Chat With Star – දිල්කි උරේෂා

අද chat with star අපේ කතාබහට එකතු වෙන්නේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය සහ මේ දිනවල ලස්සන නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වෙන ගායිකාවක්. ඉතා කෙටි කාලයක් තුළ රසිකයන්ගේ ආදරය දිනාගත් ඇය දිල්කි උරේෂා.

කොරෝනා වසංගතය නිසා ගොඩක් කලා කටයුතු ඇණහිටලා තියෙන්නේ.මේ දවස් වල මේ තත්වය ඔබට බලපාන්නේ කොහොමද ?

කොරෝනා වසංගතය මටත් ඇත්තටම බලපෑවා . මොකද කියනවනම් මගේ එළිදක්වන්න තිබුන වැඩ, කරන්න හිතාගෙන හිටපු වැඩ ගොඩක් හරියට කරගන්න බැරි වුණා. කරන්න හිටපු වීඩියෝස් සහ recordings ඒ හිතාගෙන හිටපු පිලිවෙලට ඒ plans වලට අනුව කරන්න බැරි උන නිසා ඔක්කොම වැඩ හිර වුණා. ඉතින් කලාකරුවන්ට කලා ක්ෂේත්‍රයේ වැඩ නැතිවෙන තරමට , අපිට සංගීත ප්‍රසංගයක් වත් නැති වන තරමට කොරෝනා තත්ත්වය මේ කලා ක්ෂේත්‍රයට බලපාලා තියනවා.

ඔබ කොහොමද සංගීතයට පිවිසෙන්නේ ?

මම පුංචි කාලේ ඉදන්ම සංගීතය හදාරනවා . අම්මල කියන විදියට මම බහතෝරන කාලේ ඉදලා වචන අහුලගෙන සින්දු කියලා තියෙනවා . ඒ නිසා අම්මලා මාව ඒ පැත්තට යොමු කරලා මගේ හැකියාවන් දියුණු කර ගන්න.එහෙම තමයි පටන් ගැන්ම.මුලින්ම මම තේමා ගීත ගායනා කලා. ඊට පස්සේ තමයි දැනට මේ ඇවිත් තියෙන චූටි දුර ආවෙ .

මෑතකදි නිර්මාණය වුන ඔබේ අලුත් ගීත ගැනත් මතක් කරමු ?

මෑතකදී කරපු නිර්මාණවලින් ” ලිය ලියා ” ගීතය සහ ” මගෙන් දුර ” ගීතය තමයි එළිදැක්වුණේ .අනෙක් ගීත වලට වගේම මේ ගීත දෙකටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර මට තවමත් ලැබෙනවා.ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. අන්තිමට එළිදැක්වුණ “මගෙන් දුර ” කියන ගීතය මගේම ගීතයක් . ඒකෙ තනු නිර්මාණය කළේ චමත් සංගීත් අයියා. ඒක ලිව්වෙ චමත් අයියා සහ හිමංසා කාවින්දි . ඒකේ වීඩියෝ එක ලස්සනටම කළේ motion dairy එකේ පසිඳු. ඉතින් ඒ සින්දුව මේ තැනට ගේන්න සහ ඒකට රසිකයන් ගොඩක් ආදරය කරන්න මේ හැමෝම මහන්සි වුනා . ඒ හැමෝවම මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරනවා.

අපේ පැරණි ගීත වලට රූප රචනා නැතිවුනත් ඒවා බොහොම ජනප්‍රියයි.නමුත් වර්තමානයේ මේ තත්වය වෙනස්.ඔබ හිතන විදිහට ගීතයක සාර්ථකත්වයට රූප රචනාවක් ඕනෙමද ?

මම හිතන්නේ නැහැ ගීතයකට රූප රචනාවක් ඕනෙමයි කියලා.මේ වෙනකොට ජනප්‍රිය වුන ගොඩක් අලුත් ගීත පවා තියෙනවා රූප රචනාවක් නැති. ගීතය හොඳ ගුණාත්මකභාවයකින් යුතු නිර්මාණයක් නම් මම හිතන්නේ නැහැ ඒක ජනප්‍රිය වෙන්න රූප රචනාවක් ඕනේ කියලා. මෑත කාලයේ දී ගීත වකට රූප රචනා අවශ්‍යම වෙලා තිබුනත් දැන් එහෙම නැහැ . සමහර ලිරික්ස් වීඩියෝ පවා මිනිස්සු අතර ගොඩක්ම ජනප්‍රිය වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ ගීතය මිනිස්සු අතරට යන ඉතාම හොඳ නිර්මාණයක් වෙන එක විතරයි වෙන්න ඕනේ.

මේ දක්වා ආව ගමනේ ඔබට අභියෝග බොහොමයක් තියෙන්නට ඇති.ඉතාම තරුණ ගායිකාවක් හැටියට කොහොමද ඔබ ඒවාට මුහුණ දුන්නේ?

අභියෝග කියන ඒවා මට අදටත් තියෙනවා.මම තාම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු හතරක් වගේ වෙන්නේ . ඒ අවුරුදු 4 ඇතුළත මම ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා. ඒ මුහුණ දුන්න දේවල් අතර ගොඩක් හොඳ දේවල් වගේම ගොඩක් නරක දේවල් පවා තියෙනවා. මම තාම ක්ශේත්‍රයේ ඇවිත් තියෙන්නේ පුංචි දුරක් වුණත් වුණත් මට යන්න ගොඩක් දුර තියෙනවා . ඉවසීම සහ දරාගැනීම කියන දෙක මං තුළ උපරිමයෙන්ම තියෙනවා. ඒ නිසා මම හිතනවා මම ගොඩක් දුර ගමනක් යයි කියලා . මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද කියලා . නමුත් මගේ තුල තියන ඉවසීම සහ දරා ගැනීමත් එක්ක තියෙන අසීමිත කැපවීම නිසා ඉදිරියටත් මම,මට එන හැම අභියෝගයකටම මුහුණ දෙමින් මගේ ගමන සාර්ථකව යන්න බලාපොරොත්තු වෙනවා .

කලා ක්ශේත්‍රයේ බොහෝ දෙනාට ගොසිප් නිර්මාණය වීම සාමාන්‍ය දෙයක් වෙලා. මේ ගැන ඔබට තියෙන අදහස මොකක්ද ?

ක්ෂේත්‍රයක් තුළ ජනප්‍රිය වෙන ඕනම කෙනෙකුට බලපාන දෙයක් තමයි ගොසිප් කියන්නේ. සාමාන්‍ය අය ගැනත් ගොසිප් නිර්මාණය වුණත් ඒවා ඒ තරම් මිනිස්සු අතරට යන්නෙ නැත්තෙ එයාලාව වැඩිය කවුරුත් දන්නෙ නැති නිසා. මටත් ඒ දේවල් වෙලා තියෙනවා .මුල් දවස් වල මම හරියට කලකිරුනා ඒ ගැන .මම ඒ ගැන හිතලා තනියෙන් අඬලා පවා තියෙනවා .දැන්නම් මම ඒවා ගණන් ගන්නේ නැතුව ඒ වෙනුවෙන් පොඩ්ඩක් වත් මගේ කාලය වැය කරන්නෙ නැතුව මගේ පාඩුවේ මගේ ගමන යනවා. මොකද ඒ දේවල් ගැන හිත හිත මගේ කාලය වැය කළොත් මම තවත් කඩන් වැටෙනවා මිසක් මගේ ගමන යන්න වෙන්නෙ නැහැ. ගොඩක් වෙලාවට කලාකරුවන් දිහා ගොඩක් අය බලාගෙන ඉන්නවා. එයාලගේ පෞද්ගලික ජීවිතයේ විශේෂ දෙයක් හෝ කඩා කඩාවැටීමක් උන ගමන් මිනිස්සු ඒක මාතෘකාවක් කරගන්නවා.පුංචි දෙයක් වුණත් ඒක ලොකු දෙයක් කරගෙන මිනිස්සු සමාජයට දෙනවා . ඒක හරියට ප්‍රසිද්ධියත් එක්ක එන side effect එකක් වගේ . කොහොම වුණත් මම හිතන්නේ මිනිස්සු රස විඳින්න ඕනේ කලාකරුවාගේ කලාව මිසක් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නෙමෙයි

සමාජ මාධ්‍ය වල අපි බොහෝ වෙලාවට දකිනවා cyber bullying කියන දේ. කලා ක්ශේත්‍රයේ අය මේ තත්වයට ලක් වෙනවා වැඩියි.මේක ඔබ දකින්නෙ කොහොමද ?

මම කලින් කිව්වා වගේම ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අය දිහා මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්න නිසා එයාල මේ තත්වෙට ලක්වෙනවා වැඩියි. හැමෝම දන්න කලාකරුවෙක් කොහේ හරි තැනකට ගියත් එයාලව අවධානයට පාත්‍ර වෙනවා. එයාලා හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් මිනිස්සු ඒ ගැන බලාගෙන ඉන්නවා. නමුත් කලාකරුවෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු . හැම සාමාන්‍ය මනුස්සයෙක්ට ම cyber-bullying කියන එක බලපානවා. ඒ නිසා කිසිම කෙනෙකුට ඒ දේ කරන්න එපා . මිනිස්සු අතින් වැරදි සහ අඩුපාඩු වෙනවා. අපි ඒවා හදාගන්න එයාලට උදව් කරනවා මිසක් එයාට ඇඟිල්ල දික් කරලා එයාව වට්ටන එකවත් එයාව අපහසුතාවයට පත් කරන එකවත් නෙමෙයි අපි කරන්න ඕනේ . ඒ නිසා cyber-bullying කියන දේ කිසිම කෙනෙකුට කරන්න එපා කියලා මම ඉල්ලනවා.

ගායන ක්ශේත්‍රයෙන් ඉදිරියට යන්න සහජ හැකියාවක් පමණක් ප්‍රමාණවත්ද ? සංගීතය ගැන හැදෑරීමක් අවශ්‍ය නෑ කියලා ඔබ හිතනවද ?

සහජ හැකියාව කියන්නේ අපිට දෙවියො දීපු දෙයක් .මම විශ්වාස කරන විදිහට ඒක ලැබෙන්නේ අපේ පිනකට. ඒ වගේම ඒක ප්‍රගුණ කරන්න ඕන එක අපේ අතින් වෙන්න ඕන දෙයක් . ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා නම් සහ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් අපි අනිවාර්යෙන්ම අපේ තුළ තියන හැකියාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ සංගීතය කියන මහා විෂය හදාරන්න ඕනෙ .

රසිකයන්ගේ ආදරය ගොඩක් ලබන කෙනෙක් හැටියට ඔබට ඔවුන්ට කියන්න යමක් ඇති?

ඇත්තටම කියන්න ඕනේ එයාලගේ ආදරය තමයි මගේ ආශිර්වාදය .නැත්තම් මෙච්චර කෙටි කාලයකින් මට මේ වගේ දුරක් එන්න ලැබෙන්නේ නැහැ . මම මොන ගීතය දුන්නත් ඒ හැම ගීතයක් ම අතිශය ආදරයට පාත්‍ර වුණා. ඒක මට දෙවියෝ දුන්න ආශිර්වාදයක් වගේම මගේ රසිකයන්ගේ ආශිර්වාදය සහ ආදරය නිසා මට ලැබුණ දෙයක්. ඉතින් හැමදාම මාත් එක්ක ඉන්න කියලත් ,එයාලා නැත්නම් මමත් මෙතන නැහැ කියලත් මගේ ආදරණීය රසිකයන්ට මම කියන්න කැමතියි .

කලා ක්ශේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

පුළුවන් තරම් කාලයක් හොඳ නිර්මාණත් එක්ක මේ ක්ෂේත්‍රයේ රැඳිලා මේ කලා ක්ෂේත්‍රයට මගෙන් වෙන්න ඕන උපරිම දේ කරන එක තමයි මගේ බලාපොරොත්තුව . මට ආදරය කරන මාව විශ්වාස කරන ආදරණීය රසික පිරිසක් ඉන්නවා . ගීත අහන්න ඉන්නේ රසිකයන් එක්කෙනෙක්ද දෙන්නෙක්ද ,ඒ එක්කෙනා දෙන්නා වෙනුවෙන් මම ගීත ගායනා කරනවා. මං වටේ ඉන්න රසික පිරිස කොච්චර සුළු පිරිසක් වුණත් ඒ හැම කෙනාවම මට ගොඩක් වටිනවා .

අද අපේ කතාබහට එක්වුණ දිල්කි උරේෂාගේ බලාපොරොත්තු සහ කලා කටයුතු සියල්ලක් ම සාර්ථක වෙන්න smart lady.lk අපි බොහොම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇගේ අලුත් නිර්මාණ ඔබ වෙත ගෙන එන්නත් ඉදිරියේදි අපි සූදානම් .

ලබන සතියේ සතියේ මෙවැනිම වූ කතාබහක් ඔබ වෙත ගෙන එන්න අප බලාපොරොත්තු වෙනවා .

Related Articles

Don't Miss


Latest Articles