Chat with Smart Lady – දුලීකා මාරපන

දුලීකා මාරපන…ඇය සැබැවින්ම දක්ෂ කලාකාරියකී. එමෙන්ම නිහතමානි ආදරණීය කලාකාරියකී . වේදිකාවේත්, පුංචි තිරයේත් සිනමාවේත්  අමතක නොවන චරිත වලින් ඔබට මතක ඉතිරි කරනා ඇගේ ජීවිතේ අපූරු මතකයන් බෙදා ගන්නට අපිට හිතුණා …

උප්පැන්න සහතිකයේ තියෙන නම හරි දිගයි. ඒ නම ටිකක් කියමුකෝ…?

ඇත්තටම ඒක හරි දිගයි තමයි. ඒක වෙලාවකට හරි වදයක්. වාසල කුරුඋතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරිහාමි විජේකෝන් මාරපන.

ඉස්සර පාසලේදී යාලුවෝ කියපු නම මොකක්ද..?

මට ඉස්කෝලේදී සමහරු “දුලී” කිව්වා. සමහරු “දුලීකා ” කිව්වා. ඒ අතරේ කෑගල්ල ටවුමේදී කොල්ලෝ මට “මාරයා “කියලත් කිව්වා.

ඔය මාරයා පුංචි කාලේ හරි දඟද..?

අම්මෝ ඔව්.දඟයි. මගේ යාලුවෝ අතරේ මම දඟ වැඩ කරලා තමයි ජනප්‍රිය වුණේ. පාසැල් අවදියේදී දරුවෙක්ට ඒ දඟ කම් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. යාලුවන්ගේ බොහෝ ප්‍රශ්න වලට මම මැදිහත් වුණා. ඒ අය හැම දෙයක්ම මට කිව්වා. ඒ අය වෙනුවෙන් මම ඉදිරිපත් වුණා. මොකක් හරි දඟ වැඩක් කලත් ඒ ඉදිරියෙන් මම හිටියා. මාත් එක්ක එකට හිටපු යාලුවෝ පිරිසක් හිටියා. ඒ අය අතරේ මම මුලින්ම හිටියා.

හරි අපූරු සුන්දර පරිසරයක දුලීකාට ළමා කාලය ගෙවන්නට පුළුවන් වුණා. වැඩියෙන්ම කැමති වුණේ ගෙදර ඇතුළට වෙලා ඉන්නද..?එළියේ ඉන්නද..?

අම්මෝ එළියේ ඉන්නම තමයි. මම ගේ ඇතුට වෙලා හිටපු මයෙක් නෙමෙයි. ගෙදර හිටිය කාලයේදී මම වැඩිපුරම ගස් උඩ, ගල් උඩ, කුඹුරේ තමයි හිටියේ. අපි හැංගි මුත්තන් සෙල්ලම් වුණත් අද කාලේ වගෙ ගෙයක් ඇතුලේ පුංචි ඉඩ කෑල්ලක කරපු සෙල්ලමක් නෙමෙයි. වතු ඉඩම් හත අටක් එක්ක සෙල්ලම් කරපු කාලයක් මට තිබුණේ. එක තැනක ඉඳන් “ඔට්ටූයි”කියද්දී අපි ඉඩම් පහකට හයකට එහා තිබුණු ගේක තමයි ගිහින් හැංගුණේ.වැටවල් උඩින් අපි දිව්වා. ඒක හරි සුන්දර කාලයක්.

ඒ කාලේ ගස් නැංඟනේ .ඇත්ත කියන්න. අද ගස් නඟින්න බැරිද..?

පුලුවන්. අදත් මට ගස් නඟින්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ දවස්වල පොල් ගහකටනම් නැඟ ගන්න බැහැ. සාමාන්‍යයෙන් පොල් ගස් නඟිද්දී වළල්ලක් හදලයි නඟින්න වෙන්නේ.කඳ බඩ ලොකු වැඩි නිසා වළල්ලක් හදලා ගහට නඟිද්දී ගහේ වදිනවා වැඩියි. ඒ නිසා තමයි බැරි. අනිත් ගස් වලට නඟින්න පුලුවන්.

දුලීකාගේ මව ගුරුවරියක්. ගෙදරදී ඇය සැර මවක්ද..? තහංචි තිබුණාද..?

නැත්තේමත් නැහැ. මට තිබුණා. මගේ අම්මා ගුරුවරියක් වගේම අම්මා හරි සැරයි. අපේ අම්මා මම විතරක් නෙමෙයි තව දරුවන් හතර පස් දෙනෙක්ම හැදුවා. එයා පාසලේදීත් සැර ගුරුවරියක් විදිහට ප්‍රසිද්ධයි. හැබැයි අම්මා සැර වුණාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය ගුරුවරියක්. පාසැල් කාලයේදී දරුවන්ට උගන්වන්න ඕනේ හැමදේම ඇය ඉගැන්වුවා. පන්තියේ යම් විෂයකට දුර්වල ලමයෙක් හිටියානම් අම්මා ඉස්කෝලේ ඇරලා පැයක් අර ලමයාව පන්තියේ තියාගෙන ඒ විෂය කියලා දුන්නා. මගේ අම්මා කවදාවත් ටියුෂන් කරපු ගුරුවරියක් නෙමෙයි. එයා ඉස්කෝලේ දරුවන්ට නිවැරදිව ඉගැන්වූවා. අදටත් එයාගේ ගෝලයෝ එයාට  හරි ආදරෙයි. සැර වුණාට එයා ඉතාම හොඳ ආදරණීය මවක් වගේම ආදරණීය ගුරුවරියක්.

තිබුණු දඟකාරකමත් එක්ක දුලීකා අම්මාගේන් ඇතිතරමට දඬුවම් ලබලත් ඇති..?

අම්මෝ ඔව්. ගෙදරදී මම වරදක් කලත් අම්මා මට ගැහුවා. ඒක ලේසි ගැහිල්ලක් නෙවෙයි. එයා මගේ ඉංග්‍රීසි ගුරුවරිය.එක වතාවක් මම ඉංග්‍රීසි වලට ගත්තේ සීයෙන් දාසයයි. අපේ ගෙදර ලොකු දර පෝරණුවක් තිබුණා. අදටත් ඒක තියෙනවා.එදා ගෙදර ආපු අම්මා ඒ දර පෝරණුව යටින් ලොකු දර කෝටුවක් අරගෙන මගේ පස්ස පැත්තට පලු මතුවෙන්නම හොදටෝම ගැහුවා. පහුවදා මම ඉස්කෝලේ ගිහින් පුටුවේ වාඩි වුණේ පස්ස ඇල කරගෙනයි. මට පුටුවේ හරියට වාඩි වෙන්නවත් බැහැ. ඒ දඩුවම මට කොයි තරම් මතකද කියනවා නම් ඊලඟ විභාගයට මම ලකුණු අනූ අඅටක් ගත්තා. ආයේ කවදාවත් මම ඉංග්‍රීසි වලට ලකුණු අඩුවෙන් ගත්තේ නැහැ.

හැබැයි සමහර විෂයන්වලට දීපු ප්‍රශ්න පත්‍ර අතට දීපු ගමන් දුලීකා නිදා ගත්තා කියලයි ආරංචිය..?

ඔව්නේ. ඒ තිබුණු දඟ වැඩ නිසාම තමයි. මම අකමැති විෂයන් වගේම මම අකමැති ගුරුවරු උගන්වපු ප්‍රශ්න පත්‍ර දීපු ගමන් මම සමහර වෙලාවට නිදා ගත්තා. මට ගණිතය උගන්වපු මැඩම් හැමවෙලේම අපිට දඬුවම් කලා. ගෙදර වැඩ කරගෙන ආපු දවසට “මම ගෙදර වැඩ කලෙමි “කියලා ලියාගෙන ආවේ නැහැ කියලත් මට දවසක් දඬුවම් කලා. ඒ නිසා මම එයාට ආස වුණේ නැහැ. ඒක කොයිතරම් නම් අකමැති වීමක්ද කියනවානම් එදායින් පස්සේ මම ගණිත විෂයටම ආස කලේ නැහැ. ඇය මට ගණිත විෂයම එපා කලා. අපිට ඉතිහාසය උගන්වපු ගුරුතුමිය මාව දැකපු වෙලාවේ ඉදන් මට මන්තරයක් වගේ “ඔයා නම් විභාගයෙන් ෆේල් වෙනවා “කියලා කිව්වා. ඒක මට මාර වදයක් වුණා. ප්‍රතිඵල ඇවිත් මම ඉහලින්ම සමත් වෙද්දී මම මුලින්ම ඒ මැඩම් ලඟට ගිහින් “ඔයා හැමදාම මම ෆේල් වෙනවා කියලා කිව්වනේ  දැන් මම විභාගය පාස් “කියලා කිව්වා. බෝහෝ ගුරුවරු මට හරි ආදරෙයි. කොච්චර දඟ වුණත් මම මට බාර දුන්නු වැඩ හරියට කලා. මම කොච්චර දඟ වුණත් පාසැලේ අදාල විෂයන් හරියට කලා. ඊට බාහිර වැඩක් මට බාර දුන්නොත් මම ඒවත් හරියට කරලා තියෙනවා. කාටවත් ඒකේ අඩුපාඩුවක් කියන්න මම වැඩ කරලා නැහැ.

දුලීකා කියන දඟ ගැහැණු ලමයා ගැන ඒ කාලේ ගමේ පිරිමි ලමයි අතරේ තිබුණු ප්‍රතිරූපය කොහොමද..?

ගමේ එහෙම පිරිමි ලමයි එක්ක මගේ එහෙම ලොකු යාලු මිත්‍රකම් තිබුණේ නැහැ. පාසැල් වල පිරිමි ලමයි අතරේ මම ටිකක් සැර කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා තිබුණේ. මට පිරිමි යාලුවන් කීපදෙනෙක්ම හිටියා. තාමත් ඒ අය මගේ හොඳ යාලුවෝ. මොන්ටිසෝරියේ, ශිෂ්‍යත්ව පන්තියේ හිටපු යාලුවෝ තමයි. ඒ කාලේ මාත් එක්ක රංඩු වුණු යාලුවෝ දැන් හොඳ යාලුවෝ. ඉස්සර මගේ වැඩේම උන් එක්ක රංඩු වෙන එකයි. ඒ නිසා මගේ අම්මා මම ටියුෂන් යන එක පවා නතර කලා. පාරේ අම්මා එක්ක යද්දී වුණත් ටවුමේදී ඒ පිරිමි ලමයි “මාරයා” කියලා කෑ ගහලා අහක බලාගෙන හිටියා.

නම මාරපන නිසාම නෙමෙයිනේ “මාරයා” වුණේ..?

නැහැ. ඒකට පොඩි හේතුවක් තිබුණා. අපි අබේරත්න සර්ගේ පොඩි කණ්ඩායම් පන්තියකට ගියා. දවසක් අපි පඩිපෙල නැගගෙන එද්දී පිරිමි ලමයි ටික ලයිට් ඕෆ් කලා. මහ කලුවරේට බයේ ගැහැණු ලමයි සී සීකඩ දිව්වා. මම එහෙමම නතර වුණා. ඒ පන්තියේ “ලොකු ආරි” “පොඩි ආරි “කියලා පිරිමි ලමයි දෙන්නෙක් හිටියා. ඒ වෙලාවේ මාව බය කරන්න ආපු ලොකු ආරිගේ මම අත හැපුවා. එයා බය වෙලා යටිගිරියෙන් කෑ ගහගෙන සිහිය නැති වෙලා බිම ඇඳගෙන වැටුණා. ඒ සිද්ධියෙන් පස්සේ කෑගල්ලේ පිරිමි ලමයි අතරේ “මාරයා” කියන නම මට ලියාපදිංචි වුණා. ඒ කාලේ පිරිමි ලමයි මට එච්චර කැමති වුණේ නැහැ. ඒකට හේතුව වුණේ මම ඒ අයට නතු වුණේ නැහැ. මම බය වුණේ නෑ. ගහන්න ආවොත් මම ගැහුවා.

දුලීකාගේ ඒ පෞරුෂය ගොඩ නැගුණේ ආත්තා නිසාම නේද..?

හරියට හරි. මගේ ආත්තා “උඹ කාගෙන්වත් ගුටි කාලා ගෙදර එන්න එපා” කියලයි කිව්වේ. මගේ ආත්තා මට වීරයෙක්. එයා ලංකාවෙන් ශිෂ්‍යත්වයක් ලැබිලා නැවක නැඟලා එංගලන්තයට ගිහින් තිබුණා. ඒ කාලේ මිනිසුන්ට ඒවා හීන. එයා එංගලන්තයේ රාජකීය හමුදාවේ සේවය කරලා තියෙනවා. පහුකාලෙදී එයා ලංකාවේ උසස් නිලතල දැරුවා. මගේ ආත්තා ටී.බී.මාරපන. එයා විශාල උස මහත කෙනෙක් නෙමෙයි. අඩි 5’5 ක් උස ඒ පුංචි ශරීරයේ ඇතුලේ හිටපු මිනිසා හරිම ශක්තිමත්. දැවැන්ත විශාල පෞරුෂයක්. මම එයා ඇසුරේ හැදුනේ. ආත්තා වත්තට යද්දී මාවත් අරගෙන ගියා. රබර් රොටි හදද්දී මම ඒ මිනිස්සු කරන දේවල් බලාගෙන හිටියා. එයත් එක්ක මම ගල් උඩ වාඩිවෙලා අඹ තලලා කෑවා. ඔයේ නෑවා. කළවැදි පැටව් ඇල්ලුවා. ඒ වීරයාගේ ඇසුරේ මම හැදුණා. ඒ නිසා ආත්තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට වීරයෙක්. 

දුලීකාට අප්පච්චි ගැන මතකයක් නැද්ද..?

අප්පච්චිගේ මතකයක් තියෙනවා. ඒක හරි අසාමාන්‍යයි. අප්පචියි අම්මයි නඩු කියද්දී මම යටි ගිරියෙන් කෑ ගහලා ඇඩුවා. ඒ කාලේ තිබුණු මුහුණ මට යාන්තමට මතකයි. ටික කාලයක් අප්පච්චි ගිහින් මාව තියාගෙන හිටියා. ටික කාලයක් අම්මට දුන්නා. ඒ අරගලයේ යම් යම් සිද්ධීන් ටිකක පින්තූර වගේ මගේ මතකේ තියෙනවා. ඊට පස්සේ වෙද්දි අප්පච්චිව මම දැක්කේ නැහැ. එයාට මාව බලන්න උවමනාවක් තිබුණෙත් නැහැ. පහුකාලෙදී මම එයාව ගිහින් බැලුවා. කතා කලා. මීට මාස තුනකට පමණ පෙර අප්පච්චි මිය ගියා. 

කැලණිය විශ්වවිද්‍යාලය දුලීකාට රංඟන ශිල්පිණියක් වෙන්නට පාර පෙන්නුවා..?

ඔව්.මගේ විශ්ව විද්‍යාල ජීවිතය සුන්දරයි. අපි ගෙවල් වලින් එද්දී කැම්පස් වලින් දැකපු සුන්දර හීන විශ්ව විද්‍යාල ඇතුලේ නැහැ. ඒක ඇතුලේ මගේ විශ්ව විද්‍යාල ජීවිතය සුන්දර කරගන්න මම උත්සාහ කලා. මම “කළාල හැන්දෑවේ “ගීත ගායනා කලා. පුහුණු වීම් වලට සහභාගී වුණා. විශ්ව විද්‍යාලය ඇතුලේ විද්‍යාල දේශපාලන තිබුණා. මුල් කාලයේදී මම ස්වාධීන අපේක්ෂිකාවක් විදිහට ඡන්දය ඉල්ලා වැඩිම ඡන්ද ලාභියා වුණා. ඒ විශ්ව විද්‍යාල ජීවිතය තුල මම මගේ ඉලක්ක වලට ගියා. ඉගෙන ගනිද්දීම මම හොද රැකියාවකට ගියා. රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉගෙනීම, රංඟනය, රැකියාව, මම සමබරව කරගෙන ගියා. මට අම්මට බරක් වෙන්න ඕන වුණේ නැහැ. මට හැම මොහොතකම ස්වාධීන කෙනෙක් වෙන්න ඕන වුණා.

සුජීව එක්ක ගත කරන අද ජීවිතේ කොහොමද..?

අතිශය සුන්දරයි. පාඩුවේ අපි දෙන්නා අපේ ජීවිත ගත කරනවා. මගේ වැඩ වලට එයාගෙන් සහයෝගයක් මිස බලපෑමක් නැහැ. පවතින ක්‍රමය තුල ටෙලි නාට්‍ය කෙරුවාව ලේසි පාසු නැහැ. ඒ නිසා නිර්මාණ කරණය තුල මම වැඩිය දුක් විඳිනවාට එයා කැමති නැහැ. ඒක දුකක් වුණත් අවසාන් ප්‍රතිඵලය සාර්ථක වුණාම සැපක්. හැබැයි මේ වර්තමානයේදී යන විදිහ ටිකක් දුෂ්කරයි.

-දිශානි ජයමාලි කරුණාරත්න –

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content