දේවාලයට මුවා වී අපරාධ කළ හොර කපුවා නීතියේ රැහැනට….

දේවාල සහ යාගහෝම වැනි දේවල් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුදල් ඉපැයීමේ ප්‍රධාන වෘත්තියක් බවට පත් ව තිබෙනවා. එවැනි කාර්‍ය කරමින් සමාජය තුල ජනප්‍රිය ප්‍රතිරූප මවා ගනිමින් අසාදාරණව මුදල් ඉපැයීමත් නොයෙක් සමාජ විරෝධී කටයුතු කිරීමත් සුලබ සිදුවීම්. සමාජය රවටන මෙවැනි ක්‍රියා කූඨ ජාවාරම් ලෙස පවත්වාගෙන යන්නේ සමහර මාද්‍ය ආයතන, නීතිය රකින ආයතන වලත් සහයෙන් වීම විශාල ගැටලුවක් . මේ සමාජය තුල ඔවුන් නිර්මාණය කරන ව්‍යාජ ප්‍රතිරූපය නිසා එවන් දේවාලවල කපුවන්ට සිය අනාගතයත්, ජීවිතයත්, මුදල් කන්දරාවකුත් පූජා කරන්නට බොහෝ අය පසුබට වන්නේ නෑ. අපගේ අරමුණ යන්ත්‍ර  මන්ත්‍ර කටයුතු කරන දේවාල වල හෝ ජෝතිශ්‍ය කටයුතු වල සත්‍ය අසත්‍ය බව සොයා යෑම නොවෙයි. නමුත් මෙවන්  ජාවාරාම්කරුවන් අතින් අපරාද හා හිංසනයන්ට බොහෝමයක් කාන්තාවන් හා  දරුවන් ලක් වෙනවා. බොහෝ විට ලිංගික අපයෝජන, අධික ශාරීරික වද හිංසා මෙන් ම ජීවිත හානි පවා මේ කාර්‍යන් අතර සිදු කරන බව නොරහසක්. මෙහි ඛේදවාචකය වන්නේ බොහෝ අපරාධ හෙළි වන්නටවත් ඉඩක් නොතිබීම නිසා සිදුවන මෙවැනි සිදුවීම් සමාජයට හෙලි නොවීම. ඒ නිසාමත්  මේවැනි සිදුවීම් දම්වැලක පුරුක් සේ නොකැඩී සිදු වෙනවා. 

දේවාල ආශ්‍රිත කූඨ ජාවාරම්කරුවන් සිදුකළ නමුත් අනාවරණය නොවූ අපරාධ සිදුවීම් කොතරම් ඇත් ද ? මෙවැනි යාගයකට සහභාගි කල කුඩා දරුවෙක් පහර දීම නිසා මිය ගිය සිදුවීමක් පවා ඔබට මතක ඇති. පාසල් ළමුන් පහළොස්දෙනෙක් අපයෝජනයට ලක් කළ කපුවෙකුගේ  අමානුෂික අපයෝජන සිද්ධිය එවැනි සිදුවීම් අතරට එක් වන අලුත්ම සිදුවීමයි. 

මේ සිදුවීම හෙළි වන්නේ  ජනප්‍රිය පාසැලක සිසුන් දෙදෙනෙකු පාසැලට අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝ කිහිපයක් රැගෙන ඒමත් සමග ඇති වූ විමසුමකදී

පාසැල් ළමුන් පිරිසක් සමූහ වශයෙන් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළ ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කොට සිටින උනවටුන දලවැල්ලේ සතර දේවාලයේ කපුවා ලබන මස 06 වැනි දින දක්වා බන්ධනාගර ගත කරන ලෙසට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා පීරිස් මහත්මිය අද පැවැති වැඩිදුර විභාගයේදී  නියෝග කළා. 

මෙම සිද්ධියට අදාළ ව මුලින් ළමුන් තුන් දෙනෙකු පමණක් හඳුනා ගෙන තිබෙනවා. නමුත් වැඩි දුර පරීක්ෂණවලදී තවත් ළමුන් 15 දෙනෙක් හඳුනා ගත් බවත්, ඉන් පස් දෙනෙකුගෙන් කට උත්තර ගත් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය නිලධාරීන් කියා සිටිනවා. 

සැකකාර කපුවා තමන් මේ ළමයින්ට බයිසිකල්, දුරකථන මෙන් ම දෙමව්පියන්ට මුදල් ද ලබා දුන් බව අධිකරණ වෛද්‍යවරයාට පෙන්වා ඇති බව ද, ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා ඔහුව මානසික රෝග පිළිබඳ විශේෂඥවරයෙක් වෙත යොමු කිරීමට නිර්දේශ කර තිබෙන බව ද වාර්තා වෙනවා. 

ඒ අනුව මොහුව මුල්ලේරියාව මානසික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමටත්, තව දුරටත් කට උත්තර ලබා ගැනීමටත්, මෙම අපයෝජන සිද්ධි සිදුකළ ස්ථානයන්‍ට සැකකරු සමග ගොස් විමර්ශන කටයුතු කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ අවසර ඉල්ලීම මහේස්ත්‍රාත් පවිත්‍රා පීරිස් මහත්මිය පිළිගෙන තිබෙන බවත් වාර්තා වෙනවා. 

මෙම සැකකාර කපුවාගේ තේවාවන්  විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ දී ප්‍රචාරය වීම නිසා ළමයින් මේ සිදුවීමට යොදා ගැනීමට ඉඩ සැලසුණු බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් උසාවිය වෙත පෙන්වා දී තිබෙනවා.

එමෙන් ම මොහු දරුවන් යොදාගෙන පරිගණක අපරාධ සිදු කරන්නට ඇතැයි ද සැක පළ කෙරෙනවා.

දෙමව්පියන් ලෙස දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔබට විශාල වගකීමක් තිබෙනවා. පණ මෙන් රකින දරුවන් සමූහ වශයෙන් මෙසේ අපයෝජනයට ලක්වීම ලොකු ඛේදවාචකයක්. ඔබ කුමන ආකාරයේ විශ්වාසයන් දැරුවත්, කුමන දෙවියෙකු ඇදහුවත් දරුවන් අනාරක්ෂිත කර කටයුතු කරන්නට දෙමාපියන් ලෙස ඔබට හැකියාවක් හෝ ඉඩකඩක් නෑ. දරුවන් සම්බන්ධ ඕනෑම කාරණාවකදී දෙමව්පියන් ලෙස ඔබ කරනා ඕනෑ ම දෙයක් සිහි බුද්ධියෙන් කල්පනාවෙන් කළ යුතුයි.  විශේෂයෙන් ම මෙවන් හොර ජාවාරම්කරුවන් සුලබ වාතාවරණයක් තුළ කිසිත් නොදන්නා දරුවන් මේ අයුරින් අනාරක්ෂිත කිරීමේ වගකීම ගන්නේ කවුරුන් ද ? මෙවන් කූඨ ව්‍යාපාරිකයින්ට උඩගෙඩි දෙමින් ඔවුන් ජනප්‍රිය කරන විද්‍යුත් මාධ්‍යන් ද ? සිහි බුද්ධියෙන් තොර ව දරුවන් මෙවන් දේට යොමු කරන දෙමව්පියන් ද ? අපගේ මතය නම් මෙවැනි සිදුවීම් වල වගකීම සමාජයක් ලෙස. අප සැවොම දැරිය යුතු බවයි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles