Chat with Star – නිල්මිණි කෝට්ටේගොඩ

නිල්මිණි කෝට්ටේගොඩ කියන්නේ  මේ රටේ මිනිසුන්ගේ ආදරය දිනා ගත් ආදරණීය කලාකාරියක්.  රංඟනයට වගේම ගායනයටත් අපූරු හැකියාවක් ඇති නිල්මිණි පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැ. ඇය කොහේද ගියේ..? මොකද කලේ..? අපි නිල්මිණිගෙන්ම අහලා බලමු…

නිල්මිණී…පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැනේ. කොහේද හිටියේ..?

ඔව්. මීට මාස එකහමාරකට උඩදී මම ලංකාවේ හිටියේ නැහැ. මගේ ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක් සහ වාසනාවක් විදිහට ඒ ගමන මම හඳුන්වනවා. මගේ ජීවිතේ එක එක කාල වකවානුවේදී එක එක වාසනාවල් උදා වෙලා තියෙනවා. ඒ අතරින් එක් වාසනාවන්ත දෙයක් විදිහට මම මේ ගමන හඳුන්වනවා. මීට පෙර මම යුරෝපා රටවල සංචාරය කරලා තිබුණට එකම ගමනේදී රටවල් කිහිපයකට සංචාරය කරන්න ලැබුණේ මේ ගමනේදීයි. ඒක මට සුවිශේෂයි. මේ ගමනේදී ප්‍රංශය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඉතාලිය ඇතුළු රටවල් අටක සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. අපි “කොමඩි සමඟ ගී සැදෑව” නමින් ප්‍රසංගයක් මේ රටවල පැවැත්වුවා. මේ ගමනට මමයි, මහින්ද පතිරගේ, ප්‍රියන්ත සෙනවිරත්න, සහ තක්ෂිලා සෙව්වන්දි සහභාගි වුණා. ඒක ඉතා සාර්ථක ගමනක් වුණා.

මේ ගමන සංවිධානය කලේ කවුද..?

රටවල් අටක් පුරා ගිය මේ ගමනේදී සංවිධානය ඉතා ඉහල අගයක තිබුණා.ඒ ගිය හැම රටකින්ම අනිත් රට අපිව බාර ගත්තේ හරිම ආදරයෙන්. මේ ගමනට මාව එකතු කර ගත්තේ ඔස්ට්‍රියාවේ රුවන් අධිකාරියි. ඒ වගේම මේ ගමනට මූලිකව කටයුතු කලේ ඉතාලියේ වෙසෙන රුවන් රණසිංහ මහතායි. ඒ වගේම තක්ෂිලා සෙව්වන්දිවත් ආදරෙන් මතක් කරනවා.. ඒ හැම රටකම හිටිය සංවිධානයක වරුන්ගේ ආදරය, හා කැපවීම නිසා අපි මාස එකාමාරක් පුරාවට රටවල් අටක කරපු සාර්ථක ප්‍රසංග මාලාවක් අවසන් කරලා පසුගියදා ආයෙමත් ලංකාවට ආවා.

ඒ රටවලදී ආදරණීය රසික රසිකාවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද..?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි මාස එකාමාරක් ඒ රටවල්වල හිටියා. ඒ ආදරය ගැන කියන්න අදටත් මට වචන නැහැ. මේ වනවිටත් අපේ වෙලාවයි ඒ රටවල වේලාවයි ටිකක් වෙනස්නේ. හැබැයි රෑ දෙගොඩ හරි ජාමේ වුණත් අපි online ඉන්නව කියල දැනගත්තොත් ඒ අය කතා කරනවා. අපිත් එහෙමයි. අපිට වගේම ඒ අයටත් අද අපේ රටේ තත්ත්වය ගැන හරි දුකයි. රට ගැන අපෙන් විස්තර අහනවා. ආයෙත් ඒ රටට එන්න කියලා අපිට කියනවා. නැවත වාසනාව තිබුණොත් ආයෙත් අපි ඒ රටට යාවි.

සිංහල අලුත් අවුරුද්ද සමරන්නට නිල්මිණී ඇතුළු පිරිසට ලංකාවට එන්න පුළුවන් වුණා නේද..?

ඔව්. අපි සංචාරය ඉවර වෙලා අප්‍රේල් දහතුන හවස ලංකාවට ආවා. හැබැයි මේ පාර අපේ ගෙවල් වලත් අවුරුදු සැමරුවේ නැහැ. කිසිම කැවිලි පෙවිල්ලක් හැදුවේ නැහැ. රටේ තියන ප්‍රශ්නය අපි හැමෝටම බලපෑවා. රටේ මිනිස්සු මහ පාරේ පෝලිම් වල ඉදිද්දී අපි නැකැත් සමරන්නේ කොහොමද? ලැබුණු ආරාධනාවක් නිසා එදා මම නාලිකාවක උත්සවයකට සහභාගි වුණා. මම ගෙදර එද්දී හවස් වුණා. සාමාන්‍ය දවසක් විදිහට එදා දවස ගෙවිලා ගියා.

කලාකාරියක් වීම, නිලියක් වීම නිල්මිණි පුංචි කාලේ දැකපු හීනයක්ද..?

නැහැ. මට නිලියක් වෙන්න පුංචි කාලේ එහෙම හීනයක් තිබුණේ නැහැ. මම ගුවන් සේවිකාවක් වෙන්න ආස කලා. චූටි කාලයේදී අහසේ ගුවන් යානයක් යද්දී ගේ ඇතුලේ හිටියත් දුවගෙන ඇවිත් අහස දිහා  බලපු කාලයක් තිබුණා. කොච්චර බැලුවත් ඒ බැලිල්ලේ එපා වීමක් තිබුණේ නැහැ. අහසේ ගුවන් යානයක් යද්දී ඒකේ යන්න, ඒකේ වැඩ කරන්න ආස කලා. අත් දෙක දෙපැත්තට කරගෙන ගුවන් යානය වගේ සෙල්ලම් කරපු කාලයක් තිබුණා. ගුවන් සේවිකාවක් වෙන්න ආස කලාට ඒ ගැන වැඩි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසාමයි පහුකාලෙදී ගුවන් සේවිකාවක් වෙන හීනය මගෙන් අතහැරියේ. කුරුල්ලෙක් වගේ අත් දෙක විහිඳවගෙන ගුවන් යානය වගේ ගියපු ලමා හැඟීමත් එක්ක ගුවන් සේවිකාවක් වෙන්න දැකපු හීනය පසුකාලයේදී අතහැරලා ගියා.

පාසැල් යන කාලයේදී පාසල් වේදිකාවේදී නිල්මිණි සම්බන්ධ වෙලා වැඩ කලාද..?

ඔව්නේ. මම ඉගෙන ගත්තේ කළුබෝවිල මහ විදුහලේ. පාසැලේදී මට සිංහල ඉගැන්වුවේ සමරසිංහ ගුරුතුමියයි. එතුමිය ඔය කවි පාඩම හඬ නගලා කියවන්න ඉස්සරහට ගත්තේ මාවයි. පාසැලේ තිබුණු සිංහල සාහිත්‍ය දවස, විවිධ ප්‍රසංග වලදීත් මාව සිංදු කියන්න, නාට්‍ය වල රඟපාන්න, නර්තනයට සම්බන්ධ කරගත්තා. ඒවත් එක්ක මගේ තිබුණු සබකෝලය නැතිව ගියා. පාසලේදීත් කවි, ගීත තරඟ වලට ඉදිරිපත් වුණු නිසා මගේ හැංගිලා තිබුණු දක්ෂතා ඉදිරියට ආවා.

පුංචි කාලේ නිල්මිණි මොන වගේ චරිතයක්ද…?

අම්මෝ දඟ කියන්නේ මම දඟේ උපත. අද ඉන්න දරුවන් එක්ක බලද්දී අපි ඒ කාලේ මොන තරම් වාසනාවන්ත ලමයිද කියලා අද හිතෙනවා. දැන් ඉන්න ලමයින්ට ඇත්තටම ලමා කාලයක් නැති තරම්. හැබැයි ඒ කාලයේදී අපිට අපූරු ලමා කාලයක් තිබුණා. අපේ ලමා කාලයේදී අම්මලා තාත්තලා බල කරලා හරි අපි පාඩම් වැඩත් කොහොම හරි කලා. ඒ අතරේ ඇති තරම් දඟ වැඩත් කලා. අපිට ඒ කාලේ මහ බර ප්‍රශ්න, රටේ ප්‍රශ්න තිබුණේ නැහැ. අද මේ පුංචි වයසේ ඉදන්ම සමහර දරුවන් ලියුම් ලියනවා. බොහෝ දරුවන්ගේ අතේ ජංගම දුරකථන. ඉතින් හැමවෙලේම ඕක කොටනවා. අද බොහෝ දරුවන්ට ඉගෙනීමට ,දඟ වැඩ කරන්න කාලය නැහැ. වැඩි කාලයක් ආදර සම්බන්ධතා වලට තමයි යොදවන්නේ. අපිට ඒ කාලේ හරිම සුන්දර ලමා කාලයක් තිබුණා. මම පවුලේ එකම ගැහැණු දරුවා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි අම්මා ඒ කාලේ “එකා යකා වෙලයි ඉපදිලා තියෙන්නේ “කියලයි කිව්වේ.

මල්ලිලා දෙන්නා එක්ක ගත කරපු ඒ ලමා කාලය ආයෙමත් මතක් කලොත්….?

ඉස්සර අම්මා “මේ කොල්ලෝ දෙන්නවත් නරක් කරන්නේ මේ කෙල්ලයි ” කියලා මට අනන්තවත් බැනලා තියෙනවා. මගේ ලොකු මල්ලී මට වඩා අවුරුදු හතරක් බාලයි. මගේ පොඩි මල්ලී මට වඩා අවුරුදු දහයක් බාලයි. සමහර වෙලාවට උන් දෙන්නා එක පැත්තක් වුණා. මම එක පැත්තක් වුණා. ඒ නිසාම මම උන්ට ගැහුවා. මගේ ඉස්සර කොණ්ඩය දිඟයි. ඒ නිසා මල්ලිලා මගේ කොණ්ඩයෙන් තමයි අල්ලගත්තේ .මාත් නිකං ඉන්නේ නැහැ. උන් දෙන්නගේ කූරු කොණ්ඩය අල්ලගෙන මාත් ගැහුවා. ඒ කාලේ හරි සුන්දරයි. මගේ අම්මා හොඳ ගෘහණියක්. තාත්තා වැල්ලවත්ත රෙදි කම්හලේ ඒ කාලේ සේවය කලා. මේ වෙද්දි අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතරේ නෑ..

පාසැල් වේදිකාවේ දක්ෂතා පෙන්නපු නිල්මිණිගේ හැරවුම වුණේ කොතනින්ද..?

ඉස්කෝලේ යන කාලේදී එක කලාපීය තරගයකදී නුගේගොඩ සමුද්‍රදේවි විදුහලේ අයිරාංගනී කලුතන්ති මැඩම් මාව දැකලා ඇයගේ “දුටුගැමුණු ” වේදිකා නාට්‍යයේ අත්වැල් ගායනයට සම්බන්ධ වෙනවද කියලා මගෙන් ඇහුවා. මම ඒකට එක පාරටම කැමැත්ත දුන්නේ නැහැ. ඒ නිසා අයිරාංගනී මැඩම් අප පාසැලේ විදුහල්පති තුමාගෙන් අහලා අවසරය ලබා ගත්තා. ඒ අනුව මම මුලින්ම “දුටු ගැමුණු ” වේදිකා නාට්‍යයේ අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. හැබැයි මගේ ජීවිතේ හැරවුම වුණේ ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ “අන්දරේලා “වේදිකා නාට්‍යයයි. එයින් පසුව නිල්මිණි කෝට්ටේගොඩ ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. මාව අගය කලා. එහෙම මගේ ගමන හෙමින් ආපු ගමනක් මේක. අදටත් ඒ ගමන හෙමින් හෙමින් යනවා. 

පවුලේ එකම ගැහැණු දරුවා මෙහෙම කලා කටයුතු වලට සම්බන්ධ වෙනවට දෙමව්පියන්ගේ තිබුණු කැමැත්ත අකමැත්ත කොහොමද…?

මුලින්ම සම්බන්ධ වෙද්දී නම් තාත්තගෙන් පොඩි අකමැත්තක් තිබුණා. නමුත් අම්මට කලාව ගැන ලොකු තේරුමක් නැති වුණත් අම්මට මාව උසස් තැනකට යවන්න,මගේ නම කියවෙනවට ලොකු කැමැත්තක් තිබුණා. ටික කාලයකින්ම තාත්තගෙනුත් සහයෝගයක් කැමැත්තක් ලැබුණා.

අද නිල්මිණිව බොහෝ දෙනා හඳුනන්නේ සිනහව මුහුණට එක් කරන ආදරණීය කලාකාරියක් විදිහටයි. නිල්මිණිගේ සැබෑ ජීවිතය මොන වගේද..?

බොහෝ දෙනා හිතන්නේ අපිට දුක,  වේදනාව, ප්‍රශ්න,  හිත රිදීම් නැහැ කියලායි. හැබැයි නිල්මිණි කෝට්ටේගොඩ කියන්නේත් සාමාන්‍ය මනුස්සයෙක්. රංඟනය මගේ වෘත්තිය විතරයි. සැබෑ ජීවිතේ මම රඟපාන්නේ නැහැ. මම සාමාන්‍ය අම්මා කෙනෙක්. ගෘහණියක්. බිරිඳක්. සතුටින් හිනා වෙලා ඉන්න කැමති කෙනෙක්. සැබෑ ජීවිතේ ඉදිද්දී මම ඔය තොරොම්බල් එල්ලගෙන ඉන්න කැමති නැහැ. මමත් සාමාන්‍ය සංවේදී කෙනෙක්. අපිට දුවෙක්, පුතෙක් ඉන්නවා. දුව විවාහකයි. එයාලා දැන් වෙනම පදිංචි වෙලා සතුටින් ඉන්නවා. මායි මගේ සැමියායි , පුතයි , සතුටින් ජීවත් වෙනවා. අපි හරි සරල මිනිස්සු. මේ පොලවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු. මම විවාහ වෙද්දි මට වයස අවුරුදු දහනවයක් විතර ඇති. ඉස්සර මගේ සැමියා මාව ගෙදර දාලා වැඩට යද්දී “මට ගෙදර තනියම ඉන්න බැහැ…බයයි…”කියලා අඬනවා. ඒ කාලෙයි මේ කාලයයි අතර බලද්දී අහසයි පොළවයි වගෙයි.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...