නියපොතු ගැන දැනගතම යුතු කතාවක්

නියපොතු අලංකාරව තබා ගන්න යුවතියන්,කාන්තාවන් කවුරුත් කැමතියි.ඒ වගේම අද නිය අලංකරණ තාක්ෂනය ඉතාමත් දියුණු තත්වයක පවතිනවා.විවිධ වර්ණ සායම් කිරීමට අමතරව කැටයම්,මල් මෝස්‌තර යෙදීමද අද බහුලව දක්නට ලැබෙනවා.ඒ වගේම ඇඳුමේ පැහැයෙන්ම නියපොතු වර්ණ ගැන්වීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා.ඉතින් නියපොතු කියන්නේ රූපලාවන්‍ය පිලිබඳ සැලකිල්ලක් දක්වන සැමගේම අවධානය යොමු වූ ශරීර කොටසක් කියා කීමට වෙන අටුවා ටීකා අවශ්‍ය නැහැ .

ඉතින් ඔබ කවදාවත් හිතලා තියනවද මේ තරම් හැඩට වැඩට තබා ගැනීමට මහන්සි වෙන නියපොතු අපට පිහිටලා තියෙන්නේ ඇයි කියලා.නියපොතු පිහිටා තිබෙන්නේ ඇඟිලි තුඩු වලට ශක්තිමත් ආවරණයක් ලබා දීමට සහ කුඩා සියුම් දේවල් අපට අල්ලා ගැනීමට පහසු වන්නටයි.සිරුර නිරෝගී වන විට නියද නිරෝගී වෙනවා .සිරුරේ හටගන්නා ලෙඩ රෝග රාශියක් නියපොතු පරික්ෂාකර බලා පැවසියහැකිවීම විශේෂත්වයක්.කඩතොළු වලින් තොර,සුමට,රෝස පැහැති,එමෙන්ම හමට සම්බන්ධ වූ නියපොත්තක් නිරෝගී නියපොත්තක් ලෙස සලකන්න පුළුවන්.

පුද්ගලයකුගේ වයස අනුව නියවල ස්වාභාවයද වෙනස් වෙනවා.නියපොත්ත කෙරටිනමය ස්වභාවයකින් යුතු දෙයක් වන අතර ළදරු කාලයේදී ඇති සිනිඳු රෝස පැහැති තුනී නියපොත්ත වැඩිහිටි වියට පැමිණීමත් සමඟම රෝස පැහැය අඩුවී ගොස් ඉරි සහිත ස්වාභාවයකට පත් වනවා.

දිලිර ආසාදන නිසා නියවල පැහැය සුදු හෝ කහ පැහැයකට හැරෙනවා.නිය හා සම අතර සුදු පැහැති කුඩු වැනි දෑ දැකිය හැකි වනවා.නිය ඇතැම් විට රළු සේම අසාමාන්‍ය ලෙස තුනීද වනවා.ශරීරයේ රෝගී තත්වයන්ද නිය අව පැහැ ගැන්වීමට හේතු වනවා.එමෙන්ම ශරීරයේ රෝගී තත්වයන්ද නිය අව පැහැ ගැන්වීමට බලපානවා.පෝෂණ

ඌනතා ඇතිවීමද නිය මඟින් පෙන්නුම් කරනවා.යකඩ අඩුවීමද මීට ප්‍රධාන හේතුවක් වනවා.

ඒ වගේම තයිරොක්සින් හෝමෝනය අඩු වීම,අක්මා හා වකුගඩුවල රෝග,නියට යටින් සම වර්ධනය වීම [ඇතැම් විට පිළිකා සෛල ] වැනි දේවල්ද නියපොතු වල ස්වභාවය වෙනස් වීමට හේතු වනවා.

දිගින් දිගටම නිය ආලේපන ගැල්වීමද නිය අවපැහැ වීමට එක් හේතුවක්.එනිසා නිය ආලේපන ඉවත් කර සතියක දෙකක පමණ කාලයක් ස්වාභාවික අන්දමින් නිය පිරිසුදු කොට තැබීම නියපොතු වල නිරෝගිතාවය කෙරෙහි බලපානවා.අලංකාරය සඳහා නියපොතු ඇලවීම දිගින් දිගටම සිදු කිරීමත් නියපොතු සඳහා එතරම් හොඳ දෙයක් නෙවේ.

ඒ වගේම දිලිර ආසාදනයක් හෝ නියපොතු වල කිසියම් ආසාමාන්‍ය ස්වාභාවයක් පෙන්නුම් කරන්නේ නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම තමා වඩාත් සුදුසු.

ඉතින් නියපොතු ගැන කතා කොහොම වුනත්,ආලේපනයන්ගෙන් තොර වුවත් පිරිසුදු,නිරෝගී නියපොතු සැමටම ප්‍රියජනක දසුනක් බව නොකියාම බැහැ.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles