Busy life එකක් ගෙවන ඔයා සෞඛ්‍යමත්ව ඉන්නෙ කොහොමද?

රැකියාව, දරුවො සහ ඔබේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු එක්ක ඔබත් ගතකරන්නෙ හරිම කාර්‍යබහුල ජීවිතයක් කියල අපි හොඳින්ම දන්නවා. 

මේ හැම වැඩ කටයුත්තක්ම හරිම ලස්සනට, පිළිවෙලට කරන්න ඔබ උත්සහ කරන අතරේ ඔබ ගැන බලන්නත් වෙලාවක් වෙන්කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් කියල අපි නිතරම ඔබව දැනුවත් කරනවනේ. 

ඒ සාකච්ඡාවෙම කොටසක් විදිහට ඔන්න අද අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ මේ කාර්‍යබහුල ජීවන රටාව එක්ක ඔබේ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි. 

එහෙමනම් අපි බලමු කාර්‍යබහුල ජීවන රටාව එක්ක සෞඛ්‍යමත්ව ඉන්න නම් ඔබ අනිවාර්‍යෙන්ම සැළකිලිමත් වියයුතු සරල කරුණු කාරණා මොනවද කියල?

හොඳට නිදාගන්න

දවසේ වැඩකරයුතු ඉවර කරන්න නම් පැය 24 ක් මදි කියල අපි කතාවටත් කියනවනේ.

හැබැයි නිදාගත යුතු වෙලාව, අසම්පූර්ණ වූ එහෙමත් නැත්නම් අතපසු වූ වැඩ කටයුතු කරන්න ඔබ යොදාගන්නවනම්, එය ඔබ විසින් ඔබටම කරගන්න විශාල වැරැද්දක් බව අපි ඔබට මතක් කළ යුතුමයි. 

දිගින් දිගටම මේ විදිහට කලොත් ඔබ නොදැනුවත්වම ඔබ නිදාගන්න වේලාව සීමාවීම පුරුද්දක් බවට පත්වීම සිදුවෙනවා. 

ඔබේ වයස සහ ශාරීරික සෞඛ්‍ය අනුව ඔබ නිදාගත යුතු නියමිත වේලාවක් තිබෙන බව ඔබ දන්නවනේ. දවසෙ වැඩ කටයුතු සැලසුම් කරන අතරතුර මේ නිදාගත යුතු කාලසීමාව වෙනස් නොකර තබා ගැනීම අත්‍යාවශයි. 

ඔබ රාත්‍රියේ ලබාගන්නා සුවපහසු නින්ද දවසේ ඉතිරි කාලයේ ඔබේ කාර්‍යක්ෂමතාව සහ ඵලදායී බව තීරණය කරනව වගේ නියමිත නින්ද නොලැබීයාම නිසා ඇතිවෙන හෘද රෝග, තරබාරුව, වකුගඩු රෝග, මානසික පීඩනය සහ මානසික අස්ථාවරත්වයන් වගේ නිදන්ගත රෝග ඇතිවීමේ අවධානම අඩුකරනව කියලත් පර්‍යේෂකයෝ අවධාරණය කරනවා. 

වතුර බොන්න

ශරීරයේ අවයව ප්‍රාණවත්ව නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන යන්න වගේම අධික වෙහෙස, නිදිමත සහ මානසික පීඩනය අඩුකරගන්නත් දවස පුරා ප්‍රබෝධමත්ව ඉන්නත් ජලය පානය කිරීමෙන් ලැබෙන සහය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකියි.

දිනකට වතුර වීදුරු හතරක් හයක් අතර ප්‍රමාණයක් පානය කිරීම අත්‍යාශයයි කියල ඔබ දන්නවනේ. නමුත් හරියට ජලය පානය කිරීමත් එකලෙසම වැදගත් කියල ඔබ දන්නවද?

එක්වරම වීදුරුවක පමණ ජලය පානය නොකර විටින් විට කුඩා කුඩා ප්‍රමාණවලින් ජලය පානය කිරීම තමයි හරියටම ජලය පානය කිරීම කියල පර්‍යේෂකයන් හඳුන්වාදෙන්නෙ.

මේ මඟින් ශරීරය විජලනය වීමෙන් වලක්වාගන්න ඔබට පුළුවන්. 

ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයෙන් නිවැරදිව ජලය පානය කරන්න ඔබ මතක තබාගත යුතුමයි.  

හරියට කන්න

කාර්‍යබහුල ජීවන රටාව එක්ක කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අඩංගු, ගැඹුරු තෙලේ බඳින ලද, රසකාරක සහ වර්ණක යෙදූ ආහාර වගේම සීනි, වර්ණක යෙදූ පැණි බීම සහ සෝඩා වර්ග පානය කරන්නත් අපි පුරුදු වෙලා ඉන්නවා. 

මේ ආහාර දිගින් දිගටම ආහාරයට ගැනීමෙන් හෘද රෝග, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් වගේ බෝ නොවන රෝග විශාල ගණනක් ඇතිවීමේ අවධානම වගේම මානසික අස්ථාවර බව, වෙහෙස, අලසකම වගේ තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්.

ඒ නිසා සමබර ආහාර වේලක් ගැනීම වගේම හරි වෙලාවට ආහාර ගැනීමත් ඉතාම වැදගත්. 

හැකිතරම් නිවසේදී පිළියෙල කරන ලද ආහාර ගැනීමත් අවතක්සේරු කල නොහැකි වටිනාකමක් ඔබේ ආහාර වේලට එකතු කරනවා. 

ව්‍යායාම අමතක වුනාද?

ව්‍යායාම කරන්න ජිම් යන්න කොහෙද වෙලාවක් කියල ඔබට හිතෙනව ඇති නේද?

ව්‍යායාම කරන්න ජිම් යන්නම ඕන නෑ කියල smart lady අපේ ලිපි කියවන ඔබ නම් හොඳින්ම දැනුවත්නෙ.

ගෙදර ඉඳල කරන්න පුළුවන් ව්‍යායාම වගේම කාර්‍යාලයේදී වැඩ කරන ගමන් කරන්න පුළුවන් ඇවිදීම, අත් කකුල් දිගහැරීම, බෙල්ලට කරන ව්‍යායාම් වගේම පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම, දිවීම වගේ පුංචි ව්‍යායාමයක හරි නිරත වෙන්න ඔබ වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගැනීම හරිම වැදගත්. 

ව්‍යායාම ශරීරයේ අනවශ්‍ය කැලරි දහනය කරන්න වගේම මානසික යහපැවැත්මටත් හරිම වැදගත්. 

මානසික යහපැවැත්ම

ඔබේ ශරීරයේ සෑම අවයවයක්ම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න නම්, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය පැවතීම අනිවාර්‍යයි.

ඒ නිසා අවශ්‍ය නින්ද ලබාගන්න, කෙටි විවේක ලබාගන්න, ඔබ කැමති විනෝදාංශයක එහෙමත් නැත්නම් ක්‍රියාකාරකමක නිරතවෙන්න, විනෝදා චාරිකාවක් යන්න, යාළුවොත් එක්ක සුවපහසු වෙලාවක් ගත කරන්නත් අමතක කරන්න එපා.

මානසික පීඩනය සහ විශාදය වගේ අස්ථාවර වීම් දැනෙනව නම් ඒ සඳහා සුදුසුකම්ලත් වෘත්තීය සහයක් ලබාගැනීමත් ඉතාම වැදගත්. 

දිනපොතක් පවත්වා ගැනීම, සමීප විශ්වාසවන්ත අයෙකු සමඟ ඔබේ අදහස් බෙදා ගැනීම, දවසේ කල යුතු වැඩකටයුතු කල් ඇතුව සැලසුම් කරගැනීම වගේ සරල පියවර අනවශ්‍ය මානසික පීඩනය අඩුකරගන්න ඔබට උදව් වේවි. 

පරීක්ෂණ කරගන්න

ඔබේ ඇස් වල පෙනීම, රුධිරගත සීනි සහ කොලෙස්ට්‍රෝල් මට්ටම, රුධිර පීඩනය වගේ අත්‍යාවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ අවම වශයෙන් වසරකට එක්වරක් හෝ කරගැනීම ඉතාම වැදගත්.

ඔබේ පවුලේ නිදන්ගත රෝග ඉතිහාසයක් ඇත්නම් එවැනි රෝග වල රෝග ලක්ෂණ ගැන ඉතා විමසිල්ලෙන් සිටින්නත් අමතක කරන්න එපා. 

ශරීරයේ යම් ස්ථානයක වේදනාවක්, කැක්කුමක් හෝ යම් අපහසුවක් දැනෙනව නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමත් අත්‍යාවශයයි. 

ඉතිං, ඔබ කොතරම් කාර්‍යබහුල වුනත් මේ කරුණු කාරණා ගැනත් හිතන්න කාලයක් වෙන්කර ගන්න කියල අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

එහෙමනම්, සුවෙන් සතුටින් පරිස්සමින් ඉන්න !

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles