සැරිසරන්නී – 02

ලොකු අයියා සමගින් ආ මිතුරා ගේ සිනහව කිහිප වතාවක් ම මගේ සිත්හි මැවෙමින් බිඳෙමින් තිබිණි. හිනා වෙත්දී සිහින් වන ඒ දෑස් වල, මා අල්ලා බැඳ ගත් මොකක්දෝ ආකර්ෂණයක් වන බව මට දැනුණේ ය. කාමරයේ ඇඳට වී ද නැවත අම්මා මහන කැනට එමින් ද නැවත කාමරයට යමින් ද ඉන්න බැරි තරමින් හිත නළියෑ මොහොතක මම ගේට්ටුව ඇර ගෙන ගුරු පාරට වීමි. පාරක් කීවාට මේ පුද්ගලික පාරකි. සීයා ගේ මහ ඉඩම මැදින්, වෙන් කරන ලද ඉඩම් කොටස් හයට යාම සඳහා ඉදි වූ පාරකි. ඉතින් මේ ගෙවල් වලට යන කෙනෙක් මිස,විශේෂ කෙනෙකු මේ පාරේ යනවා නම් ඒ අම්මා ගෙන් ඇඳුම් මස්සා ගන්නට එන එක ස්ත්‍රියකි.

මේ ගෙවල් හයේ ළමයින් පහළොවකි. එක පවුලක දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගිනි. කොල්ලෙකු නැත්තේ අපේ ගෙදර පමණි. ඒකටත් එක්ක අපේ නංගී කොල්ලන් දහ දෙනෙකු එක් කොට තැනූ කෙල්ලකැයි අම්මා කියයි. දැන් මේ ළමයින් ගෙන් පාසල් යන්නේ කිහිප දෙනෙකු පමණි. අල්පයක් දෙනා උසස් අධ්‍යාපනයේ ද වැඩි දෙනෙක් රැකියා වල ද නිතර වෙති.

“මොන රස්සාවල් කළත් පවුලකට පොලීසියෙ වැඩ කරන කෙනෙකුයි ඉස්පිරිතාලෙ වැඩ කරන කෙනෙකුයි ඉන්න ඕනෙ. මේ පවුලෙ බේතකටවත් නෑ එහෙම එකෙක්. මොකක් හරි උවමනාවක් වුණහම යන්න ඕනෙ එක එක්කෙනාට වැඳගෙන”

දවසක් නයනා නැන්දා කීවා මට මතක ය.

“ඉකිං නයනාට තිබ්බනෙ හැමදාම ගෝරි වලට පැටලෙන ඔය චණ්ඩි පුතා මලිත්ව පොලීසියට බන්දල දූ සිඟිත්තව දොස්තර නෝනා කෙනෙක් කරන්න”

ආච්චා සිනහවකින් කීවා ය. ඒ අසල උන් මට හිචිස් ගා සිනා ගියේ ය. අතින් කට වසා ගත්තත් එතකොට ප්‍රමාද වැඩි ය. නයනා නැන්දා මට රවා ආච්චා ට දොස් කීවා ය.

“අම්ම ඉතිං අපේ ළමයින්ට ඇනුම් පද කියන එකමනෙ කරන්නෙ. මල්කි ඉගෙන ගත්තෙ නෑ කියල අපි මොනා කරන්නද…අනිත් එක ඔය කොයි ගෝරියට පැටළුණත් මලිත් වගේ හිත හොඳ එකෙක් මේ මුළු පවුලටම නෑ”

නැන්දා ගේ ඒ කතාවට නම් මම එකඟ වෙමි. මිතුරන් අතරේ කෙතරම් අපතකම් කළ ද, පවුලේ ලොකු ම අයියා වශයෙන් ඔහු සිය නංගිලා මල්ලීලා රොත්තට ආදරේ ය. ඥාතීන් ට හදවතින් ම ළෙංගතු ය. හිතේ කුහකකම් පැසවන්නේ නැත. කියන්නට කරන්නට ඇති දෙයක් මූණට ම ය.

සාමාන්‍යයෙන් මා පවුලේ ළමයින් සමග ලොකු ඇසුරකට නො යමි. මාත් තාත්තා සේ ම අහංකාර යයි වැඩිහිටි පරම්පරාවේ අය කියන්නේ ඒක ය. මම ඒ කතා ගැන ඒ හැටි වද නොවෙමි. කොහොමටත් මම අනිත් අය මා ගැන හිතනා ආකාරය ගැන වද වෙන්නට යන කෙනෙකු නො වෙමි. හැමදාමත් මා කළේ මට ඕනෑ යයි සිතුණ දේ ය. ඒ නිසා ම හිතුවක්කාර මුරණ්ඩු ළමයෙකු ලෙස මා ප්‍රකට ය. මා තිරිංග තද කළේ තාත්තා ගේ වචනයක් ළඟ පමණකි. මා නැවුණේ තාත්තා ළඟ පමණකි.

ඒ වූ කලී තාත්තා ට ඇති බියක් ම නොවේ. ආදර ගෞරවයක් විය යුතු ය. මගේ ලෝකයේ එක ම වීරයා තාත්තා ය.

කෙසේ වෙතත් මේ වගේ වෙලාවක මේ විදිහට මා වත්තෙන් පිටත පාරේ ගැවසෙන්නට, මා දන්නා හෙතුවක් වූයේ නැත. නමුත් මා නො දන්නා හේතුවක් තිබිණි. ලොකු අයියා එක්ක ආ ඔහු ගැන හෝඩුවාවක් දැන ගන්නට මගේ යටි හිත ට ඕනෑ වූවා සේ ය. මා හොර ගල් ඇහිළුවේ ඒ වෙනුවෙනි.

සමහර වෙලාවට අපේ හිත් වල ඉතා තදින් වන දේවල් අප නො සිතනා ලෙස ඉෂ්ට සිද්ද වේ. ලොකු අයියා ත් ඔහු ගේ මිතුරාත් ගේට්ටුවෙන් පාරට අවතීර්ණ වූයේ එවන් ප්‍රාතිහාර්යකින් විය යුතු ය. මගේ උදරය ඇතුළේ, අතුණුබහන් අඹරා මිරිකා ලමින් පෙරළියක් සිදු වන්නට විය. යටි පතුල් පවා රිදෙනවා සේ මට දැනුණේ ය. කොහොම මේ අවස්ථාවට මුහුණ දෙන්නද කියා අදහසක් මට වූයේ නැත. මා සිටියේ ටර්නෝඩාවක් මැද්දේ ය. එය කොයිබට මා ගෙන යාවිද කියා කවුරු නම් දනිත් ද?

“මොකද බං ඔතන…”

කියමින් ලොකු අයියා ගමන් වේගය බාල කළේ ය. මම දෙතොල් තද කර සිනහවක් පෑවෙමි.

“කම්මැළියි අනේ”

“ඇයි අද වැඩට ගියෙ නෑ…”

“ම්හු. අද නිවාඩුවක් ගත්තා”

“ඇයි ඒ…සනීප නැද්ද…”

“නෑ අයියෙ. ලීව් ඉතුරුයි. දැං ඉතිං අවුරුද්දෙ අන්තිමනෙ..ඒක නෙවෙයි. ඉතිං මේ ආපු ගමං ආයෙ කොහෙද යන්නෙ…”

එසේ අසමින් මම ඔහු ගෙන් මඳක් දෑස් අද්දවා, ඔහු ගේ මිතුරා වෙතට ගෙන ගියෙමි. ඒ ඇස් මත මගේ දෑස් ඇලුණේ කාන්දම් බලයකින් සේ ය. කාන්දම් ආකර්ෂණය වන්නේ ධන හා ඍණ ලෙස එකිනෙකට විරුද්ධ අග්‍ර බව මම උගෙන ඇත්තෙමි. එසේ නම් ඔහු ගේ ඇස් වලට ආකර්ශනය වන්නට ඒ තරම් මගේ දෑස් වලට වූ හේතුව කුමක්ද?

“මේ මගෙ යාළුවෙක්. රවීන්. මූ ටික දවසක් අපේ ගෙදර ඉන්නෙ”

ලොකු අයියා කීවේ ය. මට මගේ මුව එක මොහොතකට පාලනය කර ගත නො හැකි විය.

“ඇයි ඒ…”

“ඔය ඔය ඉතිං…තංගච්චිට ඕන නැති කෝප්පයක් නෑනෙ”

ඒ ඇසූ පැනය ගැන සැබවින් ම මට ලැජ්ජා හිතුණේ ලොකු අයියා එසේ කී විට ය.

“මචං රවීන්…මේ ඉන්නෙ මගෙ නැන්දගෙ ලොකු දුව සනුකි. මගෙ නෑනා පොඩ්ඩ. මං බඳින්න ඉන්නෙ මෙයාව තමයි”

“අනේ මේ. තමුසෙව බඳිනවට වඩා හොඳයි ගහක් අල්ලල බැඳ ගන්න එක”

ලොකු අයියා ගේ ඒ විහිළුව ගැන මා ඕනවටත් වැඩිය කලබල වී තිබිණ. වෙනදාටත් මා අවුස්සනු වස් ලොකු අයියා ඔය කතාව ඉඳ හිට කියයි. නමුත් මම ඒ ගැන වගකට නො ගනිමිනි. ඔහු ද එසේ කියන්නේ විහිළුවට මිස මා ගැන අබ මල් රේණුවක තරම් හෝ එවන් හැඟීමක් ඇති හින්දා නොවේ. නමුත් මේ වෙලාවේ, රවීන් ඉදිරියේ එසේ කියත්දී ඔහු එය සැබෑවට ගත හැකි යයි මම බිය වීමි.

මගේ ප්‍රකාශයට රවීන් හඬ නගා හිනැහුණේ ය. මා ඒ සිනහව දෙස බලා සිටියේ වසඟ වී ගෙන ය. මට අයියලා මල්ලිලා රොත්තක් සිටිති. ඔවුන් එකතු වූ විට කෑ කෝ ගසන හැටි හිනා වෙන හැටි මම ඕනෑ තරම් දැක ඇත්තෙමි. නමුත් ඒ කිසිදු සිනහවක්, රවීන් ගේ මේ සිනහව තරම් මා අතරමං කොට නැති බව ඉඳුරා කිව හැකි ය.

තවත් තතපර ගණනක්,  විදා ගත් නෙතින් මා ඔහු දෙස බලා ඉන්නට ඇත. තළඑළළු සමක්, දින ගණනකින් නො කැපීම නිසා අපිළිවෙලට වැවුණ රැවුල් කොට සහිත මුහුණක්, ඒ මුහුණේ බොර පාටට හැරෙමින් පැවති, කොහේ කොතැනක හෝ මට බෙහෙවින් හුරුපුරුදු ව තිබුණා යි දැනෙන, මෙතෙක් මා සොය සොයා සිටියා යි හිතෙන විදිහේ ඇස් දෙකක්. මම ඒ ඇස් දෙකෙහි මඳ ගැඹුරකට කිමිද ගියෙමි. නමුත් ලොකු අයියා මට දුරකට යන්න දුන්නේ නැත.

“මේ රවියගෙ වයිෆ් ගෙ පොඩි ප්‍රශ්නයක් වෙලා. අපි දැනුත් මේ ඒ ගැන පොඩි වැඩකට යන ගමන්. එහෙනං සිරියාවතී…අපි යන්නද…”

මට හා හ්ම් කියන්නට මතක් වුණේ නැත. ලොකු අයියා රවීන් සමගින් ගුරු පාරෙන් හැරෙනු ඊළඟට මගේ ඇස් වලට දර්ශනය විය. මා තුළ මට දැනෙනා බර කුමක් දැයි ඊළඟ මොහොතේ මම කල්පනා කළෙමි. කකුල් ගල් ගැසී තිබුණේ ය. අයිස් කන්දක් සේ මා මිදී ගොස් තිබුණේ ය. දෙවියනි මේ සිදු වෙන්නට යන්නේ කුමක් ද?

ලොකු අයියා රවීන් ගේ වයිෆ් කෙනෙක් ගැන එතැනට අදාල ම නැති කතාවක් කීවේ ඔහු විවාහකයෙකු බව මට කල් ඇතිව ම අනතුරු අඟවන්න ද?  මගේ ඇස් ඔහු ගේ මිතුරා ගේ ඇස් වල එල්ලී ගෙන හිඳිනා බවක් ලොකු අයියා ට දැනුණේ ද? ඔහු එසේ කීවේ ඒක ද? මා යළි ගෙතුලට පිවිසියේ, එතෙක් සිටි සනුකි දුනුකේබණ්ඩාර ව සම්පූර්ණයෙන් අහිමි කර ගෙන ය.

අද වැඩට නොයා ගෙදර ඉන්න හිතුණේ මේකට දැයි මම ඇඳට වැටී සිතුවෙමි. මගේ සිරුරෙහි අකර්මණ්‍ය බවක් දැනිණි. උදරයෙහි කැළඹිලි ගතියක් විය. උණ ගැනෙන්නට එන්නා සේ ද දැනුණේ ය. මම ඇස් දෙක පියා ගෙන වේගයෙන් හුස්ම ගත්තෙමි.

“ලොකු දුව…සනූ…තේ ටිකක් බොමුද…”

අම්මා ගේ හඬ ඇසිණි. ඇය උදේ සිටම මහන මැෂිමත් එක්ක ඔට්ටු වන්නී ය. ඇයට මහන්සි දැනෙනවා ඇත. අද මා රැකියාවට පවා නොයා විවේකයෙන් ගෙදර සිටි දවස ය. හරිනම් අම්මා කියන්නට පෙර ඇයට තේ එකක් තනා දීමේ යුතුකමක් මට තිබිණි. නමුත් කොහේදෝ සිට ප්‍රාදූර්භූත වූ රවීන් කෙනෙකු නිසාවෙන් මට ඒ සියල්ල අමතක විය.

මා තේ හදන්නට සූදානම් වන විට පන්ති ගොස් නංගී ද පැමිණියා ය.

“තාත්තත් දැන් එයිද අම්මෙ…”

ජෝගුවට පිටි සීනි දමන්නට පෙර මම අම්මා විමසුවෙමි.

“අද අඟහරුවාදානෙ. තාත්තා පහට ක්ලාස් ඉවර කරනව. එයි මයෙ හිතේ”

අමමා එහෙම කියත්දී මගේ ඇතුළාන්තයේ අදිසි වෙව්ලා යාමක් ඇති විය. එය හරියට තාත්තා ට මගෙන් ලොකු වරදක් සිදු වූවා වන් එකකි. තාත්තා ට මූණ දෙන්නට බැරිවා වාගේ එකකි.

“මොකෝ…”

තේ එක ගන්නට පැන්ට්‍රිය වෙතට ආ නංගී මගේ මූණට එබුණා ය.

“මොකද…”

මමත් ඒ හැටි බුරුලක් නො පෙන්වා ටිකක් තදින් ප්‍රශ්න කළෙමි. නමුත් වචන වලින් නංගී මෙල්ල කළ නො හැකි බව මා දන්නේ අප ඇච්චන් කාලයේ පටන් ය.

“මූණ නිකං…”

“ඇයි මූණෙ පෙරහැරක් යනවද…”

“මොකද අද ලීව් දැම්මෙ….යාළුකං පරතෙරට ගිහිං අකිල යාළු වෙන්නවත් ඇහුවද..මූණෙ තියෙන්නෙ නිකං කොල්ලෙක් ගැන කතාවක් වගේ”

“පිස්සුදෝයි. මගුලක් කතා කරනව”

මම ඇය ට ගස්සා ගෙන මගේත් අම්මා ගේත් තේ ගෙන ඉස්සරහාට ගියෙමි.

නංගී දෙවන වර උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා පන්ති යමින් හිඳින්නී ය. ඇගේ අරමුණ කෙසේ හෝ කලා අංශයෙන් ඉහළ ම ලකුණු ගෙන නීති පීඨයට ඇතුළත් වීමයි..සැබවින් නීතීඥවරියක වීමට සුදුසුකම් ඇය සහජයෙන් ම ගෙනැවිත් තිබේ යයි මම සිතමි.

“මේකි ගෙ කටේ රංකිරි කටගාල තියෙන්නෙ පොල්කටු හැන්දකින්ද කොහෙද”

නංගී ගේ ඇතැම් කතා බහක දී ආච්චා කියන්නී ය.

“දන්නෑ ඉතිං. මොකෙං හරි ඕගොල්ලොනෙ කට ගාල ඇත්තෙ”

එතකොට නංගී කියයි. ඇයත් එක්ක කතා කොට දිනන්නට සමතෙක් අපේ පවුලේ නැත. එ් නිසා ඇය නඩු කතා කරන්නට යැවිය යුතු බව ඉස්සර සිට ම ආච්චා කියන්නී ය.

අප මාරි බිස්කට් කකා තේ බොත්දී තාත්තා ආවේ ය. පුරුදු විදිහට ඔහු සාක්කුවේ රුවා ගෙන ආ රටකජු මුල අම්මා ගේ මහන මැෂිම උඩින් තැබුවේ ය. පන්ති නිම වී කීයට ගෙදර ආවත් රටකජු ගොට්ටක් ගෙන ඒම කාලයක් තිස්සේ ම තාත්තා ගේ සිරිත ය.

“තාමත් ඉවර නෑනෙ ලව් එක. ඇයි දෙයියනේ එයාටම දෙන්න ඕනද ඕක ගෙනත්…මේ අපි දරුවො දෙන්නෙකුත් ඉන්නෙ”

තාත්තා කාමරයට ගිය පසු නංගී කසු කුසු ගෑවා ය. මම සිනහ වත සුරතෙහි ඔබා ගතිමි.

“ෂ්…කට කට. දෙමව්පියන්ට ඔහොමද කතා කරන්නෙ..තාත්තට ඇහුණනං එහෙම…”

අම්මා රහසිගත ස්වරයකින් නංගී ට බැන්නා ය. නංගී අම්මා අතින් රටකජු ගොට්ට උදුරා ගෙන රටකජු ටිකක් අතට හළා ගත්තා ය.

තාත්තා වේලාසන ගෙදර එනවාට ඉස්සර සිට ම අප කැමති ය. තාත්තා ඉන්න විට ගෙදර ඉහිර යන්නේ අමුතු සතුටකි. ඔහු වූ කලී කතා සරිත් සාගරයකි. ඔහු ගේ ළමා හා තුරුණු වියෙන් ගෙන හැර පානා කතා මුව අයා ගෙන අසා සිටීම පොඩි කාලේ සිට ම මට වීර චාරිකාවක් වන් දෙයකි.

“තාත්තගෙ පච මෙයා අහං ඉන්නෙ කටත් ඇරං”

යමක් කමක් තේරෙන්නට පටන් ගත්තා ට පස්සේ නංගී එසේ කියමින් මට සිනහ වූවා ය. නමුත් මට ඒ කතා ඇත්ත ද බොරු ද කියා වැදගත් නැත. මට වැදගත් වන්නේ ඒවා කෙතරම් නම් රසවත් ද යන වගයි.

තාත්තා ට මම උණුවෙන් ම තේ එකක් ගෙන ආවෙමි. තේ නම් කොයි තරම් බීවත් ඔහු ට එපා වීමක් නැත. තාත්තා ගෙදර සිටින දා ට අම්මා ට තේ හැදීම මිස වෙන වැඩක් කර ගත නො හැකි තරම ය.

තාත්තා තේ එක අතට ගන්න කොට ම පාර පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇසිණ. කටහඬවල් කිහිපයක් එකවර නැගුණෙන් මට කිසිත් පැහැදිලි ව වෙන් කර ගත නො හැකි විය. නංගී විදුලියක් සේ පාර දෙසට ගියා ය. මමත් තේ කෝප්පය තබා ඇය පසු පස දිව්වෙමි.

“විජිතට පපුවෙ අමාරුවක් ඇවිත්…අනේ කවුරුහරි එන්න එයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න”

පාර ළඟ, ඔවුන් ගේ නිවස ඉදිරියේ සිට කෑ ගෑවේ නයනා නැන්දා ය. විජිත යනු ලොකු මාමා ය. මමත් නංගීත් එදෙසට දිව ගියෙමු. අප පිටුපසින් අම්මාත් තාත්තා ත් පැමිණියහ. ඒ වෙලාවේ ගෙවල් වල සිටි පවුලේ අය කවුරුත් ලොකු මාමාගේ ගෙදරට රොක් වූ අතර ඔහු ව වහා ම රෝහල කරා ගෙන යන ලදී.

මොන තරම් නොහොඳ නෝක්කාඩු වූවත්, හිත් වල මොන අමනාපකම් තිබුණත් තමන් ගේ අයගේ වටිනාකම දැනෙන්නේ මෙවන් වෙලාවක ය. ලොකු මාමාව රෝහලට ගෙන ගිය පසු කවුරුත් ගෙවල් වලින් පිටත පාරේ රොක් වී, රෝහලට ගිය අයගෙන් තොරතුරක් ලැබෙන තුරු සල්ලාපයේ යෙදුනහ. නැන්දලා වරින් වර තේ හදා ගෙනාවෝ ය. තාත්තා වැඩි වෙලාවක් පාරේ රැඳුණේ නැති වුණත්, කවුරු තේ හැදුවත්, දුනුකේ අයියා ගේ තේ එක නම් අපේ ගෙදරට ම වැඩියේ ය.

මාමා අසනීප වත්දී ලොකු අයියා ගෙදර සිටියේ නැත. රවීන් සමගින් නික්ම ගිය ගමන ඔහු තව ම ගෙදර පැමිණ තිබුණේ නැත.

“ලොකු අයියට පණිවිඩේ කියමු නේ…”

මට විශේෂයෙන් ම ඔහු සිහි විය.

“අනේ ඔය යකාට කියල මොකටද..”

කිසිවෙකු එසේ නො සැලකිලිමත් ලෙස කියනු ඇසුණත් මම ලොකු අයියා යනුවෙන් නම් දී තිබූ අංකය ඇමතුවෙමි.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...