සුහදිනි -70

සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ.

“ගැළපෙන ලෝකයක් ලැබුණම ඕනෑ කෙනෙක් සතුටින් ඉන්නව.”

අහස් එසේ පැවසුවේ නිහඬ ප්‍රීතියකින් බව සකී වටහා ගත්තා ය.ඔහු අත් හැරී ගිය දෑතක් සුරක්ෂිත තැනක රැඳවී ඇති නිසා සතුටු විය හැකි තරමේ විසල් හදවතක් දරන්නෙකි.

“මම සාරණ්‍යා හිතපු විදියෙ කෙනෙක් නෙවේ.මට ඕන පාඩුවෙ ඉන්න.ස්ටාර් කෙනෙක් වෙන්න නෙවෙයි සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න.ඉස්කෝලෙ යන්න පටන් ගන්න කාලෙ ඉඳල හීනයක් තිබ්බට කවදාවත්ම ස්ටාර් කෙනෙක් වෙන්න මට ඕන වුණේ නෑ.”

අහස් එසේ කියද්දී සකී නම් ඒ කතාව අසා සිටින්නට තීරණය කළා ය.එහෙත් සියුම්ට එයට එරෙහි වන්නට ඕනෑ විය.සාරණ්‍යා මොනතරමට විෂ සහිත කෙනෙක්දැයි අහස් තරමට පහසුවෙන් අමතක කරන්නට ඔහු අකමැති ය.

“එයාට ඕන වුණේ අනුෂ්කා ෂර්මාගෙ ලංකාවේ වර්ෂන් එක වෙන්නනෙ.දැන් එයාට පුලුවන් දීපිකාගෙ හරි ආලියාගෙ හරි ලංකාවේ වර්ෂන් එක වෙන්න.ඒ මොකක් වුණත් කතා කරලා විෂ් කරනව වගේ මෝඩ ආතල් ඕන නෑ.”

සියුම්ගේ තරවටු හඬ අසා අහස් හිනැහිණ.සියුම් සාරණ්‍යා සමඟ අමනාප තරමට අහස්වත් ඇය සමඟ අමනාප නැත.

“සාරණ්‍යා කියන්නෙ මේ රටේ නිළියක්.එච්චරයි.අපි කවුරුත් එයා ගැන එතැනින් එහාට මතක තියාගන්න ඕන නෑ.”

එහෙත් අහස්ගේ ප්‍රේම කතා ගැන කතාන්දර එතැනින් අවසන් නොවී ය.එක්තරා රාත්‍රියක සකී ෆේස්බුක් අවකාශයේ එහා මෙහා යද්දී මිතුරු ඇරයුම් ගැන විමසන්නට ඇයට සිත් විය.

“Hash Abeysooriya”

ඒ නම අසල නතර වන්නට ඇයට සිතුණේ නිකමට ය.අහස් ඉලංගසිංහගේ පෙම්වතිය වූ පසු සකීට ඕනෑතරම් මිතුරු ඇරයුම් ලැබේ.ඒවා බාර නොගන්නට ඇය තීරණය කරන්නේ අහස්ටත් වඩා ඇය නිදහස් ජීවිතයක් ප්‍රිය කරන හන්දා ය.

“ඔයා මාව දන්නේ නැතත් මට ඔයාට සුබ පතන්න ඕනෑ වුණා.ඔයා හරිම ලස්සන පුංචි ගෑනු ළමයෙක්.මිසිස් ඉලංගසිංහ වෙලා සතුටින් ජීවත් වෙන්න මං ඔයාට සුබ පතනවා.”

මිතුරු ඇරයුම පිළිගැනීමෙන් පසු සකීට ඒ අදහස රැගත් පණිවිඩයක් පැමිණ තිබිණ.මේ කවුදැයි සකීට දැන් සැකයක් නොවේ.ඇය ඒ ගැන විමසන්නට සිතුණා ය.

“හසාරා නේද?”

යුරෝපා රටක ජීවත් වන තරුණිය සකී ඇය හඳුනනවාදැයි විමසා තිබිණ.අහස් ඇය ගැන පැවසූ බව සකී පැවසුවේ තරහින් නොවේ. හසාරා කියන්නේ සාරණ්‍යා මෙන් ඉතා පහත් පෙළේ උගුල් අටවන්නියක නොවන බව සකී වටහා ගෙන තිබිණ.හසාරාගේ සුබ පැතීම ආටෝපයක් නොවන බව ඇයට සිතේ.

“ඔයා අහස්ගෙම පොඩි නංගියෙක් වගේ.මට හිතා ගන්නවත් බැරි තරමට ඔයාලා ගැළපෙනවා.කාලෙකට පස්සෙ මට හිතට හරිම සැනසීමක් දැනෙනව.”

දරුණු ගණයේ අත් හැර දැමීමකින් පසු අහස් පත් වූ තැන ගැන හසාරාට සැබෑ වේදනාවක් තිබිණ.අත අත නෑර යන්නට නොහැකි ගමනක ඔහු අතැර දැමීම ඊටවඩා පරිණත අයුරකින් කරන්නට තිබූ බව හසාරා දැන් විශ්වාස කරන්නී ය.ඇයට දරන්නටම බැරි වේදනාව ඇත්තේ ඒ සම්බන්ධයෙන් ය.

“මං දෙයක් කියන්න ඔයා තරහ වෙන්නේ නෑ නේද?”

අතිශය රිදවනසුළු සාරණ්‍යාට මුහුණ දුන් සකීට මේ ප්‍රියමනාප යුවතිය මිතුරියක ලෙස මිස සතුරියක ලෙස නොදැනේ.

“අපි හැමෝම මිනිස්සුනෙ.මං දන් නෑ ඔයාටත් අහස්ව දරාගන්න අමාරු දවසක් එයිද කියලා.එහෙම දවසක් ආවොත් එයාව අත් අරින්නෙ ඇයි කියලා එයාට පැහැදිලිව කියන්න.”

සකීට එය සිනා යන තරමේ විහිළුවක් වූයේ නැත.තමන් අතින් සිදු වූ වරදක් පිළිගන්නා කෙනෙකු සමඟ කතාබහ අපහසු නැත.නව යොවුන් වියේ දී සිදු වූ වරදක් සම්බන්ධයෙන් පසුතැවෙන්නට තරම් හසාරා දැන් පරිණත ය.ඇය ඇගේ අත්දැකීම් ඇසුරෙන් ලබා දෙන උපදේශය පිළි නොගෙන ඉන්නට සකීට නුවුමනා ය.

“එතකොට ඕනම කෙනෙක් අවුල් වෙනවා.ඒක මටත් දැන් තමයි තේරෙන්නේ.ඒ නිසා ගොඩක් කරදර කර ගත්තයි කියල මම හිතනවා.ඒත් අහස්ගේ අතේ කිසිම වැරැද්දක් නැති නිසා ඔයා වගේ ස්වීට් ගර්ල් කෙනෙක් එයාට ලැබෙන්න ඇති.”

සකී රූමත් අහිංසක කෙල්ලක බව හසාරාට වැටහේ.ලෝකයම ලබා දෙන අවධානයට වඩා අහස්ට වටින්නේ ඔහුගේ බව හැඟෙන සීමිත පිරිස ඔහුට ලබාදෙන ආදරය ය.එය ඕනෑවටත් වඩා ලබාදිය හැකි කෙනෙකු ඔහුගේ අත අල්ලා ගැනීමම හසාරාට සැනසීමකි.

“මං හිතන්නේ මට දවසක් එයි අහස්ගෙන් සමාව ගන්න පුළුවන්.අන්න එදාට එයාව දාලා ගියාට මං එයාගෙන් සමාව ඉල්ලනව.එයා ඒ විදියට කතා කරන්න වටින මනුස්සයෙක් කියල මම දන්නව.ඒ එයා ලෝකෙ වැඩි දෙනෙක් දන්න මනුස්සයෙක් වෙච්ච හින්ද නෙමෙයි.එයා ඒ වගේ ගෞරවයක් ලබන්න ඕන කෙනෙක් නිසා.”

සාරණ්‍යා සහ තවත් නම් කිහිපයක් සම්බන්ධයෙන් තවම පැතිරෙන කට කතා ගැන බිඳුවක්වත් නොසිතිය යුතු බව සකී සිතුවා ය.හසාරාට අහස් ගැන තවමත් ඇත්තේ ගෞරවයකි.ඉතා නරක ලෙස ඔහු අත්හැර දැමීම ගැන වේදනාවකි.ඔහුගේ ප්‍රේමයේ පළමුවැන්නිය වූ හසාරා ගැන සකීට ආදරයක් ඇති විය.ඔහුට සැබෑවටම ආදරය කරන්නට ඇත්තේ හසාරා සහ ඇය බව සිතීම සකීට පහසුවකි.අනෙක් අය ඇවිත් යන්නට ආ අය ය.

ජීවිතය කියන්නේ අප්‍රමාණ සිදුවීම් පිරුණු එකක් බව සකී තේරුම් ගනිමින් සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles