CHAT WITH STAR – ප්‍රවීණා දිසානායක

ප්‍රවීණා දිසානායක හඳුනනවාදැයි ඇහුවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරාවි.නමුත් ගීතිකාව දන්නවාද ඇහුවොත් ඉක්මනින්ම කාටත් ඇයව මතක් වේවි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී ඔස්සේ විකාශය වන “නාඩගම්කාරයෝ “ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන ප්‍රවීණා එක්ක අපි පොඩ්ඩක් කතා කරමු… මේ ඇගේ ජීවිතයෙන් මඳක්…

මම ගීතිකා කියන්නද..? ප්‍රවීණා කියන්නද…?

මගේ නම ප්‍රවීණා දිසානායක. හැබැයි දැන් බොහෝ දෙනා දන්නේ මාව ගීතිකා විදිහටයි. ස්වර්ණවාහිනී විකාශනය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණ කරන “නාඩගම්කාරයෝ ” නිසා දැන් බොහෝ දෙනා මට ගීතිකා කියලත් කතා කරනවා. හැබැයි සැබෑ ජීවිතේ මම ප්‍රවීණා.

මේ දවස්වල ප්‍රවීණා මොකද කරන්නේ..?

මේ දවස්‌වල “නාඩගම්කාරයෝ ” රූගත කිරීම් වලට සහභාගී වෙනවා. පහුගිය දවස්‌වල ගීත රූපරචනා කිහිපයකටත් සම්බන්ධ වුණා. ඉතින් ඒ වැඩත් කරගෙන පරිස්සමින් ඉන්නවා.

ගීතිකාට තියෙන ප්‍රතිචාර කොහොමද..?

ගීතිකාට ලැබෙන ප්‍රතිචාර හොඳයි. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මඟතොටේදී දැක්කත් බොහෝ දෙනා මාව හදුනාගෙන මාත් එක්ක කතා කරනවා.ඉතින ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි.

පහුගිය දවස්වල කවඩියා ගීතිකාට කරපු ආදර යෝජනාවට ගීතිකා ලබාදුන් ප්‍රතිචාරය නිසා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරත් වෙනස් වෙන්න ඇති නේද..?

ඔව්නේ…ගොඩාක් අය මගෙන් “ඇයි කවඩියාට එහෙම කලේ ” කියලත් ඇහුවා. ඒ අය නාඩගම්කාරයෝ නාට්‍යයේ චරිත වලට කොච්චර ආදරේද කියල ඒ ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා. එවැනි ප්‍රතිචාර ලැබීමත් වාසනාවක්. ඒ චරිතයට උපරිමයෙන්ම දායක වෙන්න මම හැම මොහොතකම උත්සාහ ගන්නවා. තව හදාගන්න අඩුපාඩු ඇති. ඒවත් හදාගෙන චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

කලාවට සම්බන්ධ වීම, නිළියක් වීම ප්‍රවීණා පුංචි කාලේ දැකපු හීනයක්ද..?

නෑ…මට පුංචි කාලේ නිලියක් වෙන හීනයක් තිබුණේ නැහැ. පුංචි කාලේ මම දොස්‌තර නෝනා කෙනෙක් වෙන්න ආස කලා. දොස්‌තර නෝනා වගේ බොරුවට සෙල්ලම් කලා. හැබැයි ඒ හීනය හැබෑ කරගන්න මට බැරි වුණා. ඒ හීනය හැබෑ නොවී අද මම කවදාවත් දැකපු නැති හීනයක් ලඟට ඇවිත් තියෙනවා. තවම මම මේ ක්ෂේත්‍රයට අලුත්. තාමත් මම රංඟනය ගැන දැන ගෙන තියෙන්නේ බොහෝම පොඩි කොටසක් විතරයි.ඒ අත්දැකීම්, උපදෙස් හා අධ්‍යයනයන් තුලින් ඒ දේවල් ඉගෙන ගන්න මම ආසාවෙන් ඉන්නවා.

ප්‍රවීණා අනුරාධපුරයෙන් රංඟනයට සම්බන්ධ වුණු කෙනෙක්..?

මගේ පවුලේ ඉන්නේ අම්මියි අප්පච්චියි මමයි. මම පවුලේ එකම දරුවා. මට හරි අපූරු ලමා කාලයක් තිබුණා.මගේ අම්මයි අප්පච්චියි කවදාවත් මාව රාමුවකට කොටු කලේ නැහැ. මට නිතී රීති දාලා හැදුවේ නැහැ. මට නිදහසේ මගේ ලමා කාලය ගත කරන්න ඒ දෙන්නා මට ඉඩ දුන්නා. මම ගෙදර හැඳුණු කෙනෙක්. මගේ ආසම තැන වුණේ ගෙදරයි. මම දඟ නැත්තෙමත් නැහැ. හැබැයි පිට තැනකට ගියාම මම හරි නිහඬ චරිතයක්. මම ගෙදර ඉන්න වෙලාවට තනියම නැටුවා. සිංදු ඇහුවා. අධ්‍යාපන කටයුතු කලා. ෆිල්ම් බැලුවා. එහෙම තමයි මගේ ලමා කාලය වැඩිපුරම ගෙවුණේ. මට යාලුවොත් හිටියා.

ප්‍රවීණා ඉගෙන ගත්ත පාසල මොකක්ද..?

මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් තමයි ඉගෙන ගත්තේ. පාසැල් ජීවිතය නර්තනයත් එක්ක වැඩිපුරම ගෙවුනා. මට පාසලේදී ගොඩාක් යාලුවෝ හිටියා. මම ක්‍රීඩා කටයුතුවලටනම් සම්බන්ධ වුනේම නැති තරම්. ක්‍රීඩා පිටියට යනවට වඩා මම නැටුම් පන්තියට යන්න ආස කලා. වසරක් පාසා තිබුණු නිවාසාන්තර ක්‍රීඩා උළෙලටනම් සහභාගි වුණා. හැබැයි ක්‍රීඩා කලේම නැහැ. ක්‍රීඩා උළෙලේදීත් නැටුම් කණ්ඩායමේ විශේෂාංගයක් තිබුණනේ. ඒ නිසා ඒකට සහභාගි වුණු නිසා ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම පාසලේදී පහතරට නැටුම් කණ්ඩායම් හිටියා. වේදිකා නාට්‍ය කලා. සංගීත කටයුතු වලටත් නර්තනය නිසා සම්බන්ධ වෙලා තියෙනවා. පාසැල් ජීවිතය කියන්නේ හරිම අපූරු මතකයක්.

අනුරාධපුරයේ ඉඳන් ප්‍රවීණා කොළඹට ආවේ රඟපාන්නමද..?

ඔව්. කොවිඩ් වසංගතයත් එක්ක මම ගෙදරමයි හිටියේ. “නාඩගම්කාරයෝ ” ටෙලි නාට්‍යය නිසා තමයි මට කොළඹට එන්න අවස්ථාව ලැබුණේ. කොවිඩ් කාලේ නිසා හිටියේ ගෙදර. ඔය අතරේ තමයි සංගීත් අයියා (කවඩියා )”අලුතින් නිලියන් ගන්නවා ඒකට සහභාගි වෙලා බලන්න කියල “කිව්වේ.අපි දෙන්නම අනුරාධපුරයේ. ඒ නිසා මම මුල ඉඳන්ම සංගීත් අයියාව හඳුනනවා .ඒ නිසා මම තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වුණා.අවසානයේදී ගීතිකා විදිහට මාව තෝරා ගත්තා. ඒ වෙනුවෙන් මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාටත්,තිර පිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාටත්, නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාටත් ස්තූති කරනවා.ඒ විදිහට තමයි අනුරාධපුරයේ සිට ප්‍රවීණා කොළඹට ආවේ.

මේ දිනවල ප්‍රවීණා කොළඹ නතර වෙලාද ඉන්නේ..?

ඔව්…දැන් අම්මයි අප්පච්චියි මමයි මහරගම පදිංචි වෙලා ඉන්නේ. අප්පච්චි ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අප්පච්චි නිතරම අනුරාධපුරෙත් යනවා.

ගැහැණු ළමයින් විලාසිතා වලට කැමතියිනේ. විලාසිතා වලට ප්‍රවීණා තුල තියෙන කැමැත්ත කොහොමද..?

මම විලාසිතා වලට ගොඩක් කැමැතියි. මට ගැලපෙන, තැනට ගැලපෙන විලාසිතා තෝරගෙනයි මේ හැමදේම කරන්නේ. විලාසිතාවක් වුණත් මම යන තැනට අනුව තමයි මම කරන්නේ. ෆැෂන් කියන්නේ හොඳ දෙයක්. අපිට ගැලපෙන විදිහට ඒක තෝරගෙන කරන්න පුළුවන්.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ප්‍රවීණා මොනවද කරන්නේ..?

මම නර්තනයේ යෙදෙනවා. ෆිල්ම් බලනවා සිංදු අහනවා. මට සුරතල් සතුන් දෙන්නෙක් ඉන්නවා. ඒ බව්වෝ දෙන්නත් එක්ක කාලය ගත කරන්නත් මම හරි ආසයි.

ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවසක් මතක් කරන්න කිව්වොත්..?

එහෙම සතුටු වුණු දවස් ගොඩක් තියෙනවා. .ඒ අතරින් මගේ බව්වෝ දෙන්නා මට ලැබුණු දවස් හරිම සතුටු දවස් දෙකක්. මම පුංචි කාලේ ඉදන්ම සතුන්ට ගොඩාක් ආදරෙයි. ඒ වුණාට කවදාවත් මම සතුන් අරගෙන හදලා නැහැ. මම ඔය පාරේ ඉන්න සතුන්ට කන්න දුන්නා. ඒවායින් ලොකු සතුටක් ලැබුවා. ඔය අතරේ තමයි මට මේ බව්වෝ දෙන්නා ලැබුණේ. දැන් ඒ දෙන්නා මගේ ජීවිතයට විශේෂයි.

හැබෑ කරගන්න තියෙන හීනයක් කියන්න..?

හීන සහ බලාපොරොත්තු ජීවිතේ තියෙනවා ඒ දේවල් වලට වැඩ කරගෙන යනවා. කාලයත් එක්ක ඒ හීන වලට ලං වෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.

-දිශානි ජයමාලි කරුණාරත්න –

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles