Chat With Star – අනුරාධා එදිරිසිංහ

අනුරාධා එදිරිසිංහ මේ දවස්‌වල කාර්යබහුල කලාකාරියක්. කොයි තරම් කාර්ය බහුල වුණත් SmartLady ඔයාලා වෙනුවෙන් ඇය ඇගේ ජීවිතයෙන් බිඳක් ගැන කතා කලේ මේ විදිහටයි.

අනුරාධා…මේ දවස්‌වල මොනවාද කරන්නේ?

මේ දවස්‌වල “සකර්ම” අධ්‍යක්ෂක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණ කරන “සුසුම් රස්තියාදුවක් ” කියන අලුත් නිර්මාණයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව “කොළඹ ඉතාලිය ” මේ දවස්‌වල විකාශනය වෙනවා. ඒක ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන නිර්මාණයක්. ඒකත් වගේම ” ගුග්ලි ” නාට්‍යයත් මේ දවස්‌වල විකාශනය වෙනවා. ඔය අතරේ හේමන්ත ප්‍රසාද් මහතාගේ ටෙලි සිනමා පටයකටත් දායක වුණා.

  • ඒ කියන්නේ මේ දවස්‌වල අනුරාධා කාර්යබහුල කලාකාරියක්?

ටිකක් විතර කාර්යබහුලයි. ඇත්තම කිව්වොත් මගේ ගෙදර අයත් එක්ක නිදහසේ සතුටින් ගත කරන්න මේ දවස්‌වල කාලය නැති තරම්. සමහර දවස්‌වලට මම උදේ පාන්දර ගෙදරින් එද්දී අම්මා නිදි. රෑ නිදි මරාගෙන සමහර දවස්‌වලට ගෙදර අය මම එනකම් ඇහැරිලා ඉන්නවා. ඒක ඒ අයට වදයක්. ඒ නිසා පාන්දර එද්දී මට අම්මව ඇහැරවන්න ලෝභයි.පව්නේ. ඒ නිසා මම රූගත කිරීම් කරන තැනට ගිහින් අම්මට වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කරනවා. ඒ නිසා මේ දවස්‌වල පවුලේ අය එක්ක කතා කරන්න.,සතුටු වෙන්න තියෙන කාලය හරි අඩුයි. හැබැයි මම පවුලේ විශේෂ අවස්ථා තිබ්බොත් නම් අනිවාර්යයෙන්ම ඒ අය එක්කම ඉන්නවා.

අනුරාධාගේ උපන් දිනයට ගෙදර අය එක්කම හිටියා කියලයි ආරංචිය?

ඔව්නේ. මගේ උපන් දිනය තිබුණේ මාර්තු පලවෙනිදා. එදා මම ෆෝන් එක පවා අයින් කරලා ගෙදර අය එක්කම මගේ උපන් දිනය සැමරුවා. මගේ උපත ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ අම්මා.ඒ නිසා මම මේ උපන් දිනේ වැඩි කාලයක් වෙන් කලේ ඒ අයටයි.

මේ දකින්නේ අනුරාධා පුංචි කාලේ දැකපු හීනයක්ද?

නැහැ එහෙම නිලියක් කලාකාරියක් වීමේ හීනයක් මට තිබුණේම නැහැ. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා බලාපොරොත්තු වුණේ එයාගේ දරුවෝ දෙන්නා හොඳට ඉගෙන ගන්න ඕනේ කියලයි. මේ අතරේ කලාවට සම්බන්ධ වුණොත් ඉගෙනීම කඩා කප්පල් වේවි කියලයි තාත්තා හිතුවේ. ඒ නිසා මට එහෙම හීනයක් තිබුණේ නැහැ. මම පුංචි කාලේ හරි දඟයි. මම මිශ්‍ර පාසලකින් ඉගෙන ගත්තේ. ඒ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන්. මට එක අයියා කෙනෙක්ඉන්නවා. අයියා එක්ක සෙල්ලම් කරද්දීත් මම හරි දඟයි. “ඒ ඔයාගේ මල්ලිද “කියලයි සමහරු මගෙන් ඇහුවේ.

අද වෙද්දී අනුරාධාව බොහෝ දෙනා හඳුනනවා. හිතනා විදිහට කලා කක්ෂේත්‍රයේ ඔයාගෙ හැරවුම වුණේ කොතනින්ද?

නිර්මාණයක් ඇතුලේ මගේ හැරවුම විදිහට මම දකින්නේ තුෂාර තෙන්නකෝන් මහතා අධ්‍යක්ෂණ කල දෙරණ නාලිකාවේ විකාශනය වුණු “රාවණ”ටෙලි නාට්‍යයි. එහිදි මම පුශ්පෝත්කතා  චරිතයෙන් වෙනස්ම තලයකට ගෙනිච්චා. ඒ හරහා මාව නිර්මාණ වලට වෙනස්ම පාරක් ඇරුණා කියලයිමට හිතෙන්නේ. ඒ චරිතය වෙනුවෙන් මගේ නම යෝජනා කරපු ලක්සිරි සර්, චරිත් අයියා වගේම අධ්‍යක්ෂ තුෂාර අයියා ඇතුළු මුළු කණ්ඩායමට ගොඩක් ස්තුති කරනවා.

පොලිස් නිලධාරියෙක් වුණු තාත්තා ගෙදරිදිත් ඔයාලට තහංචි නීති රීති දාලා තිබුණද?

එහෙම නොතිබුණාම නෙවෙයි. ඒවා තාත්තා ඇඟිල්ලෙන් ඇණ ඇණ දාපු නීති ටිකක් නෙමෙයි. නමුත් තාත්තාට අපි බයයි. තාත්තා ටිකක් සැරයි. ඒක සාමාන්‍යයෙන් ඕනෑම ගෙදරක වෙන දෙයක්නේ. අපේ ගෙදර අපි දඟ වැඩක් කරලා අම්මා “තාත්තට කියනවා “කියලා කිව්වොත් අපි සද්ද කරන්නේ නැහැ. පසුකාලීනව තාත්තා මම කලාවේ කරන දේවල් දැක්කා. මුල් කාලයේදී මම සම්බන්ධ වුණු නිර්මාණ දැක්කා. මම පුවත්පත් වලින් ටී.වී එකෙන් තාත්තා ගැන කියන දේවල් අහලා තාත්තා ගොඩාක් සතුටු වුණා. අද මගේ තාත්තා ජීවතුන් අතරේ නෑ.මට තේරුමක් තියෙන වයසේ නිසා මම හරියට මේ දේවල් කරාවි කියලා තාත්තා විශ්වාස කලා . හැබැයි මගේ අයියා විදුලි බල මණ්ඩලයේ සේවය කරන්නේ. මුල් කාලයේදී මම මේ නිර්මාණ වලට යද්දී “ඕක නැතිව වෙන රස්සාවකට යමුද “කියලත් තාත්තා කීපවතාවක්ම මගෙන් ඇහුවා. අහම්බෙන් වෙලද දැන්වීමට පෙනී ඉදලා ඒ හරහා ආපු ගමනක් මේක. මුල් කාලයේදීම මම අනෝජා වීරසිංහ මහත්මියගේ “අභින “පාසලට සම්බන්ධ වුණා. මගේ වාසනාවට අනෝජා මිස්ගෙන් මට කලාව සම්බන්ධ බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මුලදී මට දිගටම කලාවේම ඉන්නවාද වෙන රස්සාවක් කරනවාද කියලා තේරුමක් තිබුණේ නැහැ. හැබැයි මේ ක්ෂේත්‍රයේ  මම යන විදිහ ගැන තාත්තා සතුටු වුණා.

අද වෙද්දී මිනිසුන්ගේ ආදරය දිනා ගන්නට අනුරාධාට අවස්ථාව ලැබුණා. මේ ආපු ගමන ගැන ආයෙත් මතක් කලොත් මේ දුෂ්කරතා එක්ක ආපු ගමනක්ද..?

ඔව්. මම කරපු නිර්මාණ දිහා බලද්දී ලබපු දුෂ්කරතා තියෙනවා. මම ප්‍රධාන චරිත නිරූපණය කරලා මේ ආපු ගමනක් නෙමෙයි. හැබැයි මේ වගේ කෙටි කාලයක් ඇතුළතදී විවිධ නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම  සම්බන්ධ වෙන්න හීන මවපු අධ්‍යක්ෂකවරුන් යටතේ, මම හීන මවපු චරිතවලට ආරාධනා ලැබිලා ඒවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු තැන් තියෙනවා. ඒ නිසා මම වාසනාවන්තයි කියලා මට වෙලාවකට හිතෙනවා. මට හිතෙන විදිහට මේ ආපු ගමනේදී මම බොහෝ අත්දැකීම් ජීවිතයට එකතු කර ගත්තා.

පාසැල් ප්‍රේමය බොහෝ දෙනෙක්ට අමතක කරන්න බැහැනේ. අනුරාධාටත් එවැනි ප්‍රේමයක් තිබුණා?

ඔව්. පාසැල් කාලයේදී මට ප්‍රේමයක් තිබුණා. ඒ කාලයේදී ඒක ඒ තරම් තේරෙන්නේ නැහැ. එයා මට වඩා අවුරුදු කීපයක්ම වැඩිමල් කෙනෙක්. මම පාසැල් ගියත් ඒ වෙද්දි ඔහු පාසල් අධ්‍යාපනය කරලා හමාරයි. ඒ මුණ ගැහීම අහම්බයක්. ඒ කාලේ අපිට ජංගම දුරකථන තිබුණේ නැහැ. ඒ ප්‍රේමය අවුරුදු ගාණක් තිබුණා. පොඩි කාලේ ඉඳන් මම හැම දේම අම්මා එක්ක කතා කලා. අම්මා එක්ක නොකියන දේවල් හරි අඩුයි. මම ගෙදරට ඇමතුමක් ආවත් ඒ ගැන අම්මට කිව්වා.

අනුරාධා ඊලඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

ජීවිතේ පලවෙනි වතාවට මම රඟපෑ ටෙලි නාට්‍යයකින් හොඳම සහය නිළිය ලෙස සම්මාන උළෙලේදී මගේ නමත් නිර්දේශ වෙලා තියෙනවා. ඒ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණ කල “සකර්ම “ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය වෙනුවෙන්. “සකර්ම” ටෙලි නාට්‍යයේ ප්‍රවීණ නලු නිලියන් බොහෝමයක් හිටියා. ඒ ටෙලිනාට්‍යයේ රඟපාපු ආධුනික කෙනා මම වෙන්නත් ඇති. ඒ වගේ ප්‍රවීණ පිරිසක් එක්ක රඟපාන්න ලැබි. ඔවුන්ගේ ආශිර්වාද හා සහයෝගයත් එක්ක මම රඟපාපු චරිතය වෙනුවෙන් සම්මාන උළෙලකදී නිර්දේශ වීමත් මම ජීවිතේ ලබපු ලොකු භාග්‍යයක්. ඒ වෙනුවෙන් ප්‍රියන්ත අයියා ඇතුළු කණ්ඩායමටම ස්තුති කරනවා. ඉදිරියේදීත් තව හොඳ නිර්මාණ වලට දායක වෙන්නත් මම කැමතියි. කාටවත් කරදරයක් නැතිව සතුටින් ජීවත් වෙන්න ආසයි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles