Chat With Star – නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් ජනප්‍රිය දක්ෂ කලාකාරියක්.
“මුතු කිරිල්ලී ” ටෙලි නාට්‍යයෙන් බොහෝ දෙනා හදුනා ගත් නෙහාරා රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ කලාකාරියකී. ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටි කාලයක නෙහාරා තම සැමියා වූ මේනක රාජපක්ෂ සමඟ ඇමරිකාවට ගියේ මේනකගේ උසස් අධ්‍යාපනය සඳහායි.මේනකද දක්ෂ රංඟන ශිල්පියෙක් මෙන්ම මේ වෙද්දි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.
කලක් ඇමරිකාවේ සිටි නෙහාරාත් මේනකත් ලංකාවට ආ අතර මේ වෙද්දි නෙහාරා පුංචි දූ පැටියෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්….මේ ඒ සොඳුරු ජීවිතය ගැන ඇය කිව් කතාවයි…

නෙහාරා…ඉතින්..මේ දවස්‌වල මොනවාද කරන්නේ..?

මේ දවස්‌වල නාලිකාවක සතියකට දවස් දෙකක් උදෑසන වැඩසටහනක් නිවේදනය කරනවා. ඊට අමතරව ආරාධනා කරන විවිධ වැඩසටහන්වලටත් සහභාගි වෙනවා.පහුගිය කාලයේදී මේනකගේ අලුත් ටෙලි නාට්‍යයේත් රංගනයෙන් දායක වුණා.ඒක බොහෝම ඉක්මනට විකාශනය වෙන්න නියමිතයි. ඊට අමතරව වැඩි කාලයක් වෙන්වෙන්නේ චූටි දූ එක්කම තමයි.

අද ආදරණීය අම්මා කෙනෙක්. චූටි දූ එක්ක ගත කරන ජීවිතය අද දැනෙන්නේ කොහොමද..?

ඒ ජීවිතය හරිම ෂෝක්. කාර්ය්‍යබහුලයි. සුන්දරයි. දෙසැම්බර් මාසයේ පලවෙනිදාට චූටි දූට අවුරුද්දක් ලබනවා. එයා හරිම හුරතල්. අපි කියන ඒවා එයා කියවන්න යනවා. හරි දඟයි. හරිම කියුට්.එයා එක්ක ගත කරන ජීවිතය හරි සුන්දරයි. එයාගේ නම මේලි නිකෝලා රාජපක්ෂ.

ආරංචියේ හැටියටනම් දුව ඉපදෙන්නත් කලින්ම “මේලි  “නෙහාරායි මේනකයි තෝරගෙනයි තිබුණේ..?

ඔව්නේ. මම ඉගෙන ගත්තේ මිලාගිරියේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. ඒ පාසලේ හරි හුරතල් “මේලි ” කියල චූටි නංගී කෙනෙක් ඉගෙන ගත්තා. මම ඒ නමට ආස කලා. ඉතින් දූ ලැබෙන්නත් කලින්ම “අපිට දුවෙක් ලැබුණොත් “මේලි ” කියල දාමු” කියල මම මේනකට කියලයි තිබුණේ. ඉතින් හිතුවා වගේම දුවෙක් ඉපදුණා. හිතුවා වගේම ඒ චූටි දූ මේලි වුණා.

ඒ කියන්නේ නෙහාරා ආසාවෙන්ම හිටියේ  දුවෙක්ට..? එහෙම නේද..?

ඇත්තම කියන්නද..? මායි මේනකයි දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් කමක් නෑ කියලයි කතා වුණේ. හැබැයි මේනක හිත යටින් ආස වෙලා හිටියේ දුවෙක්ට.මාත් හිත යටින් ආස වෙලා හිටියේ දුවෙක්ට. හැබැයි ඒ ආසාවල් අපි දෙන්නට දෙන්නා කිව්වේ නැහැ. කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අපිට දුවෙක් කියලා කියද්දී අපේ ආසාව වැඩි වුණා. එදා ඉඳන් අපි අපේ දූ එනතුරු බලාගෙන හිටියා.

“අම්මා ” කියන පදවිය හරි අපූරු පදවියක්. මීට අවුරුද්දකට පෙර ජීවිතයට ඒ උතුම් පදවිය ලබපු මොහොතේ ඇත්තටම මොකද හිතුණේ..?

අම්මෝ…ඒ මොහොතේ දැනුණ හැඟීම වචනවලින් කියන්න හරි අමාරුයි. ඒක හරි අපූරු අත්දැකීමක්. බබා මේ ලෝකෙට ඇවිත් මුලින්ම අඬන සද්දය ඇසුණු මොහොතේ පටන් මගේ ඇස් වලින් කඳුලු ගැලුවා. ඒ සතුටත් එක්ක නිහතමානී ආඩම්බරයක් මට දැනුණා. බබාත් එක්ක හිතට දැණුණ වගකීම ගැන කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ මොහොතේ ඉදන් මගේයි මේනකගෙයි ලෝකය වුණේ මේලි. මේ අවුරුද්ද පුරාවට දවස් ඉක්මනින් ගත වෙනවා කියලයි මට හිතෙන්නේ. කාලයක් යනතුරුම මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. ගෙදරට වෙලා චූටි දූ එක්කමයි හිටියේ. ඒ නිසා එයාට එක්ක ගත කරන කාලය ඉක්මනින් ගෙවෙද්දී ලෝභ කමක් දැනෙනවා. “දැන් එයාට අවුරුද්දයි ” කියලා හිතද්දී සතුටුයි. හැබැයි හැමදාම ඒ වගේ චූටියට ඉන්නවානම් ෂෝක් කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.

කාලයක් මේලි එක්ක ගෙදරම හිටපු නෙහාරා දැන් කලා කටයුතු වලට සම්බන්ධ වෙනවා. කෙටි කාලයකට හරි එයාගෙන් වෙන් වෙලා ඉන්න හිත හදා ගත්තේ කොහොමද..?

අනේ ඒකට හිත හදා ගත්තේනම් අමාරුවෙන්. මම එයා එක්කම ඉඳලා මුලින්ම එලියට ගියේ මේනකගේ නාට්‍යයේ ෂූටිං වලටයි. ඔක්තෝබර් මාසයේදී තමයි මුලින්ම ඒ රූගත කිරීම් පටන් ගත්තේ. පලවෙනි දවසේ මට එයාව හරියට මගහැරුණා. මට පුදුම පාලුවක් දුකක් දැනුණේ. එයාව මගේ අම්මී ගාව තමයි තියලා යන්නේ. කොහොමටත් චූටි දූ මගේ අම්මිටත් හොදට හුරුයි. මම ගෙදර හිටියත් මම ගෙදර වැඩක් කලත් චූටි දූ අම්මී එක්ක ඉන්නේ. ඒ නිසා දූට අම්මිව හොඳට හුරුයි. ඒ නිසා මම දුවව ගෙදර තියලා ගියත් මගේ දූගේ වැඩකටයුතු ගැන, ආරක්ෂාව ගැන,කිසිම බයක් නැහැ. මම බබාව බලා ගන්න විදිහටම අම්මී එයාව බලා ගන්නවා. ඒ නිසා ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ නෑ. කිසිම බයක් නැතිව මම නිදහස් මානසිකත්වයකින් තමයි රූගත කිරීම් වලට යන්නේ. හැබැයි මට එයාව හැම මොහොතකම මතක් වෙනවා. මට එයා නැතිව පාලුවක් දැනෙනවා. කොහේ ගියත් ඉක්මනට ඒ වැඩේ ඉවර කරලා ඉක්මනට ගෙදර එන්න තමයි දැන් මගේ හිත කියන්නේ. මුල් කාලයේ එලියට ගිය හැම මොහොතකම මම වීඩියෝ කෝල් අරගෙන දූ එක්ක කතා කලා. හැබැයි දැන්නම් මම එලියට ගියාම එයා එක්ක වීඩියෝ කෝල් අරගෙන කතා කරන්නේ නැහැ. එයාට දැන් මම නැහැ කියල තේරෙන  නිසා වීඩියෝ කෝල් ගත්තම අඬනවා.

කාලයක් තිස්සේ නෙහාරාගෙයි මේනකගෙයි සුරතලා…ස්නෝවි ගෙදරට ආපු අලුත් චූටි අමුත්තියට ප්‍රතිචාර දැක්වුවේ කොහොමද..?

ඔව්. අපේ හුරතලා ස්නෝවි අපිත් එක්කමයි හිටියේ. එයා හරිම හුරතල් ආදරණීය බව්වෙක්. මායි මේනකයි විදෙස් ගත වුණාට පස්සේ ස්නෝවිව බලා ගත්තේ අපේ තාත්තී. ඒ නිසා එයා තාත්තිට ගොඩාක් කිට්ටු වුණා. අපි ලංකාවට ආවත් ස්නෝවි වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ තාත්තිට. චූටි දූ මගේ කුසේ ඉදිද්දී ස්නෝවිට ඒක තේරුණා. එයා සැරෙන් සැරේ මම ගාවට ඇවිත් මාව ඉව කලා. එයාගේ භාෂාවෙන් මට මොනවාදෝ කිව්වා. සමහර වෙලාවට මගේ කුසට එයාගේ කණ තියාගෙන හිටපු දවස් තිබුණා. එයාට පොඩි ඉරිසියාවකුත් තියෙනවා. හැබැයි බබාට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. එයා චූටි දූව ගණන් ගන්නේ නැහැ. අපි බබාව එයා ලඟට කලොත් එයා හෙමීට සුවඳ බලලා බබා දිහා බලනවා.  වැඩිය ගණන් ගන්නේවත්  හිරිහැර කරන්නේවත් නැහැ. හැබැයි අපේ තාත්තී බබා ගත්තොත්නම් එයාට හරි ඉරිසියයි. ඒ වෙලාවට එයා සෙල්ලම් බඩුවක් උස්සගෙන යනවා.

නිලියක් වීම,කලාකාරියක් වීම, නෙහාරා පුංචි කාලේ දැකපු හීනයක්ද…?

නැහැනේ… මේක අහම්බෙන් සිදුවුණු දෙයක්. අපේ දහය වසර පන්ති භාර ගුරුතුමී වුණු අමරජීව ටීචර් හැමෝගෙන්ම අනාගත බලාපොරොත්තු මොනවාද කියල ඇහුවා. ඒ වෙලාවේ මම “අම්මා වගේ ගෘහණියක් වෙනවා “කියලයි කිව්වේ. කලාකාරියක් වෙන්න මම කවදාවත් හිතුවේ නැහැ. මේක බොහොම අහම්බෙන් ආපු ගමනක්.තාමත් වැඩකරගෙන හෙමීට යනවා.

ජනප්‍රිය කලාකාරියක් විදිහට හිටපු කාලයේදීම නෙහාරා මේනක එක්ක ඇමරිකාවට ගියා. ලංකාව, ජනප්‍රියත්වය අතහැරලා යන්න දුක හිතුණේ නැද්ද..?


 
එහෙම දුකක් ලොකුවට දැනුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ කාලේදී මායි මේනකයි මුහුණ දුන්නු ප්‍රශ්න නිසයි. සමහරු අපි ගැන නොදැන අපිට විවිධ කතා කිව්වා. ජීවිතේ වුණු සමහර කඩාවැටීම් නිසා සමහරු අපි ගැන කතා හැදුවා.ඒ හැම දේකින්ම මගේ හිත රිදිලයි තිබුණේ. කලකිරීමක් තිබුණා. ඒ නිසා මේ රට දාලා ඇමරිකාවට යන්න දුකක් හිතුණේ නැහැ.

 විවාහ වූ පසුව, දරුවන් ලැබුණායින් පසුව සමහර කාන්තාවන් “දැන් කවුරු බලන්නද..?”කියමින් තමන් ගැන, තමන්ගේ රූපය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නෙහාරා ඒ ගැන මොකද හිතෙන්නේ..?

අම්මා  කෙනෙක් වීම ගැහැණියකගේ ජීවිතයේ උතුම්ම පදවියයි. අම්මා කෙනෙක් වුණා කියලා අපිට ජීවිතයේ අනෙක් දේවල්  අතපසු කරන්න, අමතක කරන්න බැහැ. අම්මා කෙනෙක් වුණාට පස්සේ කලින් හිටියාටත් වඩා ලස්සනට පිරිසිදුවට ඉන්න ඕනේ. එහෙම වුණොත් තමයි සැමියාට සහ දරුවන්ට ආඩම්බරයක් දැනෙන්නේ. මම හැම දේම මගේ වෛද්‍යතුමා සහ මගේ ව්‍යායාම් උපදේශකතුමා සමග කතා කලා. මගේ සිසේරියන් සැත්කමින් සති හයකට පස්සේ මට හෙමීට  ව්‍යායාම් කරන්න පුලුවන් කියලා කිව්වා. සති හයකට පස්සේ මම ව්‍යායාම් පටන් ගත්තා. මුල් කාලයේ සතියේ දින හතම මම ජිම් එකට ගියා. කොවිඩ් නිසා ඒක නතර කරන්න සිද්ධ වුණා. හැබැයි මම හැමදාම ගෙදරදී ව්‍යායාම් කලා. ඒ වගේම නිසි කෑම පාලනයක් කලා.

නෙහාරා…ඔය හිතේ තියෙන බලාපොරොත්තු මොනවාද..?

එහෙම පොදි බැදගත්ත බලාපොරොත්තු නැහැ. ලොකුම බලාපොරොත්තු අපේ චූටි දූ. එයාව හොඳ දරුවෙක් කරන්න තමයි තියෙන බලාපොරොත්තු වන්නේ. ආදරය, කරුණාව, මනුස්සකම දන්න දරුවෙක් කරන්නයි අපිට ඕනේ.

-දිශානි ජයමාලි කරුණාරත්න –

Related Articles

Don't Miss


Latest Articles