Chat With Star – තරින්දි ප්‍රනාන්දු

තරින්දි ප්‍රනාන්දු…
නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ බව ඇය පහුගිය කාලෙදී පෙන්නුම් කලා. මුල් අමතක නොකල තරින්දිගේ ජීවිතේ අමතක නොවන මතකයන් මෙලෙස ආවර්ජනය කලා.

මේ දවස්වල මොකද කරන්නේ…?

කොවිඩ් වසංගතයත් එක්ක හැමෝම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ නිසා පටන් ගන්න තිබුණු නිර්මාණත් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. මේ දවස්‌වල හිරු නාලිකාවේ විකාශනය වන “රැල්ල වෙරළට ආදරෙයි ”කියන නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා.

පහුගිය කාලෙදී නර්තන රියලැටි තරඟයකටත් තරින්දි සම්බන්ධ වුණා. නර්තනය කුඩා කාලයේ සිටම තරින්දි කැමති කලාවක්ද..?

ඔව්. නර්තනය කියන්නේ පුංචි කාලයේ සිටම මගේ ඇඟේ තිබුණ දෙයක්. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මම නර්තනයට දක්ෂයි. පාසැල් නර්තන කණ්ඩායමෙත් ඉදලා තියෙනවා. නමුත් මට නර්තනය හදාරන්න වුණේ 11 වසරට වෙනතුරු පමණයි. උසස් පෙලට මම වානිජ විෂය හැදෑරුවේ. ඊට පස්සේ මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කලා . මම සේවය කල බැංකු ආයතන පවා මම නර්තනයට දක්ෂ බව දැන ගෙන හිටියා. මම උඩරට නර්තන ශෛලිය හදාරපු කෙනෙක්. හැබැයි තරගයේදී මට හැම ශෛලියකින්ම නර්තන ඉදිරිපත් වෙන්න සිදු වුණා . ඒවා කරන්න  මට ආත්ම විශ්වාසය තිබුණා . ඒ නිසා “මට පුලුවන් “කියන දේ මම විශ්වාස කලා.

තරින්දි පාසල් යන කාලයේදිත් කැමති වුණේ කවදාහරි බැංකු ක්ෂේත්‍රයට යොමු වෙන්නද..?

පුංචිම කාලේ මම නර්තන ගුරුවරියක් වෙන්න හීන දැක්කා. ටිකින් ටික ලොකු වෙද්දී මම බැංකු ක්ෂේත්‍රයට යොමු වෙන්න ආස කලා. මම සාමාන්‍ය පෙල පන්තියේ ඉගෙන ගනිද්දී මගේ අක්කා බැංකු නිලධාරිනියක්. මට මගේ ජීවිතේ පරමාදර්ශී චරිතය වුණේ මගේ අක්කායි. මම පොඩි කාලේ ඉඳන් මගේ අක්කා ජීවත් වෙන විදිහ,එයා අඳින විදිහ, කාලය,  මුදල් කළමණාකරණය කරන විදිහ මම දැක්කා. ඒ නිසා මටත් අක්කා වගේ බැංකු නිලධාරිනියක් වෙන හීනය තිබුණා.

තරින්දිගේ පවුලේ ඉන්නේ කවුද…?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මමයි. මගේ අම්මා 2016 මිය ගියා. අක්කා විවාහකයි. අක්කටයි මටයි එකට සෙල්ලම් කරන ලමා කාලයක් තිබුණේ නැහැ. අක්කා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්. ඒ නිසා අක්කාට වඩා මම පවුලේ හුරතලී විදිහට තමයි හිටියේ. අක්කා පහ වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ හොස්ටල් නතර වෙලා ඉගෙන ගත්තා. අක්කා එයාගෙ වැඩ කරගත්තේ තනියම යි. ඒ නිසා අක්කාට වඩා අම්මා තාත්තා එක්ක කාලය ගත කරන්න මට අවස්ථාව ලැබුණා. අක්කා තනියම අභියෝග වලට මුහුණ දුන්න කෙනෙක්. අද මගේ අක්කා බැංකු කළමණාකාරවරියක්.

තරින්දිගේ ගම මීගමුවේ නේද..?

ඔව්. අපි මීගමුවේ කොච්චිකඩේ. මම කතෝලික කෙනෙක්. මීගමුවේ තියෙන ඒ කතෝලික සංස්කෘතිය හරි සුන්දරයි. “පුංචි රෝමය ” කියලත් සමහරු මීගමුව හදුන්වනවා. බොහෝ දෙනා ධීවර රැකියාව කරපු අයයි. අපි ඒ කාලේ ගොඩාක් සතුටින් හිටියා. පල්ලියේ මංගල්‍යය කාලයට අපි හරි ආසයි.

තරින්දිගේ දෙමව්පියන් රැකියාවල් විදිහට මොනවද කලේ…?

මගේ තාත්තා මේසන් වැඩ කලේ.මගේ අම්මා ගෘහණියක් විදිහට මුලින් හිටියේ. නමුත් තාත්තාගේ කකුල් අමාරුවක් නිසා එයාට රස්සාව කරන්න අමාරු වුණා. ඒ අමාරුව හරි වේදනාකාරී වුණා. ඒ නිසා ගෙදර ආර්ථිකය ගොඩ නඟන්න අම්මා ස්වයං රැකියාවක් පටන් ගත්තා. කෑම ගෙදරදී හදලා අම්මා කඩවල් වලට දැම්මා. එතැන් සිට අපේ පවුලේ වැඩි බර ගත්තේ අම්මයි.

ඇය ධෛර්යවන්ත කාන්තාවක්…?

ඔව්. අනිවාර්යයෙන්ම.අද මම යම් තැනක ඉන්නවනම් ඒ සියලු ගෞරවය හිමිවෙන්න ඕනේ මගේ අම්මටයි තාත්තටයි.මට ඉවසීම, කැපවීම, ධෛර්යයවන්තකම ගැන  කියලා දුන්නෙත් ඒ දෙන්නම තමයි. අම්මා උදේටයි හවසටයි  කඩවල්වලට කෑම දැම්මා. මට තාම මතකයි අම්මා පාන්දර තුනට නැගිටලා කෑම හදලා පාන්දර පහමාරට කඩවල් වලට ගිහින් දැම්මා. හවසත් කෑම දාලා ගෙදර එද්දී රෑ හතර අට වුණා. ඒ ඇවිත් පසුවදාට හදන ඉඳිආප්ප වලට පිටි ටික තම්බලා නිදා ගනිද්දී දොලහ එක විතර වුණා. කොච්චර රෑ වෙලා නිදා ගත්තත් අම්මා ආයෙත් පහුවදා පාන්දර තුනට නැගිට්ටා. අම්මා කිසිමදාක ඒ කරන දේවල් කරදරයක්, කරුමයක් කියලා හිතුවේ නෑ. අම්මයි තාත්තායි අසීමිත ආදරයක් මටයි අක්කටයි දුන්නා.අක්කගෙයි මගෙයි ජීවිතේ යන්න ඕන තැන අපි ඉගෙන ගත්තේ ඒ දෙන්නගෙන්.

අම්මගේ වැඩ වලට තරින්දි උදවු වුණේම නැද්ද..?

පොඩි කාලේ මට අම්මා විඳින ඒ දුක තේරුනේ නැහැ. ඒ නිසා පුංචි කාලේ මම ඒවට උදවු කලේ නෑ. හැබැයි මම හත වසර අට වසර වගේ පන්ති වලට යද්දී මට අම්මගේ දුක මහන්සිය තේරුණා. එතැන් සිට මාත් අම්මට කෑම හදන්න උදව් කලා. මේ හැම දෙයක්ම කරද්දී අම්මා අපි ගැන හොයන එක අතපසු කලේත් නෑ.උදේ පාන්දර පහමාරට කඩවල් වලට කෑම ගිහින් දාලා ඇවිත් අම්මා මාව අන්දවල මගේ කොන්ඩේ ගොතලා මාව ඉස්කෝලේටත් ගිහින් දැම්මා. අපේ ගෙදර ඉදන් ඉස්කෝලේට කිලෝ මීටර් හයක් හතක් තිබුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ පල්ලන්සේන ප්‍රාථමික විද්‍යාලයේ. ඊටපස්සේ මම දලුවකොටුව ශාන්ත ආනා විද්‍යාලයටත් අවසාන් වසරවලදී දංකොටුව බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. මට තාම මතකයි දලුවකොටුව ශාන්ත ආනා විද්‍යාලයට අම්මා මාව එක්කගෙන ගියේ එයාගේ පාපැදියෙන්. මාව ලැගේජ් එකේ තියාගෙන කිලෝ මීටර් හයක් හතක් එයා උදේ හවස බයිසිකලේ පැද්දා. ඒක කොයිතරම් අමාරුද කියලා මට තේරුණේ මම ලොකුවෙලා අම්මව ලැගේජ් එකේ තියාගෙන ඒ බයිසිකලේ පදිනකොටයි. කන්ද ගනිද්දී කකුල් රිදුනා. අත් රිදුනා.ඒත් මගේ අම්මා කවදාවත් ඒ අමාරුව ගැන කිව්වේ නැහැ. සමහර දවස්‌වලට තාත්තත් කකුලේ අමාරුකම් තියාගෙනත් මාව බයිසිකලෙන් ඉස්කෝලට ගෙවිච්චා.ඒ දෙන්නගේ තිබුණු අසීමිත කැපකිරීම., ආදරය කොයිතරම්ද කියලා අද මට තේරෙනවා. මට තාම මතකයි මගේ අම්මාගේ තාත්තාගේ අත්වල කරගැට තිබුණා. සමහර දවස්‌වලට මම මගේ අම්මගේ අත අල්ලලා ඒවා අතගාද්දී අම්මා මං දිහා බලලා හිනා වුණා. කවදාවත් අම්මාටවත් තාත්තටවත් අපිව බරක් වුණේ නෑ.

ඒ ධෛර්යයවන්ත අම්මගේ ඇස් දෙක සදහටම පියවුණු දවසත් තරින්දිට අමතක නැහැ නේද…?

කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ අම්මාට පිළිකාවක් ඇති වුණා. අම්මාගේ රෝගය සුව කරන්න අක්කයි මමයි කරන්න පුලුවන් උපරිමයෙන්ම කලා. අම්මා එයාට කැන්සර් එකක් තියෙනවා කියලා දැනගෙන හිටියා. එයා අපේ හිත හයිය කලා. ඔපරේෂන් එකක් පවා අම්මාට කලා.ඒත් අම්මා නැතිවුණේ හාට් ඇටෑක් එකකින්. 2016 අප්‍රේල් 29 වෙනිදා අම්මා අපි අතරින් නැති වුණා. අම්මාගේ වියෝවත් එක්ක මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. අම්මා ඉස්සර ඉදන්ම කලාවට හරි කැමතියි. මම නිලියක් වෙන්නත් ආස කලා. අම්මා ඒක දැනගෙන හිටියා. ඒ නිසා මාව මේ තැනට කොහේ හෝ තැනක හිඳ අම්මා ආශිර්වාද කරනවා ඇති කියල මම විශ්වාස කරනවා.

බැංකු ක්ෂේත්‍රයේ හිටපු තරින්දි කලාවට අවතීර්ණ වුණේ කොහොමද…?

අම්මගේ වියෝවත් සමග පොඩි කාලයකට මම බැංකු ක්ෂේත්‍රයෙන් සමුගන්න තීරණය කලා. ඒ අතරතුරේ මම ගයාන් ශ්‍රී මාල් අයියගේ නර්තන පාසලටත් ඇතුලත් වුණා. එතනදී මුලින්ම මට චරිත් අබේසිංහ මහතාගේ “භරතලී ” චිත්‍රපටය සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

අද තරින්දි ප්‍රනාන්දු කියන්නේ ජනප්‍රිය කලාකාරියක්. මේ ගමන එන්න දුක් වින්දද…?ලැබුණු අභියෝග ගැන අද මොකද හිතෙන්නේ..?

ඔව්. මම මෙතනට එන්න ගොඩාක් දුක් වින්දා. හැම නිර්මාණයකටම සහභාගි වුණේ මූලික පරික්ෂණ වලට ඉදලමයි. බොහෝ කලාකාරියන් දුර පලාත් වල රූගත කිරීම් වලට යන්නේ අම්මා හෝ භාරකරුවෙක් එක්කයි. ඒත් මට හැම රූගත කිරීම්වලට ,හැම රැස්වීමකට යන්න වුණේ තනියමයි. සමහරු තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගන්නත් වැඩ වලට කතා කරපු අවස්ථා තිබුණා. ඒ හැමදේම ප්‍රතික්ෂේප කරල බොහෝම පරිස්සමින්, තමයි මේ ගමන ආවේ. සමහර සිදුවීම් නිසා “අපරාදේ මේ ක්ෂේත්‍රයට ආවේ “කියල පැසුතැවීම් ඇති වෙලත් තියෙනවා. හැබැයි මේ තරම් දුරක් ඇවිත් “දැන් වැටෙන්න ඕනේ නෑ..” කියලා මම හිතාගෙන ඉන්නේ. මගේ අක්කගෙන් අම්මගෙන් ඉගෙන ගත්තු දේවල් නිසා මගේ හිතට හයියක් ඇවිත් තියෙන්නේ. “ප්‍රතික්ෂේප වන දේවල් අපෙන් ඈත් වෙන්නේ අපේ හොඳට ” කියලයි මම හිතන්නේ. මගේ අම්මා, තාත්තා, ලොකු විභාග පාස් නොකලට, ඉහලට ඉගෙන ගෙන නොතිබුණාට ඒ දෙන්නගේ සමාජ දැණුම අපිට දීලයි තිබුණේ.

කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙන්න යනවා කියලයි ආරංචිය…?

ආරංචියනම් 2018 අවුරුද්දේ ඉදන්ම යනවා. සමහරවිට ඒ ආරංචිය ඇත්ත වෙන්නත් පුළුවන්. බලමු නේ….

අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ..?

මීට අවුරුදු දහයකට පෙර හිටපු තරින්දියි දැන් ඉන්න තරින්දියි හාත්පසින්ම වෙනස්. ගොඩාක් පැසුතැවීම්, අභියෝග වලට මුහුණ දුන්න, අභියෝග ජය ගත්තු කෙනෙක් තමයි අද ඉන්නේ. ජීවිතයට ආපු ප්‍රශ්නත් එක්ක තනියම අඬපු දවස් ගොඩක් තියෙනවා. ඒවම මාව ශක්තිමත් කලා.

-දිශානි ජයමාලි කරුණාරත්න –

Related Articles

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...