Chat with star – ජයප්‍රකාශ් සිවගුරුනාදන්

ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන නම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නුහුරු නමක් නෙවෙයි.මේ දිනවල ජනප්‍රියම සහ කාර්යබහුලම අධ්‍යක්ෂකවරයා එක්ක අපි කතාබහ කරන්න හිතුවා.

මේ දිනවල ඉතා කාර්්‍යබහුල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔබයි. ඇත්තටම මේ දවස් වල ඔබ ටෙලිනාට්‍ය කීයක් අධ්‍යක්ෂණය කරනවා ද?


මේ දවස් වල මම නාට්‍ය හතරක අධ්‍යක්ෂකවරයා විදියට කටයුතු කරනවා. නාඩගම්කාරයෝ , පාරදිගේ , කොළඹ ඉතාලිය , පාර වසා ඇත මේ ටෙලිනාට්‍ය හතරයි.

ටෙලිනාට්‍ය හතරක් අධ්‍යක්ෂණය කිරීම එතරම් ම ලේසි කටයුත්තක් නෙවෙයිනේ. මෙම ටෙලිනාට්‍ය හතරම විකාශනය වන නිර්මාණ. මේ හැමදේම සමබරව කරගෙන යන්නේ කොහොම ද?


මාසයේ දවස් තිහ බෙදා හදාගෙන වැඩ ටික කරගෙන යනවා. එක ටෙලිනාට්‍යයක කොටස් කිහිපයක් එක දිගට රූගත කිරීම් කරනවා. ඒ රූගත කිරීම් අවසන් කරලා ආයෙත් අනිත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරනවා. මාසේ දින සියල්ලේ ම වැඩ කරනවා.

අද වෙද්දි ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා ද ඔබයි. ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මට නම් එහෙම අධ්‍යක්ෂකවරයෙක් විදියට ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. හැබෑයි මම කරන නිර්මාණ වල ඉන්න කලාකරුවන් කලාකාරියන් අද වෙද්දී ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ කරන චරිත වල නම් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඇත්තට ම අධ්‍යක්ෂකවරයෙක් විදියට මම ගොඩක් සතුටු වෙනවා. අපි තිරයේ පිටුපස ඉන්න චරිත. ඒ නිසා අපිට වඩා ලොකු ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. අපේ රංගන ශිල්පින්ට ලැබෙන ප්‍රතිචාර හරහා මට ඒ ප්‍රතිචාර දැනෙනවා.

රංගන ශිල්පියා ජනප්‍රිය වෙන්නත් තිරයේ පිටුපස ඉන්න අධ්‍යක්ෂකවරයාගෙත් විශේෂ සහයෝගය හා උපදෙස් ලැබිම තුළිනුයි. ඔවුන් මෙහෙයවද්දී ඔබෙන් ලැබෙන සහයෝගය කොහොමද ?


මගේ හැම නාට්‍යයක් ම හැම චරිතයක් ම උපරිමයෙන් මෙහෙය වන්න මම උත්සාහ ගන්නවා. මගේ මෙහෙය වීම භාරගන්නත් ඔවුන් සුදානම්. කිසිම දවසක මට මේ චරිතවලට අණ දෙන්නේ බලකරන්නේ නැහැ. හැම චරිතයක් ම රඟපාද්දී අපි කතාබහ කරලා තමයි රඟපාන්නේ. අපේ තියෙන අවබෝධය , බැඳීම නිසාම බොහෝ චරිත ජනප්‍රිය වෙලා තියෙනවා.

ඔබ දමිළ අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ඒ ගොඩක් දෙනා නොදන්නා කරුණක් ?


ඔව්.. මම දෙමළ මනුස්සයෙක් . මගේ තාත්තා අම්මා දෙන්නා ම දෙමළ. මගේ ගම යාපනේ හැබැයි මම ඉපදුණේ කළුතර. හැඳුණේ වැඩුණේ කොච්චිකාඩේ. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මම ක්‍රිස්තියානි ආගමේ කෙනෙක්.

සිවගුරුනාදන්ට වැඩිපුර ම ඉන්නේ සිංහල යාළුවෝ ද? දෙමළ යාළුවෝ ද?


ඇත්තට ම මට වැඩිපුර ම ඉන්නේ සිංහල යාළුවෝ. මම සිංහල මාධ්‍යයෙන් සිංහල පාසලක ඉගෙන ගත්තු කෙනෙක්. අපේ ගෙදර ඉස්සරත් වැඩිපුර ම කතා කළේ සිංහලෙන්. අදනම් දෙමළ කතා කතාකරන්නේ නැතිතරම්. මට දෙමළ කතාකරන්න , ලියන්න ඒතරම් බැහැ. අඩුම තරමේ මගේ නමවත් මට දෙමළෙන් ලියන්න බැරි තරම්. දමිළ කිහිපදෙනෙක් එක්ක දවස් කීපයක් දමිළ භාෂාවෙන් කතා කළොත් මටත් කතා කරන්න පුළුවන් වේවි. එහෙම නැති වමට එහෙම දමිළ භාෂාව කතාකරන්න බෑ. අමාරුයි.

සිවාගේ පුංචි කාළේ තිබුණ හීනය මොකද්ද?


ඒ කාළේ මගේ හිතේ තිබුණ ලොකු ම හීනය කවදාහරි ගායකයෙක් වෙනවා කියලයි. ඒ කාලේ මල්පියලි කියලා සිංදු පොත් තිබුණා. හැම චිත්‍රපටියක ම සිංදු පොතක් ගැහුවා. ඒ කාලේ ඒ පොතේ ගාන සත හතලිස් පහයි. ඒ සිංදු පොත් මම එකතු කළා. ඒ කාලේ මුද්‍රණය කරපු හැම පුවත්පතක ම පිටපත් මා ළඟ තිබුණා. මම ඒ හැමදේම එකතු කළා. කාලයක් ගායකයෙක් වෙන්න හීන දැකපු මම පහුකාලයේ දී නළුවෙක් වෙන්නත් හීන දැක්කා. ඒට පස්සේ පහුකාලේ දී ඒ දෙකම කරන්න මට බැහැ කියලා මම ම තේරුම් ගත්තා.

සිවා ඉගෙන ගත්තේ මොන පාසලේ ද?


මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. මුලින් ම කදාන රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයෙනුත් උසස් පෙළට කදාන ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විදුහලෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් ජීවිතේ ඉතා ම කාර්යය බහුල , ජනප්‍රිය චරිතයක්. මම ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් . පාසලේ මම ප්‍රධාන ශිෂ්‍යනායකයා විදිහටත් කටයුතු කළා. හැම බාහිර ක්‍රියාකාරකමටම සහභාගි වුණා. පාසලේ දී මම ඉතා ම සක්‍රීය චරිතයක්.

යාපනයේ ගත කරපු කාලය මතක නැද්ද ?


නැහැ. මගේ අම්මායි තාත්තායි යාපනේ. හැබැයි මම යාපනේ ඉදලා ම නැහැ. මම ඉපදුණේ කළුතර. මම මුලින් ම යාපනයට ගියේ අපේ ආච්චි නැතිවුණ දවසෙයි. එදා මම මගේ අම්මා තාත්තාගේ ගමට ගිහිං ආවා. ඊට පසුව යුධ විරාම වලදී රූගත කිරීම් වලට යාපනයේ ගිහිං තියෙනවා. හැබැයි මගේ දෙමාපියන්ගේ ගම කියලා මට යාපනයේ , ඒ පරිසරියේ ජීවත් වුණා මතකයේවත් නැහැ.

ඔබේ පියා පොලිස් නිළධාරියෙක් ද?


ඔව්… මගේ පියා පොලිස් නිළධාරියෙක්. අම්මා හොඳ ගෘහණියක්. මගේ තාත්තා පොලිසියේ වුණාට අපි තුන්දෙනාට නිදහස උපරිමයෙන් ම ලබා දීපූ තාත්තා කෙනෙක්. ඕනම වෙලාවකට අපිට චිත්‍රපටි බලන්න යන්න අවසරය දුන්නා. එකම ෆිල්ම් එක දහදොළොස් වතාවක් වත් බලන්න යන්න දුන්නා. කිසිම දෙයකට අපිට නිතී දැම්මේ නැහැ. ඒ නිසා ම චිත්‍රපටි ගැන , සිංදු ගැන ආසාව පුංචි කාළේ ඉදන් ම මගේ හිතේ ඇතිවුණා.

සිවා කාලයක් පුවත්පත් මාධ්‍යවේදියෙක් විදියටත් කටයුතු කළා. එහෙම නේද?


ඔව්… මම වසර නවයක් පුවත්පත් මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කළා. මම මුලින් ම සිමාසහිත උපාලි පුවත්පත් ආයතනයේ තමයි රස්සාව කළේ. පත්තර රස්සාව කාලාවේදී විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. ගොඩක් අභියෝග මම ජයගත්තා. ලියපු සමහර ආටිකල් බලලා “මොනවද මේ ලියන්නේ” කියලා ඉරල විසිකරපු අවස්ථා තිබුණා. ඒ වෙලාවේ “ආයෙත් මම ලියන්නේ නැහැ” කියල දවස් තුනහතරක් පැත්තකට වෙලා හිටපු දවස් තිබුණා. ඒ ඉදිද්දි “කවුදාහරි මම ලියලා මේකට එනවා ” කියල හිතට හයිය අරගෙන ආයෙත් නැගිටපු තැන් තිබුණා.

තමන් ලියපු මුල්ම පුවත්පත් ලිපිය පුවත්පතේ මුද්‍රණය වෙලා තියෙද්දී දැනුණ සතුට මතක් කළොත් ?


ඒකනම් පුදුමාකාර හැඟීමක්. මගේ මුල් ම ආටිකල් එක ගියේ දිවයින සිකුරාදා පුවත්පතක. එකේ මම ලියපු ජේ. එච්. ජයවර්ධන කලාකරුවා ගැන ලියපු ආටිකල් එක පිටුවකට ම දැම්මා. ඒකාලේ කලා පිටුව බාරව හිටියේ රෝහණ වෙත්තසිංහ. මම ලියපු ලිපිය බලලා රෝහණ අයියා “ඔයාමද ලිව්වේ” කියලත් ඇහුවා. ඒනිසා එදා ලියපු මුල්ම ආටිකල් එකට දිවයිනෙන් පිටුවක් ම වෙන්වුණා. එකෙන් මට ලොකු උත්තේජනයක් ලැබුණා. පුවත්පත් ක්ෂේත්‍රයේ ගුරුහරුකම් දෙන්න බොහෝ පිරිසක් හිටියා. ඒ අතරින් කකුළෙන් ඇඳල වට්ටන්නට හදපු පිරිස ද නැතිවාම නෙමෙයි.

පුවත්පත් මාධ්‍යවේදියෙක් වුණු සිවා අධ්‍යක්ෂනයට යොමුවුණේ කොහොමද ? කොතනද ඒ හැරවුම සිදුවුණේ ?


දවසක් මම පුවත්පත් ලිපියකට නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාව මුණගැහුණා. ඒ වෙද්දී ඔහු ලංකාවේ කාර්යබහුල සහය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුත් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව ඔහුත් මමත් අතර මිත්‍රත්වයක් ගොඩ නැගුණා. දවසක් ඔහු මට පත්තර රස්සාවෙන් අයින් වෙලා ඔහුත් එක්ක සහය අධ්‍යක්ෂණයට යොමුවෙන්නැයි ආරාධනා කලා. ඒ ආරාධනා ඊටත් අවුරුදු නවයක් පුරාවට කල පත්තර රස්සාව අතහැරලා නිලේන්ද්‍ර එක්ක සහය අධ්‍යක්ෂණය සඳහා යොමුවෙන්න තීරණය කළා. මම මුලින් ප්‍රසන්න විතානගේ “සිසිල ගිනි ගනී” චිත්‍රපටියේ දෙවනි සහය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කළා. එහිදී පළමු සහය අධ්‍යක්ෂකවරයා වූයේ නිලේන්ද්‍රයි.

විවාහය සිදුවූයේ කොයි කාලේදීද?


මම විවාහ වූයේ 2001 අවුරුද්දේ. අපේ විවාහයට මුලික අඩිතාලම දැමුණෙත් රූගත කිරීමකට ගිහින් තමයි. ඇය එකළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. නැටුම් කිහිපයක් රූගත කිරීම් කරද්දී තමයි ඇය ව මට මුලින් ම මුණ ගැහුණේ. ඒ 1996 අවුරුද්දේ. මගේ බිරිඳගේ නම ධම්මිකා මැණිකේ ඔීවිස්ස.


ඇය සිංහල කෙනෙක්. මේ ආදරයට දෙමව්පියන්ගේ අකමැත්තක් තිබුණේ නැද්ද ?


මුලින් ම අපේ ගෙදරට වඩා ධම්මිකාගේ ගෙදරට ඒක බලපෑවා. නමුත් පසුව එයාගේ අප්පච්චි “අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එයාලාගේ ප්‍රශ්නයක්. එයාලා ඒක විසඳගන්න ඕනේ.” කියලයි කිව්වේ. අපේ මඟුල් කපුකම් කරන්න ගියේ නිමල් ලක්ෂපතිආරච්චි සහ නිලේන්ද්‍ර දේශප්‍රියයි. ඒකාලේ යුද්ධය දරුණුවටම තියෙන කාලයක් . “මහත්තයා කියනවා නම් ඒක කරමු. හැබැයි එයාලාට ප්‍රශ්නයක් වුණොත් ඒක ඒ දෙන්නාම විසඳ ගන්න ඕනේ” කියලයි එයාලා අප්පච්චි කිව්වේ.

මේ කාර්යය බහුල ජීවිතයත් එක්ක නුවර යන්න වෙලාවක් තියෙනවද?


ඒක තමයි ප්‍රශ්නේ. බිරිඳ , දරුවන් ඉන්නේ නුවර. මම රූගත කිරීම් වලට වැඩිහරියක් ඉන්නේ කොළඹ. මගේ වෘත්තිය ගැන මගේ බිරිඳට හොඳ අවබෝධයක් තියෙනවා. ඇයගේ ඒ සහයෝගය නැතුව මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ. මම අද වෙද්දි පොදු මනුස්සයෙක් වෙලා. දරුවන්ගේ කටයුතු , ගෙවල් දොරවල් ගැන , හැමදේම බලා කියාගෙන කටයුතු කරන්නේ ඇය. මට මගේ වැඩ කරගෙන යන්න පූර්ණ නිදහස ඇයගෙන් මට ලැබෙනවා.

අද දරුවන් දෙන්නෙක් ගේ පියෙක් ?


ඔව්.. අපිට පුතාලා ම දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ශාරත් චන්දුම. එයා “නඩගම්කාරයෝ” රත්නගෙ චරිතේ රඟපානවා. පොඩි පුතා තරුෂ දම්සිත්. එයා හතර වෙන පන්තියේ ඉගෙනුම ලබනවා.

ඊළඟ හීනය මොකද්ද?


මම හැම තිස්සේ ම හීනත් එක්ක ජීවත් වෙන මනුස්සයෙක්. දැන් විවිධ චරිත , විවිධ කතා තේමාවන් එක්ක හීන දකිනවා. මම මැරෙන තුරා චක්‍රයක් වගේ මේ හීන දකීවි. හීන හැබෑවේවි.

Related Articles

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content