CHAT WITH STAR – රජිත හිරාන්…

බොහෝ දෙනා අදටත් රජිතව දන්නේ “පිං පොං” කියලයි. “තට්ටු ගෙවල් “ටෙලි නාට්‍යයෙන් හඳුනා ගත් රජිත අද වෙද්දි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මේ රජිතගේ ජීවිත මතකයන් වලින් බිඳක්.

රජිත…මේ දවස්‌වල මොනවාද කරන්නේ..?

මේ දවස්‌වල “දෝණි ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ මම “පත්මසිරි” කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව “කෝඩුකාරයෝ ” ටෙලි නාට්‍යයේත් වැඩ කරනවා. ඒක රූගත කිරීම් මේ වෙද්දි කරලා අවසානයි. ලගදීම ඒ ටෙලිනාට්‍යත් විකාශනය වේවි.

rajitha hiran

නළුවෙක් වෙන්න ආස කරපු රජිත මේ වෙද්දී අධ්‍යක්ෂක වරයෙක්?

ඔව්. ඇත්තටම ඒක මට ලොකු අවස්ථාවක්. මගේ මිත්‍ර අනුෂ්ක ඉඳුනිල් තමයි මේ සිනමා පටය නිෂ්පාදනය කලේ. මේක කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක්. මේ ගැන අනුෂ්කට යෝජනා කලාම ඔහු ඒකට කැමති වුණා. මේ වගේ කාලයක සිනමා ක්ෂේත්‍රය ගොඩ නගන්නට ඔහු වගේ කෙනෙක් නිෂ්පාදකයෙක් විදිහට ඉදිරිපත් වීම ගැන අපි අගේ  කරන්න ඕනේ. චිත්‍රපටයේ නම “රයිඩර් “.මෙම චිත්‍රපටයේ  රොෂාන් රණවන, අනූජ් රණසිංහ වගේම සනත් ගුණතිලක මහතා හිතන්නේවත් නැති චරිතයකින් ආයෙමත් සිනමාවෙන් දකින්න පුලුවන් වෙනවා. ඊට අමතරව චිලී, රයන්, සනත් දික්කුඹුර, සරත් කුලාංග වගේම මමත් මෙම චිත්‍රපටයේ රඟපානවා. “රයිඩර් “චිත්‍රපටියේ පිටපත මගෙයි. මේ වෙද්දි චිත්‍රපටයේ රූගත කිරීම් අවසානයි. සංස්කරණය වෙමින් පවතිනවා. මේ වසර අවසන් වීමට පෙර එම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට නරඹන්නට පුලුවන් වේවි යැයි අපි විශ්වාස කරනවා.

නළුවෙක් වෙන හීනයක් රජිතට තිබුණද..?

ඔව්. 1995-97 කාලවලදී හීනයක් තිබුණා. ඒක ඇත්තටම හීනයක්. මගේ ඥාති බාප්පා කෙනෙක් තමයි හේමසිරි සෙල්ලප්පෙරැම.ඒ වගේම මගේ නැන්දා චිත්‍රපට නිෂ්පාදිකාවක් විදිහට කටයුතු කලා. එයාලගේ ගෙවල් වලට ඒ කාලේම නිතරම නලු නිලියන් ආවා. නිතරම රන්ජන් රාමනායක ආවා. ඒ ආව රන්ජන් රාමනායක කතාබහ කරලා ජොලියේ කට්ටියට කතා කරලා අත වනලා යනවා දැක්කහම මටත් නළුවෙක් වෙන්න ආස කලා. මම අත වනලා , විහිළු කරලා රන්ජන් රාමනායක වගේ ආතල් එකේ ඉන්න නළුවෙක් වෙන්න ආස කලා. පහුකාලෙදී ඒ ආතල් එකේ ඉන්න නළුවා බිහි වුණේ එහෙමයි.

Rajitha Hiran

හිතේ තිබුණ ඒ හීනය හැබෑ කර ගත්තේ  කොහොමද..?

මම ඩාන්සින් කලා. ඒකෙදීත් එක එක ප්‍රශ්න මට ඇති වුණා. “උස නැහැ. .හැඩ නැහැ, ඩාන්සින් වලට තියෙන පෙණුම නැහැ,  කියලා මාව බොහෝ තැන් ප්‍රතික්ෂේප කලා. ඒ වෙද්දි “නලු පිස්සුව ” උපරිමයෙන්ම මගේ ඔලුවට ගහලයි තිබුණේ. “ගොඩ එන්න තියෙන එකම විසඳුම මේකයි” කියලා හිතිලා මම පාසැල් නාට්‍ය භාර ගුරුතුමා වන තිස්ස ගුණවර්ධන සර් ලඟට ගිහින් නාට්‍ය විෂය ඉගෙන ගෙන වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. මම ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමර විදුහලෙන්. මම නාට්‍ය වලට, නාට්‍ය තරඟ වලට ඉදිරිපත් වෙලා සමස්ත ලංකා නාට්‍ය තරඟ පවා ජයග්‍රහණය කලා. මම අවුරුදු තුනක් පමණ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා.2000 අවුරුද්දේ උසස් පෙල කරලා මාස කීපයකට පස්සේ අනුරුද්ධ ජයසිංහ මහතාගේ “තට්ටු ගෙවල් ” නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබීමත් අහඹු සිදුවීමක්. කොහොම හරි තිර පරීක්ෂණයට ගිහින් මට අවස්ථාව ලැබුණා. මම ඒ අවස්ථාව අතහැරියේ නැහැ. ඔය විදිහට “තට්ටු ගෙවල් ” නාට්‍යයේ “පිංපොං ” ගේ චරිතය කොටස් දෙක තුනක් විකාශනය වෙද්දි ලංකාව බොහෝ දෙනෙක් හඳුනන චරිතයක් වුණා.

තට්ටු ගෙවල් රඟපාද්දී රඟපෑම අතහැරලා ගෙදර එන්න හිතුණේ නැද්ද..?

ඕනතරම් තිබුණා. “තට්ටු ගෙවල්” ටෙලි නාට්‍යයට අනුරුද්ධ අයියා මාව අරගෙන ගිහින් ඒ චරිතය මට දුන්නට නාට්‍යය තුලදී මට ලොකු සතුටුදායක පරිසරයක් ලැබුණේ නැහැ. මට නිදාගන්න කාමරයක්වත් ඒකේ තිබුණේ නැහැ. මට ලොජ් එකේ පැත්තක වේවැල් කැඩුණු පුටුවක පොඩි කොටසක වකුටු වෙලා නිදා ගෙන තියෙනවා. වාහනවල නිදාගෙන තියෙනවා. සමහර වෙලාවට රඟපාන නලු නිලියන්ව ගෙවල් වලට බස්සවන්න යද්දී ඩ්‍රයිවර්ගේ තනියට මාව යවපු දවස් තිබුණා. සමහර දවස්‌වලට පාන් ගේන්න යැව්වා. ඔය අතරේ නලු නිලියන්ගේ ඇඳුම් පවා අයන් කලා. කඩේ රූගත කරද්දී කඩේ ලෑලි ටික අයින් කරලා රූගත කිරීමට සූදානම් කරල ආයෙමත් රූගත කිරීම් අවසාන් වුණාට පස්සේ කඩේ අස්පස් කරලා දෙන්න වුණේ මටයි. මට කිසිම ප්‍රවාහන පහසුකමක් ලැබුණේ නැහැ. හැමදාම මම රූගත කිරීම් වලට ආවේ පාර බස් එකෙන්. බොහෝ අය මට ඉන්න එපා වෙන විදිහට කෙනෙහිලිකම් කලා.

“පිපොං” එපා කියලා අතහැරපු තැන් නැද්ද..?

තිබුණා. එක දවසක් මම රූගත කිරීම් අතහැරලා මම ගෙදර ආවා. ඔය අතරේ මගේ නාට්‍ය උගන්වපු තිස්ස සර් “රජියා..කට්ට කාගෙන කනවා. ඕක කෑවොත් කවදාහරි දවසක තමුසේ හිටියොත් ඔතන කවදාහරි සතුටුදායක දවසක් උදාවෙයි. ඒ නිසා ඔන්න ඔහේ කට්ට කාගෙන ඉන්නවා ” කියලා කිව්වා. ඒ නිසා පිංපොං අතහැරලා ගියපු මම ඊලඟ කොටස් රඟපාන්න ආයෙත් නාට්‍යට එකතු වුණා.

රජිත…ජීවිතේ රඟපාලා ලැබුණු මුල්ම මුදල මතකද…?

අම්මෝ ඔව්. ඒ මුදලත් මතකයි. ඒකට වෙච්ච අකරතැබ්බයත් මතකයි. මට මුලින් “තට්ටු ගෙවල් ” රඟපාලා රුපියල් හත්දාහක චෙක්පතක් ලැබුණා. අම්මෝ..මගේ සතුට ඉහවහා ගිහින්. කටුක අත්දැකීම් බොහෝමයකට මූණ දීලා ලබපු චෙක් එක.විශ්වාස කරන්න ඒ කාලේ ඔය චෙක් ගැන කිසිම දැණුමක් මට තිබුණේ නැහැ. ඒක තිබුණේ නුගේගොඩ බැංකු ශාඛාවකින්.

මම ඒ චෙක් එක මාරු කරගන්න මගේ යාලුවෙක් එක්ක පානදුරේ ඉදන් තකහනියක්ම නුගේගොඩට ගියා. අතේ සතේ නැතිව අම්මගෙන් රුපියල් දෙසීයක් ඉල්ලගෙන නුගේගොඩ ගියපු අපි දෙන්නා මුලින්ම නුගේගොඩින් බැහැල බැංකුවට යන්න කලින් ඉතුරු සල්ලි වලින් කාලා බැංකුවට ගියා. ඒ ආසාවෙන් රුපියල් හත්දාහ ගන්නයි.

ඉතින් චෙක් එක මාරු කලාද..?

මොන චෙක්ද..? බඩ පිරෙන්න අතේ තිබුණු සල්ලි වලින් කාලා බැංකුවට ගියපු මට, චෙක් එක කවුන්ටරේට දීලා අතට ලැබෙන රුපියල් හත්දාහ දෙනකම් බලාගෙන හිටපු මට කවුන්ටරේ මිස් “මේකේ සල්ලි නැහැ “කියලා කිව්වා. අන්තිමට චෙක් එකේ සල්ලිත් නැහැ. ගෙදර යන්න සල්ලිත් නැහැ. කරන්නම දෙයකුත්  නැහැ. දන්න කියන කෙනෙක් නුගේගොඩ තියා ඒ අවට හිටියෙත් නැහැ. අපි නුගේගොඩ සුපර්මාර්කට් එක ලඟ චෙක් එක පෙන්න පෙන්නා ගෙදර යන්න අපි දෙන්නට සල්ලි එකතු කලා. “අයියේ…අපිට චෙක් එකක් ලැබුණා. ඒකේ සල්ලි නැහැ. ගෙදර යන්න සල්ලි නැහැ “කියලා එක අයියා කෙනෙක්ට කිව්වහම මට තාම මතකයි ඒ අයියා පර්ස් එක ඇරලා පලවෙනි පාරටම රුපියල් විස්සක් දුන්නා. ඒ වෙද්දි හොද වෙලාවට නාට්‍යයේ රඟපාලා තිබුණට එක කොටසක්වත්  විකාශනය වෙලා තිබුණේ නැහැ. මීට අවුරුදු විස්සකට පෙර චෙක් එකක් දික් කරලා පොඩි කොල්ලෙක් ගෙදර යන්න සල්ලි ඉල්ලුව මතකයක් කාටහරි තියෙනවානම් ඒ මම කියලත් මතක තියා ගන්න.

රජිතට ඇන්ඩ්‍රියා මුණ ගැහෙන්නෙත් මීට අවුරුදු ගාණකට පෙරයි. ඒ ආදර කතාව ගැනත් අපි කියමු…?

ඔව්. උස ගැන කියලා නැටුම් කණ්ඩායම් වලින් මාව ඉවත් කරපු කාලෙම තමයි මට ඇන්ඩ්‍රියාව මුණ ගැහුණේ . මාව එහෙම අයින් කල නිසා මම නැටුම් කණ්ඩායමක් හදා ගත්තා. අපේ පාසැලේ “ශිෂ්‍ය නායක දිනයට” මම නැටුමක් ඉදිරිපත් කරන්න හැදුවත් අන්තිම මොහොතේ ඒකට හිටපු ගෑණු ලමයා එන්නේ නැතිව මඟ හැරියා. ඒ අතරේ ප්‍රසංගයට ආපු ගෑණු ලමයෙක්ගෙන් මම උදව් ඉල්ලද්දී එයා මට උදව් කලා. ඒ ටානියා. පසුකාලීනව ටානියා මගේ හොඳම මිතුරියක් වුණා. මම එයාගේ ගෙදර ගියා. ඒ ගියපු වෙලාවක තමයි ටානියාගේ නංගී වන ඇන්ඩ්‍රියාව මම මුලින්ම දැක්කේ. එතකොට ඇන්ඩ්‍රියා හත වසරෙ විතර ඇති. අන්තිමට ඇන්ඩ්‍රියාට මගේ හිත ගියා. එයා සාමාන්‍ය පෙළ විභාගය කලාට පස්සේ මගේ ආදරය එයාට කිව්වා. අපි 2008 අවුරුද්දේ විවාහ වුණා. දැන් අපිට දූවරු දෙන්නෙක් ඉන්නවා.

Rajitha Hiran

කාලයක් රන්ජන් රාමනායක වගේ නළුවෙක් වෙන්න ආස කරපු රජිත පසුකාලීනව රන්ජන් එක්ක එකට රඟපාන්නත් අවස්ථාව ලැබුණා නේද..?

අම්මෝ ඔව්. ඒ කාලේ රන්ජන් අයියව මුණ ගැහුණම “රන්ජන් අයියේ මම කවුරු වගේද කියලා දවසක් ඇහුවා. එතකොට මම කොණ්ඩය ඉස්සරහින් කපලයි තිබුණේ. “මල්ලී උඹ හරියට ෂාරුක් ඛාන් වගේ”  කියලයි රන්ජන් අයියා කිව්වේ.මට ඊට වඩා දෙයක් නැති තරම්. එදා ඉඳන් “ෂාරුක්ගේ පිස්සුව ” තවත් වැඩි වුණා. ඒ නිසා දකින දකින පාර, කෝල් කරන පාර, “රන්ජන් අයියා…මම වලානේ ෂාරුක් “කියලයි කිව්වේ. කාලයකට පස්සේ රන්ජන් අයියා ඇමරිකාවට ගියා . ඒ කාලෙදී තමයි මම රංඟනයට එකතු වුණේ. ඊටත් ටික කාලයකට පස්සෙ රන්ජන් අයියා ලංකාවට ආවට පස්සේ මම ඔහුව මුණ ගැහිලා “රන්ජන් අයියේ මම වලානේ  ෂාරුක් “කියල ඒ අතීතය මතක් කලා. ඔහු මාව “වන් ෂොට් “චිත්‍රපටයට සම්බන්ධ කර  ගත්තා.

මේ ආපු ගමන ගැන අද මොකද හිතෙන්නේ..?

අවුරුදු හතලිහක් තිස්සේ මේ ආපු ගමනේදී සතුටුවීම්, ගොඩක් තියෙනවා. දෙවියන් ලබාදීපු දේවල් වගේම දෙවියන් අරගත්තු දේවල් තියෙනවා. උත්සහ කරලා හීන හඹාගෙන ගිහින් ලබා ගත්තු දේවල් තියෙනවා. උත්සහ කරලා ගිලිහුණු දේවල් තියෙනවා. දුක කදුළු හැමදේම අතරේ බොහෝ බලාපොරොත්තු ඉටු වුණා. ඔය අතරේ යටි සිතේ තිබිලා මඟ හැරුණ තැන් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ මම නීතිඥවරයෙක් වෙන්න ආස කලා. මේ  දවස්‌වල ජනසන්නිවේදන ඩිප්ලෝමාව කැලණි විශ්ව විද්‍යාලයෙන් හැදෑරුවා. මුලින් රජිත හිරාන් යට ගිහින් “පිංපොං” මතු වුණා. දැන් “පිංපොං” යට යවලා රජිත හිරාන් ඉස්මතු කරන්නට උත්සහ ගන්නවා. මට “තට්ටු ගෙවල් -2” ආයෙමත් අධ්‍යක්ෂණය කරන්නට ආසයි. බලමු…ඒ බලාපොරොත්තුව අනාගතයට බාර කරනවා.

Related Articles

Don't Miss


Latest Articles