Chat with Star – සංගීත් සතරසිංහ

සංගීත් සතරසිංහ කියන්නේ වර්තමානයේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත යොවුන් නළුවෙක්.සංගීත් සින්දු කියන,රඟපාන, You tube කරන නිසාම සංගීත් ගැන දැන් වැඩිවැඩියෙන් කතාබහ වෙන්න අරන්.අද අපි Chat with Star හරහා සංගීත් එක්ක කතා කරන්නේ ඒ නිසාමයි.

කොහොමද සංගීත්ගේ ජීවිතේ මේ දවස්වල ගෙවන්නේ?

විශේෂ දේවල් නෑ.වෘත්තිය සම්බන්ධ දේ තමයි.ටෙලි නාට්‍ය තුනක පමණ රූගත කිරීම් වෙනවා.පාර දිගේ නාට්‍යය ස්වර්ණවාහිනිය හරහා විකාශය වෙනවා.හිරු නාලිකාවෙන් දෙසැම්බර් ඉඳලා නාට්‍යයක් විකාශය වෙන්න නියමිතයි.ඊට අමතරව රූගත කළ ටෙලි නාට්‍ය කීපයක්ම විකාශය වෙන්න නියමිතයි.ඊට අමතරව Sangeeth Vlogs කියන මගේ යූ ටියුබ් නාලිකාවෙ වැඩ කරගෙන යනවා.

අම්මා සහ තාත්තා සංගීත්ගේ කලා කටයුතුවලට දෙන සහයෝගය කොයි වගේ එකක්ද?

ඒ දෙන්නා තමයි හැමදේටම මා එක්කම ඉන්නේ.දරුවෙකුට දෙමාපියන්ගෙන් ලැබිය යුතුම සහයෝගයටත් වඩා දෙයක් එයාලා මට ලබා දෙනවා.මං කලා කටයුත්තකට පිටතට යනකොට අම්මි තමයි අදටත් කෑම ටික තේ එක උදේම නැගිටලා හදලා දෙන්නේ.හැමදේම කරනවා.තාත්ති උදේම නැගිටලා කෑම කවන,ඇඳුම් අයන් කරන දවස් තාම තියනවා.එයාලා තමයි හැමදේම.

පවුලේ තනි දරුවා වීම සංගීත්ට අභියෝගයක් වූ තැන් තියනවද?

අපෝ නෑ! මට තනියම ඕනෑම දේකට මුහුණ දෙන්න අවශ්‍ය පෞරුෂය තියනවා.ඒ නිසා ඒකේ ගැටළුවක් ඇවිත් නැහැ.පහුගිය කාලේ තාත්ති කොරෝනා පොසිටිව් වෙලා ICU ඉන්නකොට අම්මිත් ඒ රෝගයට ලක් වෙලා ගෙදරම නිරෝධායනයට ලක් වුණා.ඒ වෙලාවෙදි මං අම්මිට කෑම හදලා දෙමින් එයාව බලා ගත්තා.තාත්ති ගැනත් හෙව්වා.මෙහෙමයි.පීඩනය ඕන කෙනෙකුට එනවා.දෙමාපියන් අසනීප වුණාම එකම දරුවා වුණාම එයාට සෑම දෙයක්ම දරන්න වෙනවා.ඒත් මං හැමදෙයකටම මුහුණ දුන්නා.

Sangeeth Vlog අම්මත් එක්ක කරන වෙනස් වැඩක්.මොකක්ද ඒ?

ඇත්තටම මේ ගොඩක් අය හිතනව වගේ කුකින් චැනල් එකක් නම් නෙවේ.ඒත් මගේ වපසරිය ඇතුළේ මට කළ හැකි මගේ ආදරණීයයන්ට පෙන්වන්න පුලුවන් දැනුම,විනෝදය හැම දෙයක්ම මම පෙන්වන්න උත්සාහ කරනවා.නමුත් මම ගුණාත්මක භාවය ගැන සැලකිලිමත්.ගොඩක් අය රහට කෑම හදලා කන්න කැමති.අපේ අම්මිට රසට උයන්න පුලුවන්.මට ඒක අනිත් අය එක්ක බෙදා ගන්න ඕන වුණා.අම්මි හදපු චිකන් කරි එක තමයි මුල්ම කුකින් වීඩියෝ එක.ඒක සෑහෙන්න දෙනෙක් බලලා හොඳ ප්‍රතිචාර ලැබුණා.තවත් කුකින් වීඩියෝ ඉල්ලුවා.ඒ නිසා අම්මි එක්ක ඒවා කරන ගමන් පිටතදී වෙනත් වීඩියෝ කරන්න මම වග බලා ගන්නවා.

අම්මාගෙන් මේ වැඩේට ලැබෙන උදව්ව මොන වගේද?

ඉතාම ඉහළයි.අම්මා රජයේ පාසලක ප්‍රාථමික ගුරුවරියක් හැටියට සේවය කළේ.ඇය විශ්‍රාම ගත්තෙ නියමිත කාලයට කලින්.තාත්තා සහ මගේ ඉල්ලීමට.අපි සියල්ල බන්දේසියක තියලා ලැබුණු පවුලක් නෙවෙයි. හරිම දුක් මහන්සියෙන් තමයි මගේ දෙමාපියන් මේ තැනට ආවෙ.ඒ නිසයි තාත්තත් මමත් ඇයට විවේකයක් දුන්නෙ.අම්මා ඒ ගැන පොඩි පසුතැවීමකත් හිටියා.තවදුරටත් ටීචින් කරන්න තිබ්බා කියලා.දැන් මේ වැඩේ එක්ක අම්මිට හැමෝම ආදරය සහ ප්‍රසංසා ලැබෙනවා.අම්මි මේ වැඩේ සතුටකින් උනන්දුවකින් කරන්න ඒක හේතුවක්.මට පුතා විදියට ඒ ගැන සතුටුයි.තාත්තිත් ඒ ගැන හරියට සතුටු වෙනවා.මං අම්මිට කිව්වම අපි හෙට වීඩියෝ එකක් කරමු කියලා එයා හරි ආසාවෙන් සූදානම් වෙනවා.මේක අම්මිටත් අලුත් ආරම්භයක්.

ආදරය සහ විවාහය ගැන සංගීත්ට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

ආදරය හැමෝටම ඕන දෙයක්.විවාහය තමන්ට සුදුසු කාලයකදී ගන්න ඕන හරි තීරණයක්.ඔය හැමදේටම කලින් තමන් අත්දැකීම් අතින් මුහුකුරා යන්න ඕන.තව කෙනෙක් තේරුම් ගන්න හැකියාව ලැබිය යුතුයි.ඒකට මම හිතන්නේ අධ්‍යාපනය හරිම වටිනවා.මොන ආදරයක් වුණත් අධ්‍යාපනික වපසරියක් නොතිබ්බොත් හරිම අමාරුයි.ඒ කාරණා එක්ක ආදරය සහ විවාහය දකින කෙනෙක් මම.

සංගීත්ට තරුණියන්ගේ ප්‍රතිචාර කොහොම මට්ටමකද තියෙන්නේ?

ඇත්තටම මට ලොකු ප්‍රතිචාර ලැබෙනවා.ඒක බොරුවක් නෙවෙයි.හොඳ ෆෑන් බේස් එකක් තියන නිසා කොල්ලො කෙල්ලො බේදයක් නැහැ.ඇත්තටම මට ආදරේ කරන හොඳ ෆෑන් බේස් එකක් තියන බවනම් ආදරෙන් සිහිපත් කරන්න ඕන.

සංගීත්,අලුත් දේවල් කරමින් අලුතින් හිතමින් සංගීත් යන ගමනට අපේ ආදරණීය සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles