සුහදිනි – අවසන් කොටස

ක්‍රීඩාංගනය ඔල්වරසන් හඬින් ඇලලී යමින් තිබිණ.පහසු ජයක් සහිත ක්‍රිකට් තරගයක සන්තෝෂය ප්‍රේක්ෂකයන් විඳිමින් සිටින්නේ ගී ගයන නටන අතර ය.සකී ඒ මහා ජන ගංගාව දෙස මොහොතක් බලා සිට තරගය හසුරවන නායකයා දෙස බලා සිටියේ ය.

අහස් ඉලංගසිංහ තිස් තුන් හැවිරිදි වියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේ කණ්ඩායම් නායකයාව සිටියදී ය.ඔහු ක්‍රීඩාකරන අවසන් තරගය අදට යෙදී තිබේ.පන්දුවාර විස්සේ ලෝක කුසලාන තරග ජයක් ද එක්දින ලෝක කුසලාන තරග ජයක් ද මව්බිමට රැගෙන ආ එකම නායකයා වී ඔහු ඉතිහාස ගත වේ.මීට වසර කිහිපයකට පෙර මව්බිමේ පැවති ලෝක කුසලාන තරගාවලියකදී හිරිමල් යුවතියකට තරගයේ වීරයා සම්මානය දිගු කර විවාහ යෝජනාවක් කළ අහස් ඇය විවාහ කරගත්තේ ඉන් තුන් මසක් ගෙවී යද්දී ය.

ඒ විවාහය තරම් සුරංගනා කතාවක් බඳු විවාහ උත්සවයක් සකී අද පවා දැක නැත.සූරියකාන්ත මලින් පිරී ගිය ඒ මංගලෝත්සවයේ සෑම මොහොතකම සකී සිටියේ ඔහුගේ අත අත නෑර ය.අහස්ගේ දෑස ලෝක කුසලානය දිනා ගත් මොහොතටත් වඩා බැබළෙමින් තිබූ ඒ  දවස සකී අදටත් ප්‍රිය කරන්නට කැමතිම දවස ය.

“ඔයාව මුණ ගැහෙනකම්ම හීනෙන් දැක්ක මේ වගේ ගාඩ්න් එකක මට කවදාවත් ඇවිදින්න හිතිලා නෑ.හිතෙන වෙලාවටත් හිතුවා හීනෙ ඉන්න ගෑනු ළමයා මුණ ගැහෙනකම්ම ඉන්නව කියලා”

මධුසමය ගෙවන්නට සකී ඕස්ට්‍රේලියාවේ සංචාරයකට රැගෙන ගිය අහස් ඇය සූරියකාන්ත මලින් පිරුණු උද්‍යානයක් වෙත රැගෙන ගියේ ය.

නව යෞවනියක කාලයේ පටන් දුටු සිහිනය ඉෂ්ට වූවා සේ හැඟුණු දවස! සකී ඒ සූරියකාන්ත මල් ගොමුවේ සරන්නට වූයේ අහස්ගේ අතකින් අල්ලාගෙන ය.

ජීවිතය මල් යායක් ව ඉනික්බිති පිපෙන්නට පටන් ගත්තේ ය.

සකීගේ උපාධි ප්‍රදානෝත්සවය දවසේ ආසියානු කුසලානයට සැරසෙමින් අහස් විදේශගත වී සිටියේ ය.ඇය ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව උපාධිය ලබා ගන්නා මොහොතේ ඔහු කඩුලු ත්‍රිත්වයක වාර්තාවක් පිහිටවමින් සිටියේ ය.ජීවිතයේ සුන්දරම සිහිනය ඉටු වූ බව සකී ඔහුට පැවසූ දවසේ අහස් ශතකයක් ලබාගෙන ඒ සතුට සැමරී ය.එහෙත් කුඩා සකී ලෝකය දකින්නට සැරසුණු කාලයේ ඒ සෑම මොහොතක්ම හිත පුරා විඳගන්නට අහස්ට ඉඩ නොලැබිණ.

“මට මේක ඇති වෙලා.මට ඩිවෝස් වෙන්න ඕන.”

සකී එසේ ඉකිබිඳ හඬද්දී සාරණ්‍යාට හෝ සෙසු පෙම්වතියන්ට මෙන් “ඉතිං පලයං” යැයි කෑගසන්නට අහස්ට හැකි නොවිණ.ඔහු ඇය තදින් තුරුළු කරගත්තේ ය.ඔහුගේ කඳුලක් අත්ලේ සීතලට දැනෙද්දී ඇය වහා සන්සුන් වූවා ය.

“එයා තාත්ති ගැන ආඩම්බර වෙයි.එයාගේ තාත්ති වීරයෙක්.”

සත් වසරකට පෙර උපන් කුඩා දියණියට ද සිව් වසරකට පෙර උපන් කුඩා පුතුට ද තාත්තාට වඩා වීරයෙකු නොවේ.එහෙත් අහස් සෑම මොහොතකම මතුරන මන්තරයක් තිබේ.

“අම්මි නැත්නම් අපි කවුරුත් නෑ.අම්මි තමයි සුපර් හීරෝ”

ඉලංගසිංහ ගෙඋයනේ ඇති සූරියකාන්ත මල් පැළ වල අතොරක් නැති මල් පිපේ.වැඩසටහන් වෙනුවෙන් පැමිණෙන මාධ්‍යවේදින්ට සූරියකාන්ත මල් සම්බන්ධයෙන් දැන ගන්නට රහසක් තිබේ.

“ඒ අපේ ආදරේ පටන් ගන්න හේතුව.ආදරේ සංකේතය.මම සකීට සන් ෆ්ලවර් කියන්න අපි දෙන්නගෙ හේතුවක් තියනව.”

අහස් එතැනින් එහා කිසිවක් කියන්නට අකමැති ය.

තමන්ගේම රහසක්! 

සකී ඒ රහස දිවි හිමියෙන් සුරකින්නී ය.

අට වසරක් තිස්සේ ඔහුගේ අත නෑර හුන් අතීතය සිහි කරමින් ක්‍රීඩා පිටිය දෙස බලා සිටි සකීගේ දෙනෙත් කඳුලින් පිරී යයි.

අහස් ඉලංගසිංහ තම ක්‍රිකට් ජීවිතයට නැවතුම තබන්නට සැරසේ. පුහුණුකරුවෙකු වැනි භූමිකාවක් අනාගතයේ උසුලන්නට ඉඩ තිබුණ ද ඔහු නැවත තරග බිමේ දකින්නට ලැබෙන්නේ නැත.

“ඔයාට තව කාලයක් ප්ලේ කරන්න පුලුවන්නෙ.”

අහස්ට මුළු රටක් එසේ කියද්දී සකී ද පැවසුවා ය.

“මං ගැන මේ ලෝකේ වැඩියෙන්ම හොඳට දන්නෙ කවුද?”

ඔහු එදා ඇසුවේ ලස්සනම සිනාවෙන් ඇය දෙස බලමිනි.

“මං ඇත්තටම තාම හොඳ ප්ලේයර් කෙනෙක් තමයි.මම ටීම් එකට එනකොට අන්ඩර් නයිටීන් ටීම් එකෙත් හිටිය එකෙක්.ටීම් එකේ හිටිය සිඟිති පාතාලයා.එහෙම ආපු මම ඊට අවුරුදු දෙක තුනක් යනකොට ෆේල් වෙන්න ගත්තා.සූරියකාන්ත මලක් පිපෙන්න ගත්තට පස්සෙ මං දිගටම සක්සස් වුණා.”

අහස් කියවා යද්දී සකී නොමනාපයක් මවාගෙන ඉවතට හැරුණා ය.

“ඔය ඉතිං සුපුරුදු බටර් පාරනෙ.මං කියන්නෙ ඕක නෙවෙයි.”

සකී කියද්දී අහස් උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තේ ය.

“මම ටීම් එකෙන් අයින් වෙන්නෙ මිනිස්සු මට ආදරේ කරන කාලේ.ෆේල් වෙවී අලුත් පොඩි එකෙක්ගෙ තැනත් විනාස කර කර ඉඳලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා අයින් වෙන්න ඕන නෑ.මං වීරයෙක් හැටියට අයින් වෙන්නෙ.”

ඔහු ආදරය ඉතා ඉහළින් ලැබූ මිනිසෙකි.ලෝකයේ ආදරය ද අවධානය ද ඌණ වූ පසු ජීවිතය කොයි ආකාරයකින් අහස්ට දැනේවිදැයි සකීට තිබුණේ සැකයකි.

“ෆෑන්ස්ලගෙ ආදරේ මේ තිබිලා මේ නැති වෙන දෙයක් සකී.අපි මැරි කරාම බබාලා ඉපදුණාම මට පිස්සුවෙන් ආදරේ කරපු කෙල්ලො නැත්තටම නැති වුණේ.”

අහස් එසේ කියද්දී “අනේ හරි අමාරු ඇති” කියමින් දොස් නගන්නට සකී වග බලා ගනියි.එහෙත් ඔහුට ආදරය වැඩිවැඩියෙන් හිමි වීම ම ඇයට සතුටකි.

මෙතැනින් එහා ජීවිතය කෙසේ වේදැයි සකී නොදන්නේ ඒ නිසා ය.

ඉතා දිගු කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදු නාරටිය වී සිටි අහස් ඉලංගසිංහ තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවා අවසන් කළේ ය.ඔහු අවසන් වතාවට මයික්‍රෆෝනය ඉදිරියට යද්දී ජනතාව අසුන් වලින් නැගී සිටින්නට විය.ඔහු එවැනි ගෞරවාන්විත සමුගැනීමක් ලැබිය යුත්තෙකි.සැබෑ මහත්මයෙකි.නිවසේ පුටුවක් මතට වී දහනව හැවිරිදි අහස්ගේ මුල්ම තරගය නැරඹූ යුවතිය වැඩුණු ගැහැනියක වී ඔහුගේ දරු දෙදෙනා අතින් අල්ලාගෙන ඒ සමු ගැනීම දෙස බලා සිටියේ ය.ඔහු දුටු මුල්ම දිනයේ මෙන්ම ඇගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබිණ.

“සකී,මං ඔයාට ග්‍රවුන්ඩ් එකට ආරාධනා කරනවා.”

එවැනි යෝජනා නැවත නොකරන්නැයි සකී ඔහුගෙන් ඉල්ලා සිටියේ ලෝක කුසලානය දවසේ විවාහ යෝජනාව ලැබීමෙන් පසුව ය.නමුත් ඔහු තවම හිතුවක්කාරයෙකි.කුඩා දියණිය මල්ලිගේ අත අල්ලා ගත්තේ අම්මාගේ අනුමැතිය ලැබෙන්නටත් පෙර ය.අම්මා සන්සුන් ගමනින් ඇවිද යද්දී කුඩාවුන් දෙදෙනා තාත්තාගේ අතට පැන ගත්තේ මිනිත්තුවක් ගෙවෙන්නටත් පෙර ය.

වසර අටකට පෙර දවසක ක්‍රීඩා පිටිය තුළ ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ මැද සකී වැලඳගෙන ඇගේ දෙතොල් මත හාදුවක් තැබූ දඟකාර යෞවනයා ඇයව වැලඳ ගත්තේ කුඩා අත් හතරක් ද සමඟිනි.ඒ දඟකාරයා ඉවසිලිවන්තයෙකු වී තිබේ.නොකඩවා නැගෙන අත්පොළොසන් හඬ මැද්දේ සකී තමන්ගේ මුළු ලෝකයම දෑත් විදා වැලඳ ගත්තා ය.ඇයට හැඬෙයි.අතීත දවසක වාගේම හැඬෙයි.

“මං දැන් සහමුලින්ම ඔයාගේ.”

අහස් එසේ මිමිණී ය.සකී ඔහු දෙස බැලුවේ ආදරයෙනි.කුඩා දෑස් හතර ද නැගෙන ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ ද අහස් ඉලංගසිංහ සහමුලින්ම තමන්ගේ නොවන බව සිහි කරන බව සකී දන්නී ය.නමුත් ඇය සැනසීම සහ ආදරය මුසු සිනාවකින් හිනැහුණා ය.

ඔහු කොහොමටත් ඇගේ ය.

-සමාප්තයි-

(ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනූ දවසේ ලියන්නට හිතූ කතාවට නොනවත්වාම ආදරය දුන් ඔබට ආදරයෙනි.සකීටත් අහස්ටත් මටත් ඔබේ ආදරය ලියා යතැයි විශ්වාසයෙනි.අලුත් නවකතාවකින් ඉක්මනින් මුණ ගැහෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles