Chat With Star – අභිෂේකා විමලවීර

“සබඳිනී”කෙටි කාලයක් තුළ රසිකයන් ආදරයෙන් වැළඳගත් ගීතයක්.සංගීත ක්ෂේත්‍රයේ නිවැරදි සහ හරවත් ගමනක් යන්නට උත්සාහ කරන අභිෂේකා විමලවීර මේ ගීතය ගායනා කරන්නේ The Voice Teens Sri Lanka තරගයේ ජයග්‍රාහිකාව වූ ප්‍රනිර්ෂා ත්‍යාගරාජා සමඟ.අද Chat With Star සමඟ අභිෂේකා එක් වන්නේ ගීතය ගැන කතාබහකටයි.

සබඳිනී ගීතය කිහිපයක් තුළ ප්‍රේක්ෂකයන් මෙතරම් වැළඳ ගැනීම ගැන අදහස් කොහොමද?

ඇත්තටම මම සබඳිනී කළේ මගේ ගීතයක් විදියට.මට අවශ්‍ය වුණා මගේ එක් ගීතයක් හෝ අර්ධ ශාස්ත්‍රීය ලෙස කරන්න.මම ඉගෙන ගත් සංගීත ශානරය වුණේ ක්ලැසිකල් මියුසික්.ඒක මේ කාලයේ අභියෝගයක් වුණා.හැමෝම හුරු වෙලා ඉන්නේ හිපොප්,පොප්,රැප් සහ රැල්ලට යන ගීතවලට.නමුත් මම හිතුවේ මගේ අනිත් වැඩ වගේම මේ ගීතයත් ජනප්‍රිය කරනවාට වඩා හොඳ වැඩක් ලෙස කරන්න.”මේ සින්දුව කරේ අභී” කියලා ගීතයක් ඉතිරි කරන්න.ඒ නිසා මේ ගීතය මම සම්පූර්ණ ගීතයම වොයිස් කරලයි තිබුණේ.නමුත් ප්‍රනිර්ෂා තරගය ජයග්‍රහණය කළාට පස්සෙ මේකෙ තියන හුරුව එක්ක ප්‍රනිර්ෂාට මේ ගීතය ලස්සනට උච්ඡාරණය කරමින් ලස්සනට කරන්න පුළුවන් වෙයි.එයාගේ ගමනට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග මේ ගීතය වෙයි කියලා මම හිතුවා.මට හරිම සතුටක් දින හතරකින් මේ ගීතයට මිලියනයක නැරඹීම් වාර ගණනක් ලැබුණා.ගීතය යූ ටියුබ්වල  Trending 1 වුණා.ඉතින් පුදුම සතුටක් තියනවා.මම කළ මුල්ම ගීතයේ සිට සබඳිනි දක්වාම ගීත Trending List එකෙත් තිබුණා.සාමාන්‍යයෙන් අපි කියනවා හොඳ නිර්මාණ වලට තැනක් නෑ කියලා.ඒත් එහෙම එකක් නෑ.ඒකට වෙනම ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා.මං ඒ ප්‍රේක්ෂකාගාරය ගැන පුදුම විදියට සතුටු වෙනවා ආඩම්බර වෙනවා.

ප්‍රනිර්ෂා ගැන මේ වෙනකොට අභිෂේකාට දැනෙන්නේ කොහොම සතුටක්ද?

ප්‍රනිර්ෂා කියන්නේ මලක් වගේ ළමයෙක්.කවදාවත් මගේ හිත රිද්දපු නැති ළමයෙක්.ඒවගේම එයා කාගෙවත් හිත රිද්දන්නේ නෑ.හැබැයි එයා ඉක්මනින් හිත රිද්ද ගන්නවා.මොන දේ කරත් එයා මගෙන් අහනවා.ඒ නිසා එයාට හරි පාර කියලා දෙන්න මට පුලුවන්.ඒ වගේම ප්‍රනිර්ෂාගේ අම්මා තාත්තා එයාගේ පස්සෙන්ම ඉන්නවා.එනිසා ප්‍රණීර්ෂාගේ ඉගෙනීමේ කටයුතු එක්ක සමබරව සංගීතය කරගන්න පුලුවන්.මට මේ වෙලාවේ දැනෙන්නෙ ප්‍රණීර්ෂා මගේම දරුවෙක් වගේ.

ගායිකාවක්,ගී පද රචිකාවක්,ලේඛිකාවක් වගේ චරිත අතර යොවුන් වයසේ දරුවන් පිරිසකට ගුරුවරියක් වීම දැනුණේ කොහොමද? ඔවුන් සමඟ කටයුතු කළ අත්දැකීම් කොහොමද?

මගේ ජීවිතයේ මම ආසම දේවල් වලින් එකක් තමයි උගන්වන එක.ඉතින් රියැලිටි වැඩසටහනක දරුවන්ට උගන්වනවා කියන එක ඊට වඩා වෙනස් දෙයක්.සාමාන්‍ය ජීවිතයේ අපට වාඩිවෙලා ඕන තරම් කල් අරගෙන නිදහසේ උගන්වන පුළුවන්.ඒත් රියැලිටි එකට අපට ඉතාම පොඩි කාල සීමාව තමයි හම්බ වෙන්නේ දරුවන් පුහුණු කරන්න.ඒක අපේ ප්‍රශ්න අමතක කරන්න හොඳයි.අපි ට්‍රැක් එකකට වැටිලා වැඩ කරන්නේ.ඒක අභියෝගයක්.නිශ්චිත කාල සීමාවක සැලසුමක් ඇතිව වැඩ කරන එක අමාරුයි.බොහොම කාර්යය බහුල කාලසටහනකට තමයි අපි වැඩ කළේ.සමහරවෙලාවට නින්දක් පවා නැතුව රෑ එළිවනතුරු ඇහැරගෙන අපි වැඩ කළා.ඒත් සුන්දර වෙහෙසක්.අවසානයේ ලැබුන ප්‍රතිඵලය හරිම සුන්දරයි.ඒකත් එක්ක මම හිතනවා ඒ අත්දැකීම මට හොඳටම ඇති.ආයේ මම හිතනවා මට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ රියැලිටි වැඩසටහනක.ඉතින් මම හිතනවා මේ හොඳටම ඇති වෙයි.

The Voice Teens තරගයේ ජයග්‍රාහී මොහොත ගැන ආයේ මතක් කළොත්?

මම අන්තිම මොහොත වෙනකන්ම උත්සාහ කළා මගේ දරුවෝ වෙනුවෙන් උපරිම දේ කරන්න.ඒ වගේම තමයි අනිත් කෝචස්ලත්.එයාලත් පුදුම විදිහට මහන්සි වුණා.මේක දරුවෝ අතර තරගයක් වගේම කෝචස්ලා අතර තරගයක්.ඒ වගේම කලාකාරයෝ අතර තරගයක්.ඒ විදියට තමයි ඒ වැඩසටහන හැදිලම තියෙන්නෙ.නමුත් තරගය ඉවර උනාට පස්සේ දිනුවේ මම කියලා කිසිම ප්‍රශ්නයක් අනිත් කෝචස්ලට තිබුණේ නෑ.ඒත් තරගයේ ජයග්‍රහණය ප්‍රනිර්ෂා ත්‍යාගරාජා කියලා ඇහෙනකොට ජීවිතයේ වින්ද හැම දුකක්ම කරදරයක් ම වේදනාවක් ම අමතක වෙලා ලෝකයේ ඒ වෙලාවේ සතුටින්ම හිටපු කෙනා,ප්‍රනිර්ෂාටත් වඩා මම වුණා.

අපි අතින් වැරදි නොවෙන තැනක පවා එල්ල වෙන විවේචන දරා ගන්නේ කොහොමද?

විවේචන කොටස් දෙකක් තියෙනවා.එකක් සදය විවේචනය.අනෙක නිර්දය විවේචනය.සදය විවේචනයකට උදාහරණයක් ගත්තොත්, කවුරුහරි මට කියන්න පුළුවන් “අභිෂේකා ඔයාගේ මෙන්න මේ නිර්මාණයේ මෙන්න මේ වචනය වැරදි.ඒක පොඩ්ඩක් හදාගන්න.” කියලා.ඒක සදය විවේචනයක්.ඒත් කවුරු හරි කෙනෙක් වෙන තැනක මඩ ගහනවානම් ඒක නිර්දය විවේචනයක්. මම හැමතිස්සෙම කියන්නේ “ලු” යොදාගනිමින් මඩ ගැසීම නම් ගණන් ගත යුතු එකක් නෙමෙයි.සාමාන්‍යයෙන් සංසන්දනාත්මකව බලනකොට මගේ නිර්මාණවලට විවේචන එනවා හරිම අඩුයි.සාමාන්‍යයෙන් කියන දෙයක් නිර්මාණයකට විවේචන එන්න ඕනේ කියලා.මමත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මගේ නිර්මාණයක් කවුරුහරි විවේචනය කරනවා නම්.හැබැයි මගේ නිර්මාණයකට හොඳ මිසක් කවුරුවත් බැනලා නැහැ.හැබැයි මම ආසයි කවුරු හරි එහෙම තර්කයකට එනවනම්.සමහරවිට මගේ ඊළඟ නිර්මාණය එහෙම විවේචනයට ලක්වෙන ආන්දෝලනාත්මක ගීතයක් වෙයි. 

යොවුන් දරුවන් සමඟ කටයුතු කරපු අත්දැකීම් එක්ක වර්තමාන දරුවන්ගේ රසවින්දනය සහ ආකල්ප ගැන අදහස කොහොම එකක්ද?

මම එක්තරා දරුවෙක්ට රියැලිටි වැඩසටහනක දී අපි ඉතාමත් ආදරය කරන අපේ පරම්පරාවේ අය නම කිව්ව සැනින් දන්න  ගායකයෙකුගේ ගීතයක් ලබා දුන්නා.ඒ දරුවාට ගීතය ලබා දුන්නම එයා ඒ සින්දුවේ වචනයක්වත් දැනගෙන හිටියේ නැහැ.සහ ඒ ගායකයාව දැනගෙන හිටියෙත් නෑ.ඉතින් එහෙම වෙන්න හරිම සාධාරණ හේතු තියනවා.ඒක ළමයින්ගේ විතරක් වැරැද්දක් නෙමෙයි දෙමව්පියන්ගෙත් වැරදි.අනිවාර්යයෙන් ම මුල ඉඳලම අපි කවුද කියන එක,අපේ තියන නිර්මාණ මොනවාද? අපේ ඉතිහාසයේ ගායක ගායිකාවන් කවුද? කියන එක ගැන ගෙදර නිතර නිතර අහන්න සලස්වන්න ඕනේ.අපේ අඩිතාලම නැතුව අනෙක් මොනවා ඉස්සරහට ගියත් වැඩක් නෑ.මේක ශ්‍රි ලංකාව.ඔවුන්ගේ ආකල්ප සහ රස වින්දනය ඉතාම හොඳ මට්ටමක තියෙනවා.එකම දේ ඔවුන් අපේ කලාකරුවන් ගැන දන්න ප්‍රමාණය ඉතාම අඩු බව මට ඔවුන් එක්ක වැඩ කරද්දි තේරුම් ගියා.

ගායිකාවක් ලෙස අතිශය සාර්ථක මේ මොහොතේ ලේඛිකාවක හැටියට ඉදිරි සැලසුම් කොහොමද?

ඇත්තටම ලේඛිකාවක් කියන භූමිකාව ඇතුළෙ මම ලොකු දෙයක් කරලා තියෙනවා කියලා සහ කරයි කියලා මම හිතන්නේ නෑ.මම දැන් ඉතාම කාර්යබහුලයි.මගේ ව්‍යාපාර වැඩකටයුතු ,මගේ සින්දු හදන වැඩ,බබාගේ වැඩ ඒවත් එක්ක මට ලේඛනයට ලැබෙන ඉඩ අඩුයි.මම කවි පොත් දෙකක් කරලා තියනවා,නොනිමි සහ මතක. කර්මජ කියලා නවකතාවක් ලිව්වා,ඒක ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් පොත් පහ අතරට ඒ නවකතාව තේරී පත් වුණා.මට හිතෙනවා ඒ ඇති කියලා.පොතක් ලියනවානම් නිදහස් වටපිටාවක් සහ නිදහස් මානසිකත්වයක් ඕනෑ.ඉතින් මේ වෙලාවේ ජීවිතේ එහෙම නිදහසක් නෑ.ටිකක් කාර්යබහුලයි.ඒ නිසා පොත් ලියන එකට ලොකුවට සම්බන්ධ වෙන එකක් නෑ.

ගායිකාවක,ගුරුවරියක,ගී පද රචිකාවක, ලේඛිකාවක, ව්‍යාපාරිකාවක වගේම මවක සහ බිරිඳක ලෙස ද භූමිකා හොබවන අභිෂේකා ඒ හැම භූමිකාවක්ම ඉතා සුහුරු ලෙස හසුරවා ගන්නියක්.ඇගේ Smart ගමනට SmartLady අපි ආදරයෙන් සුබ පැතුම් එකතු කරනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles