පහුවදා උදේ අටට විතර කවීන්ගේ කළු පාට එස් යූ වී එක ආකර්ෂාගෙ ගෙදර තාප්පේ අයිනට කරලා නවත්තද්දී, කෙල්ල හිටියේ ජනේලෙ අයිනට වෙලා හොරෙන් වටපිට බල බල. හිත ඇතුළෙන් මහා ලොකු හුස්මක් හිරකරගෙන. උදේම කවීන් මෙහෙම එන විත්තිය මැසේජ් එකක් දාලා කියල තිබිච්ච හන්දා කෙල්ල උන්නෙ තාත්තට මොන බොරුවක් කියලා ද ගෙයින් එලියට පැනගන්නෙ කියලා.
“තාත්තේ මං අර ප්‍රොජෙක්ට් එකේ වැඩට යනවා. බස් එකක් සෙට් කරගන්න ඕන හන්දා මං ඉක්මනට යනවා. පරිස්සමෙන් ඉන්න, බෙහෙත් වෙලාවට බොන්න හරී” කියලා බොහොම අමාරුවෙන් කටහඬ හදාගෙන කෑගහලා කියපු ආකර්ෂා, බෑග් කෑල්ලත් කරට දාගෙන ගෙයින් එළියට බැස්සේ ආයෙත් හැරිලා බලන්න ගියොත් තාත්තට ඔක්කොම බොරු අහුවෙයි කියන බයටමයි.
ආකර්ෂා වාහනේ ළඟට කිට්ටු වෙද්දීම කවීන් ශටර් එක පාත් කළා. කළු කණ්ණාඩි කුට්ටම දාගෙන, පර්ෆියුම් සුවඳ වටපිටේටම ස්ප්‍රේ කරගෙන උන්න ඒ කණ්ණාඩි පොළඟා දිහා ආකර්ෂා බැලුවේ මුළු මූණම රැලි කරගෙන, රවාගෙන. කෙල්ල එකපාරටම ඉස්සරහා සීට් එකේ දොර ඇරලා ඇතුළට පැනලා ඩෝං ගාලා දොර හයියෙන් වහලා දැම්මෙ මූණ නිකන් හරියට පුම්බගත්ත රබර් බැලුමක් වගේ හදාගෙන.
“හෙමින් වහනවා ඕයි! පරණ ත්‍රීවීල් එකක් කියලා හිතුවද මේක? කඩන්නද හදන්නේ?” කවීන් එකපාරටම කේන්තියෙන් කෑගැහුවෙ කෙල්ල දොර වහපු පාරට තරහෙන් වගේ.
“ඇයි මොකද? එහෙම නෙවිද දොර වහන්නෙ? මොනවයින්ද මේක හදලා තියෙන්නෙ මල් පෙති වලින්ද? අනික ත්‍රීවිල්වල දොරවල් තියෙනවද ඕයි වහන්න? ත්‍රීවිල් එකකට බේතකටවත් නැගලා තියෙනවද කියනවකො? මේ මට වෙලාව නෑ පිරිමි හුරතල් කර කර ඉන්න යමු යන තැනකට ඉක්මනට” ආකර්ෂා මූණ පුම්බගෙන අහක බලාගත්තේ හිත ඇතුළෙන් දැනෙන අසරණකම කේන්තියකින් වහගන්න හදන්න වගේ.
කවීන් වාහනේ ඉස්සරහට ගන්න ගමන් කළු කණ්ණාඩිය නහය ළඟට පහත් කරලා ආකර්ෂා දිහා උඩ ඉඳන් පල්ලෙහාට බැලුවා. කෙල්ල ඇඳන් හිටියේ පරණ, පාට ගිය ඩෙනිම් කලිසමකුයි, සරල සුදු පාට ටී ෂර්ට් එකකුයි, කකුලට දාපු සාමාන්‍ය සෙරෙප්පු දෙකකුයි විතරයි. ඒක දැක්ක ගමන් කවීන්ගේ මූණට ආවේ මහා කිණ්ඩි හිනාවක්.
“තමුසෙ මේ කොහේ යන්නද ලෑස්ති වෙලා ආවේ? නිකන් අර පොළේ එළවළු විකුණන්න යන කෙල්ලෙක් වගේ. තමුසෙව මේ විදිහට මගේ වාහනේ එක්කන් යන්නත් ලැජ්ජයි ඕයි. තමුසෙව මේ විදිහට අපේ ගෙදර එක්කන් ගියොත්, ආච්චි අම්මා හිතයි මං මගේ පර්සනල් මේඩ්ව ලව් කරන්න සෙට් කරගෙන කියලා. ඒක හින්දා මුලින්ම තමුසෙව මනුස්සයෙක් වගේ අන්දන්න ඕනේ” කවීන් එක අතකින් ස්ටියරින් වීල් එක කරකවන ගමන් හෙන ලොකු ලයින් එකෙන් කිව්වා.
ඒ වචන ටික ඇහුණා විතරයි ආකර්ෂාට මල පැන්න එක අහන්න දෙයක්ද. තමන්ගේ දුප්පත්කමට, තමන්ගේ ඇඳුමට මෙහෙම කිණ්ඩි දාද්දී කෙල්ලට දැනුණේ මහා ලොකු හිත් රිදීමක්. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙයි මුගෙ බලු කතන්දර අහන්න වෙලා තියෙන්නෙයි දුප්පත්කම හන්දනෙ කියලා මතක් වෙන වාරයක් පාසා කෙල්ල කවීන් ඉන්න පැත්තට හැරුණේ හරියට කවීන්ව කන්න වගේ බලන්.
“අපෝ මං දන්නවා තමුන්ට හොඳට මිනිස්සුන්ව අන්දවල පුරුදු විත්තිය. නැත්තම් තමන්ගෙම ආච්චි අම්මව මෙහෙම අන්දවන්න ප්ලෑන් ගහනවද?
ඇස් දෙක පොට්ටද නැත්නම් කණ්ණාඩි කුට්ටම මදිවට තව එකක් දාන්න වෙලාද? මං මනුස්සයෙක් තමයි. ඔහේට ඕනේ ඕනේ වෙලාවට මාව එක එක විදියට අන්දවගෙන ාරහෙ මෙහෙ එක්කන් යන්න. මගේ ඇඳුම්වල අඩුපාඩු කියන්න ඔහෙ මගේ කවුද?”
“ඇයි අමතක වුණාද තමුන් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, අද ඉඳලා අපේ ඩීල් එක පටන් ගන්නවා කියලා. අද ඉඳලා වැදගත්කමට කතා කරන්න ඉගෙන ගන්නවා. ඔය තමුසෙ ඔහේ කියලා කතා කරන එක නතර කරගන්න වෙයි හොඳේ. අමතක කරන්න එපා තමුන් ඉන්නේ මගේ ඩීල් එකක් ඇතුළේ කියලා. තමුන් මාස හයක් රඟපාන්න ඕනේ මගේ ෆියන්සේ විදිහට. වික්‍රමසිංහ පවුලේ ලේලි කෙනෙක් මේ වගේ හිඟන පාටට ඇඳන් ආච්චි ඉස්සරහට ගියොත් ආච්චි එතනම පපුවේ අමාරුව හැදිලා මැරෙයි” කවීන් කිව්වේ හිනාව තද කරගෙන වගේ වුණත් කටහඬේ තිබ්බේ ලොකු ලයින් එකක්.
“හිඟන පාට? අනේ මේ ඔය ලොකු ලයින් තමුසෙගේ ඔෆිස් එකේ කෙල්ලන්ට දාන්න. මං අඳින්නෙ මට ඕන විදියට. අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්නවද” කෙල්ලත් අත ඇරියේම නැහැ. පපුව හෝස් ගාලා පිච්චෙද්දීත් කෙල්ල තමන්ගේ ලොකුකම නම් කවීන් ඉස්සරහදි නම් බස්සගන්නෙ නෑ කියලම තමයි හිතාගෙන හිටියෙ.
“ඒක තමයි මාත් මේ කියන්නේ. තමුන්ට සල්ලි නැත්තම් ඇඳුම් ගන්න මං දෙන සල්ලිවලින් මං කියන විදිහට අඳිනවා. තමුන්ගේ ඔය කට වගේම ඇඳුම් පැලඳුමුත් ලෙවල් එකට තියාගන්නවාකො. නිකන් දෙන අස්සයගෙ දත් බලන්නෙ නැතුව. දැන් කට පියාගෙන ඉන්නවා, අපි මේ යන්නේ ෂොපින් කරන්න” කවීන් වාහනයේ වේගය වැඩි කළේ ආකර්ෂාට තවත් කිසි දෙයක් කියන්න කිසිම ඉඩක් ඉතුරු කරන්නෙ නැතුව.
කෙල්ල ජනේලෙන් එළිය බලාගත්තේ “මූ නම් පුදුම කාලකන්නි කණ්ණාඩි පොළඟෙක්.. මගේ කරුමෙටම තමයි මූව මගේ කරේ එල්ලුණේ” කියලා හිතින් බණින ගමන්. හැබැයි ඒ හැම රණ්ඩුවක් අස්සෙම, කවීන්ගේ හිතේ ආකර්ෂාගේ ඒ කොල්ලන්ව ඩෝන්ට් කෙයා කරන, බය නැති කටකාරකම ගැන පොඩි අමුතුම සන්තෝසයක් ඉපදිලා තිබුණා කියන එක ආකර්ෂා දැනන් උන්නේ නැහැ.
කවීන් වාහනය ගෙනත් නැවැත්තුවේ කොළඹ තියෙන මාරම ලක්ශූරියස්, ලොකුම ෂොපින් මෝල් එකක් ඉස්සරහා. වාහනෙන් බහිද්දීම ඒක දැකලා ආකර්ෂාගේ හිත ඩිංගක් ගැස්සුණා ඉතින්. ඇයියනේ කවදා ආව දිව්‍යලෝකද මේ? සැප හරි ගණන් පුතේ ලාභෙට කොහෙත් නැතේ කියලා බිල්ඩිම දැක්කම තේරෙනවා කියලා තමයි ආකර්ෂට හිතුණෙ. මේ වගේ සල්ලි කාරයෝ ගැවසෙන තැනකට කෙල්ල පය තිබ්බ පළවෙනි වතාව මේ. කොහොමත් එහෙමකට කියලා යාලුවොවත් දායක සභාවක්වත් නැති එකේ ඔය අතන මෙතන රවුං ගහන කට්ටිය කෙල්ලට උන්නෙ නෑ. අනික ඉතින් එහෙමකට කියලා සල්ලි තිබ්බෙත් නැති එකේ මේ වගේ තැන්වලට ඇවිත් ශොපින් කරන්න පුලුවන්කමක් කෙල්ලට තිබ්බෙත් නෑ. හැබැයි එහෙමයි කියලා තමන්ගේ හිතේ ඇති වෙච්ච ඒ බයයි, අමුතු ගතියයි කවීන්ට පෙන්වන්න කෙල්ලට පොඩ්ඩක්වත් උවමනාවක් තිබුණේත් නැහැ. කෙල්ලත් හරියට හැමදාම එතනට යන එන කෙනෙක් වගේ මාරම ලොකු ලයින් එකක් මූණට ආරූඪ කරගෙන, ඔළුව කෙළින් තියාගෙන කවීන්ගේ පස්සෙන්ම ගියේ “මොන උනත් මූට නං මං සෙකන්ඩ් වෙන්නෙ නෑ” කියල හිතෙන් තමන්ටම කියාගෙන.
කවීන් කෙල්ලව එක්කන් ගියේ ලංකාවේ තියෙන මිල අධිකම, ජනප්‍රියම බ්‍රෑන්ඩඩ් ඇඳුම් කඩේකට. ඇතුළට පය තියෙද්දීම ඒසි හුළඟත් එක්ක මාරම සුවඳක් ආවා. එතන හිටපු සේල්ස් කරන කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් කවීන්ට මාරම ගෞරවයෙන් ගුඩ් මෝනින් සර් ගාලා දත් තිස්දෙකම දාලා පිළිගත්තේ කවීන්ව කලින්ම අඳුරනවා වගේ. කවීන් හෙන සිරා මූණෙන් ඔළුව හොල්ලලා, පස්සෙන් ආපු ආකර්ෂාව පෙන්වලා කිව්වා, මෙයාට මැච් වෙන ලේටස්ට් ඩ්‍රෙසස් ටිකක් බලන්න ඕනේ කියලා.
ආකර්ෂා හෙමින් සැරේ එතන එල්ලලා තිබ්බ එක ලස්සන ගවුමක ප්‍රයිස් ටැග් එක අතට අරන් බැලුවෙ අන්න ඒ වෙලාවෙ.
කෙල්ලගෙ ඇස් උඩ ගියේ අන්න එවෙලෙ.
යකෝ මේ ඇටිකිච්චං ගවුං කෑල්ලකට රුපියල් තිස්පන්දාහක්? දෙයියනේ, මේ නූල් කෑල්ලකට වියදං කරන සල්ලිද මේ? කෙල්ලගේ පපුව හෝස් ගාලා පිච්චුණේ ඒක දැක්කම.
“අම්මෝ මුන්ට පිස්සුද නැත්නම් මූ මාව බංකොලොත් කරන්න හදනවද? අපේ තාත්තගේ බෙහෙත්වලට මුළු මාසෙටම යන්නේත් මීට වඩා අඩු ගාණක්” කෙල්ල හිතින් හිතද්දී හිතට ආවේ මහා අසරණකමක්.
ඒත් එක්කම කවීන් එකපාරටම ළඟට ඇවිත් හෙනම කොට, ඇඟට හිරවෙන මෝස්තරේක ගවුමක් අරන් ආකර්ෂාගේ ඇඟට තියලා බැලුවා.
“මේක තමුසෙට මරු. ගිහින් ඇඳලා බලනවා,” කවීන් කිව්වේ හෙන සිරා මූණකින්, නිකන් මේ ෆැශන් ඩිසයිනර් කෙනෙක් වගේ
ආකර්ෂා ඒ ගවුම් කෑල්ල ඇඟිලි තුඩෙන් විතරක් අල්ලලා, මූණ ඇඹුල් කරගෙන කවීන් දිහා බැලුවා.
“මේක ඇඳුමක්ද හලෝ? මීට වඩා රෙදි තියෙනවා සර්වියට් එකකත්. මට බෑ මේ හෙලුවැලි ඇඳුම් අඳින්න. ලැජ්ජ නැද්ද? මං කවුරු කියලද හිතන් ඉන්නෙ? තමුසෙට ඕනේ නම් තමුසෙ ඇඳගන්නවා ඕක” ළඟම උන්න සේල්ස් ගර්ල්ස්ලට ඇහෙන්නෙ නැතිවෙන්න හිනාවෙන ගමන් ආකර්ෂා කිව්වෙ කවීන්ගෙ අතක් කොනිත්තන ගමන්. අන්න ඒ වෙලාවෙ නම් ආකර්ෂටත් අමතක වෙලා තිබ්බෙ “ඇඟට අත තියන්න බෑ” කියලා තමන්ම දාගත්ත රූල් එක.
හැබැයි මේ දෙන්නගෙ මල විකාර දිහා බලන ගමන් ඒ සේල්ස් කෙල්ලෝ දෙන්නා හිනාව තද කරගෙන අහක බලාගන්නවා දැක්කම නම් කවීන්ට මල පැනලා කළු කණ්ණාඩි කුට්ටම උඩට කළා.
“මේ කට වහගන්නවද? මෙතන තව මිනිස්සු බලන් ඉන්නවා. එව් ගොඩයා.මේවට තමයි ෆැශන් කියන්නෙ. දන්නේ නැද්ද මේවා තමයි දැන් ට්‍රෙන්ඩින්ග් ඇඳුම් කියලා? මං කියන විදිහට ඉන්නවා. නැත්නම් තමුසෙට ඕනේ අපේ ආච්චි ඉස්සරහට අර ගම්වල අඳින රෙද්දයි හැට්ටෙයි ඇඳන් යන්නද?”
“ඇයි ඒවගේ මොකක්ද තියෙන වැරැද්ද? ඒවා මීට වඩා දහස් වාරයක් ගති. මං කියන්නේ නැහැ මට රෙද්දයි හැට්ටෙයි ඇඳන් යන්න ඕනේ කියලා. හැබැයි මට මනුස්සයෙක් වගේ ඇඟ වැහෙන්න, විනීතව අඳින්න පුළුවන් ඇඳුමක් දෙනවා. නැත්නම් මං මේ දැන්ම බස් එකක නැගලා ගෙදර යනවා. මගේ ආත්ම ගරුත්වය විකුණන්නෙ නෑ මං කීයටවත් තමුසෙගේ සල්ලිවලට”
“තමුසෙගෙනුත් තියෙන්නෙ පුදුම වදයක් ඕයි හා එහෙනම් තමුසෙම තෝරගන්නවා මනුස්සයෙක් වගේ ඇඳන් ඉන්න පුළුවන් එකක්. හැබැයි අපේ පවුලේ ලෙවල් එකට ගැලපෙන, සවුත්තු නොවන එකක් වෙන්න ඕනේ හරිද” කවීන් පැත්තකට වුණේ බලමුකෝ තමුසෙගේ චොයිස් එක වගේ බැල්මට් එකක් ආකර්ෂා දිහාවට දාන ගමන්.


