Chat with Star – නිමන්ති පෝරගේ

“ඉස්සර අපේ තාත්තට ලොකු බඩක් තිබුණා ” එදා එහෙම කියපු ඇය අද වෙද්දි ආදරණීය මවක්. නිමන්ති පෝරගේ…කාලයක් පුංචි තිරයේ පෙම්වතිය වුණු ඇය අද සෙනෙහෙබර බිරිඳක්. මේ ඇගේ ජීවිතයෙන් බිඳක්.

නිමන්ති…කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. සතුටත්,  දුකත් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒ හැම දෙයක් එක්කම හොඳින් ඉන්නවා.

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්‌වල අපේ අලුත් ටෙලි නාට්‍ය වෙනුවෙන් සූදානම් වෙනවා. පසුගිය දවස්වල අපි කරපු “මෙට්රෝ හීන” ටෙලි නාට්‍යය අවසාන් වුණා. ඉතින් අලුත් ටෙලි නාට්‍යයකට මේ දවස්‌වල රූගත කිරීම් කරන තැන් සොයනවා. ඒ නිසා ටිකක් විතර කාර්ය්‍යබහුලයි.

නිලියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?

නැහැ. මම පුංචි කාලේ නිලියක් වෙන්න කවදාවත් හිතුවේ නැහැ. මට නර්තන ගුරුවරියක් වීමේ හීනයක් තිබුණා. මම ඉගෙන ගත්තේ කොළඹ ලුම්බිණි මහ විදුහලෙන්. පාසලේදී මම නර්තනය හැදෑරුවා. පාසැල් තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. කණ්ඩායම් නායිකාව වෙලා හිටියා. ඒ කාලයේදී බැලේ,භරත, අමතර පන්ති වලින් මම නර්තනය වැඩිදුර ඉගෙන ගත්තා. උසස් පෙලට නර්තනය කරන්න ඕනේ නිසාම මම කලා විෂය තෝරා ගත්තා. එහෙම නර්තන ගුරුවරියක් වෙන්න හීන දැකපු මම අවසානයේදී නිලියක් වුණා.

ඒ ජීවිතේ හැරවුම වුණේ කොතනින්ද?

පාසැලේදී නර්තනය ඉගැන්වූ ගුරුතුමිය අපිට සති අන්තයේදීත් නර්තනය ඉගැන්වුවා. දවසක් එතනට විජය ධර්ම ශ්‍රී මහතා ආවා. ඒ ඔහුගේ අලුත් ටෙලි නාට්‍යයකට අලුත් ගැහැණු ලමයෙක් ඕන වෙලා තිබුණ නිසයි. ඒ වෙද්දි මට අවුරුදු දාසයක් විතර ඇති. එදා මම ඇතුළුව ගෑණු ලමයි කීපදෙනෙක් තෝරා ගෙන පසුවදාට “ටෙලි ස්ටාර්”  ආයතනයට එන්න කිව්වා. පහුවදා අපි “ටෙලි ස්ටාර්” ආයතනයට ගියා. දැන්  වගේ ඒ කාලේ දැකපු ගමන් නිලියන් වෙන්න බැහැ. අපිට තිර පරීක්ෂණ කීපයක්ම තිබුණා. හැබැයි එදාම මාව තෝරා ගත්තා කියලත් කිව්වා. මුලින්ම “කස්තිරම ” ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක රූගත කලේ මීමුරෙ යි.”කස්තිරම “රඟපාද්දී රංඟනයට මට පුදුම ආසාවක් ඇති වුණා. 

නිමන්ති රංඟනයට එකතු වෙනවට ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?

අම්මා කැමතියි. නමුත් තාත්තයි අයියයි ගොඩාක් විරුද්ධ වුණා. ඒ වුණාට මම රඟපාපු නිර්මාණ රූපවාහිනියෙන් විකාශය වෙද්දී ඒ දෙන්නත් ආස කලා. ඒ ආසාව කොච්චරද කියනවනම් පහුකාලෙදී අයියගේ පුතා වෙන දෙව්නක පෝරගේත් රංඟනයට එකතු වුණා. අද දෙව්නක පුතා ජනප්‍රිය තරුණ කලාකරුවෙක්. පුතා ගැන මට ලොකු සතුටක් තියෙන්නේ. උසස් පෙල අවසන් කරපු මම නාට්‍ය පාඨමාලාවක් හදාරලා දිගටම රංඟනයෙන් දායක වුණා.

ඒ කාලෙදී “අපේ තාත්තට ලොකු බඩක් තිබුණා” වෙළද දැන්වීම හරි ජනප්‍රියයි. ?

අම්මෝ ඔව්. ඒ කාලේ මට පාරේ යන්න බැහැ, “තාත්තගේ බඩ” ගැන පිරිමි ලමයි විහිලු කලා. ඊට පස්සේ මම “නින්ජා” කොයිල් වෙළද දැන්වීමක් කලා. “අපිව බලා ගන්න කවුරුත් නෑනේ “කියලා මම ඇඩ් එකේ කියපු දේ කියලා මට විහිළු කලා. ඒ කාලේ බොහෝ දෙනා මට “කොයිල් නංගී ” කියලයි කිව්වේ.ඒ “නින්ජා” වෙළද දැන්වීමෙන් මම ගොඩාක් ජනප්‍රිය වුණා. ඒ හරහා මට බොහෝ කලාකටයුතු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. “නින්ජා” වෙළද දැන්වීම අධ්‍යක්ෂණය කලේ ජයන්ත චන්ද්‍රසිරි මහතායි.
ඒ වෙළඳ දැන්වීම කරන්න කලින් ඔහු අපි  තුන්දෙනාට වැඩමුළුවක් පවා පැවැත්වුවා. ඒවා ජීවිතයට හරි වටිනා ඉගැන්වීම්.ඒ කාලේ මම “කොයිල් නංගී “.මේ කාලේ මම “කොයිල් අක්කා”.

ලුම්බිණි විදුහලේදී නිමන්ති මොන වගේ කෙනෙක්ද.?

මම පාසැල් යන කාලේ බොහෝ ජනප්‍රිය චරිතයක්. ඒ නර්තනය නිසාමයි. මම වැඩිපුරම නැටුම් පන්තියේ හිටියේ. සමහර විට ඒ තිබුණු ජනප්‍රියකම නිසාම ඇතැමුන්ගේ ඉරිසියාවට ලක් වෙලා හිතට දුකක් ගෙන දීපු අවස්ථාත් තිබුණා. හැබැයි පාසල් ජීවිතේ මම සාර්ථක ශිෂ්‍යාවක්.

ජීවිතේ තමන්ගේ මහන්සියෙන් මුලින්ම හම්බ කරපු මුදල මතකද…?

ඔව්. මට මතක හැටියට භානු ප්‍රසන්න අධ්‍යක්ෂණය කරපු “උත්තමාචාරය “වේදිකා නාට්‍ය මගේ රංඟනය වෙනුවෙන් මට මුලින්ම රුපියල් එක්දාස් පන්සීයක් ලැබුණා. එදා ඒ ලැබුණු මුදල මට මාර විදිහට වටිනවා. ඒ මුදල කිසිම දේකට වියදම් නොකර මම සෑහෙන කාලයක් පරිස්සම් කලා. වරින් වර පර්ස් එක ඇරලා ඒ සල්ලි අතගාලා බැලුවා. ටික කලකට පස්සේ ආයෙත්  නාට්‍ය වේදිකා ගත කරද්දී ආයෙත් මට රුපියල් එක්දාස් පන්සීයක් ලැබුණා. ඊට පස්සේ තමයි මුලින්ම මගේ අතට ලැබුණු මුදල මම වියදම් කලේ. ඒ වෙනතුරු මම ඒ මුදල පරිස්සම් කලා.

නිමන්තිට ප්‍රභාත් මුණගැසෙන්නෙත් නිර්මාණ කටයුත්තකදී. ඒ මුණ ගැසීම ගැන මතක් කලොත්…?

ප්‍රභාත් මට මුණ ගැසෙන්නේ 2002 අවුරුද්දේ. ඒ ජෝ අබේවික්‍රම මහතා අධ්‍යක්ෂණ කල “සබඳ පබලිස්”ටෙලි නාට්‍ය ඔස්සේයි. 2002 අවුරුද්ද කියන්නේ මගේ ජනප්‍රියම කාලයයි. ඒ වෙද්දි මම සෑහෙන කාර්යබහුල කලාකාරියක්.ඒ වෙද්දි නාලිකා තුනක මම රඟපාපු ටෙලි නාට්‍ය පහක් විකාශය වෙමින් තිබුණේ. ඇත්තම කිව්වොත් මුලින්ම ප්‍රභාත් එක්ක මම හරි තරහයි. 

ඇයි ඒ..?මොකක්ද ඒකට හේතුව..?

මුලින්ම මම “සබඳ පබලිස් ” රූගත කිරීම් වලට ගිය වාහනයෙන්ම තමයි ප්‍රභාත් වත් රූගත කිරීම් කරන තැනට ගන්න ගියේ.මාව උදේ පාන්දර අරගෙන ඊලඟට ප්‍රභාත් නැවතිලා හිටපු බෝඩිම් කාමරය ලඟට වාහනය ගියාට ප්‍රභාත් ආවේ නෑ. පැය භාගයකට විතර පස්සේ තමයි ප්‍රභාත් වාහනයට ආවේ. ඒ වෙනකම් මම වාහනේ. මට හොඳටම කේන්ති ගිහින් හිටියේ. ඇත්තටම මට එපාවෙලා වුණා. එතනින් ප්‍රභාත් එක්ක මගේ තරහව පටන් ගත්තා. අපිට අලුත්ගම තමයි රූගත කිරීම් කරන්න තිබුණේ. උදේ රූගත කිරීම් කරද්දීත් මම අනංමනං ප්‍රභාත් ට කිව්වා. “වගකීමක් තියෙන්න ඕනේ. වෙලාවට වැඩ කරන්න බැරි අය මොකට ගන්නවද මන්දා “කියකියා වරින් වර මගේ තරහව පිට කලා. ඒකෙදී ප්‍රභාත් මට රිටන් එක දුන්නා. ඒ වෙද්දි මම කොණ්ඩය පාට කරලයි තිබුණේ. “ඔය කොණ්ඩය පාට කරපු නිලියන් මොකට මේ ගැමි චරිත වලට ගන්නවද…”කියල දෙවතාවක්ම මාව “කොණ්ඩය කලු කරගෙන එන්න “කියලා මේක්අප් රෑම් එකට යැව්වා. ඒ වගේ අපි දෙන්නා අතරේ ගැටුම් ඇති වුණා. ඒ ගැටුම්ම තමයි අපි දෙන්නා අතරේ ආදරයක් ඇති කලේ. වැඩිපුර අපි අපි ගැන හොයද්දි දෙන්නාගේම හිත්වල ආදරයක් තියෙනවා කියලා අපිට තේරුණා.

ප්‍රභාත්ද ඒ ආදරය මුලින්ම කිව්වේ..?

ඔව්. ඒ වෙද්දි ඩිලානි අක්කාට, ඇන්ටන් ජූඩ් අයියාට මේක තේරිලයි තිබුණේ. ඒ අයත් අපි දෙන්නව එකතු කරන්න ලොකු සපෝට් එකක් දුන්නා. දවසක් ප්‍රභාත් මගෙන් ඇහුවා. ඒ වෙද්දි 
ගෙදරින් මට වෙනත් විවාහ යෝජනාවක් ගෙනත් තිබුණේ. ඒනිසා “මම නම් කැමතියි. ඔයා ගෙදරින් ඇවිත් අහන්න “කියලා ප්‍රභාත්ට කිව්වා. ප්‍රභාත් ගෙදරින් ඇවිත් ඇහුවා. අපි 2006 අවුරුද්දේ විවාහ වුණා.

විවාහ වුණු මුල් කාලයේදී අද තියෙන ආර්ථික ස්ථාවරය තියෙන්නේ නැතිව ඇති..?

අම්මෝ නැහැ. ප්‍රභාත්ගේ ගම හික්කඩුවේ. එයාගේ රැකියාව නිසා එයා නුගේගොඩ බෝඩිම් වෙලයි හිටියේ. එයාගේ තාත්තා මිය ගිහින් මාස කීපයකට පස්සේ තමයි අපි යාලු වුණේ. ප්‍රභාත් එයාගේ ගමේ ඉඩම් විකුණලා අම්මවත් කොළඹ ගෙනත් මහරගම ගෙයක් කුලියට අරගෙන පදිංචි වුණා. ඒ වෙද්දි එයාට ඉඩම් ගෙවල් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ වෙද්දි ගම්පහ මම මගේ ගේ හදලයි තිබුණේ. ඇත්තම කිව්වොත් අපි දෙන්නා එකතු වෙලා පටන් ගත්තු ජීවිතේ මුලින්ම හරි කටුකයි. අපි දෙන්නා අපේ වැඩ තනියම කර ගත්තා. අපිට අඩු ගානේ බයිසිකලයක්වත් තිබුණේ නැහැ. අපි ත්‍රීවීල් වලවත් ගියේ නැහැ. ඒවට දෙන්නවත් අපිට සල්ලි තිබුණේ නැහැ. අපි ගමන් බිමන් ගියේ බස් වලයි. පස්සේ අපි ගම්පහ මගේ ගේ විකුණලා කැලණියෙන් ගෙයක් කුලියට ගත්තා. විවාහ වෙලා ටික කාලයකට පස්සෙ අපි ලීසිං කරලා වාහනයක් ගත්තා.

අද හරි අපූරු නිවසක හිමිකාරියක්. මේ නිවසේ අද නිදහසේ ඉදිද්දී අතීතය ගැන ඇත්තටම මොකද හිතෙන්නේ..?

අම්මෝ…මායි ප්‍රභාතුයි ඒ අතීතය ගැන හරියට මතක් කරනවා. වෙලාවකට අපිට අපේ ජීවිත ගැන පුදුමයි. අද ඇත්තටම අපේ ජීවිත ගැන සතුටුයි. සාමාන්‍ය කැමරා ශිල්පියෙක්ට, සාමාන්‍ය නිලියකට ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. අපි රඟපාපු ඒ කාලේ මෙගා ටෙලි නාට්‍ය තිබුණේ නැහැ. උපරිම කොටස් විස්සයි. මට ඒ කාලේ ටෙලි නාට්‍ය වලින් ලැබුණු සල්ලි වලට වඩා නොලැබුණු සල්ලි වැඩියි. අපිට බයිසිකලයක්වත් නැතිව යාලුවන්ගේ බයිසිකල් ඉල්ලගෙන ගමන් බිමන් ගියපු කාලේ, අපිට බයිසිකල් නොදී අපිව මඟ හැරපු කාලේ අපිට මතකයි. ප්‍රභාත් හරි උත්සහවන්තයි. ඒ උත්සාහය නිසාම අද අපි සතුටින්.

දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඊලඟට තියෙන බලාපොරොත්තු මොනවාද..?

බිරිදක් විදිහට මගේ ජීවිතේ මම ගොඩාක් තෘප්තිමත් වෙන කෙනෙක්. අපිට ආදරණීය පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ දෙන්නත් කලාවට හරි ආදරෙයි. කලාවට යම් යොමුවීමක් වෙලා තියෙනවා. වෘත්තීය පැත්තෙන් වුණත් මම තෘප්තිමත්. මම හැම මොහොතකම ධනාත්මකව හිතන කෙනෙක්. ලැබුණ දේ වලින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා හොඳ සිනමා පටයක් කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා. බලමු…නුදුරු දවසක ඒකත් සිදුවෙන්නට බොහෝ ඉඩ තියෙනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles