Chat With Star – හෙක්ටර් ඩයස්

අපි දැන ගෙන හිටියේ හෙක්ටර් ඩයස් කියන්නේ ගායකයෙක් වාදකයෙක්. නිර්මාණ කරුවෙක් කියලයි. නමුත් මේ වෙද්දී අගස්ති එක්ක හෙක්ටර් රංඟන ශිල්පියෙක්ද වී අවසානයි. තමන්ටම ආවේණික අපූරු විලාසිතා කරන හෙක්ටර් ඩයස් එක්කයි අද අපේ කතාබහ

දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්තිගේ චරිතය නිසා අද හෙක්ටර්ට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ…?

ගොඩක් සතුටුයි. මම රංඟනයට එකතු වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. මේක මගේ මුල්ම රංගනය. මේකට මට ආරාධනා කරද්දී වුණත් මම පොඩ්ඩක් මේ ගැන හිතන්න කල් ගත්තා. මේකට එකපාරටම කැමැත්තක් දෙන්න මට බැරි වුණා. එහෙම ටික දවසක් හිතලා තමයි මම “දිවිතුරා” නාට්‍යයට එකතු වුණේ. ඒ වගේම මම මේ ගැන මගේ බිරිද පාඨලී එක්කත් කතා කලා. එයා තමයි හැම මොහොතකම මාත් එක්ක ඉන්නේ. නාට්‍යයේ පලමු රූගත කිරීම් කරපු දවසේ ඉදන් එයා මාත් එක්ක ඉන්නවා. අපේ දරුවන්ව ප්‍රංශයේ පාඨලීගේ අම්මා ලඟ තියලා එයා මගේ වැඩ වෙනුවෙන් ලංකාවට ආවා. අද ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි. මම හිතුවාටත් වඩා ඉක්මනින් බොහෝ දෙනා අගස්තිට ආදරේ කලා . මේ සඳහා චාමර ජයවීර ඇතුළු බොහෝ දෙනා මට උදව් කලා.  හැබැයි තාමත් මට  ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. සිංදු කියනවා වගේ රඟපාන්න බැහැ. රංඟනය කියන දේ නොදැන හිටපු මට අගස්ති ලොකු අභියෝගයක්. ඒ නාට්‍ය වෙනුවෙන් මට මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංඟනය පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයට ලැබුණු හොඳ අවස්ථාවක්. තාමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා.

හෙක්ටර්ගේ රංඟනය ගැන පාඨලී මොකද කියන්නේ….?

එයාට හරි සතුටුයි. මගේ හැම කටයුත්තකදීම හෙවනැල්ල වගේ ඉන්නේ පාටී(හෙක්ටර් පාඨලීට කියන්නේ පාටී කියලයි )මේ අවස්ථාව ලැබුණහමත් මම පාටිට කිව්වා. මේකට යන්න මාව ධෛර්යයමත් කලේ එයයි. පහුගිය කාලේම එයා ලංකාවට ඇවිත් මාත් එක්කම හිටියා.

හෙක්ටර් ඉන්නේ ලංකාවේ. පාඨලී ඉන්නේ ප්‍රංශයේ. ඇයි මේ…?

ඒකට හේතුව අපේ දරුවෝ තුන්දෙනායි. එයාලා ඉගෙන ගන්නේ ප්‍රංශයේ. පාඨලී මාව විවාහ කරගන්න කලින්ම ඉඳන් හිටියෙත් ප්‍රංශයේ. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා අපට රටවල් දෙකක ඉන්න සිදුවුණා. හැබැයි ඉඩ ලැබෙන හැම කාලයේදීම මම ප්‍රංශයට ගියා. එහෙම නැත්නම් එයාලා ලංකාවට ආවා. පසුගිය කාලයේ දී  මුලින්ම එයා ලංකාවට ආවා. පහුගිය කාලෙදී අපේ දරුවන් තුන්දෙනාත් ලංකාවට ආවා. වසර එකහමාරක් තිස්සේ මට දරුවන් බලන්න ලැබුණේ නෑ.ඊට පස්සේ අපි හැමෝම ටික කාලයකට ප්‍රංශෙට ගියා.

පාඨලී හිටියේ ප්‍රංශයේ. දරුවන් දැන් ඉන්නේ ප්‍රංශයේ. දරුවන් ලංකාවට කැමතිද…?

අනේ ඔව්. දරුවන් තුන්දෙනා ප්‍රංශයේ හිටියත් එයාලා ලංකාවට හරි ආදරෙයි. ඒකට ප්‍රධාන හේතුව පාටී එයා පුංචි කාලේ ඉදන්ම දරුවන්ට සිංහල ගීත අහන්න දුන්නා. ගෙදර සිංහලෙන් කතා කලා. හැමදාමත් වෙලේම අපේකම, රට ගැන කියලා දුන්නා. දරුවන් ප්‍රංශයේ ජීවත් වුණත් එයාලට ඉන්නේ ලංකාවේ නෑදෑයෝ. එයාලා ලංකාවට ආවට පස්සේ එයාලා නෑදෑයෝ එක්ක කතා කරන්න ඕනේ සිංහලෙන්. ඒ නිසා පාටී හැමවෙලේම ගෙදරදී එයාලා එක්ක සිංහලෙන් කතා කලා. අදටත් එහෙමමයි. ඒ නිසා අපේ දරුවන් තුන්දෙනාට හොඳට සිංහල කතා කරන්න පුලුවන්.

ලංකාවෙයි ප්‍රංශයෙයි අතර මේ ආදර කතාව පටන් ගත්තේ කොහොමද…?

ඒකට හේතුව වුණෙත් සංගීතයම තමයි. 1998 අවුරුද්දේ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක සංගීත ප්‍රසංගයකට ප්‍රංශයට ගියා. එදා පාඨලීත් ඇවිත් හිටියත් අපිට කතා කරන්න ලැබුණේ නැහැ. ආයෙත් 2002 අවුරුද්දේ ප්‍රංශයට ගිය ගමනේදීත් පාඨලීව මුණ ගැහුණා. හැබැයි ඒකත් සාමාන්‍ය මුණගැහිමක් විතරයි. 2003 අවුරුද්දේ ගිය ගමනේදීනම් අපි කතාබහ කලා. මම ලංකාවට ආවට පස්සේ අපි දුරකථනයෙන් කතා කලා. 2004 අවුරුද්දේ පාටී ලංකාවට ආවා පාටී ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. අපි  2004 අවුරුද්දේ විවාහ වුණා.

දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්තිටත් පෙරම හෙක්ටර් ගැන බොහෝ දෙනා හොයන්න පටන් ගත්තේ ඩෙස්මන්ඩ් සිල්වා මහතා ගායනා කර තිබූ ,පසුකාලීනව හෙක්ටර් ගායනා කල “නිල්වන් මුහුදු තීරේ ” cover song එකෙන්. ඇත්තටම ඒ පෙනුමට අදහස දුන්නෙත් පාඨලී කියලයි ආරංචිය…?

ඔව්නේ. ඉස්සර මම එහෙම රැවුල වැව්වේ නෑ.2019 අවුරුද්දේ මම ප්‍රංශයට ගිය ගමනේදී මම රැවුල වැව්වා. ඒ වෙලාවේ පාඨලී “ඔයා රැවුල වැව්වම ලස්සනයි “කියලා කිව්වා. මගේ ලස්සන වැඩියෙන්ම පේන්නේ එයාටනේ. ඔය අතරේ මම ලංකාවට ආවට පස්සේ ත් රැවුල වැව්වා. ඒ කාලෙදීම තමයි නිල්වන් මුහුදු තීරේ ගීතයේ රූගත කිරීම් යොදාගෙන තිබුණේ. ඒකට මම රැවුල කපන්න හිතුණත් ආයෙත් මටම “මේක හොඳ ඇති “කියලා හිතුණා. එහෙම තමයි මම මේ ගීතයට මෙහෙම සම්බන්ධ වුණේ.

හෙක්ටර් පහුකාලෙදී පාඨලීත් එක්ක කරපු ‘අඟනක්දෝ ඔයා ‘ රූප රචනයට ත් හොඳ ප්‍රතිචාර ලැබුණා…?

ඔව්. මුලදී පාටී මේ විෂුවල් එකට ඉන්න කැමති වුණේ නැහැ. ඒත්…පාටී එක්ක ගීතයකට විෂුවල් කරන්න මම කාලයක් තිස්සේ හිතාගෙන හිටපු දෙයක්. ‘අඟනක්දෝ ඔයා ‘වෙනුවෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

රටවල් දෙකක ජීවත් වෙන එක දුකක් නැද්ද?දරුවන්වත් ලංකාවට ගෙන්නා ගන්න හිතෙන්නේ නැද්ද…?එහෙමත් නැත්නම් හෙක්ටර් ලංකාව අතහැරලා ප්‍රංශයේ පදිංචියට යයිද…?

නැහැ. දරුවන් ඉගෙන ගන්නේ ඒ රටේ. අපිට දුවයි පුතාලා දෙන්නයි ඉන්නවා. එයාලව ලංකාවට ගෙන්වා ගත්තොත් අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. අතරමග නතර වේවී. අපි මේ හැම කැපකිරීමක්ම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. අපි දෙන්නගේ ආදරේ කවදාවත් වෙනස් වෙලා නැහැ. රටවල් දෙකක හිටියත් ඒ ආදරේ ඒ විදිහමයි. තවම දරුවන්ට ලංකාවට ඇවිත් ස්ථීරවම ජීවත් වෙන්න බැහැ. රටවල් දෙකක හිටියත් අපේ ආදරේ තවත් වැඩි වුණා කියලයි මට හිතෙන්නේ. මගේ ජීවිතේ සංගීතයයි. ඒ නිසා සංගීතය නතර කරලා මට ප්‍රංශයේ ගිහින් නතර වෙන්න බැහැ.

හෙක්ටර් ප්‍රංශයට නොගොස් ලංකාවේ නතර වෙන්නේ සංගීතය නිසයි. තාත්තා වගේම දරුවනුත් සංගීතයට කැමතිද…?

ඔව්…තුන්දෙනාටම මේ වෙද්දි ඒ හැකියාවන් තියෙනවා. ලොකු පුතාට අවුරුදු හතේ ඉදන් එයා සැක්සෆොනය වාදනය කරන්න ඉගෙන ගත්තා. මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් එයාට හොඳ හැකියාවක් තියෙනවා. දුව ඔපෙරා ගායනය කරනවා. ඒ වගේම ගිටාර් වාදනය කරන්නත් පුලුවන්. චූටි පුතාටත් ගායනය හා වාදනය කරන්න පුළුවන්. එයාලා කැමති වාදන භාණ්ඩ තෝරා ගන්න අපි එයාලට නිදහස දීලයි තියෙන්නේ . ඒ හැමදේම අතරේ ඒ තුන්දෙනාගේම හොඳින් ඉගෙන ගන්නවා. දරුවන් ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්. එයාලා හරි ආදරණීය කීකරු දරුවන්.

හෙක්ටර්ගේ ළමා කාලයේදී සංගීතයට නැඹුරු කමක් තිබුණද…?

ඔව්. මම පොඩි කාලේ අපේ තාත්තා ගෙදර සංගීත කණ්ඩායමක් කරලා තිබුණා. ඒ නිසා සංගීතය කියන දේ මට පුංචි කාලේම දැනිච්ච දෙයක්. මම පාසැල් තුනක අධ්‍යාපන ලැබුවා. පාසලේදීත් මම සංගීතය හැදෑරුවා. කවදාහරි දවසක හොඳ සංගීතඥයෙක් වෙන්න මට ඕන වුණා. පාසැල් අධ්‍යාපනයෙන් පසුව මම ජාතික තරුණ වාදක මණ්ඩලයේ වසර කීපයක් වාදනය කලා. ඊට පස්සේ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක අවුරුදු දාහතරක් වැඩ කලා. මේ වෙද්දි  ” D Major “නමින් සංගීත කණ්ඩායමක් මම පවත්වාගෙන යනවා.අදටත් මම සංගීතය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා.මේ විෂය සම්බන්ධයෙන් බොහෝ දේවල් මට තාමත් ඉගෙන ගන්න තියෙනවා.

අද මොකද හිතෙන්නේ…?

සතුටුයි පාඨලී එක්ක ,දරුවන් එක්ක මම හරි සතුටින් ජීවත් වෙනවා. සමහරු “මම අගස්ති වගේම සැරද…අගස්ති වගේම හැම දේටම කෑ ගහනවාද” කියලා අහනවා. ඇත්තම කිව්වොත් මම අගස්ති වගේ කෑ ගහන්නේ සැර කරන්නේ නැහැ. ඒ ගැන හොදටම දන්නේ පාඨලියි. මම නළුවෙක් නෙමෙයි. ඒ නිසා අගස්ති විදිහට රඟපාන්න යද්දී මට තිබුණ ලොකුම අභියෝගය වුනේ අගස්ති වගේ හැම වෙලේම තරහ ගිහින් කෑ ගහන එකයි. අදටත් මට ඒක අභියෝගයක්. ඒ නිසා අගස්තිවයි හෙක්ටර්වයි සමාන කරල බලන්න එපා. අගස්තිට බොහෝ දෙනා ආදරේ කරනවා. හැබැයි තාමත් මම ඒ වෙනුවෙන් උපරිමයෙන්ම දායක වෙන්න උත්සාහ කරනවා. මම මේ පොලවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මායි පාටියි ජීවිතේ හැමදේම කලේ සතුටින්.අපි විවාහ වෙලා අවුරුදු දාසයක් වෙනවා. ඒ අවුරුදු දාසය පුරාවටම මගේ ළගින්ම නැතත් මගේ හදවතේම හැමවෙලේම ඉදලා මාව ශක්තිමත් කලේ එයයි. අපි දෙන්නට දෙන්නා හිටියා. අදටත් එහෙමමයි. ජීවිතේ වැටුණු තැන් තිබුණා. ඒ හැම මොහොතකම අපි දෙන්නට අපි දෙන්නා හිටියා. අපි මේ ගමන ආවේ හෙමින්. හැබැයි ඒ ගමන ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්.

-දිශානි ජයමාලි කරුණාරත්න –

Related Articles

Don't Miss


Latest Articles