සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ හයේ පහරකිනි.ඔහු සිටින්නේ ආවේගයෙන් බව සකීට සිතිණ.උපරිමය කර දිනා ගත හැකි වී තිබූ තරගයක් ගිලිහෙමින් තිබේ.ඔහු ආවේගයෙනි.

අහස්ගේ පිත්ත හයේ සහ හතරේ පහරවල් සොයමින් සිටි අතර නායකයා වඩා සන්සුන් වෙමින් ද ඉදිරිය ගැන සිතමින් ද සිටියේ ය.මේ යෞවනයා ගැන සියල්ලන්ම අවිශ්වාස කරන කාලයේ පවා නායකයා අහස්ව විශ්වාස කළේ ය.

“උඹට පුලුවං මල්ලි.මේක උඹවත් මමවත් අත් ඇරලා හරියන් නෑ.”

ඔහු අහස් වැළඳ එසේ මිමිණුවේ අහස් ප්‍රහාරාත්මක වෙමින් සිටියදී ය.

සකී ගල් ගැසී බලා සිටියා ය.ක්‍රීඩාංගනය මීයට පිම්බාක් මෙන් මොහොතක් ගෙවා දමයි.ඔල්වරසන් හඬින් ඇලලී යයි.අහස්ගේ අම්මා පපුව මත අත තබාගෙන ය.තාත්තාගේ නළලේ ඉරි ඇඳී තිබේ.සකීගේ අම්මා ඈ කිසිවක් නොදන්නා ක්‍රිකට් ගැන ඉඳහිට අසමින් තාත්තාට බාධා කරන්නී ය.සියුම් පමණක් දඟලමින් සිටියේ තම මිතුරා විශ්වාස කරමින් සිටි නිසාදැයි සකී නොදනී.

නමුත් ඇය ඇගේ ප්‍රාණසරි ප්‍රේමවන්තයා විශ්වාස කරමින් සිටියා ය.ඔහු පරදින්නට නොදන්නා මිනිසෙකි.ඇය එසේ සිතුවා ය.

වේගවත් පිති හරඹය නැවතුණේ ඇසිල්ලකිනි.අහස් සමබරතාවය බිඳී බිම වැටෙන අන්දම ද අනෙක් අන්තයේ සිටි නායකයා පමණක් නොව ප්‍රතිවාදීන් පවා ඔහු වෙත ඇදෙන අන්දම ද සකීට ඊළඟ ඇසිල්ලක පෙනිණ.ඒ බොඳ වූ දෑස් අතරිනි.ඇය ඒ සත්‍යය පිළි ගන්නට අකමැති වූවා ය.

අහස් ඉලංගසිංහ ආබාධයට ලක් වූ බවත් ඔහුට ක්‍රීඩා කරන්නට හැකි වේදැයි සැක සහිත බවත් විස්තර විචාරයේ කියවෙන්නට පටන් ගත් අතර හිස අත් බදාගත් ප්‍රේක්ෂකයන් රූපවාහිනී තිරයේ දිස්වෙමින් තිබිණ.

අහස් ආබාධයට ලක් වෙන සෑම දිනයකම පාහේ උදෑසන අවදි වෙද්දී සිරුරට දැනෙන කෙඩෙත්තුව අද නොදැනුණේ මන්දැයි සකී අසිහියෙන් මෙන් සිතුවා ය.ඔහු ඇගේ වන්නට පෙර කාලයේ පටන් ඇය ඒ පීඩාව අත් වින්දා ය.දැන් අහස් ඇගේ ය.නමුත් ඔහු අසීරු මොහොතකට පත් වන බව ඇයට දැනුණේ නැත.

“තත්පර කීයද? සෝෂල් මීඩියාවල උන් නටනවා.”

කොහෙන්දෝ හඬක් ඇසිණ.එය පැවසූ කෙනා ගැන සොයන්නටවත් සකීට නුවුමනා ය.ඇතැම්විට අගනා ප්‍රවිශ්ඨ වීමට වඩා පැරදී ඇද වැටීම රසිකයන් සිහි තබා ගන්නට ඉඩ තිබේ.මේ ආබාධයට ලක් වීම අහස්ව තරුණ වියේදීම ක්‍රීඩාවෙන් ඈත් කරන්නට ද ඉඩ තිබේ.

සකී ඇගේ කුඩා මිතුරිය දෙස මඳ වෙලාවක් බලා සිටියා ය.ලෝකය පෙරලී ගියත් වැඩි ගණනකට නොගන්නා ළදැරිය බිම පෙරළී කුරුටු බලි අඳිමින් හිඳින්නී ය.

සකී ළදැරියගේ චිත්‍ර පොතක සිතුවමක් ඇන්දේ කිසිවක්ම නොසිතා ය.බිම වැතිරගත් යෞවනයාට අසලින් සූරියකාන්ත මලක් අතින් ගත් යෞවනියක්!

කලබල පිරිස ඇය ගැන නොතැකුවා ය.ඇඟිල්ලක් කටේ ගසා ගත් කුඩා මිතුරිය මිසක ඇයට බාධා කරන්නට ද කිසිවෙක්ම නොවී ය.

“අහස් අයියා නැගිට්ටා.”

නිම්නා ඔහු සම්බන්ධයෙන් වැඩිපුර භාවිතයට නොගන්නා ආදර නාමය යොදන්නට හේතුව ඇගේ ඇස් කෙවෙනි මත ඇති කදුළු බව සකීට වැටහේ.ඇය චිත්‍රය තුරුළු කරගෙන අසුන වෙත ආවා ය.

අහස්ගේ ජවය සිඳී ගිය බව ද ඔහුගේ පිතිකරණය අඩාල වූ බව ද පෙනෙන්නට තිබිණ.එහෙත් නායකයා තමන් නායකයා බව අවබෝධ කරගෙන සිටියේ ය.යොවුන් සගයාට මඳක් සන්සුන් වන්නටත් ශක්තිය උපයා ගන්නටත් ඉඩ දෙමින් ඔහු තනි සටනක් ඇරඹී ය.එහෙත් අහස් නිහඬ වූයේ නැත.ඔහු සිටියේ ජවයෙනි.උතුරා යන තරමේ අධිෂ්ඨානශීලි ව ය.ඔහු පරාජය පිළි නොගන්නා බව සහතික විය.කරට කර සටන ගැන කිසිවෙකුටත් විශ්වාසයක් නොතිබිණ.විටෙක එංගලන්තය නතු කරගනිමින් සිටින ජයග්‍රහණය වහවහා තමන්ට රඳවා ගන්නට නායකයා සහ අහස් ප්‍රවේසම් වෙමින් සිටිය හ.

සැබෑ තරගයක අවසාන ඕවරය එළඹිණ.අපහසු ඉලක්කයකි. නායකයා පළමු පන්දුවේ අසාර්ථක විය.දෙවැන්නේ යන්තම් තනි ලකුණකි.තවත් පන්දු හතරකි.ළකුණු දොළහකි.

අහස් එතරම් වේගයෙන් හයේ පහර දෙකක් එල්ල කළ අන්දම ඔල්වරසන් හඬ නගන ප්‍රේක්ෂකයන්ටවත් ප්‍රතිවාදී පිලටවත් තේරුම් ගන්නට නොහැකි විය.නායකයාට පවා තම යොවුන් සගයාගේ ජවය ගැන පුදුම ඉපදුණු අතර අහස් තමන්ව දැඩිව විශ්වාස කරමින් සිටියේ ය.අහස්ව විශ්වාස කරන්නියක ප්‍රේක්ෂකයන් අතර සිටින බව සිහි වෙද්දී ඔහුට පරදින්නට හැකි වූයේ නැත.

නායකයා අහස්ව ඔසවා ගන්නා අන්දමත් සහෝදරයන් දෙදෙනා එක පොදියට බිම වැටෙන අන්දමත් සෙසු සගයන් ක්‍රීඩා පිටියට කඩා වදින අන්දමත් සකී ඈත සිහිනයක් සේ දුටුවා ය.අහස්ගේ අම්මා නොනවත්වාම හඬමිනි.බොහෝ අය වැළඳ සුබ පතද්දී පවා සකී සිහිනයක ජීවත් වන තරමේ බැල්මකින් බලා සිටියා ය.

“හීනෙක නෙවේ ඉන්නේ.ලංකාව අවුරුදු විසි ගාණකින් වර්ල්ඩ් කප් එකක් දින්නා.ඒ තරගෙ දිනලා දුන්නේ උඹේ කොල්ලා.මේ මොකවත්ම ලයිබ්‍රි මේසෙට ඔලුව ගහන් දැක්ක හීනයක් නෙවෙයි.”

නිම්නා සකීව මෘදු ලෙස කොනිති ගැසුවා ය.ඇය වැළඳ ගත් පසු සකීගේ පීඩනය පිට විය.ඇය සිහින් සරින් ඉකි බිඳින්නට ගත්තා ය.

තරගයේ වීරයා පමණක් නොව තරගාවලියේම වීරයා වූයේ අහස් ඉලංගසිංහ ය.තරග වාර්තා කිහිපයක්ම අලුත් කර තිබූ තුන් ඉරියව් යෞවන ක්‍රීඩකයා අනාගත නායකයා වන්නට ඉඩ ඇති බව කියැවෙන අන්දම සකී අසා සිටියා ය.ඔහුගේ කකුල පීඩාකාරී වේදනාවක් දෙන බව පැහැදිලි ය.නමුත් ඔහු හිනැහෙමින් හිඳියි.වේදනාව අතරක පවා හිනැහෙමින් හිඳියි.අද තරගයේ ලොකුම කොටස කළේ අහස් ඉලංගසිංහ බව නායකයා පවා කියන්නේ නිර්ලෝභී ව ය.මේ කණ්ඩායම් සටනක අවසන් ප්‍රතිඵලය බව සැබෑ ය.නමුත් ඒ සටනේ වැඩි කොටස කණ්ඩායමේ කඩවසම්ම සිහින කුමාරයා ඉටු කර තිබේ.

තරගාවලියේ වීරයා වී කතාබහ කරන්නට ආ අහස් ඉලංගසිංහට කතා කරන්නට ඉඩ නොලැබිණ.අහස් යැයි තාලයට හඬ තලන්නන් නිසා ක්‍රීඩාංගනය මතු නොව අහස් තලය පවා ගිගුම් දෙන බව සකීට සිතිණ.ඔහු අත ඔසවා ප්‍රතිචාර දක්වමින් බොහෝ වෙලා ගත කළේ ය.අතීතයේ තමන්ට දරුණු මානසික පීඩා දෙමින් නින්දා කළ අය මෙන්ම අහස් ඉලංගසිංහ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය බව විශ්වාස කළ අය ද මෙතැන ඇති බව අහස් දනියි.ඔහු ඒ සියල්ලන්ටම ඉඩ දී බලා සිටියේ ය.

ක්‍රිකට් සම්බන්ධ කතා අහවර විය.අහස් ප්‍රේක්ෂකයන්ට ද කණ්ඩායම් සගයන්ට ද අසීරු කාලයේ අත් නොහැරි රසිකයන්ට ද අම්මාට ද තාත්තාට ද පමණක් නොව අත නෑර දරා ගන්නා හොඳම මිතුරාට ද අහස්ව ගොඩ නැගීම ගැන තුති පිදී ය.ඔහු කතාව අවසන් කර යන්නට හැරුණේ සකී ගැන වදනක් හෝ නොදොඩා ය.

සකී ඉන් රිද්දා ගත්තේ නැත.ඔහු ඇය අනාවරණය කරන්නට අකමැති වන්නට ඇත.නැතිනම් ඇය කළ දෙය අගය කරන්නට ප්‍රමාණවත් නොවිය හැක.

එහෙත් අහස් නැවත හැරුණේ පහව නොගිය සිනාවෙනි.රටේ බහුතර යුවතියන් දියවී වැගිරෙන මනබන්දනීය සිනාවෙනි.

“සන් ෆ්ලවර්,හැමදේටම ස්තූතියි! මේ සෑහෙන දේවල් ඔයා නිසා.මට ඔයාව මෙතැන දකින්න ඕන.ග්‍රවුන්ඩ් එකට එනවද?”

දෙපා අවසඟව ගිය සකී ඔබමොබ බැලුවා ය.නැත.ඇයට එතැනට යන්නට ඕනෑ නැත.

ප්‍රේක්ෂකයන් ඔල්වරසන් නඟයි.සියුම් සකීව ක්‍රීඩාපිටිය වෙත රැගෙන යමින් සිටියේ ය.පිටිය කෙළවරට දිව කණ්ඩායමේ ළාබාල දඟකාරයන් දෙදෙනෙක් සකීගේ අත අල්ලාගත්තේ ඇය සගයා වෙත ගෙනයන්නට ය.ලෝකය පුරා කැමරා තමන් වෙත දැල්වෙන මොහොතක සකීට දැනුණේ එක් හැඟීමකි.

මේ සැබෑවක් නොවේ!මේ ඇය සෑහෙන කාලයක් දුටු සිහිනයේ තවත් කොටසකි.

සකී ගල්ගැසී බලා සිටියදී ඇය ඉදිරිපිට දණ නවා ඇගෙන් විවාහ වනවාදැයි ඇසූ අහස්ට දෙන්නට මුද්දක් තිබුණේ නැත.එහෙත් වසර ගණනාවක් පුරා වෙහෙසෙමින් උපයා ගත් සම්පතක් ඔහු අත විය.ඇගේ ආදරයෙන් ධෛර්යය ලබා ඔහු දිනා ගත් තරගාවලියේ වීරයා සම්මානය ඇය වෙත දිගු වී තිබිණ.

පරාජය අමතක කළ ප්‍රතිවාදී සගයන් පවා කෑගසා සුබ පතන හඬ ඇසේ.අහස්ගේ බලාපොරොත්තු සහගත දෑස් දැල් වේ.සකී ඇගේ කැමැත්ත පළ කරේ වචනයෙන් නොවේ.

අහස්ව වැළඳ ගත් ඇය ඉකිලන්නට වූවා ය.මාස කිහිපයකට පෙර දිනක ඔහුගේ පළමු වැළඳ ගැන්ම ඇයට සිහි විය.එදා ඔහු වෙතින් ආවේ මිලාධික විලවුනක සුවඳ ය.අද ඔහු වෙත ඇත්තේ දහඩිය සුවඳකි.එදා පිළිවෙලට හිස පීරා සන්සුන්ව සිටි තරුණයා නළල මත තැබූ හාදුව ඇය විඳගත්තේ නිස්කලංකව ය.එහෙත් කොන්ඩය අවුල් කරගත් දවස පුරා අව්වට නිරාවරණය වී වෙහෙසින් පීඩිත තරුණයා මේ මොහොතේ දෙතොල් මත හාදුවක් තැබුවේ ලෝකයක කැමරා ඇස් ඔවුන් වෙත දැල්වී තිබියදී ය.

ඒ සියල්ල එසේ වුව ද මේ සකීගේ අහස් ය.ඇයටම අයත් අහස් ය.ඇය ඔහුව තරයේ වැළඳ ගත්තේ නැගෙන ඔල්වරසන් හඬ මැද්දේ ය.ඔහු හා ඉක්මනින් විවාහ වීම මිස කිසිවක්ම ඇයට මේ මොහොතේ නුවුමනා ය.

(දින ගණනාවක් මේ සුන්දර ආදර කතාව කියවූ ඔබේ ප්‍රතිචාර ඕනෑම දවස අද බව කියන්නට ඕනෑද?🌻)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles