සමාජ ශාලාවේ ප්‍රභූ පැළැන්තියේ මේසයක් පුරා විවිධ වර්ගයේ මත්පැන් බෝතල්ය . විවිධාකාර කටගැස්ම සහිත බඳුන්ය . විව්ධ රසයට වර්ගීකරණය කෙරූ සහ මිලාධික දුම්වැටිය. නින්දක් ලඟා නොවන බොහෝ රාත්‍රීන් මේ ආකාරයට ගෙවා දමන තරුණයා අතැඟිලි අතරට තද වූ දුම්වැටියක් උරා පානය කොට එයින් දුම් වළළු රැසක් මවමින් සිටියදී පසෙක සිටි මහීල් මත්පැන් වීදුරු ද්විත්වයක් පුරවමින් සිටියේය. හිඳ සිටි සෝපාවෙන් නැඟී සිටි සියත්‍ර තමා සිටින උඩුමහලේ බරාඳයට බර වී මත් වී ඉවක් බවක් නොමැතිව දඟලමින් , නටමින් , කෑගසමින් හැසිරෙන පහත මාලයේ නර්තන වේදිකාවේ සිටින තරුණ තරුණියන් දෙස හැඟීමකින් තොරව බලා සිටියේය.
” තාත්තා නැති වෙලා අවුරුදු පහක්ලු. තාත්තා නැති වෙලා මාසයක් ගියේ නෑලු ඒ පැත්තේ මනුස්සයෙක් ඇවිල්ලා තාත්‍තා නැති වෙන්න කලින් මිනිහට ගේයි , ඉඩමයි උගස් තිබ්බ කියලා කියනකොට. පස්සේ ඒ මනුස්සයට ගේ බාර දෙන්න වෙච්ච නිසා අම්මයි , නංගියි එක්ක මෙයා අක්කාගේ ගෙදරට ඇවිත්. අක්කාගේ ගෙදර ඉඳලා තියෙන්නේ අක්කයි , හස්බන්ඩ්නුයි , එයලගේ බබායි විතරයි. අම්මාට නිතරම ඇදුම හැදෙනවලු . මහන්සි වෙලා වැඩක් කරන්න බෑලු. ඒත්.. කෝම කෝම හරි ඉගෙනගත්තලු. එහෙම ඉද්දි තමයි ටික කාලයක් යද්දි මස්සිනාගෙන් කරදර වෙලා තියෙන්නේ. “
මෙතෙක් වේලා පහත මහළේ ඉවක් බවක් තොරව නටමින් , ගයමින් සිටි පිරිස දෙසට විතැන් වී තිබූ රකුසු දෑස මහීල්ගේ අවසාන වාක්‍ය ඇසුණු සැණින් කලබල වූයේය . තව දුරටත් දෑඟිලි අතර තිබූ දුම්වැටිය උරා පානය කළ ඔහු නැවතත් මහීල් ඉදිරියේ තිබූ සෝපාවට බර වූයේය .
” කරදරයි කිව්වේ..?”
ගොරෝසු කටහඬ තවත් ගොරහැඬි වී තිබුණේය .
” May be some abuse… But not sure it’s rape.. I guess somewhat like touching..kissing….
දවසක් මිනිහා මූණටම කිව්වලු සඳැස්විවත් උගේ ගෑනි කරගෙන මිසක් අතාරින්නෑ කියලා. කෙල්ල සෑහෙන්න බයෙන් ඉඳලා තියෙන්නේ. “
වේගයෙන් හුස්ම ඉහල පහල දැමූ තරුණයා වහා ටීපෝව මත තිබූ මත්පැන් වීදුරුව ගෙන එක හුස්මට පානය කළේය.
” ඊට පස්සේ ?”
” වෙන යන්න තැනක් තිබිලා නෑ. ඒ නිසාමලු කාගෙන හිටියේ. ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ ගමේ ඔය මොනාද එක එක වැඩ කිව්වා බං. රෙදි කපන ඒවා , ඔය මේ කුඹුරු වැඩ එහෙම. අන්න ඒවට අම්මා එක්ක යන්න පුරුදු උනාලු. කීයක් හරි හම්බ කරනවට වඩා ඕන උනේ අර මිනිහව මඟෑරලා ඉන්නලු. කැම්පස් තේරුණාමත් ඒකටත් වඩා සතුටු හිතුණේ ගෙදරින් පිට වෙලා එන්න පුලුවන් වෙච්ච නිසාලු. මස්සිනා කැම්පස් එන එක නතර කරන්නත් සෑහෙන්න අංචි ඇදලා තියනවා. කොළඹ එන්න දවස් දෙක තුනකට කලින් අර ගේයි , ඉඩමයි උගස් ගත්තු මනුස්සයගේ පුතා හම්බෙලා කියලා ඔක්කොම ගාණ ලක්ෂ තුනහමාරක්. පොලිය නැතුව මුදල විතරක් පුලුවන්නං ටික ටික හරි දීලා බේර ගන්න , ඌට ඒක අයිති කරගෙන වැඩක් නෑ කියලා. කොහොමහරි කොළඹ ආ දා ඉඳන්ම ජොබ් එකක් හොයලා තියෙන්නෙත් ඒකයි. “
සියත්‍ර නිහඬවම මහීල්ගේ කතාවට සවන් දෙමින් තවත් මත්පැන් වීදුරුවක් පුරවා ගත්තේය .
” ගන්න සැලරි එකෙන් ටිකක් ගේ උගස් ගත්තු මනුස්සයගේ එකවුන්ට් එකට දානවලු. තව ටිකක් අම්මට දෙනවලු. ඉතුරු එකෙන් තමයි බෝඩිම් ෆී ගෙවාගෙන ස්ටඩීස් ඔක්කොම කරන් තියෙන්නේ. ලොකුම දේ ගේයි , ඉඩමයි නිදහස් කරගෙන අම්මවයි , නංගිවයි ආපහු මහ ගෙදර පදිංචි කරවන එක කිව්වා. මොකද කෙල්ල මෙහෙ හිටියට බයේ ඉන්නේ නංගි පුංචි නිසා නංගිටත් මස්සිනා කරදර කරයි කියලා. “
” ඔය ඔක්කොම කරන්න අර හම්බෙන සැලරි එක ඇත්ද ?”
” අනේ මන්දා බං. ෆුල් ටයිම් ඉන්න එවුන්ගෙත් සැලරි එක පනහයි , හැත්තෑවයි අතරෙනේ. පාර්ට් ටයිම් කරලා තිස් පහක් වත් ගන්න බැරුව ඇති . “
සියත්‍ර අතේ තිබූ මත්පැන් වීදුරුව නැවතත් එක හුස්මට උගුරට හළා ගෙන තවත් මත්පැන් වීදුරුවක් පුරවා ගත්තේය.
” මචං…! ඒකි පොඩි කෙල්ලෙක්. මාර කට්ටක් කන කෙල්ලෙක්. “
සියත්‍ර වහා රකුසු දෑස මිතුරා වෙතට විතැන් කළේය.
” උඹ මොකද්ද කියන්නේ ? “
” ඒක තමයි මටත් තේරෙන්නැත්තේ . මං මේ මොකද්ද කියන්නේ කියලා. මට මං කියන දේ වත් , උඹ මේ හැසිරෙන විදිහවත් තේරුම් ගන්න බෑ. මොකද මීට කලින් කිසිම දවසක උඹ මෙහෙම හැසිරෙනවා මං දැකලා නෑ. “
” පිස්සු නැතුව හිටහන්..”
සියත්‍ර පුරවා ගත් මත්පැන් වීදුරුව යළිත් මුවඟට ළං කර ගත්තේය.
” උඹ ෂෙනාර්‍යා එක්ක එන්ගේජ් වෙලා මචං ඉන්නේ ?”
යළිත් වතාවක් රකුසු දෑස මිතුරා දෙසට විතැන් කළ ඔහු අතේ තිබූ මත්පැන් වීදුරුව මඳක් ශබ්ද නැඟෙන සේ ටීපෝව මතින් තැබුවේය.
” කියන දෙයක් කෙලින් කියහන් “
” ඇයි උඹ ඒ කෙල්ලට අර වගේ උදව්වක් කළේ ? මං කවදාවත් උඹ ඔහොම කාටවත් උදව් කරනවා දැකලා නෑ. උඹ අම්මා අප්පට උනත් උදව්වක් කරන්නේ ඒකෙත් වාසියක් තියාගෙන. “
” ඒකේ විශේෂයක් නෑ. මට එහෙම කරන්න හිතුණා , එච්චරයි. “
මහීල් මුවඟින් සමච්චල් සිනහවක් පා දුම්වැටියක් මුවේ රඳවා ගත්තේය.
” මොකෝ උඹ ? මං ගෑනු දැකලා නෑ කියලා හිතුවද මේ කොහෙවත් යන ඇටිකිචි කෙල්ලෙක්ට උදව් කළේ ? ඒක එවෙලේ කරන්න ඕනේ කියලා හිතුණා. මං කළා. එච්චරයි. ඒ ඇරෙන්න මං ඒකි එක්ක එක වචනයක් කතා කරනවා උඹ දැකලා තියනවද ? ගෑනු කියන්නේ තේරුමක් නැති සබ්ජෙක්ට් එකක් බං. ඒ පොඩි කෙල්ලත් එච්චරයි , ෂෙනාර්‍යාත් එච්චරයි. “
මහීල් නැවතත් සමච්චල් සිනහවක් නැඟුවේය.
“හරි ඉතිං එහෙම විශේෂයක් නැත්තං කමක් නෑ. මං මේ නිකන් ඇහුවේ. ෂෙනාර්‍යා එක්ක නං කොහොමත් උඹේ තියෙන්නේ ඇග්‍රිමන්ට් එකක්නේ. නිකන්ද ඉතිං රටේ පවර්ෆුල් මිනිස්ටර් කෙනෙක්ගේ දුවෙක් කිව්වම. ඇත්තටම බං , ජීවිතේ කවදාවත් කෙල්ලෙක්ට ආදරේ හිතිලා නැද්ද ? “
මහීල්ගේ පැනය හමුවේ සියත්‍රගේ දෑස මත සඳැස්වියගේ රූපය මැවී ක්ෂණයකින් අතුරුදහන් වී ගියේය.
” පිස්සුද #%& , ඔය කෙහෙල්මල් ආදරේ හින්දා තමයි මිනිස්සු පිස්සො වෙන්නේ. දැන් මේ පේන්නැද්ද උඹ ? “
සියත්‍ර එසේ පවසා මහීල් දෙස බලා මඳ සිනහවක් නැඟුවේය.
” හිත ගිය තැන මාළිඟාව කියනවනේ ලොක්කා “
” ඕන මඟුලක් . ශාක්‍යා කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. උඹ සෙල්ලං කරලා අහු උනොත් උඹේ කන මුලින්ම අත ගාන්නේ මං.”
මහීල් මුව පුරා සිනහවක් නඟා තවත් මත්පැන් වීදුරුවක් පුරවා ගත්‍තේය .
*******************************************
විසල් ගොඩනැගිලි මධ්‍යයේ සිට හිස ඒ මේ අත කරකවමින් මාර ගස් පෙළ දෙස බලා සිටි තරුණියක් එදින උදෑසනම ලැබුණු පණිවිඩය නිසාවෙන් මහත් කලබලයට පත් වී සිටියාය. විශ්ව විද්‍යාල භූමියට පය ගැසූ තැන සිට ඈ සිටියේ මහත් වේදනාවකින් හා මිතුරියගේ උවන දැක ගන්නා තෙක් පසුවන දැඩි නොඉවසිල්ලකින්ය.
වෙනදාට ඉගිලී යන කාලය අද ඉබි ගමනින් ගත වනු දැයි කියා අත රැඳි කුඩා ඔරලෝසුවට බැණ වදිමින් සිටි තරුණියගේ උවන පුරා පුළුල් සිනහවක් නංවා ළමින් මාර ගස් පෙළ යටින් හුරුබුහුටි මිතුරිය මතු වූවාය. ඈ දුටු විගස හිඳ සිටි කුඩා සිමෙන්ති බංකුවෙන් වහා නැඟිට ගත් විමර්ෂා මාර ගස් පෙළ අතරින් යෙහෙළිය කරා දිව ගියාය.
” උඹට අවුලක් නෑ නේද ? හොඳින් ඉන්නවා නේද ? “
මිතුරියගේ දෑතම දෝතට ගත් විමර්ෂා ඇගේ උවනට එබී කලබලයෙන් ප්‍රශ්න කළාය .
” මං හොඳින් බං. ප්‍රශ්නයක් නෑ. “
” එතකොට උඹ ඊයේ හිටියේ කොහෙද ? “
” වරෙන්කෝ..”
මිතුරියගේ අතින් අල්ලා ගත් සඳැස්වි අසල තිබූ සිමෙන්ති බංකුවක් මත හිඳ ගත්තාය . ඉන් පසු විසල් සුසුමක් හෙළූ ඈ පෙර දිනයේ සිදුවූ සියල්ල සෙමින් සෙමින් මිතුරිය හමුවේ දිග හැරියාය .
“‘ දෙයියෝ සාක්කි කිව්වලු. පොර එහෙනං ඔක්කොම පේමන්ට් එක ගෙවලද ?”
” එහෙම තමා කිව්වේ “
” අඩෝ මරුනේ.. මොනා උනත් උඹ තෝරා වත්තට නොගිහින් ඔහොම තැනක නතර වෙච්ච එක නං සෑහෙන්න හොඳයි බං . සමල්‍යා ඇවිල්ලා බෝඩිමේ මෙහෙම දෙයක් උනා , උඹ තෝරා වත්‍තට ගියා කිව්වම මං පිච්චි පිච්චි යකෝ හිටියේ උඹව දකිනකන්. දෙයියනේ කියලා උඹ මොකක් හරි පෙර පිනක් කරලා තියනවා අර පොරට උඹ ගැන අනුකම්පා හිතෙන්න. “
” අනේ මන්දා බං . ඒ මනුස්සයා එක්ක මං වචනයක් කතා කරලා නෑ. ඒ මූණ දැක්කම පුදුම බයක් හිතෙන්නේ. කොයි වෙලෙත් කාගෙහරි ඇඟකට කඩා පනින්න බලන් ඉන්නේ. දැකලා දවසයි දෙකයි උනාට රෙස්ටුරන්ට් එකෙයි , ඔෆිස් එකෙයි කීදෙනෙක්නං ඔය මනුස්සයා ගැන මොන තරම් කතා කියනවද . එහෙම මනුස්සයා මට මෙහෙම උදව්වක් කරා කියන එක මටම තාම විශ්වාස කරන්න බෑ . “
” මේ.. පොරට වයස කීයක් විතර ඇතිද ? ”
” ම්ම්ම්.. වැඩිම උනොත් තිහක් විතර ඇති. “
” නෑ.. ඒ කියන්නේ කොල්ලෙක්. හැන්ඩියෙක්ද ?”
” හ්ම්ම්.. මං ඒ වගේ ලස්සන පිරිමි මූණක් ආයේ වෙන කොහෙදිවත් දැකලා නෑ. හැබැයි අර රකුසු ඇස් දෙක මතක් වෙද්දි තමා බඩ පපුව දෙකම පිච්චෙන්නේ. “
” පොර උඹට එහෙනං ට්‍රයිද දන්නෑ. “
මිතුරියගේ වචන ඇසුණු සැණින් තිගැස්සුණු සඳැස්වි වහා හිඳ සිටි බංකුවෙන් නැඟිට්ටාය .
” බුදු අම්මෝ.. මේ ලෝකේ ඉන්න අන්තිම කොල්ලා ඒ යකා උනත් මට නං ඌව එපා. “
” අර මොකෝ..? “
” උගෙ හැමදේම ඕනෑවට වඩා වැඩියි. සල්ලියි , බලයයි , නපුරුකමයි ඔක්කොම. අනේ මට නං එහෙම එකෙක් එපා.. සල්ලි උනත් ඕනෑවට වඩා වැඩි උනාම සැනසිල්ලක් නෑ බං “
මිතුරිය පමණට වඩා සිනහ නඟද්දී සඳැස්වී ඈට ඔරවා ඉවත බලා ගත්තාය .


