CHAT WITH STAR – ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් ප්‍රභූ

සංගීත් ප්‍රභූ…ඔය නමටත් පොඩි අතීත කතාවක් තියෙනවා නේද…?අපි එතැනින්ම මේ කතාව පටන් ගමුද…?

ඔව්…මගේ නමෙත් අතීතයක් තියෙනවා තමයි. මගේ අම්මා  සංගීත ගුරුවරියක්. කලාවට පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක්. අම්මා නිළියක් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ කාලේ අම්මා හරිම ආස කරපු නළුවා ප්‍රභූ දේවාලු. ඉතින් මම ඉපදුනාට පස්සේ සංගීතයට ආදරේ කරපු අම්මා මට ‘සංගීත් ප්‍රභූ’ කියලා තමයි නම තියලා තියෙන්නේ. මගේ නම සංගීත් ප්‍රභූ සංඛ පත්ම රත්නායක. හැබැයි දැන් මාව කවුරුත් දන්නේ ‘සංගීත් ප්‍රභූ’ කියලයි.

සංගීත් ප්‍රභූව මේ දවස්‌වල කවුරුත් දන්නේ ‘කවඩියා ‘ කියලයි. කවඩියා දැන් හරි ජනප්‍රියයි වගේ?

කවඩියා කියන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතයයි. කවඩියා ජනප්‍රිය වෙන්න සංගීත් විතරක් දායක වුනේ නෑ. කවඩියාගේ චරිතය මුලින්ම ඇදෙන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාගේ හිතේ. ඊට පස්සේ ඒ ලියවුණු චරිතය රූප මාධ්‍යයට ගෙන එන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා හරහායි. ඔවුන් වගේම බොහෝ දෙනෙක්ගේ උදව්වෙන් තමයි මට කවඩියා සාර්ථකව රඟපාන්න පුලුවන් වුණේ. කවඩියා වැනි චරිත ඕනෑතරම් මම මේ සමාජයේ දැකල තියෙනවා. සරම අඳින, බුලත්විට කන,තමන්ගේ හොඳම යාලුවා වීරයා කියල හිතාගෙන ඉන්න ආදරේ හිතේ තියෙන තරුණයන් ඕනතරම් අපේ මේ සමාජයේ ඉන්නවා. පිටපතේ තියෙන සහ නොතියෙන දේවලුත් එකතු වෙලා කවඩියා නිර්මාණය වෙනවා. අපිට නිදහසේ ඒ චරිත රඟපාන්න අධ්‍යක්ෂකතුමා නිදහස දීලයි තියෙන්නේ.

සංගීත්…නළුවෙක් වීම පුංචි කාලේ ඉදන්ම හිතේ තිබුණ දෙයක්ද…?

ඔව්. මට මතක ඇති කාලෙක ඉඳන් මම නළුවා. රූප පෙට්ටියේ පෙන්නුවේ නැති වුණත්.,පාසැල් වේදිකාවේ රඟ නොපෑවත් මම නළුවෙක්. මගේ අම්මා නිළියක් වෙන්න ආස කරපු කෙනෙක්. අම්මගේ ඒ හීනය හැබෑ නොවෙද්දී අම්මා මාව නළුවෙක් කරන්න ආස කලා. ඒ කාලේ ඉඳන්ම මම ලස්සනට අදින්න ආස කලා. ඒකට ලොකුම හේතුව මේ නලු පිස්සුවයි. “පුතේ ඔයා හරියට නළුවා වගෙයි “කියල අම්මා මට කියද්දි මම නලුවට ඇඳලා ඉවරයි. ඒ නිසා දන්න කාලේ ඉදන් මගේ හීනය වුනේ කවදාහරි නළුවෙක් වෙනවා කියලා විතරයි.

සංගීත් කොළඹ තරුණයෙක් නෙවෙයි. අනුරාධපුර කොල්ලෙක්. ඒ අතීතය ගැන ආයෙත් මතක් කලොත්…?

මම ඉපදිලා තියෙන්නේ බදුල්ල ලුණුගල කියන ප්‍රදේශයෙයි. බදුල්ලේ ඉපදිලා අවුරුදු කීපයකට පස්සේ අම්මලා අනුරාධපුරයේ පදිංචියට ගිහින් තියෙනවා. එතැන් සිට මගේ ජීවිතේ ගෙවෙන්නේ අනුරාධපුරයෙයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අද තාත්තා ජීවතුන් අතරේ නෑ.අම්මා  ගුරුවරියක්. මගේ පවුලේ අයියලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. පුංචි කාලේ මගේ ජීවිතේ ගෙවෙන්නේ ඒ සුන්දර ගමෙයි. කවුරුත් නොදන්නා කාලෙත් මම ඒ අනුරාධපුරයේ නළුවෙක් වුණා. මට්ටම සීමා වුණු ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මම තනියම රඟපාලා තියෙනවා. නළුවෝ වගේ ඇවිද්දා. ටොයිලට් එකට ගිහින් තනියම පත්තරවලට ටීවී වලට ඉන්ටවිව් දීලා තියෙනවා. පුංචි කාලේ මම උඩරට, හිපොප් වැනි නර්තන ශෛලියන් හදාරලා තියෙනවා. ඒ නිසා කාටවත් නළුවෙක් නොවුණු මම අනුරාධපුරයේ තනියම නළුවෙක් වෙලා තිබුණා. අදටත් මම ඒ කාලයට හරි ආදරෙයි. මට නළුවෙක් වෙන පරිසරය මුලින්ම ඇති කලේ මගේ ගමයි.

සංගීත්….අධ්‍යාපනය ලැබුවේ මොන පාසැලේද…?

මම පාසැල් කීපයකම ඉගෙන ගත්තා. මුලින්ම බදුල්ල ලුණුගල මධ්‍ය  මහ විදුහලෙන්, මිහින්තලේ මහ විදුහලෙන් වගේම නිවර්තන චේතිය මහ විදුහලෙන්ද ඉගෙන ගත්තා. පාසලේදීත් මම ටිකක් දඟ චරිතයක්. කියන දේ අහන්නෙත් නැති තරම්. මට තාම මතකයි නිවර්තක චේතිය විදුහලේදී මට විදුහල්පතිතුමා පළන්දපු ශිෂ්‍ය නායක ලාංඡනය ටික වෙලාවකින් මම ඒක මගේ් යාලුවගේ කමිසේ ගැහුවා. ඒක දැනගත්තු විදුහල්පතිතුමා මගේ ලාංඡනය විතරක් නෙවෙයි මගේ ශිෂ්‍ය නායක පට්ටමත් ගැලෙව්වා. හැබැයි පැය දෙකකට මම ඒ පාසලේ ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා.

කුඩා කල සිටම තමන්ගේ හිතේ හිටිය නළුවාව හැබෑ කරගන්න අවස්ථාව ලැබුණේ කොහොමද…?

මම කලාවේ දන්න හැමෝටම “අයියේ…මටත් රඟපාන්න ආසයි…”කියල කිව්වා. දවසක් “මල්ලී…රඟපාන්න හොඳ චාන්ස් එකක් තියෙනවා හෙට පේරාදෙණියට එන්න පුලුවන්ද…?” ඇහුවා. මගේ ඉහේ මලක් පිපුණා. ඒ මොහොතේදීම මම නළුවා වෙලා ඉවරයි. හීන ගොඩාක් මගේ හිතේ ඇඳුණා. මම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන රෑ කෝච්චියේම පේරාදෙණියට පාන්දරම ආවා. දන්න කියන කෙනෙක් කොළඹ තියා පේරාදෙණියේවත් හිටියේ නැහැ. මම උදේ වෙනකම් මහ සීතලේ  ස්ටේෂමේ වාඩි වෙලා හිටියා. එළිය වැටුණට පස්සේ “අයියේ…මම පේරාදෙණියට ආවා…”කියල අර අයියට කෝල් කරල කියද්දී “අනේ මල්ලී…ඒ ෂූට් එක තියෙන්නේ හෙට උදේ….හෙට එන්න…”කියල ඒ ෆෝන් එක කට් වුණා. හිතට දැණුණේ පුදුමාකාර දුකක්. හැබැයි ඒ වේදනාවට වඩා නළුවෙක් වෙන හීනය මාව හයිය කලා. ඒ නිසා නොදන්නා පේරාදෙණිය ටවුමේ දවසක් ගත කරන්න මම තීරණය කළා. විශ්වාස කරන්න..පේරාදෙණිය පාරවල් දිගේ මම ඇවිද්දා. පැය ගණන් පේරාදෙණිය ස්ටේෂමේ වාඩිවෙලා හිටියා. නළුවා වෙන හීනය නිසා පේරාදෙණියේදී මට වැඩිය බඩගින්න දැණුණේ නැහැ.

ස්ටේෂමේ නතර වෙලා පහුවදා ලැබුණු චරිතය ගැන සංගීත් සතුටු වෙනවාද…?

සතුටු වෙන්න මට චරිතයක් ලැබෙන්න ඕනනේ.ඒක චරිතයක්ද කියල කියන්න මම දන්නේ නෑ. එදා මම නිදා ගත්තේ පේරාදෙණිය ස්ටේෂමේ. මහ රෑ මම එක එක චරිත හීන මැව්වා. පහුවදා ස්ටේෂමේ තිබුණු ටැප් එකෙන් මූණ හෝදගෙන මම එන්න කිව්ව ලොකේෂන් එකට ගියා. ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. මට කිසිම මේක්අප් එකක් කලේ නෑ. මම හිතුවෙම මගේ මූණ ස්ක්‍රීන් එකට හොඳයි කියලයි. මට පොතක් අතට දීලා “මල්ලී…අන්න අර කට්ටියත් එක්ක අතනින් එහාට යන්න “කියල ඈතින් තැනක් පෙන්නුවා. ඒක තමයි මට රඟපාන්න තිබුණු එකම කොටස් . මට මගේ අම්මාගේ, මගේ ,හීන මතක් වුණා. අනුරාධපුරයේ ඉඳන් ආ ගමන මතක් වුණා. ඒත් එක්කම මේ පොඩි කොටසෙනුත් වෙනසක් කරන්න මට ඕන වුණා. මගේ ඇස් වලට කදුළු ආවා. අන්තිමේදි ඒ කොටස රූගත කරද්දී මම මට දුන්නු පොත ඇඟිල්ල උඩ තියලා කරකවා කරකවා තමයි එතනින් ගියේ. ඒක දැකපු අධ්‍යක්ෂක රූගත කරන එක නවත්තලා මාව අර නලුවයි නිළියයි ලඟින්ම පොත කරකවා යන්න කියලා උපදෙස් දුන්නා. ඒකෙන් මාවත් හොදට පෙනුනා. ඒක තමයි මගේ මූණ තත්පරයකට හරි රූගත කිරීමකින් පෙනුණේ.

අනුරාධපුරයේ සිට සංගීත් කොළඹ එන්නේ නළුවෙක් වෙන්නමද….?

ඔව්. හැබැයි මුලින්ම ආවේ රංගනය ඉගෙන ගන්න. දවසක් පුවත්පතක තිබුණු දැන්වීමක් දැකලා”පුතේ…කොළඹ ගිහින් මෙතනින් ඉගෙන ගන්න…” කියලා කිව්වා. ඒ විදිහට රවීන්ද්‍ර සර්ගේ  (රවීන්ද්‍ර විජේරත්න )තරංග සර්ගේ  (තරංග දිසානායක )දුරුතු සිනමා පාසැලට සම්බන්ධ වෙලා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ 2015 අවුරුද්දේ. මම මහ රෑ එකොලහේ බස් එකෙන් තමයි කොළඹට ආවේ. නවතින්න තැනක් තිබුණේ නැහැ. එදත් මම උදේ වෙනතුරු කොටුවේ ඇවිද්දා. කොටුවෙන් රුපියල් විස්සක් දීලා මූණ හෝදගෙන මම දුරුතු සිනමා පාසැලට ගියා. ඒක තුනට ඉවර වුණාම හැල්මේම කොටුවට ඇවිත් තුනයි හතලිස් පහේ බස් එකේ නැගලා අනුරාධපුරේ ගියා . නිදා ගත්තේ බස් එකේ. ඔලුව බස් එකේ වැදිලා සමහර දවස්වලට ගෙඩි ගැහිලා රිදුනා. දුරුතු පාසලෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ටික කාලයක් මෙහෙම යද්දී මේ ගමන් හරි මහන්සි වුණා. ඒ නිසා මගේ යාලුවෙක් එක්ක රුපියල් දෙදහසකට මම පොඩි බෝඩිම් කාමරයක් හොයා ගත්තා.

රංඟනය ඉගෙන ගන්න කොළඹ ජීවත් වෙන එක අමාරු වුනේ නැද්ද…?ආර්ථික අපහසුතා එහෙමත් දැනෙන්න ඇති….?

උපරිමයෙන්ම දැණුනා. හැමදේටම ගෙදරින් සල්ලි ඉල්ලා ගන්න මම කැමති වුනේ නෑ. ඒ නිසා රස්සාවක් හොයාගන්න හිතුණා. ගෙදරින් එද්දී පාසැල් සහතික, ග්‍රාමසේවක සහතික හැම දෙයක්ම ගෙනත් තිබුණත් දන්නා කියන කෙනෙක් නැතිව රස්සාවක් හොයන එක ලේසි වුණේ නෑ. ටික දවසක් ජීවත් වෙන්න පාරේ ඉඳන් රීෆ්ලට් බෙඳුවා. සමහර කාලවලදී ලොකු මූණවල් දාගෙන පාරවල්වල නටලා තියෙනවා. හිනාවෙලා තියෙන මූණවල් දාගෙන නැටුවට ඒක ලේසි වැඩක් නෙමෙයි. ලොකු මූණ ඇතුලේ නළුවෙක් වෙන්න හීන දකින නළුවෙක් හිටියට ඒ නලු මුහුණ මිනිස්සු දැක්කේ නැහැ. කාලයක් මම KFC එකේත් වැඩ කලා. බිම මොප් කලා.මේස පිහදාලා පිරිසිදු කලා. මගේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ලොකු බිල් දාගෙන KFC එකෙන් කෑම කද්දී ඒ මේස පිහදාපු මම අනන්තවත් බඩගින්නේ ඉන්න ඇති.බඩගින්න මට හොඳට හුරුයි. බඩගින්නට වඩා මට ඉලක්ක තිබුණා.  මම හැම මොහොතකම හිතුවේ මම නළුවෙක් වෙනවාමයි කියලයි.

අද සංගීත් ඒ ඉලක්ක දිනාගෙන තියෙනවා ඒ හීන වල සැබෑ අයිතිකාරිය වෙන්නේ සංගීත් ගේ අම්මා…එහෙම නේද…?

ඇත්තටම ඔව්.අම්මාම තමයි. අම්මා ගැන අදටත් මට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ.අදටත් හැම මොහොතකම මම ගැන සොයා බලනවා. දවසකට කෝල්ස් කීයක්නම් දෙනවාද..?”පුතේ කෑවද…?පුතේ තේ බිව්වද…?ඒ හැමදේම හොයලා බලන්නේ අම්මයි. ඒක පුදුමාකාර ආදරයක්. මේ හැම ජයග්‍රහණයකම අයිතිය මගේ අම්මටයි.

පහුගිය කාලේ සංගීත් කොවිඩ් ආසාදිතයෙක් වුණා. ඇත්තටම මොකද හිතුණේ…?

ලොකු බයක් දැනුණා. මුල් කාලවලදීම තමයි අපිට කොවිඩ් හැදුණේ. මගේ අම්මා පුදුම විදිහට බය වුණා. මම නිසා බය වෙන අම්මා ගැනත් මට බයක් දැණුනා. ඒක මේ ලෙඩේ හැදෙන ඕනෑම කෙනෙකුට ඇතිවෙන බයක්. හරි අසරණ කමක් දැණුනා.පුලුවන්තරම් පරිස්සම් වුණත්  රංගනයේදී අපිට මාස්ක් දාන්න බැහැ. ඉතින් අවදානම හරිම වැඩියි. මොනව කරන්නද…?

සංගීත්…මේ ආපු ගමන් ගැන ඇත්තටම මොකද හිතෙන්නේ…?

ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ ගමන එන්න පුදුමාකාර කට්ටක් කෑවා.අද මම කොට්ටාවේ saloon එකක් පවත්වාගෙන යනවා. කොවිඩ් නිසා මේ කාලයේදී තාවකාලිකව ඒකත් නතර කරලයි තියෙන්නේ. කොට්ටාවේ මගේ saloon එක තියෙන පාර මට හොඳට හුරුයි. ඒ කාලේ මම අතේ සල්ලි නැතිව අනන්තවත් ඒ පාරේ ගිහින් තියෙනවා. පහුකාලෙදී ඒ පාරෙම මම මගේ කාර් එකේ යද්දීත් මට ඒවා මතකයි. තාමත් මට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. තාමත් මම නළුවෙක් වෙන්න,ජීවිතය දිනන්න ඒ දේවල් ඉගෙන ගන්නවා.

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content