින් ඔය ගතිය ඇරෙනව.අපේ ඉලන්දාරියා පුතා ගැන හැමතැනම කියවන නිසා මේ කරදරේ.”

කුඩා යුවතිය දියෙන් ගොඩ ගත් මාළුවෙකු සේ ගැහෙන බව සිතෙන තැනක අහස්ගේ අම්මා එසේ කියමින් තත්ත්වය සමනය කරන්නට උත්සාහ ගන්නී ය.සකීට ජනප්‍රිය ගැහැනියක වන්නට නුවුමනා ය.එහෙත් ඇගේ තෝරා ගැනීම ඔහු ය.යුගල පදයක් වූ පසු ඔහු ඇවිද යන මාවත දිග ඇවිද යන්නට වන බව සකී තේරුම් ගෙන සිටියා ය.

“මේ හැමදේම මගේ ලක් එකට කියන මිනිස්සු ඔයාලා සෙමි ෆයිනල් පැරදුණොත් ඒක මටම ආපහු එවයි.”

සාමාන්‍ය මිනිස් හැසිරීම් ගැන දන්නා සකී අහස්ට එසේ පැවසුවේ අවසන් පූර්ව වටයේ ක්‍රීඩා කරන්නට පෙර අහස්ට කතා කරන්නට ඉඩ ලැබුණු මොහොතක ය.

“එහෙම වෙන්නේ නෑ.”

අහස් කියන්නේ විශ්වාසයකිනි.

“අපි පරදින් නෑනෙ.”

සකී ඒ විශ්වාසයට කැමති වූවා ය.ඔහු දැන් ජීවත් වන්නේ තමන් ගැන දැඩි විශ්වාසයකිනි.නමුත් ඔහු විශ්වාස කරන්නේ ඔහුව නොව සකීගේ ආදරය බව නිම්නා පවසන්නී ය.

“අහස් හොඳට ප්ලේ කරන දවසට රටම හුරේ තියනව.එදාට ඔයත් සන්තෝස වෙනවා.අහස් හොඳටම අප්සට් වෙන දවසට රටම බනිනවා.එදාටත් ඔයා එයාව හග් කරලා එයා ගාවම ඉන්නව.කොහොම කරත් ඔයා ඔයාමයි නිසා එයා ඉන්නේ ප්‍රෙෂර් එකේ නෙවෙයි.”

නිම්නා ඒ කතාව වැඩිදුර විස්තර කළා ය.

“අපි සෑහෙන බරපතල වැඩක ඉන්නකොට අපිට ලෝකෙම උන් කියන ඒවා මතක් වෙන් නෑ බං.අපිට මතක අපේ මිනිස්සු විතරයි.මෙච්චර රටක් බලා ඉන්න වෙලාවෙත් අහස් හිතනව ඇත්තේ ඔයා ගැන.”

නිම්නා කියන්නේ සකීගේ අත මෘදුව අල්ලා ගනිමිනි.ඇයට දකින්නටම ඕනෑ බව පැවසූ ක්‍රිකට් තරු කිහිපයක්ම විනාඩි කිහිපයකට හෝ හමු වන්නට අහස් අවස්ථාව සලසා දුන් හන්දා කොහොමටත් නිම්නා සතුටිනි.ඇයට ඕනෑම වූ තරුවට අහස්ගේ දෙවැනි මනමාලයා වන්නට ආරාධනා කරන්නට නිම්නා අමතක කළේ ද නැත.

“සියුම් අයියගෙ තැන වුණත් කපන්න ලෑස්ති තමන්ගෙ ඕනෑ දේවල් කරගන්න.”

නිම්නාට බැන වදින අතර සකීට රන්මිණි ද සිහි වේ.ඇය ඊර්ෂ්‍යාවෙන් තොරව ළඟ රැඳුණා නම් මේ ගමන් එන්නේ ඇය ද කැටුව ය.වසර දෙකතුනක් බෙදා ගත් මතක ප්‍රේමවන්තයෙකුට ඊර්ෂ්‍යාවෙන් අමතක කර දැමීම පහසුදැයි සකීට අනන්ත වාරයක් සිතේ.

“මෙයාව යාළු කරගන්න නංගි.ඔයාගේ ෆ්ලවර් ගර්ල් මෙයානෙ.”

අහස්ගේ නොවෙනස් ප්‍රේමවන්තිය බව ඔහු පුන පුනා පවසන කණ්ඩායම් සගයාගේ සිඟිති දියණියව ඇගේ අම්මා සකීට හඳුන්වා දී වැඩි කලක් ගෙවී නැත.මල් කුමරියට අඳින හපන්කම කරන්නට පෙර ඇය සමබරව ඇවිදින්නට හපනියක විය යුතු බවට සිඟිත්තියගේ අම්මා හිනැහෙමින් කියද්දී සකී අහස්ගේ අම්මා දෙස පුදුමයෙන් බැලුවා ය.සියල්ලෝම දන්නා සකී නොදන්නා රහසක් ඇති බව ඇයට නොහැඟෙනවා නොවේ.

“මං අහන්න බලන් ඉන්න ආසා කරන කතාව මට කියන්න ඕන ඔයාමයි.”

සැකය අමතක කර දමමින් සකී සිතුවා ය.සිඟිත්තිය දෙස බලද්දී නැඟී එන අනාගත සිහින යටපත් කරන්නට සකීට නුවුමනා ය.මේ සිඟිති අක්කාගේ අත අල්ලාගෙන පියවරුන්ට හැකි අයුරින් ජය ඝෝෂා නඟන කුඩා මල්ලී කෙනෙකු ගැන සිහිනයක් හදවතේ පිපෙන්නට සකී ඉඩ ඇරියා ය.ප්‍රේමය නමින් පිපෙන සිහින සදාකල් සිහින වන්නේ නැත.ඇය ඒ ගැන හොඳින්ම දන්නී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබී ය.ජයග්‍රාහී කඩුල්ල ලබා ගත් අහස් පිටිය මැදින් නිදහස් කුරුල්ලෙකු සේ දෑත් විහිදාගෙන දුවද්දී සකී කඳුළුවලට නිදහසේ ගලා යන්නට ඉඩ හැරියා ය.දහස් ගණනක ප්‍රේක්ෂකයන් ඔහු වෙනුවෙන් ඔල්වරසන් නඟයි.සකී අහස්ගේ අම්මා දෙස බැලුවා ය. ඉලංගසිංහ මහත්මිය ද ළය මත දෑත් තබා කඳුළු ගලා යන්නට ඉඩ දී බලා හිඳියි.රටක බලාපොරොත්තුව රැගෙන ආ යෞවනයා වෙනුවෙන් එක්ව ආශිර්වාද කළ,එක්ව ප්‍රාර්ථනා කළ අම්මාත් දියණියත් ඔහු දෙස බලා සිටියේ උතුරා යන ආදරයකිනි.

අහස් මෙතැනින් නැවතිය යුතු නොවේ!

(අවසන් මහා තරගය සමඟ අවසන් කොටසට පෙර කොටස සමඟ හෙට හමුවෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles