සීත මාරුතේ -39

මෙතෙක් දවස් ආදරය කියනා හැඟීම ප්‍රීති ප්‍රමෝදිත වලාකුලක් සේ සැහැල්ලුවෙන් මසිත් අහස අරා පා වෙමින් තිබුණේ ය. නමුත් පෙර දා රාත්‍රියේ අහඹු ලෙස වූ සිදුවීම නිසා ඒ සැහැල්ලුව පසෙක තබා ආදරය ආකාසයෙන් බිමට බැස තිබේ. දැන් එහි හැඩයේ ද ස්කන්ධයේ ද බරෙහි ද වෙනසක් වී ඇති බව මට දැනේ. ආදරය බිම බලා ගෙන ගැඹුරෙන් හිතමින් බර අඩි තබන්නට පටන් ගෙන ඇති බවක් මට දැනේ.

මිස්ට් ෆීල්ඩ් වල වැඩ පල කර දෙන්නට ඕනෑ තරම් පිරිස සිටියහ. නමුත් මට දැනෙන්ට වූයේ මා එතැනට නැතිව බැරිවා සේ ය. එහි හැම කෙනෙකුට ම මගේ වචනයක් හෝ අවැසි ව තිබුණේ ය. 

වෙනදාටත් වඩා මා මුණිවර ට දුරින් හිඳිනා බවක් ද නො දැනුණා නොවේ. ඇතැම් විට මින් පෙර නොවූ දෙයක් දැන් අප අතරේ වන නිසා, මේ සිය ගණනක් සේවක පිරිස අතරේ එය සඟවා තබා ගනු වස්, මා අනිච්ඡානුගව ම එවන් දුරස් බවක් නිර්මාණය කර ගත්තා වන්නට පුළුවන. නමුත් ඔහු අන් කවර දාටත් වඩා හදවතට ළඟින් සිටියේ ය.

මුණිවර සතුටෙන් බව මට පෙනෙන්නට තිබිණ. වෙනදාට සිනහව බෝ මිලාධික දෙයක් සේ සිතා උන් ඔහු ගේ මුවග දැන් නිබඳ මන්දස්මිතයක් වේ!

අස්පස් කොට මිස්ට් ෆීල්ඩ් පෙර තිබුණ තත්වයට ගෙන එන්නට ඒ සැඳෑව වන විට හැකි විය. පිරිස ද ටික ටික අඩු වී ගියේ ය. මගේ හිතට පාළු සංකා හැඟීමක් දැනෙන්නට විය. මම සමනල උයනට ද හරිතාගාර වල මල් අතරට ද පේෂකර්ම ශාලාවට ද දිය පහර අසලට ද යමින් එමින් හිතේ අතරමං වී තිබි යම් දෙයක් සෙව්වෙමි. නමුත් මට ඒ කවරක් දැයි නිශ්චිත ව හමු වූයේ නැත. 

ඒ රවුම ගොස් මා ගාට ගාටා ආපසු එන විට මුණිවර හා ලොකු තාත්තා මුණිවර ගේ කුටියේ කතා කරමින් සිටියෝ ය. මා දුටු මුණිවර හිසෙන් මට එහි එන ලෙස ඉඟි කළේ ය. ඒ ඇස් වල ද ඒ හිස සැලීමේ ඉරියව්වේ ද තිබී මට දැනුණේ පුදුමාකාර ආදරණීය බවකි. මගේමයි යන හැඟීමකි. එතෙක් හිත වූ පාළු සංකාකූල බව කොතැනක අත්හැරුණේ ද කියා සිතා ගැනීමට පවා නො හැකි වූයේ ය. මම පුංචි සමනලියක සේ ඔවුන් වෙත ඉගිල ගියෙමි.

“වැඩේ හොඳටම වුණා නේද පුතේ…”

ලොකු තාත්තා මගේ අදහස් විමසී ය. මම සිනහවකින් හිස සැළුවෙමි. ආදරය කියන බැඳීමෙන් දෙදෙනෙකු බැඳුණ විට එතැන ඇති වන අලුත් තත්වයට මුහුණ දීමේ යම් කිසි අපහසුවක් මට දැනෙමින් තිබෙන්නට ඇත. සැබවින් එය අලුත් තත්වයකි. ඉස්සර මෙතන ඉඳ ගෙන සිටියේ මුණිවර කෙරේ උමතු වූ කෙල්ලකි. දැන් මෙතන ඉන්නේ ඔහු සිය පෙම්වතිය වශයෙන් තෝරා ගත් කෙල්ල ය. ඒ අවස්ථා දෙක අතරේ ලොකු වෙනසක් නැතැයි බැලූ බැල්මට පෙනී ද ලොකු වෙනසක් ඇති බව මට දැනේ. වෙනදා නොදැනුණ මගේ කමක් මෙතැන් පටන් මට දැනේ. මුණිවර මගේ ය. ලොකු තාත්තා මගේ ය. මිස්ට් ෆීල්ඩ් මගේ මුණිවර ගේ ය. මා ඔහු ගේ ය. ඒවා අමුතු සිතිවිලි ය. මීට පෙර මම නිදහස් කෙල්ලක වීමි. අම්මා අප්පච්චි හා මගේ පවුල යන හැඟීමට අමතර ව මේ තරම් තදින් මගේ කියනා හැඟීමක් මේ දැනුණා ම ය.

මුණිවර ලොකු සුසුමක් හෙළමින් මේසයෙහි ඉදිරියට නැඹුරු වූයේ ය.

“වැඩ කරන අය ගොඩක් සතුටෙන් ඉන්නෙ. අම්…ට්‍රිප් එකත් ගියාම තමයි ඒ සතුට සම්පූර්ණ වෙන්නෙ”

මගේ ඇස් වලට ඔහු ගේ බැල්මක කොනක් හසු විය. සීතල හැඟීමකින් මම ඒ බැල්මේ එල්ලී ගතිමි.

“ඒත් අපි කිසි කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න ඕන නෑ රජ්ජුරුවො”

“කිසි කෙනෙක්ව කිව්වෙ මටත් එක්කද…”

මම මූණ නරක් කර ගතිමි. ලොකු තාත්තා හඬ නගා සිනහ වූයේ ය. මුණිවර මා වැසී යන ආදරයක් ඇස් වලින් හෙළුවේ ය.

“කිසි කෙනෙක් කිව්වෙ පිට අය කෙල්ලෙ. අපේ නොවෙන අය”

“මාත් ඉතිං…”

කියවෙන්නට ගිය දේ මා වහා නතර කර ගත්තේ දැන් ඉතින් මා පිටස්තර නො වන බව සිහි වී ය. ලොකු තාත්තා ඉක්මනින් ඊට පිළිතුරු දුන් නිසා මා කියන්නට ගිය දේ ගිල ගත් බව ඔහු ට නො දැනෙන්නට ඇත. නමුත් මුණිවර ගේ තොල් කොනක් සිනහවකට සෙලවිණ.

“දුව අපේ කෙනෙක් නෙවෙයි කියල අපි කාටවත් හිතෙන්නෑ. ඒක හරි පුදුම දෙයක්. සමහර විට සංසාරෙ මීට කලිනුත් අපි එකටම ඉඳල ඇති. හැබැයි මට එක දුකක් තියෙනව”

“දු..කක්…ඒ මොකද්ද ලොකු තාත්ත..”

“මං ඉතිං දැං ජීවත් වුණ කාලෙ වැඩී. තව ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. මට දුවව ආස්සරේ කරන්න ඉතුරුත් පොඩි කාලයයි. ඒකයි දුව”

“මොනාද ලොකු තාත්ත කියන නරක කතා…අපි කවුරු කවද කොහොම මැරෙයිද කියන්න පුළුවන්ද…ඉන්නකං සතුටෙන් ඉන්නයි ඕන. ලොකු තාත්ත මගෙ ආයුෂත් අරං….”

“එක දවසක් හරි ආදරෙන් ජීවත් වෙන එක තමයි දුව වටින්නෙ. ඇත්තටම මං ආයෙ ජීවත් වෙනව කියල මට දැනෙනව. මං මැරිච්ච මිනිහෙක්. ආයෙ මං ජීවත් වෙන්නෙ දුව නිසා”

“අනේ ඉතිං…ලොකු තාත්ත මාව අඬවන්න හදනව. අනිත් එක විදූ මට බැන්න. ලොකු තාත්තව අයිති කරං කියල”

ඔහු නැවත ද උස් හඬින් සිනහ වූයේ ය. අපි තවත් ටික වෙලාවක් විනෝද ගමන සංවිධානය කරමින් සිටියෙමු. එය මිස්ට් ෆීල්ඩ් සේවකයන් ට සිය දරු පවුල් ද සමග සහභාගී විය හැක්කකි. මෙවර ගමන ගාළු වෙරල තීරය සඳහා යොදා ගෙන තිබුණේ ය.

“මෙහෙ සමහර දුප්පත් ළමයි තාම මුහුදක් දැකල නෑ. ළමයි නෙවෙයි වැඩිහිටියොත් ඉන්නව මුහුදු වෙරලකට නොගිය. ඉතිං මේ වගේ දෙයක් ඇත්තටම ලොකු පිංකමක්”

මුණිවර බස් රථ කිහිපයක් ඇනවුම් කොට තිබුණේ ය. ඔහු ඒ වෙලාවේත් කිහිප තැනකට දුරකතන ඇමතුම් දෙමින් ඒ ගැන විමසීම් කළේ ය. යළි අපි යන්නට සූදානම් වූයේ රෑ බෝ වී ගෙන එත්දී ය. 

“ඉස්කෝලෙ මහත්තය එක්කත් ටිකක් කතා කරලම යමුකො”

කියමින් ලොකු තාත්තා මුලින් ම රියෙන් බැස්සේ ය. ඒ වෙත්දීත් මා සිටියේ පසුපස අසුනේ සිට මුණිවර ගේ මුහුණ දෙස බලා ගෙන ය. හිස හරවා පිටුපස බලත්දී ඔහු මගේ මුහුණ දුටුවේ ය. මගේ දෑස් මත වූ වෙන් වී යා නො හැකි හැඟීම එක මොහොතක දී ඔහු ගේ පපුව විනිවිද යන්නට ඇත. ලොකු තාත්තා ඉස්සර වී සිටියේ ය. ගෙදොර තිබුණේ වසා දමා ය. සීතල ඇතුළට එන නිසා නංගී දොර හැර තබන්නේ නැත. පඩි පෙළ ළඟ දී මුණිවර මගේ අත්ලත් අතැඟිලිත් යන්තම් හසු වන සේ මගේ වමත ඇල්ලුවේ ය. ඒ පහස මෙතෙක් වෙලා බලාපොරොත්තුවෙන් සිටියා සේ, මම ඒ අතින් ඔහු ගේ අත තද කොට අල්ලා ගතිමි. ඒ ඉතා කෙටි වූ නිමේශයෙහි දී අප අතරේ සංසරණය වූ හැඟීම් ප්‍රකෝටි ගණන අතරින් කිහිපයක් මට වෙන් කර ගත හැකි විය. 

මේ අල්ලා ගැනීම අත් හැරෙනු පිණිස නොවේ. ජීවිත ඉරණම කෙසේ ලියැවී ඇත්දැයි අපි නො දනිමු. අපට යම් දිනෙක දෙපසකට ඇවිද යන්නට නියමිත ව ඇත්ද කියා හෝ අපි නො දනිමු. නමුත්, එවන් දිනක් උදා වුණොත් අප ට වෙන් වන්නට වන්නේ එක හදවතක කොටස් දෙකක් සමග ය. මේ දැඩි ව අත් බැඳුණු මොහොත තුළ අපේ හදවත් එක රිද්මයකට ගැහෙන්න පටන් ගත්තේ ය. මින් මතු කොහේ කොතැනක ජීවත් වුව ද අපේ හදවත් ගැහෙන්නේ ඒ එක ම රිද්මයට ය. එය මට හෝ ඔහු ට වෙන් වශයෙන් අයිති වූවක් නොව අප දෙදෙනා ට පොදුවේ අයිති වූවකි. 

ඒ අත් අල්ලා ගැනුණේ දෙපසකට ඇවිද ගිය දෙදෙනෙකු එක ගමනක් යනු පිණිස ය. ඒ ගමනේ දී මා පසෙකින් ඔහු ද ඔහු පසෙකින් මා ද සිටිනු ඇත. අපට වෙහෙස දැනෙනා වෙලාවක, තවත් දුර යා නො හැකි යයි දැනෙනා වෙලාවක අනෙකා ගේ ආදරය අප යළි නගා සිටවනු ඇත. 

“යන්නෙපා”

ඒ කෙටි නිමේශයේ මම ඔහු දෙස බලා කොඳුරා ගතිමි. සැබවින් ඔහු නැති හෝරා කිහිපයක් හෝ ජීවත් වන්නේ කෙසේද වාගේ ක්ෂණික භීතිකාවක් මා යට කර ගනිමින් තිබිණි. මෙතෙක් කල් මා ජීවත් වූයේ ඔහු සමග නොවන බව ඒ සුළු මොහොතට මට අමතක ව ගියා වෙද? මුණිවර මගේ අත සිය මුව වෙත ගෙන ඉතා තදින් සිප ගත්තේ ය. දොර විවර වූයේත් අපේ අත් ගිලිහී ගියේත් එකට ම ය. මා ගෙට ඇතුළු වූයේ ඉන් පිට ව ගිය මන්දාකිණී ලෙස නොවේ. මුළු හදවත ම පිරිමියෙකු වෙත පුද දුන් ප්‍රේමයේ සංකේතයක් ලෙසට ය.

අම්මා ගේ බල කිරීම නිසා එදා රෑ බතට අපේ ගෙදර රැඳෙන්නට ඔවුන් ට සිදු විය. එය මා තුළ කෙතරම් රහසිගත තිගැස්මක් වූවා ද කියා පහදා ලිවිය නො හැකි ය. හිතේ හොරයක් රහසක් ව තියා ගෙන වෙනත් රංගනයක යෙදීම, ස්වභාවික වීමට වඩා අසීරු ය. මම හැකි තාක් ඉස්සරහා ට නොයා කුස්සියට වී අම්මා ට උයන්නට උදව් කළෙමි.

“තමුසෙ වෙනදට කුස්සියට එන්නෑනෙ”

නංගී මට රහසින් අභියෝග කළා ය.

“හරි ඉතිං…අද ආවම මොකද…”

“බය වෙලා මොකද ඔච්චර…”

“මං කාට බය වෙන්නද…විකාර..”

“අදනං මොනාහරි වෙලා වගේ”

“අනේ මේ ඉන්නව”

නංගි ගේ සිනහව පුපුරා හැරිණ. අම්මා අප දෙස බලා රැව්වේ මුණිවර ලා ඉන්නා වෙලාවේ ඒ විදිහට හැසිරීම අශෝභන යයි හඟවන්නට වාගේ ය.

ඒ තරම් උනන්දුවෙන් මා අපේ ගෙදර කෑම මේසය සූදානම් කළ දිනක් ඊට පෙර උදා වී තිබුණේ නැත. මුණිවර කෑම මේසයට එන විට උළුවස්සට හේත්තු වී බලා සිටියේ රාජ කුමාරයෙකු දෙස බලා සිටිනවා වන් ගෞරවයක් හා අභිමානයක් දරා ගෙන ය. ඒ විදිහේ ආදර බරක් හද දරා හිඳීම ගෑනු ළමයෙකු ට මොන වාගේ සංවේදනාවක් ද කියා වටහා ගත හැක්කේ ඒ තත්වයට පත් වූ කෙකෙකුට පමණක් කියා සිතමි.

අපේ ගුරු නිවසේ කෑම මේසයෙහි හිඳ කෑම කන්නට ගත්තේ වෙනදා මා දැක ඇති මුණිවර නොවේ. මේ වෙනත් මුණිවර කෙනෙකි. අලුත් මුණිවර කෙනෙකි.  ඔහු හිටියේ ලොකු කල්පනාවක කියා මම සිතමි. අප්පච්චි, අම්මා හා මල්ලී සමගින් ඔහු කතා කළේ ය. නංගී කරනා විහිළුවකට ද සිනහ වූයේ ය. නමුත් ඔහු ගේ සිත්හි වෙනත් යමක් විය. එය මට පමණක් දැනුණා වූ දෙයක් කියා සිතමි.

“මං සර්ට කියන්නද..”

කෑම කා ඔවුන් බරාඳයට ගොස් සිටියදී, මා අතුරුපසක් ගෙන එහි ගිය වෙලාවේ ඔහු මගේ දෑසට එබී ගෙන ඇසුවේ ය. දෙවියනි මා බිය වූ තරමක්!

“අනේ එපා එපා”

අර ලස්සන සිනහව ඔහු ගේ මුහුණේ පිපුණේ ය. දැන් ඉතින් ජීවිත කාලයක් මට ඒබසිනහව තුළ වසඟ වෙමින් සිටිත හැක.

“මට විතරයිද කොහෙද පාට් දාන්නෙ”

එය වූ කලී සිහිනයකි. තනිකර ම සිහ්නයකි. ඔවුන් නික්ම යන තුරුත් නික්ම ගිය පසුත් මම ඒ සිහිනය තුළ සැරුවෙමි. 

 ගෑනු ළමයෙකු ගේ හදවත තුළට පිරිමියෙකු විත් ප්‍රේමයෙන් කඳවුරු බැඳ ගැනීම කියන්නේ ඇය සැහැල්ලුව ද බර ද එක වර හදින් දරනා මොහොතකි. සතුට ද දෙගිඩියාව ද එක වර අත් විඳිනා මොහොතකි. ආලෝකය ද අඳුර ද දෑස් නිලංකාර කරනා වෙලාවකි. සොබා දහමේ ඒ සියල් චමත්කාරයන් හා පරීක්ෂාවන් තුළ ගිලෙමින් ද නැහැවෙමින් ද මම ප්‍රේමයේ හතර මායිම සක්මන් කරන්නට වීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content