Chat with Star – චන්දිමා කරුණාදාස

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන “පාර දිගේ “මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි කටකාර “ඩාලින් “අක්කා එක්ක අපි පොඩ්ඩක් කතා කලා.
 
මේ දවස්‌වල මොනවද කරන්නේ..?

මේ දවස්‌වල සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. මේ දිනවල විකාශය වන “පාර දිගේ ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලටත් සහභාගි වෙමින් පරිස්සමින් වැඩකටයුතු කරගෙන යනවා.

පාර දිගේ ඩාලිං අක්කා හරි අපූරු චරිතයක්නේ. ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

ඇත්තටම ඒ නාට්‍යයේ ඒ චරිතය බාර ගනිද්දී මේ තරම් ප්‍රතිචාරයක් ලැබේවි කියලා හිතුවෙම නැහැ. නමුත් බලාපොරොත්තු වුණාටත් වඩා දෙස් විදෙස් වලින් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහර වෙලාවට ඩාලින් අක්කා නිසා බැණුම් අහන වෙලාවලුත් තියෙනවා.

ඇත්තම කියන්න…චන්දිමාත් ඩාලින් අක්කා වගේ සැර, කටකාර කෙනෙක්ද..?

අනේ නැහැ…ඩාලින් අක්කාගේ චරිතයයි මගේ සැබෑ චරිතයයි හාත්පසින්ම වෙනස්. මගේ සාමාන්‍ය ජීවිතයේදී මම එහෙම ගොඩක් කතා කරන කෙනෙක් නොවෙයි. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඩාලින් අක්කාගේ චරිතයේ තියෙන කිසිම ලක්ෂණයක් මගේ ජීවිතයේ නැහැ. නමුත් තිර පිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා වගේම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ඇතුළු සියලුම දෙනාගේ සහයෝගයෙන්, උපදෙස් වලින් තමයි ඩාලින් අක්කා මේ විදිහට ගොඩ නැඟෙන්නේ. මේ චරිතය යම් සාර්ථකත්වයක් ලබනවානම් මේ හැමෝම ඒ වෙනුවෙන් මට උදව් කලා.

අනුරාධපුරයේ ජීවත් වුණු පුංචි කෙල්ලට නිලියක් වෙන්න, රංඟන ශිල්පිණියක් වෙන්න හීනයක් තිබුණාද..?

නැහැ. පුංචි කාලේ මට කලාකාරියක් වෙන්න කිසිම දවසක හීනයක් තිබුණේ නැහැ. මගේ තිබුණු එකම බලාපොරොත්තුව වුණේ උසස් පෙල සමත් වෙලා විශ්ව විද්‍යාලයට යන හීනය විතරමයි. ඒකට ගොඩාක් මහන්සි වෙලා ඒ හීනය හැබෑ කර ගත්තා. ඒ හරහා තමයි රංගනයට සම්බන්ධ වෙන්න මට පුලුවන් වුනේ. අවුරුදු හතරක් කැලණි විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදි උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමෙන් පසුව තමයි මට රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

ළමා කාලයේදි කවුරු වෙන්නද හීන දැක්කේ..?

පුංචිම කාලේ මම ටීචර් කෙනෙක් වෙන්න ආස කලා. ඒකට හේතුව මම දැනගෙන හිටියේ නෑ. පුංචි කාලේ මම තනියම සාරි ඇදගෙන සෙල්ලම් කරපු කාලයක් තිබුණා. නමුත් පහුකාලෙදී මම කැළණි විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස තාවකාලිකව වසර තුනක් සේවය කලා. ඒ නිසා පුංචි කාලේ දැකපු හීනය යම් කාල සීමාවක් තුලදි වුණත් හැබෑ කරගන්න මට පුලුවන් වුණා.

චන්දිමාගේ ලමා කාලය ගෙවුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සුන්දර ගමක. ඒ ගෙවුණු අතීතය ටිකක් මතක් කලොත්..?

මම හැදුණේ වැඩුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පූනෑව කියන සුන්දර ප්‍රදේශයෙයි. මේ වෙද්දි මම කොළඹ පදිංචි වෙලා කාර්ය බහුල ජීවිතයක් ගත කලත්, එකම තැනක කොටු වෙලා හිටියත් අදටත් මම යන්න කැමති මගේ ගමටයි. මගේ අම්මා, තාත්තා, සහෝදරියන්, නෑදෑයෝ තවම ඉන්නේ ගමෙයි. හරිම සුන්දර වටපිටාවක අපි හැදුණේ . වෙල් යායවල්, වැව්, පන්සල්, ආශ්‍රිතව ගෙවුණු ලමා කාලය හරි අපූරුයි. අපි නිදහසේ හැදුණු ලමයින්.පාසැල් යද්දී එද්දී අපේ බඩ පුරෝගන්න ඇතිතරම් පලතුරු තිබුණා .ඒවා මිලදී ගන්න අපිට සල්ලි ඕන වුණේ නැහැ. අඹ, කෝන්, වීර, දං, මාදං, වගේ පලතුරු අපි ඇතිතරම් කෑවා. ඒ නිදහස උපරිමයෙන්ම වින්දා. තාමත් මම ජීවිතේ යන්න කැමති එකම තැන මගේ ගමටයි.

චන්දිමාගේ පවුලේ විස්තර ටිකක් කියන්න..?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කලා තුන්දෙනායි මමයි. මම පවුලේ බාලයා. අක්කලා තුන්දෙනාම විවාහකයි. ලමා කාලයේදී අපි හතර දෙනාගෙන් දඟම ලමයා මමයි. ගෑණු ලමයි හතරදෙනෙක් නිසා මට ලොකු නිදහසක් තිබුණා. අක්කලා ගෙදර වැඩ කලත් මට ඒවාට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මට කරන්න කියලා කාගෙන්වත් බල කිරීමක් තිබුණේත් නැහැ. ඒ නිසා හරිම නිදහසේ මම හැඳුණා. මගේ තාත්තා රජයේ රැකියාවක් කලා. එයා දැන් විශ්‍රාමිකයි. අම්මා රැකියාවක් නොකලත් ගෘහණියක් විදිහට අපි හතර දෙනාම බලාගෙන හිටිය හරිම ආදරණීය අම්මා කෙනෙක්. දැන් ඒ දෙන්නා විශ්‍රාම සුවය විදිමින් ගොවිතැන් කටයුතුත් කරමින් ගෙදරට වෙලා ඉන්නවා.

ඉස්සර පූනෑවේ ගොවිතැන් කටයුතුවලට චන්දිමාගෙන් ලැබුණු සහයෝගය කොහොමද..?

ඒ කාලේ ගොවිතැන් කටයුතු වලට අපෙන්නම් අම්මට තාත්තට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් ගොයම් කපද්දී අපි හරිම ආසාවෙන් කුඹුරට ගියා. හේනට ගියා. දැන්නම් ඒ පැත්තත් නාගරීකරණය වෙලා. ඒ ඉස්සර තිබුණු සුන්දරත්වය අඩුවෙලා තියෙනවා. නමුත් මම ඉස්සර තිබුණු ඒ ගමට හරි ආසයි. මුල්කාලේදී හැම තැනම විදුලිය තිබුණේ නැහැ. හැම ගෙදරකම ලොකු ටෝච් තිබුණා. කලුවරට රෑට කළාමැදිරි එළි හොදට පෙනුණා. ඒ ගැමි ගතිය නැතිවෙලා දැන් ගමත් සංකීර්ණ වෙලා. නමුත් මම ඒ අතීතයේ තිබුණු ගමට හරි ආදරෙයි. ඒ කාලේදීනම් ඒ සුන්දරත්වය අපිට තේරුණේ නැහැ. ඒ වෙද්දි ඒ විඳින පාරිසරික හේතූන් නිසා අපි ඒ ගම දුෂ්කරයි කියලයි හිතුවේ. නමුත් ඒ අතීතයේ ගමත් එක්ක ගත කරපු කාලය හරිම සුන්දරයි කියලයි අද මට හිතෙන්නේ.

පුංචි කාලේ දැකපු හීනය…විශ්වවිද්‍යාලයට තේරීමයි. ඒ හීනය හැබෑ වුණු දවසේ මොකද හිතුණේ..?

එදා ලොකු සතුටක් දැනුණා. අපි හැදුණු වැඩුණු කෙනෙක් හැටියට, ගමේ ජීවත් වුණු කෙනෙක් හැටියට අපි රැකියාවක් කරන්නනම් හොදට ඉගෙන ගන්න ඕනේ කියලා මම විශ්වාස කලා . නැත්නම් අපිටත් ගොවිතැන් කරමින් ගමටම සීමා වුණු ජීවිතයක් තමයි ලැබෙන්නේ. ගොවිතැන කියන්නේ උතුම් දෙයක්. මම ඒ රස්සාවට හැමදාමත් හිස නමා ආචාර කරනවා. නමුත් ඉගෙන ගත්තොත් නගරයට ඇවිත් හොඳ රස්සාවක් කරන්න පුලුවන්නේ. ඒ බලාපොරොත්තුව එක්ක තමයි මම ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට තේරුණේ. උසස් පෙලට මම සෞන්දර්ය විෂය විදිහට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. නමුත් මම නාට්‍ය වලට සම්බන්ධ වෙලා වැඩ කලේ නැහැ. ඒ හැම දෙයක්ම කලේ විශ්ව විද්‍යාලයට ආවට පස්සෙයි.

අනුරාධපුරයේ සිට කොළඹට පැමිණ විශ්ව  විද්‍යාලයට පය තියපු දවසේ මොකද හිතුණේ..?

මුලින්ම විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ තමයි නතර වුණේ. ඒ ආපු මුල් කාලයේදී හරිම අපහසු කාලයක් වුණා. විශ්ව විද්‍යාලයට එන්නට පෙර මම අම්මා තාත්තා නැතිව පිට කොහේවත් ගිහින් නතර වෙලා ඉදලා නැහැ. අම්මා තාත්තා නැතිව රැයක් නතර වුණු පලමු අත්දැකීම තමයි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවුණු මුල්ම රැය. එදා මම හොඳටෝම ඇඩුවා. මාව කැම්පස් එකට ගෙනත් බැස්සුවේ මගේ තාත්තයි මගේ අක්කගේ සැමියායි. ලොකු බෑග් එකකට රෙදි දාගෙන නේවාසිකාගාරයට ආපු දවස අදටත් මට මතකයි. මාව හොස්ටල් එකට ඇරලවලා තාත්තයි අයියයි ඈත යනකම්ම මම ඇස් වල කදුළු පුරෝගෙන බලාගෙන හිටියා. මුල් කාලයේදී ඒ අයගේ වෙන්වීම මට දරාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම හැම සති අන්තයේම සිකුරාදා ගමේ ගිහින් සඳුදා කැම්පස් ආවා. ඒ නිසා සමහර ලෙක්චර්ස් පවා මට මගහැරුණා.

රංඟන ශිල්පිණියක් වීමේ හැරවුම වුණේ විශ්වවිද්‍යාලය තුලයි.ඒ අවස්ථාව ලැබුණේ කොහොමද..?

කැලණි විශ්ව විද්‍යාලයේදී නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදි උපාධියේදී නාට්‍ය කරන්නම ඕනේ. ඊට පෙර වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කිසිම දේකට මම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. පලමු වසරේ සිට අපි නාට්‍ය කටයුතු කලා.ඒ නිසා එතනින් පටන් ගත්තු ගමන තමයි මේ ගෙවෙන්නේ.

විශ්ව විද්‍යාලයේ සහකාරකථිකාචාර්යවරියක් විදිහට කටයුතු කලා. අදටත් ඩාලින් අක්කාට කැම්පස් එකේදි ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

මම සහකාර කථිකාචාර්යවරියක් විදිහට වසර තුනක් සේවය කලා. අපි ඉගෙන ගත්තු කාල සීමාව ඇතුලත මම අපේ කණ්ඩායම තුල වැඩිම ලකුණු ලාභියා විදිහට තේරුණා. රන් සම්මානය ලැබුවා. ඒකත් එක්කම මම ඉගෙන ගත්තු අංශයේම සහකාර කථිකාචාර්යවරියක් විදිහට සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. අදටත් කැම්පස් එකේ ගුරුවරු වගේම මගෙන් ඉගෙන ගත්තු දරුවන් මුණගැහුණම හරිම සතුටුයි. බොහෝ දෙනා අද මට “ඩාලින් “කියලා තමයි කියන්නේ.

චන්දිමා විවාහකයි. කොහොමද ඒ ජීවිතේ..?

මම විවාහ වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදි හා ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවා කෙනෙක් එක්කයි. එයාගේ නම තරිඳු. අපේ පෞද්ගලික ජීවිතේ හොදින් සතුටින් ගත වෙනවා. අපි දෙන්නම නිවාඩු ලැබුණු ගමන් අපි ගමේ යන්න තමයි වැඩියෙන්ම කැමති.

ඊලඟට තියෙන බලාපොරොත්තු මොනවාද..?

මම ලොකු බලාපොරොත්තු තියාගෙන ලොකු දේවල් ගැන ප්ලෑන් කරන කෙනෙක් නොවෙයි. මම හරිම සරලව, ලද දෙයින් සතුටු වෙලා හරිම සතුටින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...