සීත මාරුතේ -66

‘ගැහැනිය සෙවනැල්ල වැනි ය. පස්සෙන් එන විට පලා යයි; පලා යන විට පස්සෙන් එයි’ 

යනුවෙන් කියමනක් තිබේ. එය මගේ මනසේ රැඳුණේ, පාසලේ උසස් පෙළ පන්තියේ ඉදිරි බිත්තිය දිගට සවි කළ දිගු කළු ලෑල්ලේ ඉහළ ම තීරයේ වරින් වර එය ලියවී තිබි නිසා ය. 

කළු ලෑල්ලේ ඉහළ තීරය කිසියම් වටිනාකමක් ඇති වාක්‍යයක් වෙනුවෙන් වෙන් කිරීම උසස් පෙළ පාඨමාලාව ඇරඹුමේ පටන් සිදු විය. සාමාන්‍යයෙන් සිදු වූයේ දිනකට අලුත් වැකියක් එහි ලිවීම ය. අපි ඒවා සොයා ගෙන ආවෙමු. එය කළු ලෑල්ලේ ලීවේ අත් අකුරු වල කලාත්මක ලස්සනක් තිබූ අය ය. මට ද නිරායාසයෙන් ඒ අවස්ථාව අපමණ වාර ගණනක් හිමි වී තිබේ. දිනපතා නව වාක්‍ය ඛණ්ඩ එකතු වී ද මා පෙර කී කියමන ලිවූ පසු සතියක් පමණ එය නො මකා තිබෙන්නට හැරීම අපේ සිරිත විය. ඒ මක් නිසා ද කියන්නට හරියට ම මම නො දනිමි. ඇතැම් විට එහි ගැඹුරු හරය එදා බාලිකාවන් ව උන් අපට හරි හැටි නො තේරුණා වන්නට ද පුළුවන. නමුත් එහි මතුපිට අරුත වුව බාලිකා සිත් කිතිකවනා සුළු වන්නට ඇත. ඇතැම් විට සොබා දහමෙන් උරුම වූ ස්ත්‍රීත්වයට අප පෙම් බඳින්නට පටන් ගත් මුල් යුගය ඒ වන්නට ද ඇත. ඒ නිසා ම ඒ වැකියෙහි අරුත ගැන අප තුළ සාඩම්බරයක් ඇති ව තිබුණා විය හැක.

ඒ කාලේ පන්තියෙන් දෙතුන් දෙනෙකුට වඩා පෙම්වතුන් සිටියේ නැත. නමුත් හැම බාලිකා සිතක් ම චමත්කාරයට පත් කළ පිරිමියෙකු කොහි හෝ සිටියේ ය. බොහෝ විට ඒ ඇය සියැසින් පවා නොදුටු කෙනෙකි. දේශීය හෝ විදේශීය නළුවන්, ගායකයන්, ක්‍රීඩකයන් හෝ වෙනත් ජනප්‍රිය චරිත ඒ අතරේ සිටි බව මට මතක ය. අපි අපේ හීන ලෝක වලදී ඔවුන් ගේ පෙම්වතියන් වෙමින් ද ඔවුන් ට පෙම් කරමින් ද නව යොවුන් වියෙහි කායික මානසික විපර්යාසයන් සමතුලිත කර ගන්නට තැත් කළෙමු.

මා පෙර කී කියමන ස්ත්‍රීතවයට ආඩම්බරයක් හෝ ගෞරවයක් සේ ගනිමින්, ප්‍රේමාරාධනයක් කරනා පිරිමි ළමයින් පස්සෙන් ගෙන්වා ගැනීම එකල ගෑනු ළමයින් ගේ පුරුද්දක් විය. නමුත් පිරිමින් නිසා වැඩිපුර ම කඳුළු සුසුම් හෙළුවේ ද ඔවුන් ය.

මුණිවර කෙරේ උමතු වෙන කාලය වන විට මා පාසල හැර ගොස් වසර ගණනාවකි. ඒ නිසා ඔහු හඹා යත්දී  ඒ කියමන මගේ මතක මානයක තිබුණේ ද නැත. පසුගිය වසර තුළ බොහෝ දේ සිදු වූයේ ය. වැදගත් ම දේ නම් ජීවිතයේ ප්‍රථම වතාවට කුළුඳුළේ මා පිරිමියෙකු ට පෙම් කරන්නට වීමයි. ආඩම්බරකාරයෙකු බව ප්‍රථම දැකුමෙන් ම සනාථ කළ ඔහු මට විශේෂ වූයේ, ගෑනු ළමයින් දුටු විට කහඹිලියා ගෑවුණා සේ නලියන පිරිමි ළමයින් ඊට පෙර ඕනෑ තරම් දැක තිබූ නිසාවෙනි. කාන්දමක වුව ධන අග්‍රය ආකර්ෂණය වන්නේ ඍණ අග්‍රයට වන නියාවෙන්, මා මුණිවර වෙත වසඟ වන එක වලකාලිය නො හැකි වූයේ ය. ඔහු පලා යන්නට යන්නට මම හඹා ගියෙමි. අවසන අප එක තලයකට පිවිසියේ විශ්වයෙහි වන සියල් චමත්කාරයන් දැක හඳුනා ගනිමිනි.

එහෙව් පරිච්ඡේදයක් ඔහු ට අමතක ව ඔහු මා හඳුනන්නේ හෝ නැති කෙනෙකු ලෙස යළි එතැනින් පටන් ගන්නට වීම තුළ ම මා දැවී හළු වී යන්නට ඇත. එතැන්හිදී අතීතය අහෝසි ව ගොස් ප්‍රේමය උදාසීන වූයේ ය. ප්‍රථම ප්‍රේමයේ චමත්කාරය යළි කිසි දා උදා නොවන බව ඇතැම්හු පවසති!

මගේ ප්‍රේමය, මගේ උමතුව අමතක වූ මුණිවර, අනෙකුන් ගේ අදහස් මත මට ලං වීමට දැරූ උත්සාහයේ දී මම නොදැනුවත් ව ම ඔහු ගෙන් දුරස් වන්නට වූයෙමි. සිය ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කිරීම අත්හැර දමා ඔහු නිශ්චල වූ කල්හි මට අපේ පාසල් සමයේ කියමන යළි සිහි වී තිබේ. ගැහැනිය සෙවනැල්ල සේ ය. පස්සෙන් යන විට පලා යයි. පලා යන විට පස්සෙන් එයි!

මුණිවර මා නො තකන බව දැනෙන්නට ගත් වහා මගේ හදවතට අකුණු පහර වැදිණ. දැන් ඔහු උදෑසනට සුබ පතන්නේ මා බලයෙන් එසේ කළ විට ය. එද මුහුණෙහි එක සිනහ පොදක් නැත්තේ ය. ඔහු ගේ සිනහව මගේ හදවතට හිරු මඬලක් සේ දැනෙනා බව මා නිවැරදිව අවබෝධ කොට ගත්තේ එතකොට ය. මා හා ලොකු තාත්තා සමග දිවා ආහාර ගන්නට එන එක දෙදිනක් ම ඔහු මග හැරියේ ය. 

“මොකද්ද ඒ ගමන රජ්ජුරුවන්ට වෙලා තියෙන්නෙ…අපි කන වෙලාවට ඒකාට බඩගිනි නොහැදෙන්න හේතුවක් ඇතිනෙ”

දෙවන දිනයේත් ලොකු තාත්තා දිවා ආහාර ගන්නට එන ලෙස කළ යෝජනාව මුණිවර විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ලොකු තාත්තා භෝජනාගාරයේ දී මා සමග කීවේ කේන්තියෙන් ද නැත්නම් සැක සහිත යමක් ඉව කරනා කුකුසින් ද කියා වෙන් කොට ගත නො හැකි ය. මම බත් පත දෙස බලා ගෙන මළානික සිනහවක් පෑවෙමි. 

“දුව කතා කළේ නැද්ද…”

“නෑ”

ලොකු තාත්තා දෙස බැලිය නො හැකි තරම් ආත්ම අසරණ කමක් මට දැනිණ. පරාජිත හැඟීමකින් මා මිරිකී යමින් තිබිණ. මුණිවර මේ තුවාල කරමින් සිටින්නේ මගේ හදවතේ සංවේදී ම තැනකට සේ යටි හිත කෙඳිරි ගාමින් තිබිණ. ඔහු මගේ උපන් දිනය දා පැළඳු රැජිනක ගේ කිරීටයෙහි අනුරුවක් වූ නියමන්ති මුදුව මගේ ඇඟිල්ලක බැබලෙමින් සිටියේ ය. මම ඒ මුදුව අනිත් ඇඟිලි අතරේ හංගා ගතිමි. 

ඔබට රැජිනක ගේ හැඟීම දැනෙන්නේ ඔබට පෙම් කරනා පුරුෂයා ඉදිරියේ දී නොව ඔබ පෙම් කරනා පුරුෂයා ළඟ දී ය!

මම එහෙම ම හිඳ මුණිවර ට වට්සැප් පණිවිඩයක් යොමු කළෙමි.

“කෑම කන්න එන්න”

එය එසැනෙන් නිල් පාට හරි ලකුණු දෙකකින් සලකුණු වූයේ ඔහු කියවූ බව ඉඟි කරමිනි. නමුත් මුණිවර ප්‍රතිචාර දැක්වූයේ නැත. අප වඩාත් උනන්දු වන අය අපේ පණිවිඩයක් කියවන්නට පමා වීම නො රිස්සුම දනවන්නකි. නමුත් එය කියවූ බව පෙනි පෙනී ප්‍රතිචාර නො දක්වා නිහඬ වීම අපේ අභිමානය දෙදරවා හරින්නකි. 

එදා මා බත් පත අත පත ගෑවා මිස කෑම රුචියක් දැනුණේ ම නැත. හවස මට විදුනි මුණගැසිණ. ඇය මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණෙන්නට හේතුවක් මා දන්නේ නැත. කෙසේ වෙතත් අප සමනල උයන දෙසට ඇවිදිමින් කතා කරන්නට වූයෙමු.

“මට ඔයාගෙ සිටුවේශන් එක හොඳට තේරෙනව මන්දි. මගෙ හස්බන්ට ඔහොම වෙලා අපි ගැන මතකය නැති වෙලා ගියානං…එයා අපි ළඟ හිටියත් මට කොහොම දැනෙයිද කියල හිතනකොටත් බයයි. මේක ඔයාගෙ ජීවිතේ. ඒක නිසා ඔයා කැමති විදිහෙ තීරණයක් ගන්න”

එසේ කියනු වස් ඇය ව එව්වේ මුණිවර ද කියාත් මට සිතිණ. 

මේ තීරණාත්මක අවස්ථාවකි. ධන හෝ ඍණ ආරෝපිත වීමත් උදාසීන වීමත් අතරේ තියෙන්නා වූ අසීමිත වෙනස මම අත්විඳින්නට වීමි. සියලු දෙනා එක්ව මගේ උදාසීන බව වටහා ගනිමින් සිටින බව පෙනේ. ඔවුන් මගේ පැත්තෙන් සිතා බලා මා ඒ උදාසීනතවයෙන් මුදා නිදහස් කොට යවන්නට තීරණය කොට ඇති සැටියකි. නමුත් මගේ අභ්‍යන්තරය හදිසියේ ම ආරෝපණය වන්නට පටක් ගෙන ඇති බවක් මට දැනෙන්නට ගත්තේ ය. 

“හරිනෙ දැන් ඉතිං…ආයෙ පලයංකො පස්සෙන් ජූජකයගෙ”

මගේ කැළඹීම ගැන දැන ගත් හැන්දෑවේ, බයිසිකල් නවතා ගෙන ටර්පන්ටයින් කැලේ ළඟ පෙට්ටි කඩෙන් පොල් රොටී කමින් ඉඟුරු තේ බොමින් සිටියදී කසුනි කීවා ය. අනිත් කෙල්ලන් සිනහ වී ද මට නම් සිනහ වීමක් සිහි වූයේ නැත.

“හැබැයි මෙහෙම දෙයක් තියනව. කොච්චර ජූජක බමුණෙක් වුණත්…මුලදි මන්දිව රිජෙක්ට් කළත් පස්සෙ මුණිවර සිං රාජ්පුත් අනිත් අය කියන දේ පිළිඅරං මන්දිව මැරි කරන්න කැමති වුණා.  ධාරාගෙන් ඕන තරං අනුබල තියෙද්දිත්…ධාරාව බඳින්න බෑ කියල කෙලින් ම කිව්ව. එහෙම තියෙද්දිත් මන්දිනෙ හැඟීම් දැනීම් නැති ලාදුරු හැදිච්ච ගෑනියෙක් වගේ හිටියෙ. ඒ කොල්ලගෙ බලං ඉඳිල්ලටත් ලිමිට් එකක් තියනවනෙ. තියෙන්න ඕනනෙ. ඒක නිසා අන්තිමට ජූජකස් මෙහෙම වෙනස් වුණ එක ගැන මන්නං පුදුම වෙන්නෑ. ඒ වගේ හෙන ආඩම්බර කොල්ලෙක්ගෙං මීට වැඩිය දෙයක් ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ”

“ඔයාට එයාව ඕනමනං ඊළඟ ස්ටෙප් එක තියන්න වෙන්නෙ ඔයාට”

“ඒක පුරුදු නැති එකකුත් නෙවේනෙ”

ඔවුන් ගේ සිනා හඬ ටර්පන්ටයින් ගස් වල සුදු උස් කඳන් අතරින් ඈත නිල් කඳු යාය තෙක් හමා යත්දී මුණිවර ගේ රිය අප අස නො නැවතී වේගයෙන් ඇදී ගියේ ය. කෙල්ලෝ තවත් හඬ නගා සිනහ වූහ.

“වැදගත් ම දේ ඔයාට මුණිවර සිං රාජ්පුත් ඕනයි කියන එක…කොච්චර ගහක් ගලක් වගේ හිටියත් ඔයාගෙ හිත ඉල්ලන්නෙ එයාවයි කියල තේරුං ගත්ත එකයි. පරණ මතක යකාට ගියදෙං. ඒක ආවොත් ආව නාවොත් නාවා. ඔයාට එයාව ඕනමයි කියන තැන ඉඳල ආයෙ පටන් ගන්න එක මහ දෙයක් නෙවේ”

“අපි නොදන්න මන්දිනෙ…නේ..”

“මන්දි කවුද කියල කොල්ලට අමතක වෙලා තියෙන එකේ…මේ සැරේ ඒකා හිතයි අනේ අමතක වෙලා ගිය එක කොච්චර හොඳද කියල”

මම හදිසියේ ම වසරක් අතීතයට විසි ව ගොස් සිටියෙමි. මරණයෙන් නැගිට හදිසියේ ජිවිතය සොයන්නට පටන් ගෙන සිටියෙමි. එදා රාත්‍රියේ කාමරය තුළට වී යළි යළිත් ‘මේ ගී කාටදැයි’ අසන්නට වීමි. ශිශිර නිද්‍රාවකට එළඹ උන් හිත මත ප්‍රේමයේ හිරු කැන් වැදී, හිම දිය ව වැගිරෙන්නට පටන් ගෙන තිබිණ. අතීතයේ සිටි මුණිවර සොයනවා වෙනුවට මම යළි උපන් මන්දාකිණියක වෙමින් සිටියෙමි.

පසු දා මිස්ට් ෆීල්ඩ් වෙත ගියේ ඒ අලුත් මන්දාකිණී ය. නොහොත් මුණිවර හමු වූ කාලයේ උන් යුවතිය ය.

මා එහි යන විටත් මුණිවර පැමිණ සිටියේ ය. මා කාර්යාල පරිශ්‍රයට ගොඩ වන විට හෙතෙම සිය කුටියෙන් ඉවතට, මා අභියසට පැමිණෙන්නට විය. ඔහු මා නො දැක්කා සේ බිම බලා ගත්ත ද මම බලයෙන් ම ‘ගුඩ් මෝනිං’ කීවෙමි. ආඩම්බරකාරයා යන්තම් හිස සැළුවා පමණ ය. අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගෙන හරිතාගාර දෙසට පිය මැන ගියේ ය. මගේ මුවට නිරායාස සිනහවක් ඇවිත් නතර විය.

“මොකද්ද මූට ඒ ගමන වැහිල ඉන්න යකා…”

ලොකු තාත්තා සියල්ල නිරීක්ෂණය කොට තිබිණ. මා සැහැල්ලුවෙන් හඬ නගා සිනහ වෙත්දී මුණිවර හැරී බැලුවේ ය. මම ඒ නොදුටුවා සේ ලොකු තාත්තා සමග ඇතුළට ගියෙමි.

“කමන්නෑ ලොකු තාත්තෙ. ඒ යකා එහෙම හිටපුදෙං. මං දන්නව ඒ යකාවනං…කලිනුත් ගනුදෙනු කරල පුරුදුයි”

“දුම්මල ගහල බැරිම වුණොත් බෝතලේකට දාල මූඩිය වහල මුහුදට ගිහින් දාමු”

හිත සතුටින් පිරී ගිය විට ජීවිතය ඉතා පහසු වෙන බවක් දැනේ. අප්පච්චි නිතරම කියන්නේ ජීවිතය යනු ඉතා කෙටි දෙයක් බව ය. ශෝක වෙවී කෝප වෙවී ඉන්නට කාලයක් නැති තරමට එය කෙටි ය. අවශ්‍ය වන්නේ ඒ කෙටි ජීවිතය සතුටෙන් ගත කොට මිය යාමටයි. මුණිවර රිය අනතුරට ලක් වන්නට පෙර දින වල තරම් ම සතුටෙන් හා උනන්දුවෙන් මම වැඩ කටයුතු කර ගෙන ගියෙමි. 

“ගොඩක් කාලෙකට පස්සෙ මන්දාකිණී මිස් අද ඇත්තටම හිනා වෙලා ඉන්නව”

යනුවෙන් අත් යන්ත්‍ර රෙදි වියනා අම්මා කෙනෙක්  කීවා ය.

“ඒක ඇත්ත. හිනා වුණත් ටික කලක ඉඳන් මිස් හිනා වුණේ අඬන්න බැරි කමට වගෙයි”

ඒ තරම් පත පොත නූගත් මිනිසුන්ට වුව ඔවුන් ආදරය කරනා හිතක් සමීප ව වටහා ගන්නට පුළුවන් බව මට කියා දුන්නේ ඔවුන් ය. පසු ගිය කාලය පුරා ම හිර කර ගෙන උන් හිත, අද හදිසියේ නිදහස් හැඟීමකින් ඉපිලෙමින් තිබිණ. මා ඇඟළුම් අංශයේ සිට යළි එන විට ලොකු තාත්තා මුණිවර ඉදිරියේ හිඳ කතා බහක සිටියේ ය.

“මන්දාකිණී එන්න දුව. අපි මේ බන්ඩාරවෙල ශොප් එකේ ඕපනින් එක ගැන කතා කළේ”

කියමින් ලොකු තාත්තා මා ද එහි කැඳවා ගත්තේ ය. නමුත් මුණිවර මට මුහුණ දී කතා කළේ නැති තරම ය. මම ඒ ගැන නො සිතා, මහනුවර හෑන්ඩ්ලූම් පැරඩයිස් ශාකාව ආරම්භ කරත්දී අප සැලසුම් සකස් කළ ආකාරය ගැන සිහිපත් කළෙමි.

“යමු යමු කාල ඉමු. හොඳටම දවල් වෙලා දැං බඩගිනියි”

අත්‍යවශ්‍ය කාරණා කතා කිරීමෙන් පස්සේ ලොකු තාත්තා කීවේ ය.

“මට බඩගිනි නෑ. ලොකු තාත්තල කන්න”

මුණිවර වහා කීවේ ය.

“මටත් බඩගිනි නෑ ලොකු තාත්තෙ. මං පස්සෙ කන්නං..ලොකු තාත්තල කන්න”

මම එසේ කියමින් නැගිට ගතිමි. ලොකු තාත්තා අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ය. ඔහු යමක් කියන්නට පෙර කුටියෙන් පිට වන්නට මට ඕනෑ විය.

“බඩගිනි වුණත් මොනා කරන්නද ඉතිං…උඹලට බඩගිනි වෙනකල් මං ඉන්නංකො”

ලොකු තාත්තා එසේ කියනවා ඇසුණේ මා දොරෙන් පිට වත්දී ය. මුණිවර කුටිය තුළ ඒ මේ අත සක්මන් කරමින් සිටිනවා මට පෙනිණ. මම වැඩක් කර ගතිමි. ටික වෙලාවකින් ඔහු මගේ කුටියට කර පෙව්වේ ය.

“ලොකු තාත්තට බඩගින්නෙ. මන්දාකිණී ගිහින් කන්නකො”

“ඉතිං…මගෙ ලොකු තාත්ත නෙවේනෙ. මිස්ට මුණිවරගෙනෙ. මිස්ට මුණිවර ගිහින් ලොකු තාත්ත එක්ක කෑම කන්න”

මම ඇස් බැමි හකුළා ගෙන කියා දැමුවෙමි. ඔහු ට ක්ෂණිකව සිනහ ගියේ ය. මුණිවර ඒ උන්මාදනීය සිනහව මගෙන් වසංගා ගන්නට ඉවත බලා ගත්තේ ය. මම ඇස් පිය නො සලා බලා සිටියෙමි.ඒ සිනහව කාලයකට පස්සේ මා වසඟ කරවී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...