මුතුබෙලි හදවත – 16

“ආදිත්‍යා එයාගෙ ළමය සනීප කර ගන්න ඩොක්ටර්ස්ල කියන විදිහට වැඩ කරන්න වෙනවනෙ. ඒකට සහයෝගය දක්වන එක අනිත් අයගෙ වැඩක්. විකුම් ට වගකීමක් තියනව ආදිත්‍යා ට අවශ්‍ය පහසුකම් සලස්සන්න”

සේනක ගේ සත්ව කරුණාව ට හේතුව කුමක් ද කියන එක ආදිත්‍යා නො දන්නවා නොවේ. ඇගේ කට කොනක් සමච්චල් සිනහවකට ඇද වූයේ ඒක ය. සසඳසීලී ඒ බව හොඳින් දුටුවා ය. පපුව සීතලෙන් ගල් වී යනවා ඇය ට දැනිණ.

“හැබැයි ආදිත්‍යා ඔය විදිහට ටැක්සි වලිං එහෙ මෙහෙ යන එකටනං මං විරුද්දයි. එතකොට අපේ තත්වෙට මොකද වෙන්නෙ…”

නැවතත් ආදිත්‍යා ගේ සමච්චල් සිනහව!

“විකුම් මේ ළමය ගැන ඔයිට වඩා හිතන්න. විකුම්ට ආදිත්‍යාව ඔය ගමං බිමං එක්ක යන්න බැරිනං මට කතා කරන්නකො ආදිත්‍යා. මං එක්කගෙන යන්නං. පව්නෙ විකුම් මේ ළමය”

“ආදිත්‍යා ටැක්සි වල ගියාම මොකද…මාත් ගොඩක් වෙලාවට කැබ් එකක් දාගෙනනෙ ඔය ගමං බිමං යන්නෙ. අමාත්‍යාංශෙ වාහන ගෙදර පුද්ගලික ගමං වලට පාවිච්චි කරනවට වඩා ඒක බොහොම ගෞරවනීයයි”

සඳසීලී මැද්දෙන් පැන කීවා ය.

“මාත් හිතන්නෙ අම්ම හිතන විදිහටමයි. අපේ පුද්ගලික ගමං වලට රජයේ වාහන පාවිච්චි කරන්න අයිතියක් නෑනෙ. එහෙම කරන මිනිස්සු නිසා තමයි මේ රට මෙහෙම තත්වෙකට පත් වෙලා තියෙන්නෙ”

ආදිත්‍යා නැන්දම්මා ගේ කතාව ඉත සිතින් අනුමත කළා ය. සේනක තරමක් නො සන්සුන් විය.

“ආහා…එහෙනං නැන්දම්මයි ලේලියි එකතු වෙලා අලුත් පක්ෂයක් එහෙම හදා ගෙන රට හදන්න ලෑස්ති වෙමුකො”

“මට ඕන වෙලාවට මගෙ ගමං කැබ් එකක් දාං යන එක මට ලේසියි විකුම්. ඔයාට මාව එක්ක යන්නත් බැරිනං..කැබ් වල යන එකත් ලැජ්ජාවක් හරි වෙන මුකුත් ප්‍රශ්නයක් හරි වෙලානං…මට කා එකක් අරං දෙන්නකො. එහෙනං මං උඩට යන්නං”

තාත්තා ත් පුතාත් දෙදෙනා ම හිටියේ උස්සා පොළොවේ ගැසුවා සේ ය. සඳසීලී හිත යටින් සිනහ වූවා ය. ඇයට සිය තරුණ වියෙහි දී නොවූ මානසික ශක්තියක් ලේලියට වීම පිළිබඳව ඕ තොමෝ හදවතින් ම සතුටු වූවා ය.

මුළු රාත්‍රිය පුරා ම දුමාල් ට අම්මා සිහි වූයේ ය. මින්දුල සිය උකුල මතට ආ වෙලාවේ ආදිත්‍යා ගේ මූණේ ප්‍රකට වූ සතුට දුටු වෙලාවේ සිට ම ඔහු ට වරින් වර අම්මා ගැන මතකයන් අලුත් වූවා කීවොත් නිවැරදි ය. අම්මා බැලීමේ ලොකු ආශාවක් රාත්‍රියේ පටන් ම ඔහු පෙළන්නට වූයෙන්, බැංකුවට යාමට පෙර එහි යන්නට සිතා හෙතෙම පාන්දරින් ම ගෙදරින් පිටත් විය.

“ඇයි පුතා…”

ඒ තරම් උදයෙන් දුමාල් ව දුටු ගීතා තරමක් කලබල වූවා ය. නමුත් දුමාල් ගේ මුහුණේ ඇඳුණු සිනහව, ඇගේ බිය තරමක් තුනී කරවන ලදී.

“නිකං. මට අම්ම මතක් වුණා. ඉතිං බලල යන්න ආව”

ඔහු ඒ සිනහවෙන් ම කීවේ ය. ගීතා මහත් ලෝභී හැඟීමකින් දුමාල් දෙස බලා සිටියා ය. ඇය ට ඕනා වූයේ ඔහු ව පිරිමැද බලන්නට ය. පුංචි කාලේ නාවර පෙරා ගෙන උන් අසරණයා මේ තරම් හැඩකාර මහත්තයෙකු සේ දකිත්දී තවමත් ඇගේ ළය පැළෙන්නට එයි. දුමාල් ගේ කමිසය පොඩි වේවියි බිය ගත් නිසා ඈ ඔහු ගේ ඇඟට අතකුදු තබන්නට ගියේ නැත. හිස පිරිමදින්නට දැන් ඔහු උසින් වැඩි ය. සිය කුසයේ තියා හිඳ බිහි කළ දරුවා ගේ උත්තුංග දේහය දෙස අම්මා බලා සිටියේ කිසි දා ඇයට ම පැහැදිලි කර ගත නො හැකි සිතිවිලි සමුදායකිනි.

“බත් ටිකක් කවන්නද..”

ඉඳ හිට මෙහි ඇවිත් ගියා ට දුමාල් බත් කටක් වුව කන්නේ නැත. ඕනෑ ම වෙලාවක කන්නට කීවොත් ආවේ කාපු ගමන් යයි කියයි. ඔහු එහෙම කරන්නේ ගීතා හා මුදලාලි අතර ජීවිතය ට ඔහු අංශුවකිනුදු බලපෑමක් නො විය යුතු නිසා යයි සිතන නිසාවෙනි. නමුත් අද අම්මා ඇසුවේ බත් ටිකක් කවන්නද කියා නිසාවෙන්, ප්‍රතික්ෂේප කරන්නට ඔහු ට සිතුණේ නැත.

“පරක්කු වෙන්නැතුව යන්න ඕනෙ අම්මෙ. කමක් නෑ එහෙනං ටිකක් කවන්නකො”

අම්මා ගේ අතින් බත් කවා ගත් උසස් පෙළ සමයට වන තුරු විවිධ අවස්ථා දුමාල් ගේ සිතේ රූපරාමු මවන්නට විය.

කළු කලිසමකට ලා දම් පැහැති අත් දිග කමිසයක් හැඳ, තද දම් පාට යෙි පටියක් පැළඳි පුතු ගේ මහේශාක්‍ය පෙනුම ඇස් වලින් උරා ගනිමින් ගීතා දුමාල් ට බත් කවන්නට වූවා ය. අම්මා ගේ ඇස් වල වන ප්‍රීතියේ දීප්තිය, ඊයේ ආදිත්‍යා ගේ ඇස් වල ද වූ බව දුමාල් ට මතක ය. මේ බත් කටක වන රසය, කටුක අතීතයකට අයත් මතක සුවඳක් ව දුමාල් වට කොට ගෙන තිබිණ.

“පුතා”

ගීතා කතා කළේ ඉතාමත් ම හෙමිහිට, ඉතා මෘදු හඬකින් වී ද දුමාල් එහඬින් මඳක් ගැස්සී ගියා සේ ය.

“පුතාට තනියම හැමදාම ඔයා ගැන බලා ගන්න බෑ”

දුමාල් මඳහසක් නගා ගත්තේ ය. ඊළඟට අම්මා කියන්න ට යන කාරණය දැන් ඔහු ට කට පාඩම් ය.

“පුතා මෙහෙ ඇවිත් නවතින්න. ඒකට මුදලාලිගෙ කිසිම අකමැත්තක් නෑ”

නමුත් අම්මා ගේ ඒ යෝජනාව ට ඔහු කොහෙත් ම එකඟ නො වෙන බව දුමාල් දනී. ඒ මුදලාලි ගැන අහිතකින් නම් නොවේ. ඔහු අම්මා ගැන උනන්දු බව දැන ගත් මුල් ම දින වල දුමාල් ගේ හිතේ කෝපයක් ඇති වූ බව ඇත්ත ය. ඔහු ට සිටිනා එක ම නෑදෑයා වන අම්මා ව තවත් පුරුෂයෙකු සමගින් බෙදා හදා ගන්නට ඒ වෙලාවේ සිතා ගන්නට හෝ හැකි තත්වයක නොවේ ඔහු සිටියේ. නමුත් දුමාල් මඳින් මඳ තත්වයට අනුගත වූයේ ය. අම්මා ට වුව ඔහු ට මත්තෙන් වන ජීවිතයක් තිබිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඒ වුණත් ඔවුන් දෙදෙනා ගේ ජීවිත අතරට ඇවිත් අවුලක් ඇති කරවන්නට ඔහු ට ඕන වුණේ නැත.

“පුතා දැං ගෑනු ළමයෙක් ගැන හිතල බලන්න”

ගිලිමින් සිටි පත් පිඬ දුමාල් ගේ පිටි උගුරේ ගියේ ය. අකමැත්තෙන් වුව ඔහු ගේ ඉරකුදු නො හිටින්නට බැදි කමිසයඉමතින් පිටට තට්ටු කරන්නට ගීතා ට සිදු විය. ඊළඟට ඕ ඔහු ගේ මුවට වතුර වීදුරුව ලං කළේ ය. 

දුමාල් ගේ නාස් පුඬු දැවිල්ල ගත්තේ හිස් මොලයේ ගියාට ම නොවේ. අසීරු ජීවිතයක් ගත කළ, ඒ වුණත් ලස්සන ම මතකයන් රැඳි ඒ කාලයේ, උදේ ට තේ කහට කෝප්පය පවා අම්මා සිය මුවට ලං කොට පෙවූ හැටි දුමාල් ට සිහි විය. ඔහු ට තනියම කර ගත හැකි දෙයක් වුව ඈ ගෙදර සිටිනා වෙලාවක නම් කළේ ඈ ය.

“දැං ඔයා කසාදයක් කර ගන්න වයස හරි. පුතාට හොඳ රස්සාවකුත් තියනවනෙ. ඔය බැංකුවෙ නෝනා කෙනෙක්ටවත් තාම පුතාගෙ හිත ගිහිං නැද්ද…”

දුමාල් ගේ හිතේ විදුලියක් කෙටුවේ ය. ඒ විදුලිය තුනී වෙත්දී හිතේ වූයේ ආදිත්‍යා ගේ රුව ය. 

“මොන කසාදද අම්මෙ”

ඔහු එය විහිළුවකට ගන්නා උත්සාහයකින් මෙන් කීවේ ය. ගීතා ආදර බර නෝක්කාඩු බැල්මක් හෙළුවා ය.

“මොන කසාදද කියන්නෙ…ඇයි දෙයියනේ…රාජ කුමාරියක් කසාද බඳින්න බැරියැයි මගෙ පුතාට”

දුමාල් ගේ හදවතේ කර්ණිකා කෝෂිකා අතරේ ආගන්තුක පීඩනයක් තෙරපෙන්නට ගති. රාජ කුමාරියක්! ඇල අයිනේ අටවා ගත් ඉටි කොළ මඩුවක ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළ පුතා ට රාජ කුමාරියක් සරණ කොට දෙන්නට අම්මා සිහින දකී.

“ඇති අම්මෙ”

දුමාල් බත් කවා ගැනීම නතර කළේ තව කන්නට බැරි කමට ම නොවේ. ඉක්මනින් නික්ම යන උවමනාවක් ඔහු ට දැනිණ. පුතා සිය දෙපා නමදිත්දී ගීතා සිතින් පැතුවේ ඔහු ට රුවෙන් ගුණෙන් පිරි කුමරියක් හමු වන්නට කියා ය.

රිය පණ ගන්වා ගත් ගමන් දුමාල් හෑන්ඩ්ස් ෆ්‍රී ගසා ගෙන ආදිත්‍යා ට ඇමතුමක් ගත්තේ ය. ඈ විකුම් ගේ ප්‍රශ්න වලට පිළිතුරු දී කාමරයට එමින් සිටියේ ඒ වෙලාවේ ය.

“ගුඩ් මෝනිං”

ඇය සතුටෙන් සුබ පැතුවා ය. මුළු දවස ම ඒ සුබ පැතුමෙන් පිරී ගියා සේ ඔහු ට දැනිණ.

“මුකුත් අවුලක් නෑ නේ…”

ආදිත්‍යා කෝපි මල් සිනහවක් පෑවා ය. හැබැහින් නො පෙනුනත් ඒ මුව මඳහස මවා ගන්නට බැරි කමක් දුමාල් ට වූයේ නැත.

“නෑ”

“ඒ නෑ කියපු විදිහෙන්නං තේරෙන්නෙ අවුලක් තමයි කියලයි”

“එහෙමට දෙයක් නෑ ඉතිං. ඔයා දැං ඕව හිතන්නෙ නැතුව වැඩට යන්නකො”

“හවස පාක් එකට එනවද….”

“බලමු”

“බලමු කියන්නෙ හා කියන එකටනෙ”

“බලමු කියන්නෙ බෑ කියන එකට වෙන්නත් පුළුවන්නෙ”

ඇය තරමක් හඬ නගා සිනහ වූවා ය. හිනා වෙන්නට අමතක වී හිඳිනා හිතකට, මේ වගේ පුංචි දෙයක් වුව ඒ සඳහා සෑහෙන්නේ ය. 

දුමාල් පැටලෙමින් සිටින්නේ ව්‍යසනයකට නො විය හැකි දැයි දවසේ ම ආදිත්‍යා සිතුවා ය. ඔහු වන් තුරුණුවෙකු ඈ වන් විවාහක ගැහැනියක නිතර දෙවේලේ හමු වීම යහපතකට හේතු වන්නට විදිහක් නැත. නමුත් දුමාල් ලං වී හිඳින්නේ මින්දුල වෙතට ය. ඒ විදිහට හෝ මින්දුලට සමීප වන හා ආදරය කරනා කෙනෙකුන් ඈත් කරන්නේ කෙසේ දැයි ඇය ලෝභ සිතින් සිතුවා ය. අනිත් අතට දැන් පුතනුවන් මේ ආගන්තුක යෞවනයා කෙරේ යහපත් ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන තිබේ. ගහෙන් ගෙඩි එන්නා සේ දුමාල් ගෙන් ඈත් වුව හොත් එය ඔහු ට තවත් නරක අතට බලපාන්නට පුළුවන.

ආදිත්‍යා විකුම් ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේ ඔහු සිටියේ ශිරෝෂි සමගින් සමුද්‍රාසන්න හෝටලයකට අයත් වෙරළේ ය.

“ඇයි…”

ඔහු ගේ ප්‍රශ්න කිරීමේ කිසිදු තෙතමනයක් වූයේ නැත.

“විකුම් පුතා ගෙ තත්වෙ ටික ටික හොඳ අතට හැරෙනව වගෙයි විකුම්. එයා දැං චූටි චූටි රිඇක්ෂන්ස් පෙන්නනව. මට හිතෙන්නෙ තව වැඩි කල් යන්නෙ නැතුව එයා වචන කීපයක් එකතු කරල කතා කරන්න ට්‍රයි කරයි”

“හයියෝ”

ඔහු වෙරළේ යහනක හාන්සි වී ගත් වන හිසෙහි අත ගසා ගත්තේ ය. ශිරෝෂි ඔහු දෙස අඩැසින් බැලුවා ය.

ඔහු ගේ ඒ අකුරු තුනේ වචනයෙහි වූයේ ආදිත්‍යා ගේ සතුට කුඩු පට්ටම් කර දමනා තරමේ සැහැසි බවකි.

“දැං ඕක කියන්නද මේ කෝල් කළේ…වාතයක් වෙන්න එපා ආදිත්‍යා”

පපුවට පිහියෙන් ඇන්නා සේ ආදිත්‍යා ට රිදිණි. එසේ ම මහත් ලැජ්ජාවක් ඈ යට කර ගත්තේ ය. ඕ වහා ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. 

“ඇයි..”

ශිරෝෂි අඩවන් සරාගී බැල්මෙන් විකුම් විමසුවා ය.

“පිස්සු ඒ ගෑනිට”

ඔහු කීවේ එපමණකි. ශිරෝෂි හාරා අවුස්සා යමක් විමසුවේත් නැත. එසේ කළේ වී නම් විකුම් අනවශ්‍ය තරම් කෝප ගන්නා බව ඇය අත්දැකීමෙන් දනී. අනිත් අතට විකුම් ට දැන් සිය බිරිඳ ආදිත්‍යා එපා වී සිටින බව හොඳට ම ප්‍රත්‍යක්ෂ කර ගන්නට ද ශිරෝෂි ට ඒ දුරකතන සංවාදය ප්‍රමාණවත් විය.

ආදිත්‍යා ගේ හිත නො රිදුණා නොවේ. ඇය ට ඕනෑ වූයේ වහා ම ඒ රිදුමෙන් අත් මිදෙන්නට ය. නො රිදීම් වෙනුවෙන් සිත් හි පවත්නා විභවයන් උර ගා බලන්නට ය. 

“අපි දැං පාක් එකට යනව”

යනුවෙන් ඕ දුමාල් ට කෙටි පණිවුඩයක් යැව්වා ය. සූදානම් වී පහළට බහිත්දී සඳසීලී පෙර මග වූවා ය.

“අපි පාක් එකට යනව. අම්මත් එනවද…”

“අනේ ආදිත්‍යා තව ටිකකිං යූ ටියුබ් චැනල් එකකිං එනව කිව්ව සෝශල් සර්විස් ගැන මගෙ ඉන්ටවීව් එකක් කරන්න. ඔයා දැං පුතා එක්ක යන්නකො. මං එන්නං වෙන දවසක..ම්..”

ආදිත්‍යා සිනහවකින් හිස සලා නැන්දම්මා සමගින් ම ගේට්ටුව වෙත ආවා ය. ඇනවුම් කළ කැබ් රිය විත් නැවතිණ. ආදිත්‍යා ඊට ගොඩ වූ පසු සඳසීලී මින්දුල ට අත වැනුවා ය.

ආදිත්‍යා ප්‍රහර්ශයට පත් කරමින්, ඈ යන විටත් දුමාල් උද්‍යානය අසලට පැමිණ සිටියේ ය. රිය ට හේත්තු වී සිටි ඔහු වඩාත් කඩවසම් ජේත්තුකාරයෙකු සේ ඇය ට පෙනුණේ ය. කෙසේ වෙතත් ඈ සිය හිතට දැනුණ තරම් සතුටක් ඔහු ට පෙන්වන්නට ගියේ නැත. විකුම් සමගින් වන අර්බුධකාරී යුග දිවිය නිසාවෙන් ඈ ඔහු ට ලං වෙන්නට හදන බවක් දුමාල් සිතනවාට ආදිත්‍යා කිසි සේත් කැමති වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles