මල්වර මල් සර – 34

ප්‍රියන්ති හා නාලිනී මුලින් ම උනුන් හමු වූයේ ධර්මාශෝකයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ දිනෙක ය. ඒ මීට වසර ගණනාවකට කලින් දුලනිකා හා අයානා එක ම පන්තියට ඇතුළත් වෙත්දී ය. අයානා ඉපදී තිබුණේ දුලනිකා උපන් වසරට පසු වසරේ ය. නමුත් ඒ ජනවාරි මාසයේ වන නිසා වසරකට කලින් පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අයානා ට ලැබිණ. 

නාලිනී පාසලට පුරුදු කාරියක වූවා ය. ඒ ඇගේ පුත් දහම් ඊටත් දෙවසරකට පමණ පෙර සිට පාසල් එමින් සිටි නිසා ය. ඒ නිසා ම විෂය නිර්දේශයට අනුව කටයුතු සිද්ධ වෙන අකාරය ඇය දැන සිටියා ය. දරුවෙකු ගේ අම්මා කෙනෙකු ඇගෙන් යමක් විමසා උපදෙසක් ගත්තේ “අයානාගෙ අම්මගෙන් අහගන්නකො පොඩ්ඩක්” කියා පන්ති භාර ගුරුතුමිය ද පැවසූ නිසා ය. 

ප්‍රියන්ති හා නාලිනී ඇසුරට වැටුණේ ඒ සුළු කතා බහ ඔස්සේ ය. නමුත් අනිත් අම්මලා අතරේ ඔවුන් ගේ හිතවත්කම විශේෂයෙන් කැපී පෙනුණේ ඔවුන් වෙනම ම යුගලයක් වූ හින්දා ය. එකට පියාඹන්නේත් රංචු ගැහෙන්නේත් එක වාගේ කුරුල්ලන් යයි කතාවක් තිබේ!

උදේට දරුවන් පාසලට දමා ඔවුහු ගේට්ටුව ඉදිරියට වී පොඩි කතා බහකට වැටෙන්නට පුරුදු වූහ. කලින් ආ කෙනා අනිත් කෙනා එන තුරු මඳක් පමා වෙන්නට පුරුදු වූහ. පාසල නිමා වෙන්නට ටික වෙලාවකට පෙර ඇවිත් අනිත් මව්වරුන්ගෙන් තරමක් වෙන් වී දෙදෙනා ගේ මිතුරු සමාගමයක් පවත්වා ගෙන යන්නට පුරුදු වූහ. ටික කාලයක් ගත වන විට දෙන්නා සමීප ම මිතුරියන් දෙදෙනෙකු වී සිටියහ.

ප්‍රියන්ති වසර තුනක් ම පාසල් පැමිණියේ දුල්නෙත් ව ද කැටිව ය. පාසල ළඟදී නාලිනී ඔහු ව වඩා ගෙන සිටියා ය. ප්‍රියන්ති ගේ නෑසියන් ඇය හා අමනාපයෙන් උන් නිසා ළමයින්ගේ අසනීපයකදී පවා ඇය උදව්වක් ඉල්ලුවේ නාලිනී ගෙනි. උපදෙසක් ගත්තේ ඇයගෙනි. ඉඳහිට මුදල් අතමාරුවක් වුව කර ගත්තේ ඇයත් එක්ක ය.

ඔවුන් දෙදෙනා ට තිබුණේ එක ම විදිහේ රුචි අරුචිකම් ය. එක මට්ටමේ බලාපොරොත්තු ය. අරමුණු ය. දෙදෙනාට ම තිබුණේ බාගෙට හදා ගෙන යන නිවෙස් ය. දෙදෙනා ගේ ම ස්වාමි පුරුෂයන් ට හැකි උපරිම දායකත්වයක් දෙමින් සිය ජීවිත ඉහළ තලයකට ගෙන ඒම ඔවුන් ගේ බලාපොරොත්තුව විය. ඔවුන් ඒ සඳහා වීර්යය දැරුවෝ ය. එසේ ම පාසල ළඟ උන් බහුතරයක් අම්මලා ට වඩා ඔවුහු සරල වූහ. සිය ශක්ති ප්‍රමාණයෙන් දරුවන් ට ඉගැන්වීම ඔවුන් ගේ ඒකායන අරමුණ විය.

දෙන්නා ම වැවිලි වලට ආශා කළහ. කතුරුමුරංගා පැළයක්, හොඳ වර්ගයක කෙසෙල් මොටයක් ආදිය ලැබුණොත් කෙනෙක් අනෙකාට ද ගෙනත් දුන්හ. දාස්පෙතියා, බුනීල හෝ සීනියාස් මල් ඇට ටිකක් හෝ කොච්චි කරල් ටිකක් ලැබුණොත් දෙදෙනා අතරේ හුවමාරු කර ගත්හ. වත්තෙන් වැඩිපුර නිවිති ටිකක්, කතුරුමුරංගා කොළ ටිකක්, ගස්ලබු ගෙඩියක් හෝ කෙසෙල් මලක් කැපුවොත් ඉන් ඇවරියක් අනිවාර්යයෙන් ම අනෙකා වෙනුවෙන් පාසල ළඟට ගියේ ය. පොළොසක්, අඹ මාළුවක්, කිරිකොසක් පිසුනොත් අනෙකා ට නොදී එය කැවුණේ ම නැත. ඒ හිතවත්කම සහෝදරකමක් වාගේ දුර දිග ගියේ එසේ ය. 

සමහර දවසක ඔවුන් දෙදෙනා එක්ව මහරගම පොළට ගියහ. එතකොට දුල්නෙත් ව වඩා ගෙන ගියේ නාලිනී ය.

“අනේ මටත් හිතෙනව තව එකෙක් හදා ගත්තනං හොඳයි කියල අප්ප…මේ කුක්කු ඩෝලෙ දකිනකොට”

නොයෙක් වර එහෙම කියමින් ඕ දුල්නෙත් ව සිප ගත්තා ය. 

“ළමයිනං ඉතිං කොච්චර හිටියත් වැඩි වෙන්නෑ”

“ඒක ඇත්ත. ඒත් ඉතිං ළමයි හදා ගන්න ඕනෙ උංගෙ දේවල් හොඳට කරන්න පුළුවන්නං විතරයි. එක්කෙනෙක් හරි කමක්නෑ අනේ එයාගෙ වැඩ ටික උපරිම හොඳට කළානං ඇති කියල හිතෙනව මට. දුක් විඳින්නනං ළමයි හදන්න ඕන නෑ”

“ඒක ඇත්ත. අපි ගෙවල් දොරවල් හදාගෙන ළමයින්ටත් උගන්නගෙන ජීවිතේ තනිකරම අලුතෙන් පටන් ගන්න ඕන පරම්පරාවක්නෙ…දෙමව්පියන්ගෙ බූදලෙන් ලැබිච්ච දේකුත් අපිට නෑ. ආවට ගියාට ළමයි හදන්න ඕනකමකුත් අපිට නෑ”

“අපේ දෙමව්පියන්ගෙ පරම්පරාව වගේ නෙවෙයිනෙ…අපි හරියට හිතනවනෙ…”

විටෙක ඔවුන් අතරේ ඒ වාගේ කතා බහ පවා සිදු විය. දෙන්නා ගේ ගෙවල් තිබුණේ පාසල දෙපස ය. ප්‍රියන්ති පන්නිපිටිය පැත්තටත් නාලිනී විජේරාම පැත්තටත් යා යුතු විය. ඒ නිසාම දෝ ඔවුන් උනුන් ගේ ගෙවල් වලට ගොස් ඇත්තේ දෙතුන් වතාවක් පමණ ය. 

“මට චූටි කෙල්ලෙක් හිටියනං දවසක මං මේ කුක්කු ඩෝලෙ මගෙ බෑණා කර ගන්නව”

දුල්නෙත් ගේ හුරතල් කතාවකට ආදරේ හිතුණ දා ක නාලිනී ඔහු තුරුලු කර ගෙන එහෙම කීවා ය. ප්‍රියන්ති හඬ නගා හිනැහුණා ය.

“කොහෙද ඉතිං…මට ඉන්නෙ අක්කා බබෙක්නෙ…”

ඒ දයාබර හිත මිතුරුකම් සජීවී ව පැවතුණේ වසර පහක කාලයක් පමණකි. දුලනිකා සේ ම අයානා ද ශිෂ්‍යත්වය සමත් වූ මුත් ඔවුන් ට ලැබුණේ බාලිකා පාසල් දෙකකි. ඒ නිසා දෙපැත්තකට විසිර යන්නට සිදු විය. අම්මලා දෙන්නා හොඳ ම මිතුරියන් වූවාට දූවරු දෙන්නා එසේ වූයේ ද නැත. අයානා ට සිය හොඳ ම මිතුරිය දුරාශා සමගින් ම එක පාසලක් ලැබීමට තරම් සමාන ලකුණු මට්ටමක් හිමි වී තිබිණ.

දුල්නෙත් වෙනුවෙන් තවත් වසර තුනක් ධර්මාශෝකය වෙත එන්නට ප්‍රියන්ති ට සිදු විය. නමුත් නාලිනී ගේ පාසල් ගමන නතර වූයේ දහම් සේ ම අයානා ද විජේරාම හන්දියෙන් ඔවුන් ගේ පාසල් බස් රථ වලට නගින්නට වූ නිසා ය. ඇය විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් බත් පාර්සල සකසා කඩ වලට දමන්නට ගත්තේ එසේ ඉතිරි වූ කාලයෙන් ප්‍රයෝජන ලබමිනි.

ඒ මුල් කාලයේ දෙදෙනා ගේ ම ගෙවල් වලට දුරකතන පහසුකම් ලබා ගෙන තිබුණේ නැත. සන්නිවේදන පහසුකම් දැන් වාගේ දියුණු නොවූයෙන් ඔවුන් ගේ ඇසුර කාලයත් එක්ක ඈත් වී ගියේ ය. නමුත් ඔවුන් ට ඔවුන් අමතක වූවා නොවේ. දුල්නෙත් ජපුරට තේරුණ වෙලාවේ, “ඔය හරියෙ ඉස්සර ඉස්කෝලෙ එක්කෙනෙක් හිටිය. මට දැං හරියටම තැන මතක නෑ” කියා ප්‍රියන්ති කීවා ය. පන්නිපිටිය යන නම ඇසෙනා ඕනෑ ම වෙලාවක ප්‍රියන්ති ගැන මතකය නාලිනී ගේ සිතේ ඇඳී මැකී ගියේ ය. නමුත් ආයේ ම ඔවුන් ගැන සොයා බලා ඇසුර අලුත් කර ගන්නට තරම් උනන්දුවක් දෙදෙනාට ම වූයේ නැත.

“හරි පුදුමයි ප්‍රියා…මටනං මේක හිතා ගන්නවත් බෑ”

නාලිනී ප්‍රියන්ති වැළඳ ගෙන හැඬුම් ස්වරයකින් කීවා ය. ප්‍රියන්ති ඒ වෙත්දීත් කඳුළු පෙරා ගෙන සිටියා ය. මේ දිගු ගමනේ දී දෛවයේ සෙල්ලම් බොහොමයකට ඔවුහු මුහුණ දී සිටියහ. ඒ නිසා දෛවය ගැන ඒ හැටි පුදුමයක් ඇත්තේ නැත. නමුත් මේ නම් අමුතු ම සෙල්ලමකි. 

“අපිට මීට කලින් අපි ගැන ටිකක් හොයල බලන්න තිබුණා නාලි”

ප්‍රියන්ති ඉකි බිඳුමක් යටින් කියා ගත්තා ය.

“හරි හරි. ඒ ගැන දුක් වෙන්න දෙයක් නෑ”

 ඒ කඳුළු වල බර තුනී කර දමනු වස් සේනක සුළඟක් ව මැද්දෙන් පැන්නේ ය.

“නියම වෙලාවෙදි නියම විදිහට දෛවය ආයෙ යාළුවො දෙන්නව මුණගස්සන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහල තියෙනව. නැද්ද රෝහණ…”

“නැතුව නැතුව…මේ විදිහට මුණ ගැහීමක් ප්ලෑන් කරන්න පුළුවන්ද දක්ෂ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්ටවත්…”

කඳුළු සිනහවකට හැරෙන්නට ඒ හැටි වෙලා ගියේ නැත. ඉන් පසු සිදු වූයේ ආ ගිය කතා ය. ඔවුන් මුණ නො ගැසී සිටි වසර ගණනාව තුළ දෙපාර්ශවයේ ම සිදු වූ වැදගත් සිදුවීම් සාරාංශ කොට උනුන් දැනුවත් කරන ලදී. කාලයේ වැලි තලා වලට යට වී තිබි පරණ මතක කැබලි ද වරින් වර මතු ව ආයෙන් ඒ ගැන විමසා දැන ගැනීම් සිදු විය. අයානා ගේ වයස කාටවත් ප්‍රශ්නයක් වූ බව පේන්නට හෝ තිබුණේ නැත.

“මූද හත් ගව්වක් තියා ගෙන අමුඩ ගහන්න එපා කියන්නෙ ඕක තමයි. හත් ගව්ව ගෙවල යනකොට මුහුද හිඳිල තියෙන්නත් පුළුවන්නෙ”

දුරාශා විහිළු කරමින් අයානා එක්ක කෑම මේසය පිළියෙල කළා ය. දුල්නෙත් හිටියේ හංගා ගත් සිනහවක් ඇතිව ය. රෝහණ සේනක සමගින් කෑමට පෙර බීමකට වැටී, රටේ දේශපාලන ආර්ථික කාරණා ගැන කතිකා කළහ. ප්‍රියන්ති නාලිකා එක්ක මල් පැළ අතරේ හුදෙකලා වූහ.

“අනේ නාලි ඔයා තාමත් මල් හිටෝනෝ නේද…මාත් එහෙමයි අනේ…ඔයා ඇන්තූරියන් හදනව නේද…ලේඩි ජේනුයි නෙදර්ලන්ඩ් බැංකොක් වර්ග සේරම වගෙයි මං ළඟ තියනව”

“මට වැඩිය ඇන්තූරියන් නෑ ප්‍රියා. රෝසයි ජර්බෙරාසුයි තමයි මං වැඩිය ගන්නෙ. ඇන්තූරියන් ගිනි ගණංනෙ අප්ප”

“ගණං කියන්නෙ…දුලනිකා මගෙ වියදමට කියල සල්ලි ටිකක් එවනවනෙ මාස්පතා…මං ඉතිං කරන්නෙ ඒවයිං වැඩිපුර ඇන්තූරියන් ගන්න එක තමයි”

“දුලා ඔස්ට්‍රේලියාවට ගිය එක හොඳයි. මේක ළමයි මේ රටේ ඉන්න හොඳ කාලයක් නෙවේ අප්ප”

“ඔයාට මතකද යුද්දෙ කාලෙ…අපි ළමයිව ඉස්කෝලෙ අරං ගියේ මොන බයකින්ද…යුද්දෙ ඉවර වුණත් සැනසීමෙං ඉන්න නෑනෙ මේ රටේ…”

“කියල වැඩක් නෑ. ඔයාල අපේ ගෙදර ආවහම හැම ජාතියකින් ම මං ඔයාට ඇන්තූරියන් පැළ දෙන්නං”

“අනේ හා. ඔයාට ඕන දෙයක් මෙහෙං අරං යන්න හොඳේ”

සමහර දේවල් සිදු වන්නේ හරි පුදුම විදිහට ය. අයානා ගේ සේ ම දුල්නෙත් ගේ ඇස් වල ද ආශිර්වාද ලත් මිනිසුන් ගේ දැකිය හැකි ශාන්ති දායක සිනහ රැල් වල කාන්තිය විය. 

“දැං මේ දුවට…හොඳට උයන්න එහෙම පුළුවන්ද…”

සේනක එසේ ඇසුවේ දවසක් ප්‍රියන්ති කී කතාවක් සිහි වීම මත කෑම මේසයේ දී ය. අයානා හා දුල්නෙත් උනුන් ගේ මුහුණු බලා ගත්හ. සේනක ගේ මුවගට සිනහවක් ආවේ ය.

“නෑ මං එහෙම ඇහුවෙ…කසාද බඳිනකොට ඉතිං ගෑනු ළමයෙක්ට රහට උයල මහත්තයට කන්න දෙන්න පුළුවන් කම තියෙන්න එපෑ..නැද්ද මං අහන්නෙ…”

“දැං ඉන්න කෙල්ලොන්ට උයන්න බැරි නිසා සේනක…දෑවැද්දට බෑණට නැන්දම්මවත් අරං යන්න දෙන්න තමයි වෙන්නෙ…රහට කෑම ටික උයාගන්න”

ඔවුහු හඬ නගා සිනහ සෙන්නට වූහ. ප්‍රියන්ති මූණ නරක් කර ගත්තා ය.

“අනේ…උයල කන්න දෙන්නනං අපිට බැරියෑ..නැද්ද නාලි…”

“අපිට තමයි ඉතිං ඒක කරන්න වෙන්නෙ”

“හැම දා..ම දෙන්න සතුටෙන් ඉන්නයි ඕනෙ”

ඒ හැන්දෑව සතුට ඉතිරූ එකකි. අයානා ගේ මුලින් සිදු වෙන්නට ගිය විවාහය ගැන අසා ප්‍රියන්ති කම්පිත වූවා ය.

“කොච්චර දෙයක්ද අයානාට එහෙම තීරණයක් ගන්න හයියක් තිබිච්ච එක…ඒ කාලෙ අපි වගේ වුණානං නාලි…මෝඩයො වගේ ඔහේ යයි ඒ මිනිහ එක්කම..”

“ඉරණමේ ලියවිලා තිබුණ දේ මේක වෙන්න ඇති”

ඔවුන් උනුන් වැළඳ සමු ගත්තේ ඉක්මනින් ම දුල්නෙත් ගේ ගෙදර දී යළි හමු වන්නට කතිකා කර ගෙන ය. ගෙදර ගිහින් කමිසයේ බොත්තම් ගලවන ගමන් කාමරයේ දී සේනක ප්‍රියන්ති දෙස බලා නො බලා, ඕනවට එපාවට මෙන් මෙසේ කීවේ ය.

“ඒ ළමය අපේ එකාට වඩා වැඩිමල් නෙ ප්‍රියා ඔය කියන විදිහට”

“මොන පිස්සුද අනේ…අවුරුදු දෙකක් මහ දෙයක්ද…කොහොමත් අයානා දුලනිකාට වඩා බාලයි. ඔහොම වයස පරතරයක් තියන අයද අනේ බැඳල ඉන්නෙ…ඊටත් වඩා අයානා දිහා බැලුවහම එහෙම හිතන්නවත් පුළුවන්ද…නාලි ඉස්සර ඉඳලම අපේ කොල්ලව ඉල්ල ඉල්ල හිටියෙ…මාත් අයානාගෙ ඇස් වලට මාර ආසයි ඒ කාලෙදිත්. මේ තමයි වෙන්න තියන හොඳම විදිහ”

සේනක කට කොනකින් සිනහ වූයේ ය. ප්‍රියන්ති ඒ නොදුටුවා සේ ඉවත බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles