සීත මාරුතේ – 58

0
5355
සීත මාරුතේ

ඒ වෙලාවේ පොද වැස්ස ද ශේෂ ව යමින් තිබිණ. මන්දාරම් බව නම් මුළුමනින් පරිසරය වෙලා ගෙන තිබිණ. මම සීතලට අත් පොරවා ගෙන සිටියෙමි. ලොකු තාත්තා සිය ජැකට් එකේ සාක්කු වල අත් දෙක ඔබා ගත්තේ ය. වැස්ස නැවතුණත් සීතල කටු තුඩු අනිමින් තිබේ. 

“මේක මේ වෙලාවෙ ඕනම නැති දෙයක් කියලයි මන්නං හිතන්නෙ. ඒක නිසා දුවට නො කියා ඉන්නව කියල හිතල හිතල…නො කියා හිටියත් ඒ හෝන්තුව මෙතනට කඩා ගෙන එයි කියල හිතුණ නිසයි මේ කියන්නෙ”

“මොකද්ද ලොකු තාත්තෙ වෙලා තියෙන්නෙ…”

මා තුළ කුතුහලයක් දැල්වෙන්නට විය. ලොකු තාත්තා එක අතක් මගේ කර වටා දමා මා සිය සිරුරට ලං කොට ගත්තේ ය.

“අපිට දැං මේ කරදර ඇති පුතේ. අපි ටිකක් සැනසීමෙන් ඉන්නයි ඕනෙ. නේද…කෙලේල ඇක්සිඩන්ට් වෙලා මතක ටිකක් නරති වෙලා ගියාට ඌ මැරිල ඉපදුණෙ නෑනෙ. කලින් ඌ දුවට කැමති වුණානං…දැන් කැමති වෙන්නෙත් දුවට. මොකද ඌගෙ කැමැත්ත ඒකනෙ”

“අනේ ලොකු තාත්තෙ ඔයා මාව බය කරනවනෙ…මොකද්ද දැං වෙලා තියෙන්නෙ…”

“අර හෝන්තුව දැන් ටිකක් වෙලා ඉඳං ගේට්ටුව ළඟ ඉන්නව. දුවව හම්බ වෙන්න ඕන කියල. මං හරෝල යවන්නයි බැලුවෙ. මේකි යන්නෙම නෑ. මං සිකුරිටිට කියලයි ආවෙ ඇතුළට එන්න දෙන්න එපා කියල”

“කවුද..”

“අර උඩැක්කිය”

“ධාරා…අනේ ලොකු තාත්තෙ…ඇයි එහෙම කළේ…එයා පිට කෙනෙක් නෙවේනෙ ගේට් එකෙං එළියෙ තියන්න”

“බුරුලක් දෙන්න එහෙම එපා. අපි මේ සතුටෙන් විනෝද වෙන්න හැදුව විතරයි. ඇවිත් මෙතන…ඒක කම්බස් කරන්න”

මම ඉක්මන් ගමනින් ද දුවමින් ද ගේට්ටුව වෙත ගියෙමි. ධාරා සිය ලෙදර් බෑගය තුරුලු කර ගෙන අහිංසක ලෙස සිනහ වූවා ය. මම ඇගේ අතකින් අල්ලා ගතිමි.

“අනේ..ඔයා මෙතන සීතලේ. දැනුයි මං දන්නෙ ඔයා මෙතන කියල”

“ඒකට කමන්නෑ. ඇත්තටම මං දන්නෑ මෙහෙම දෙයක්. ඔයාට කතා කරල යන්න ඕන නිසා මං ගුරුතලාවට ගියා. ගේ වහල. වොච්මන් කිව්ව ඔයාල එළියට ගියා කියල..මං කෝල්ස් ගත්තට ආන්සර් කළේ නෑ. පස්සෙ ක්වාටර්ස් වල ඉන්න ටීචර් කෙනෙක් කිව්ව කසුනිල මිස්ට් ෆීල්ඩ් පාටි එකකට ගියා කියල. ඒකයි මං මෙහෙට ආවෙ. අනේ සොරි මන්දි ඩිස්ටර්බ් වුණානං”

“මොනාද අනේ කියන්නෙ. මගෙ ෆෝන් එක බෑග් එකේ ඇත්තෙ. යමු ඇතුළට”

“බෑ මන්දි. අපි මෙහෙම ඉඳන් කතා කරමු. මාව දැක්කහම කට්ටියගෙම මූණු නරක් වෙයි. ලොකු තාත්තගෙං මං ඒක දැක්කනෙ”

ඇගේ වත මත දුක්බර මඳහසක් විය. ඈ ගැන අවංක දුකක් මට දැනිණ.

“මං ආවෙ ඔයාට ගුඩ්බායි කියන්න”

“ධාරාක්කි…”

“මං ආයෙ පැරිස් වලට යනව මන්දි. අයිම් සොරි. මං නිසා ඔයාගෙ හිත රිදෙන දේවල් වෙන්න ඇති. ඒත් හිතා මතා එහෙම කරන්න මට ඕන වුණෙ නෑ. ඇක්චුවලි…අභිශේක්ට මෙමරි ලොස් එකක් ආවට පස්සෙ…ඔයත් එයාගෙන් ඈත් වෙනව කියල දැනුණ නිසයි මං ආයෙ එයාට ක්ලෝස් වෙන්න බැලුවෙ. ඒත්…ෆුල් මෙමරි එක ම නැති වෙලා ගියත් එයා මට කැමති වෙන්නෑ කියල මං තේරුං ගත්තා. හොඳම දේ මං ආයෙ එහෙ යන එක”

“අනේ…”

සැබවින් ම වචන වලට නැගිය නො හැකි ශෝකයක් ඇතුළාන්තයේ එහෙ මෙහෙ වනු මට දැනුණේ ය. ළඟ සිටියදී කරදරයක් සේ දැනෙන කෙනෙකු වුව දුරස් ව යන බව දැනෙත්දී ඇති යන්නේ සන්තාපයකි..අප නො දැන වුව අපේ හදවත් ළඟින් හිඳින්නන් කෙරේ බැඳේ. ඒ බැඳීම් කෙතරම් අව්‍යාජ දැයි දැනෙන්නේ මෙහෙව් වෙන් ව යාමක දී ය. 

“අද රෑට ෆ්ලයිට් එක. මං ආයෙ අවුරුදු ගාණකටවත් ලංකාවට එන්න බලාපොරොත්තුවක් නෑ. මට ඔයාට කියල යන්න ඕන වුණේ…ඔයාගෙං අභීව උදුරගන්න මට ඕන වුණේ නෑ කියලයි. ඔයාල වෙන් වෙනවනං එයාට ලං වෙන්නයි මං හැදුවෙ”

“මං ඒක දන්නව. ඔයා ගැන මගෙ හිතේ කිසී තරහක්වත් මිස් අන්ඩස්ටෑන්ඩින් එකක්වත් නෑ”

“මිස් යූ මන්දි”

ඇය මා වැළඳ ගත්තා ය. මට ම පහදා ගත නො හැකි විදිහේ රිදුමකින් මම පීඩා විඳින්නට වීමි. අප දෙදෙනා ම කතා නැතිව විනාඩි කිහිපයක් උනුන් වැළඳ සිටින්නට ඇත.

“විශ් යූ ඕල් ද හැපිනස්. අභිශේක් ට ඉක්මනට පරණ මතකෙ එන්න කියල මං හාට්ලි විශ් කරනව. ඒ නැතත් එයා ඔයා ගැන එක්සයිටඩ්. දවසක ඔය දෙන්න එකතු වෙයි. වෙඩින් එකට මට එන්න බැරි වුණත්…ෆොටෝ එකක් හරි වට්සැප් කරන්න. මං ආසයි ඔයා ලස්සන චූටි මනමාලියක් වෙලා ඉන්නව දකින්න”

ඇස් වල ගිනියම් වූ කඳුළක් දිය ව තිබිණ. මට කතා කර ගත නො හැකි ලෙස උගුර හිර වී තිබුණේ ය. එතැනින් යමින් තිබි ත්‍රීරෝද රියකට අත දැමූ ධාරා එහි නැග ගත්තා ය. වංගුවේ දී ඇය හැරී මදෙස බලා අත වැනුවා ය. මම ද අත වැනුවෙමි. අප දෙදෙනා ම සිනහ වූයේ හඬන්නට බැරි කමට යයි මට දැනුණේ පසුව ය. 

කෙනෙකු සමග කරග කොට යමක් තනි ව හිමි කර ගත්තා කියා අපට සතුටක් විඳිය නො හැකි බව ඒ වෙලාවේ මම ඉතා හොඳින් පසක් කොට ගතිමි. සතුට තිබෙන්නේ අත් හැරීම තුළ ය. පරිත්‍යාග කිරීම තුළ ය. ඒ නිසා මේ මොහොතේ මට වැඩි සතුටක් ධාරා අත්විඳින බව යටි හිත පසක් කරමින් තිබිණ.

මා ආපසු අලස ගමනින් මිස්ට් ෆීල්ඩ් තුළට පැමිණෙන විට ලොකු තාත්තා අතර මගක නො සන්සුන් සක්මනෙහි සිටියේ ය. මා දුටු හෙතෙම කඩිනමින් ඉදිරියට පැමිණියේ ය.

“ගියාද…මං හිතුව දුවව රවට්ටගෙන ඔය උරචක්කර මාලෙ ඇතුලට එයි කියල. එහෙනං අපේ සතුට ඉවරයි”

මා යන්තම් සිනහ වෙන උත්සාහයක් ගත්තා පමණකි. යමක් කීවා නම් ඉන් ලොකු තාත්තා ගේ හිත රිදෙන්නට පුළුවන. සතුට යනු සාපේක්ෂ දෙයක් බවක්, කෙනෙකු සතුටට පත් වත්දී ඒ හේතුව මත ම තවකෙකු දුකට පත් විය හැකි බවත් කවුදෝ මන්දා මගේ කනට කොට කීවා සේ ය. ඒ හඬට කන් දෙමින් මම කල්පනාවේ නිමග්න ව පිය තැබුවෙමි. අදීශ් ගිටාරය වයමින් ගීයක් ඇරඹුවේ ය.

 “ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවූ තරම්..ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්..දැන දැන මා පෙම් කෙරූ තරම්..ඔබ නොදනී මුළු ලොව ම දනී…ඔබ නො දනී මුළු ලොව ම දනී..”

කසුනි මවෙතට ඇසක් ඉඟි මැරුවා ය. මම ගෑනු ළමයින් අතරේ හිඳ ගතිමි. පිරිස අත්පුඩි තලමින් තාල අල්ලන්නට ද අදීශ් සමග ගීතයේ වචන මුමුණන්නට ද වූහ.

“ජූජකයගෙ මූණෙ හැටි බලනවකො”

නංගි මගේ සවනට මිමිණුවා ය. 

“ඇයි මන්දි ඔයා මෙහෙම කොල්ලො දෙන්නෙක්වම පිස්සු වට්ටෝල දැන් මුකුත් නො දන්නව වගේ ඉන්නෙ…”

ඒ විදුනි ය. ඇගේ කතාවට කෙල්ලන් ගෙ මුවින් සිනහවක් පැන්නේ ය. ඔවුන්ට වහා මේ අවස්ථාව සිහි වී ඒ සිනහව ගිල ගන්නට ද වූහ.

“ඔය පිහි මන්න එහෙම හංගල තියන්න වෙයි. මුණිවර සිංට මේ වෙලාවෙ මොනා කරන්න හිතෙනවද කියන්න බෑනෙ”

“අදීශ් කොව්වට අතක් තිබ්බොත් ඉතිං මුණිටයි මටයි තමයි ගනුදෙනුව බේරගන්න වෙන්නෙ”

කසුනි ගේ ඒ කතාවට හැම කෙල්ලෙක් ම එක වර ‘ආ…’ කිවූහ. එහඬින් හැම නෙතක් ම අප වෙත හැරුණේ ය. ගෑනු ළමයි අත් වලින් මුව වසා ගත්හ.

“මේ මේ..එයා මගේ හරිද..”

නංගී විරෝධය ප්‍රකාශ කළා ය. මම ඇගේ මූණ දෙස බැලුවෙමි. ඇගේ සිත්හි අදීශ් නිසාවෙන් සසල වීමක් ඇති වී ද? නංගි ගේ වත රතු ව ගියේ ය.

“මේක මාර වැඩක්නෙ…අපි මෙහෙට ආවෙ ඒ දෙන්නට කලින්. ඇහැට කනට පේන හැම කොල්ලවම ඒ දෙන්නට විතරක් දීල පුළුවන්ද…”

අප්පච්චි හැරී අපේ කසු කුසුව දෙස බලනු දැනුණෙන් මම දෙතොල් මත දබරැඟිල්ල තබා ගෑනු ළමයින් නිහඬ කළෙමි. තැනක් නොතැනක් නැති සිනා කතා වලට අප්පච්චි කොහොමත් කැමති නැත. 

කඳුකර වැස්සේ සීතල හා ගිනි මැලයේ උණුහුම එක් ව එතැන වායු අංශු වල ඇති කොට තිබුණේ විශ්වයේ සුවදායක ම මිහිර ය. නමුත් මසිත් හි තනියක් තිබිණ. පාළුවක් තිබිණ. ඒ හුදෙකලාව කිසිවෙකු හට වටහා ගත හැකි සීමාවක පවත්නක් නොවේ නියා සිතමි. මගේ ජීවිතයේ ලස්සන ම දවස් ටික හදවත ඇතුළේ සීතලට ගුලිව ඉකි බිඳින සර මට ඇසේ. ඒ දවස් වල අයිතිකාරයාට ඒ ගැන අංශු මාත්‍රික මතකයක් ඇත්තේ නැත. එනයින් මා තනි වී ඇති තරමක් මා මිස වෙන කවුරුන්වත් දන්නේ නැත. 

“හැබැයි මොනා වුණත් අදීශ්ගෙත් ඇස් කැරකෙන්නෙ මන්දි වටේමයි”

විදුනි එහෙ මෙහෙ වූ අවස්ථාවක් බලා කසුනි රහසින් සේ කීවා ය. 

“පිස්සු…ද….”

මම ද රහසිගත දැඩි ස්වරයකින් පැවසීමි. නමුත් එය එසේ බව මගේ ගැහැනු හිත දැන සිටියේ ය. එනමුදු නො දැනුණා සේ නො දන්නවා සේ සිටින්නට මම හැම මොහොතක ම උත්සාහ කළෙමි. අදීශ් ගෙන් නොව මගෙන් ම වුව එවන් හැඟීමක් සංසරණය වන බව සඟවා තබා ගන්නට මට ඕනෑ වී තිබිණ. මා මුණිවර ට කෙතරම් පෙම් කළේ දැයි ඔහු දැන සිටියේ ය. ඔහු ට ඒ ගැන වාද විවාද වූයේ නැත. තර්ක විතර්ක වූයේ නැත. දැන් මුණිවර සිටින්නේ මා කෙරේ පෙමින් ආතුරව යයි ද ඔහු විශ්වාස කළේ ය. ඔහු ට ඒ ගැන නොයෙකුත් විහිළු තිබිණ. නමුත් ඒ විහිළු වලින් ඔහු කළේ සිය හදවත ඔහු ගෙන් ම සඟවා ගැනීමට තැත් කිරීම යයි මේ දින කිහිපයට මට දැනී තිබේ. 

මම අදීශ් ගේ සමාගමය ප්‍රිය කළෙමි. ඔහු මා කෙරේ දක්වන්නා වූ ළෙංගතුකම ඉත සිතින් පිළිගතිමි. මුණිවර ඔහු ගැන දක්වන්නා වූ ඊර්ෂ්‍යාකාර ප්‍රතිපත්තිය මට විනෝදයක් විය. මගේ හදවතට ඔහු සමීප ව දැනුණේ ය. නමුත් අප අතරේ යම් පරතරයක් හැම මොහොතක ම පවත්වා ගන්නට ද මම සැලකිලිමත් වීමි. ඒ පරතරය තරණය කළ හැකි පාලමක් තනන්නට ඔහු ද හිතා මතා ම පියවරක් නො තියා සිටියේ ය. අන්න ඒ පියවිය නො හැකි පරතරයට මම රිසි වීමි. ඒ පරතරය තරණය කොට මගේ හද වෙත සමීප විය හැකි වූ පිරිමියා ලෙස මුණිවර හදවත ඉහල මළුවක් අරා සිටියේ ය. මා හා අදීශ් අතරේ හැම මොහොතක ම එක ගඟක ඉවරු දෙකක ඉන්නා හැඟීම මට දැනුණේ ය.

රාත්‍රිය මෝරා වැඩෙමින් ද සීතල දැඩි වෙමින් ද පිරිමින් දෙදෙනෙකු ගේ ඇස් බැලුමෙන් මා මුවහ වෙමින් ද සිටි වෙලාවක, බාබකිව් උඳුණේ පිළිස්සුණු පුළුටක රස විඳිමින් අප වෙත පැමිණි තරුණයෝ දෙදෙන බීර සුවඳ ඉහිරවමින් අප අතරේ හිඳ ගත්හ.

“මේ ඉන්නෙ ගෑනු ළමයි තුන් දෙනෙක්ම…තනිකඩව ඉන්නැතුව උඹට පුළුවන්නෙ කැමති කෙනෙක්ව තෝර ගන්න”

මුණිවර කීවේ මා කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැති කතාවකි. අපි, ගෑනු ළමයින් උනුන් ගේ මුමුණු බලා ගන්නට ඇත.

“තුන් දෙනෙක් නෙවේ හතර දෙනෙක්”

එසේ කිව් අදීශ් හඬ නගා හිනැහුණේ ය. මුණිවර හිතා මතා ම සිය ලැයිස්තුවෙන් මා ඉවත් කොට ඉතිරි ගෑනු ළමයින් තිදෙනා ව අදීශ් වෙත ඉදිරිපත් කරන්නට සිතුවේ ද?

“දසුන්…දසුන් අයියෙ වරෙං මෙහෙට”

ඒ සමග ම අදීශ් වෙනතක අවධානය යොමු කළේ ද තත්පර කිහිපයක් තුළ මුණිවර පෙන්වූ නිශ්ශබ්දතාවය නිසා යයි සිතමි. මම මුණිවර දෙස හොඳින් බැලුවෙමි. ඔහු හිතා මතා මඳහදක් මුව මත තවරා ගෙන සිටියේ ය. නමුත් මගේ ගැහැනු හිතට දැනුණේ අනියත ගැස්මකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here