Chat with Smartlady – උපේකා නිර්මාණි

අද chat with smart lady අපේ කතාබහට එකතු වන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය ඔස්සේ පලවන කාන්තා ජයග්‍රහණය ලැබූ ඇයයි. මේ වන විට ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම මේ දින වල සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරමින් ඉන්න කොච්චි කණ්ඩායමේ සාමාජිකාවක් ද වන ඇය උපේකා නිර්මාණි.

කොහොමද ඔබේ වැඩ කටයුතු මේ දවස් වල ?

මේ දවස් වල ලංකාවේ පවතින තත්වයත් එක්ක සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන ගමන් මගේ සංගීත කටයුතු සහ මගේ කොච්චි කණ්ඩායමේ සාර්ථකත්වය උදෙසා අලුත් වැඩ කෙරීගෙන යනවා

ඔබ පසුගිය දිනක ” pain ” නමින් නිර්මාණයක් එළිදැක්වුවා. ඒ ගැන කියමු ?

” pain ” නමින් එළි දැක්වූ ගීතය ගැන කතා කළොත් 2019 මාර්තු මස සිට මේ දක්වා අපේ මව් රටට අත්වුනු ඉරණම ගැන මගෙ අතින් ලියවුණු වදන් පෙළක් තමයි මේ. පොඩි දේටත් ඇඬෙන මට මගේ රටට වුණු දේ සහ මිනිසුන්ගේ පිරිහීම ගැන මට දැනුණු වේදනාව ලියලා පිට කළා . එය මට මේ විදිහට කියන්න හිතුනා .
තනුවකින් තොරව මට මෙය කතාකරන ස්වභාවයෙන්ම මේ පණිවිඩය දෙන්න උවමනා වුණා.

පාස්කු ප්‍රහාරය සහ මේ වසංගත තත්වය නිසා කලා ක්ශේත්‍රයේ ගොඩක් කටයුතු බිඳ වැටිලා තියනවා.ඔබට මේ තත්වයන් බලපෑවේ කොහොමද ?

අනිවාර්යයෙන්ම කලාකරුවා මේ තත්ත්වයෙන් ඉතාම පහළට ඇදගෙන වැටුනා .ඒකට හේතුව ඔවුන් තමන්ගේ හැකියාව ,රැකියාව කරගෙන හිටියා .ඔවුන්ට ඒ නිසා ස්ථිර වැටුපක් නැහැ . ETF , EPF , bonus සහ pension නෑ. ඇත්තටම කලාකරුවාගේ රැකියාව risk එකක්.රැකියාව කියන්නේ බය නැතුව ජීවිතේ ගැට ගහගන්න සල්ලි හොයාගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය . කලාකරුවා විසින් රසිකයන් පිනවන්න ඕන නිසා ඔවුන් ජීවිතයේ අවදානමක් අරගෙන ඉන්නවා. දැන් හැමදේම වෙනස් වන ලෝකයේ කලාකරුවාටත් කලාත්මක කෝණයකින් බලන්න පටන් ගන්න වෙනවා . අලුත් දේ අත්හදා බලන්න වෙනවා .තාක්ෂණයත් එක්ක ගැටෙන සයිබර් අවකාශය හැමෝටම නොමිලේ නිසා එයින් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරමු .

” කොච්චි ” ගැන කතා කලොත් ?

කොච්චි කියන්නේ ප්‍රබල සද්දයක්.ඒක මං විසින්ම කර ගන්න ලද වර්ණනාවක් නෙමෙයි .ඒක සත්‍යයක් .බය නැතුව ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලංකාවට අලුත් කන්සෙප්ට් එකක් . රසවින්දනය සඳහා කනට ලබාදෙන පිරිපුන් හඬ මිශ්‍රණයක් ශශිකා එරන්දි , නටලි සහ උපේකා කියන්නේ කියන්නේ වෘත්තිමය , දුර්ලභ සහ අත්දැකීමෙන් බහුල හඬ හතරක් කියන්න පුළුවන් .ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නොගියපු තැන් ස්පර්ශ කිරීමට බලාපොරොත්තුවෙන් අපි මග බලන් ඉන්නවා .ඒ වගේ ම ශ්‍රී ලාංකිකයන් නොවන අය අතරටත් කොච්චි කණ්ඩායමේ හඬ ගෙනියන්න අපි සූදානමින් ඉන්නවා .

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ විශාල වෙනසක් කරපු තරඟකාරියක් සහ ජයග්‍රාහිවක් ඔබ.ඒ ගැන ඔබේ මතකය අවදි කරමු

ඒ මතකය ඉතාම මිහිරියි.අවුරුදු 11කට කලින් මතකයක් .එතකොට මට අවුරුදු දහඅටයි.දැන් මගේ වයස හිතා ගන්න ලේසියි නේ .මගේ ආරම්භයේදීම තරගකරුවන් ලක්ෂ ගණනක් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා මම. එහෙම වෙයි කියලා හිතුවේ නැහැ මම එදා. හැබැයි පොඩි කමට මට ඕන වුණේ වෙනසක් කරන්න .ඒ විතරක් නෙමෙයි තවමත් මට ඕනේ වෙනස් කම් කර කර අලුත් රසයක් බෙදන්න .

රියැලිටි තරඟ හරහා ක්ශේත්‍රයට පිවිසෙන අය සහ සමහරවිට ජයග්‍රාහකයන් පවා ,ටික කාලයකට පස්සේ ක්ශේත්‍රයේ දකින්න ලැබෙන්නේ නෑ.මේකට හේතුව විදියට ඔබ දකින්නේ මොකද්ද ?

හරිම ලේසියි උත්තරයක් දෙන්න .මට ලැබුණු අත්දැකීම් වලින් මට දැනුණු දේ තමයි අපිව එකපාරටම රටක් අඳුරගන්නවා ,රටම ආදරය කරනවා , රසිකයන්ව කරදරයක් බවට පත් වෙනවා ,දුරකතන ඇමතුම් වැඩි වෙනවා , වැඩ අධික වෙලා කාර්යබහුල වෙනවා ,දවස් ගණන් නිදි මරනවා. අර පොඩියට හිටපු කෙනාට ඒ දේ එකපාරටම දරාගන්න බැරි වෙනවා.මටත් ඒ දේවල් උනා . මම කඩාගෙන වැටුණා .ඉස්සරහට කකුල තියන්න බැරි තරම් මහන්සියක් දැනුනා. මට පණ දෙන්න මගේ හයිය වුණ මගේ අම්මයි තාත්තයි මගේ පිටිපස්සේ හිටිය .ඒ හයිය නැති වෙන්න මමත් අද මෙතන නැති වෙන්න ඉඩ තිබුණා .

කාන්තා පාර්ශවයේ අය ගොඩක් වෙලාවට විවාහයෙන් පස්සේ කලා කටයුතු වලින් ඈත් වෙනවා උනත් අපිට ඔබව දිගටම නිර්මාණ ඔස්සේ දකින්න ලැබුනා.ඔබේ ගමනට සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද ?

ඔව් විවාහ වෙනවා ,දරුවෝ ඉන්නවා කියන්නේ එතනත් මහන්සිය වැඩි වෙනවා. වගකීම් වැඩිවෙනවා.නමුත් හැකියාවට ගරු කරන සැමියෙක් ලැබෙන්න , හැකියාවට වටිනාකමක් දෙන සැමියෙක් ලබන්න මම මහා පිනක් කරලා තියෙනවා .ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි . මම හිටියටත් වඩා සෑහෙන තැනකට මාව උස්සලා තිබ්බෙ එයා.

මේ ක්ශේත්‍රයේ ඉදිරියට එන ගමනෙදි මොනවද ඔබ මුහුණ දුන් අභියෝග?

එහෙමමත් නැහැ . මම මටම අභියෝගයක් වෙන්න තවදුරටත් උත්සහ කරනවා. එතන මගේ සාර්ථකත්වය තියෙනවා කියලා මට දැනෙනවා .

නව පරපුරේ අයට ඔබට කියන්න දේවල් ඇති?

මම මේ දුන්න අත්දැකීමම ඇති එයාලට දෙවල් ඉගෙන ගන්න .ආදරණීය අවංක පිරිසිදු හදවතකින් සංගීතයට ආදරය කරන්න .එතකොට ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන් .

සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ද කොච්චි කණ්ඩායමේ ඉදිරි ගමනට ද Smart Lady අපි උපේකා නිර්මාණිට ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම අද අපේ කතා බහට එකතු වුණ ඇයට අපි ස්තූතිවන්ත වෙනවා

තවත් මෙවැනිම වූ හරවත් කතාබහකින් ලබන සතියේ හමුවෙමු

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles