Chat With Star – සුසිලා කෝට්ටගේ

ඇය ප්‍රවීණ දක්ෂ රංඟන ශිල්පිණියක්. ආදරණිය කලාකාරියක්.සුසිලා කෝට්ටගේ, බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් අප කාගේත් හිතවතියක්. ජීවිතේ බොහෝ අත්දැකීම් ලබපු ඇයගේ ජීවිත කතාවේ බිඳක් කතා කරන්නට අපිට හිතුණා.

පසුගිය කාලයේ දී ඔබේ ආදරණීය සැමියා රහල් අසනීප වුණා. දැන් සුවයිද?

දැන් සෑහෙන්න එයාට සුවයි. පසුගියදාක ස්වර්ණවාහිනීයෙන් මටයි රහල්ටයි වැඩසටහනකට ආරාධනාවක් ලැබුණා. වැඩසටහනට විනාඩි පහක් තියෙද්දී එයාට පොඩ්ඩක් අසනීප වුණා. ඒ නිසා එයා වැඩසටහනට සහභාගි වුණේ නැහැ. වැඩසටහන අවසානයේදීත්  එයාට අසනීප වුණු නිසා අපි එයාව පෞද්ගලික රෝහලකට අරගෙන ගියා. වෛද්‍යවරුන් ඉක්මනට එයාව නේවාසික ප්‍රතිකාර වලට යොමු කලා. වෛරස් එකක් එයාගේ ඇඟට ඇතුල් වෙලා තිබුණා. දවස් හයක් පෞද්ගලික රෝහලේ එයා ප්‍රතිකාර ලැබුවා. දැන් නම් එයාට සෑහෙන්න ගුණයි.

මේ දවස්වල ඔබ සහභාගි වන කලා කටයුතු මොනවාද?

මේ දවස්‌වල දෙරණ නාලිකාවේ විකාශනය වන “ඉස්කෝලේ ” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මගේ ආදරණීය කලාකරුවෙක් වන මිහිර එක්කත් කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ටිකිරි රත්නායක මහතාගේ ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙන්න සූදානමක් තියෙනවා. හැබැයි රටේ පවතින තත්වයත් එක්ක ඒක හීනයක්දෝ කියලා වෙලාවකට මට හිතෙනවා.

අද පවතින රටේ තත්වය හැම කෙනෙකුටම තදින්ම බලපානවා. කලාකාරියක් විදිහට ඒ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද?

ස්වභාව දහම අපිට දඬුවම් දෙනවා. මේකත් ස්වභාව දහම විසින් දීපු දඬුවමක්. සුනාමියෙන් තමයි ඒ දඬුවම පටන් ගත්තේ. එතනින් පස්සේ පාස්කු ප්‍රහාරය, කොරෝනා, වගේ ප්‍රශ්නත් එක්ක දෛවය අපිට දීපු තවත් දඬුවමක් තමයි මේ. මමත් මේ තත්වයට මුහුණ දෙනවා. සමහරවිට මාත් නැත්තටම නැති වේවි. හැබැයි එහෙමයි කියලා ලතෝනි තියලා කෑ ගහලා වැඩක් නැහැ. එහෙම කරලා අපිට ප්‍රශ්න විසඳගන්න බැහැ. යම්තාක් දුරකට, ඉන්න පුළුවන් කාලේ කොහොමහරි ජීවත් වෙන්න ඕනේ. මේ අනිත්‍ය දැකලා ජීවත් වුණාම හිතට සැනසීමයි. බඩගින්නේ මැරෙන්න සිදුවෙනවානම් ඒක එහෙමත් වේවි. මේ තත්වයට රට පත්කරපු ඒ වගකිවයුත්තන්ටත් නුදුරේදීම ඒ පව පලදේවි.ඒ නිසා ලොකුවට කෑ ගහලා මේ ප්‍රශ්න කියවන්න මම කැමති නැහැ. පුලුවන් විදිහට අනිත් අයටත් උදව් කරමින්, අනිත් අයගේත් උදව් ලබමින් මේ ජීවිතේ ගෙනියනවා.

අද සුසිලා කෝට්ටගේට ආදරය කරන, බොහෝ පිරිසක් ඉන්නවා. ලමා කාලයේදීත් සුසිලාගේ හයියට හිටපු පිරිසක් හිටියද?

පාසැල් කාලයේදී මම අසාධාරණයට කෑ ගහපු කෙනෙක් නිසා මට අකමැති වුණු පිරිසකුත් හිටියා. සමහරු මාව ඉස්සරහට දාලා “මෙයා කතාකලොත් වැඩේ ගොඩ “කියලා මාව පාවිච්චි කරපු අය හිටියා. පාසැලේදී මා වටා පිරිසකුත් හිටියා. හැබැයි මගේ ලමා කාලයේදී මෙහෙම චණ්ඩි වැඩ කරන්න පුලුවන් කෙනෙක් වෙයි කියලනම් හිතුවේ නැහැ.

සුසිලාගේ ලමා කාලයට සුසිලා අකමැතිද?

ඉස්සර මම මගේ ලමා කාලය දැකලා ගොඩක් ඇඩුවා. අද මම ඒ ලමා කාලය ගැන අඬන්නේ නැහැ. මම ලමා කාලයේදී හරියට විදෙව්වා. හරියට ඇඬුවා. හරියට දුක් වුණා. ඒත් ඒ වගේ ලමා කාලයක් තිබීමෙන් අද මම ගොඩක් ශක්තිමත් කියලා මට හිතෙනවා. ලමා කාලයේදී මට ලැබුණු බැට වලින් මම ලොකු හයියක් ගත්තා. මගේ පවුලේ ලමයෙක්ට කියලා හිටියේ මම විතරයි. මගේ ඉපදීම මගේ අම්මාගේ මරණය වුණා. ඒ නිසා “අම්මා මරාගෙන ආපු මූසලී”කියලා ගමේ මිනිස්සු මට කිව්වා. අනන්තවත් ගමේ මිනිස්සු මගේ මූණටම ඒක කිව්වා. මම මූසලයි කියලා සමහරු ඒ කාලේ මගේ ඉස්සරහටත් ආවේ නැහැ.

තනියම ඒ දුක සුසිලා විඳදරා ගත්තද?

අම්මෝ ඔව්. ඉස්සර ඒ පුංචි තනි කෙල්ල මේ ලෝකේ විඳින්න පුලුවන් හැම දුකක්ම වින්දා. මට එහෙම අනිත් ලමයි වගේ ලමා කාලයක් තිබුණේම නැහැ. ඒ කාලේ මගෙන් වැඩමයි ගත්තේ. මගේ වයසට නොවේ ඒ කාලේ වැඩ කලේ . මම හැමදාම සිකුරාදා කුඩම්මා මට කියවලා ගලේ කහ ඇඹෙරෙව්වා.ඒ කාලේ කහ කුඩු තිබුණේ නැහැ. ගලේ කහ අඹරලයි කහ ගත්තේ. හැබැයි මට කියල කුඩම්මා කහ අඹරවා ගත්තේ සඳුදා උදේට ඉස්කෝලේ යද්දී මාව ලැජ්ජා කරවන්නයි. මගේ අත් දෙක කහ පාට නිසා ඉස්කෝලේදී මාව ලැජ්ජා කරන්න එයාට ඕන වුණා.

ඒකෙන් සුසිලා දුක් වුණාද?

මොන පිස්සුද…? ඒකට මම කපටි වැඩක් කලා. මම කුඩම්මාට හොරා මගේ යුනිෆෝම් එකට සාක්කු දෙකක් මහ ගත්තා. ඒ නිසා කොයිවෙලෙත්  සාක්කු දෙකට අත් දෙක දාගෙනයි මම හිටියේ. අද සාක්කු වලට අත් දෙක දාලා ඉන්න උන් දැක්කහම මට මාර කේන්තියි. ඒ කාලේ මම සාක්කු වලට අත් දෙක දාගෙන හිටියේ ලැජ්ජාවෙන් බේරෙන්නයි. “උඹ ඉස්කෝලේට කාර් එකෙන් ගියාට උඹ කහ අඹරලා, ගෙදර වැඩ ඔක්කොම කරලා ආපු එකියක් කියලා ඉස්කෝලේම දැන ගන්න ඕනේ”කියලයි කුඩම්මා හිතුවේ.

සුසිලා ඉගෙන ගත්තේ..?

මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. හොඳම ඉස්කෝලේක ඒ කාලේ නරකම ලමයෙක් ඉගෙන ගත්තා.

තාත්තා කුඩම්මාව ගෙදරට ගෙනාපු දවස සුසිලාට මතකද..?

මම ඉපදුණු දවසෙම අම්මා මැරුණ නිසා මාව තාත්තා ගෙයින් ගෙට තියලා තියෙනවා. ඒ නිසා කුඩම්මාව ගෙදරට ගෙනාපු දවස මට මතක නැහැ. මට යන්තාම් තේරෙන වයසේදී කුඩම්මාත් ගෙදර හිටියා.මාත් ගෙදර හිටියා. එයා ආපු සිද්ධිය මට මතක නැති වුණත් ලස්සන ගෑණු කෙනෙක් ගෙදර හිටියා මට තාම මතකයි. එතකොට මට වයස අවූරුදු තුනක් විතර ඇති. මුලදී මට ආදරේ කලා. හොඳට හිටියා.

ටිකෙන් ටික මම යෞවනයට පා තබද්දී එයා මාත් එක්ක ගඨිටන කරන්න පටන් ගත්තා. මම ලොකු වෙද්දී තාත්තා මට ලැදි වෙද්දී එයාට ඉරිසියාවක් ඇති වුණා. හැබැයි එයාගෙන් හොඳ පැත්තකුත් මම දැක්කා. කුඩම්මා එයාගේ අම්මට හරියට ආදරේ කලා. එයාව නෑව්වා. වැඩිහිටියන්ට සැලකුවා. මට කුඩම්මා සැලකුවේ නැතත් ඒ හොඳ ගතිගුණ මම එයාගෙන් දැක්කා. හැබැයි මගේ තාත්තව උදුරගෙන අන්තිමේදී අපි දෙන්නව පාරට දාපු එකනම් මගේ ජීවිතෙන් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

පුංචි කාලේ නිලියෙක් වෙන්න සුසිලා ආස කලාද…?

ඉස්සර film fare කියලා සඟරාවක් තිබුණා. ඒකේ නලු නිළියන්ගේ ෆොටෝ තිබුණා. ඒ සඟරාව අපේ ගෙදරට ගෙනාවා. මට ලිවීමේ ශක්තිය තිබුණා. මම මොනවා හරි ලියලා ඒකට හරියන පත්තරවල තියෙන පින්තූර අරගෙන ඒවා ඇලෙව්වා. කාලයක් ගුරුවරියක් වෙන හීනයක් තිබුණා. තවත් කාලයක හෙදියක් වන හීනයක් තිබුණා. ඒ කාලේ හීන ගොඩාක් එක්ක පුංචි මම තනියම ජීවත් වුණා. මාව ගෙට දාලා දොර වහලා කුඩම්මා එළියට ගියාට පස්සේ මම එයාගේ සාරි ඇඳගෙන පුටුවලට කතා කර කර  ගුරුවරියක් වුණා. එහෙම හීන පිරිච්ච ලමා කාලයක් මට තිබුණා.

සුසිලා මාතර ඉඳන් කොළඹ ආවේ ඇයි..?

තාත්තාටයි මටයි ජීවිතේ අහම්බෙන් කොළඹට එන්න සිදුවුණා. ජීවිතේ ගොඩක් පෙරළිකාර දේවල් වලට අපි දෙන්නට මූණ දෙන්න සිදු වුණා. කුඩම්මා මාවයි තාත්තායි ගෙදරින් එලෙව්වා. කොළඹ ආපු මට දමිතා සලුවඩන  කලාකාරිය තමයි පිහිට වුණේ. ඇය තමයි මට කලා ක්ෂේත්‍රයට එන්නට අත දුන්නේ. මට ඉන්න හිටින්නට තැනක් නැතිව  අතරමං වෙලා මහරගම ලදරු පාසලක ඉගැන්වුවා. තවත් කාලයක් ලමා නිවාසයකට සම්බන්ධ වෙලා පොඩි දරුවන්ව බැලුවා. ඔහොම ඉදිද්දී දමිතා අක්කා මාව එයාගේ ගෙදර තියා ගත්තා. අවුරුදු දොළහක් විතර මම දමිතා අක්කගේ ගෙදර ජීවත් වුණා.

තාමත් “දයාවතී”ට බොහෝ දෙනා ආදරෙයි..?

අම්මෝ ඔව්. ලඟකදීත් අවුරුදු තිස් පහක් සමරද්දී ස්වාධීන රූපවාහිනී සේවය මාවත් කැදෙව්වා. ඇත්තටම මම ඒ “දයාවතී ” කියන නමට ගොඩක් ගරු කරනවා. ඒක මගේ එක ලාංඡනයක්.

රහල් එක්ක මේ ගෙවන ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ?

එයා එක්ක මේ ගෙවන ජීවිතේ ලමයි දහ දෙනෙක් එක්ක ගෙවන ජීවිතේ වගේ තමයි. වගකීම් ටික ඔක්කොම මගේ ඔලුවට දානවා. අපි දෙන්නා අතරේ හංඟන්න දෙයක් නැහැ. එයා හම්බ කලත් මම හම්බ කලත් දෙන්නා කතාබහ කරලා තමයි වියදම් කරන්නේ. අපේ යුතුකම් අපි අත්හරින්නේ නැහැ. අපි දෙන්නට පුළුවන් විදිහට අපි ඒ යුතුකම් කරනවා. මම දහමට හරි නැඹුරුයි . මම මගේ දහම සහ ඉරණම විශ්වාස කරනවා. ජීවිතේ ගොඩක් බලාපොරොත්තු පුරවා ගත්තේ නැහැ. ලැබෙන විදිහට ජීවත් වෙනවා. තව කෙනෙක් ජීවත් වෙන විදිහට මම ජීවත් වෙන්නේ නැහැ. මටත් අඩුපාඩු එමටයි. හැබැයි ඒ අඩුපාඩු ගැන මම දුක් වෙන්නේ නැහැ. එන හැටියට මූණ දෙනවා. අද අපි දෙන්නට ඉතිරි වෙලා තියෙන්නේ පිනක් දහමක්  කරගෙන යුතුකම් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නයි. රහල් වගේ සැමියෙක් ලැබුණු මම හරි වාසනාවන්තයි. මගේ ලොකු බැදීම් දැන් නැහැ. මම සෑහෙන දුරට “ඇතිය “කියන තැනේ ඉන්න කෙනෙක්. කාටවත් කරදරයක් නැති සමුගැනීමකට තමයි අපි දෙන්නා පෙරුම් පුරන්නේ.

Related Articles

Don't Miss


Latest Articles