Chat With Smart Lady – කුසුම් රේණු මහත්මිය

කුසුම් රේණු මහත්මිය අපේ රටේ සිටින ජේෂ්ඨ කලා ශිල්පිනියක්.කුසුමක් වගේ සුන්දර රුවින් හෙබි ඒ වගේම සුන්දර පවුලක අයිතිකාරියක් වන ඇය සැබෑම Smart lady කෙනෙක්.මේ දවස්වල කුසුම් මහත්මියගේ ජීවිතේ ගෙවෙන හැටි ඇය අපිට කීවෙ මෙහෙමයි.

අද වන විට මුළු රටම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳිනවා. මේ කාලය තුලදී දවස ගෙවෙන්නේ කොහොමද?

ඔව්. අපි හැමවිටම නිරෝධායන නීති රීති යටතේ ජීවත් වෙනවා. පුරවැසියන් විදිහට අපිත් ආරක්ෂා වෙන ගමන් අන් අයත් ආරක්ෂා කිරීමේ යුතුකමක් වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා ඒ දැඩි නිරෝධායන නීති රීති මධ්‍යයේ ඉතා පරිස්සමට ජීවත් වෙනවා. අපි අපේ ලොකු දුවගේ වත්ත ඇතුලටවත්  යන්නේ නෑ. ගේට්ටුව ලඟට ගිහින් එයාට අවශ්‍ය කෑම බීම දීලා එනවා. චූටි බබා එක්ක ඈතින් ඉදගෙන කතා කරලා විහිළු කරලා බලලා එනවා. වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ වීඩියෝ කෝල් අරගෙන තමයි ඒ හැමෝම එක්ක කතා කරන්නේ..

කොවිඩ් නිසා රංගන කටයුතු නතර වෙලා. ආර්ථික අපහසුතා දැනෙන්නේම නැද්ද?

ආර්ථික අපහසුතා දැනෙනවා. නමුත් කවදත් මගේ ජීවිතයේ පෙර සූදානමක් කියන දේ තිබුණා. මගේ ජීවිතයේ ඕනෑම දෙයකට මුහුණ දීමේ ශක්තිය තිබුණා. ඒක මට පුංචි කාලේ ඉදන් මගේ දෙමව්පියන් පුරුදු කරපු දෙයක්. පාසල් කාලයේදී ක්‍රීඩා කටයුතු , අධ්‍යාපන කටයුතු , කළා කටයුතු කරලා රැකියාවකට ගොඩ වුණාට පස්සේ අපි ජීවිතේ යම් යම් කාල පරිච්ඡේදවලදී අපි කල යුතු දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒ තුළින් අත්දැකීම් සහ පරිනතභාවයක් මට ලැබුණා. සුදුසු කල වයසේදී විවාහ වුණාම ඒ වෙද්දි යම් මට්ටමින් ඒ ජීවිතයට හුරු වෙන ශක්තියක් තිබුණා. විවාහ වුණාට පස්සේ දරුවන් ලැබුවා. ඒ අය ගැන බලන්න ඕනේ. සහෝදර සහෝදරියන් වැඩිහිටියන් ගැන හොයලා බලන්න ඕනේ. අම්මා කෙනෙක් හැටියට දියණියන්ගේ කාල සීමාව ඇතුලත වැඩිවියට පැමිණෙනවාය යන සිතුවිල්ලෙන් එයාට අවශ්‍ය කරන රත්තරන් බඩු සූදානම් කිරීම ඇතුළු පෙර සූදානමක් මා ලඟ තිබුණා. මේ මොහොතේ මම මොන තත්ත්වයක හිටියත් පෙර සූදානම තිබුණේ නිසා ඒ  අවස්ථාවට මට මුහුණ දෙන්න පුළුවන් වුණා.

අද ලස්සන නිවසක හිමිකාරියක්. මේ නිවසේ අද නිදහසේ ඉදිද්දී අතීතය ගැන ඇත්තටම මොකද හිතෙන්නේ?

අපි මේ නිවස හදලා අපේ හිතමිතුරන්ට එන්න කියලා ඒ සතුට භුක්ති වින්දා. එදා අපේ ආරාධනාවෙන් ආ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ බිරිද සරච්චන්ද්‍ර මැතිණියද අප නිවසට ආවා. ඇය මාව ඉතා අගය කරන  ,මගේ ජීවිතේ හැම දෙයක්ම දන්නා කෙනෙක්. එතුමිය මේ නිවසේ දොරකඩට ඇවිත් උඩ බලලා “මෙහේ වරෙන් පුතේ…”කියල අපි දෙන්නගේ අත් දෙක අල්ලලා  “මට අද හරී සතුටු දවසක්.උඹලගේ උසේ මහතේ තරමට හරි හම්බ කරපු දේවල් වලින්ම තමයි මෙතන තියෙන්නේ. ඒක මම දන්නවා…”කියලා කිව්වා. ඒක තමයි ඇත්ත. ගායනයෙන් රංගනයෙන් නර්තනයෙන් අපි අපේ ශ්‍රමය කැපකරලා මහන්සියෙන් ලබාගත්තු මුදලින් ගොඩ නඟපු ගෙයක් තමයි මේ. මේ එක ගඩොලකවත් අන් සතු ධනයක් නෑ. අපි දෙන්නාගේ මහන්සියෙන් වෙහෙසින් ගොඩ නගපු මේ ගේ අපිට මාලිගාවක්. ඒ කාලේ මගේ අම්මත් අපිට හිටියා. එයත් ලොකු හයියක් වුණා. මේ ගෙදර වැඩ වලට අපේ සහෝදර සහෝදරියන් ඇවිත් ශ්‍රමයෙන් උදව් කලා. දරුවන් පවා මහන්සි වුණා. ඒ විදිහට හරි ලස්සනට මගේ ගේ ගොඩ නැගුණා. හරි එකමුතුකමක් මොකක්දෝ ලොකු සතුටක් ඒ අතීතයේ තිබුණා.දෑත් වල ශක්තියෙන් මේක සුන්දර වුණා. අදටත් ඒ හිතේ ඇදුණු සතුට ඒ විදිහමයි.

ඔබ දියණියන් දෙදෙනක් ඉන්න මවක්.ශ්‍රියන්තත් ඔබත් වේදිකා නාට්‍ය කලාව තුල ප්‍රවීණයන්. කළා කටයුතු නිසා දරුවන්ගේ කටයුතු අතපසු වුණේ නැද්ද?ඒ හැමදේම කළමණාකරණය කර ගත්තේ කොහොමද?

මම විවාහයත් එක්කම පොඩ්ඩක් කලා කටයුතුවලින් ඈත් වුණා. රංගන ජීවිතයෙන් ඉවත්ව දරුවන් එක්ක කාලය ගත කරන්න මට ඕන වුණා. අත්තිවාරම ශක්තිමත් නම් එතනින් ගොඩනැගෙන දේ ශක්තිමත් බව මම විශ්වාස කලා. දරුවන් මාව දකින්න ඕන කියන විශ්වාසය මා තුල තිබුණා. මම අවවාද දෙනවාට වඩා ආදර්ශයන් ජීවිතයට ලංවෙන්න කැමති කෙනෙක්. ලොකු දූ ළදරුපාසලට ගිහින් තනියම එයාට ඇඳුමක් අදින්න,  සපත්තු මේස් දාගන්න පුළුවන් කාලෙදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ආරාධනාවෙන් තමයි මම වේදිකා නාටය පාසැල් දර්ශන වලට සහභාගී වුණේ. ඒ වෙලාවේ මගේ අම්මා , අයියලා අපිට ගොඩාක් උදව් කලා.ඒ විදිහට මගේ ජීවිතයේ ලොකු කළමණාකරණයක් කරගෙනයි මම ජීවිතයට මුහුණ දුන්නේ . සමහරවිට මගේ රංගන හැකියාවන් ඒ කාලයේදී ගිලිහිලා ගිය අවස්ථා තිබුණා. නමුත් මවක්,බිරිඳක්,දියණියක්, සහ සහෝදරියක් විදිහට මගෙන් වියයුතු යුතුකම් වගකීම් මට නොපිරිහෙලා ඉටුකරන්න පුලුවන් වුණා. ඒ නිසා මම සතුටින්. චූටි දූට අවුරුදු පහක් වුණාට පස්සේ නැවතත් කේ. බී. හේරත් මහතාගේ ඉල්ලීමට මම නැවතත් වේදිකාවට ගොඩ වුණා. ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ මම හොදම නිළියට සම්මානය ලබා ගත්තා.

      මම කරන දේ කැපවීමෙන් හරියට කරන්න උත්සාහ කරන කෙනෙක්. මට වචනයකින් හෝ හිනාවකින් කෙනෙක් සංග්‍රහ කලානම් මම එයාට ඊට වඩා එහා ගියපු සංග්‍රහයක් කරන්න හැම මොහොතකම උත්සාහ ගන්නවා. ශ්‍රියන්ත කලාව වෙනුවෙන් කාර්ය බහුල වෙද්දී මම දරුවන්ට වැඩි කාලයක් දෙන්න උත්සාහ කලා. ඒ වෙද්දි මම රූපලාවන්‍ය ආයතනයක් පින්තාරු මුද්‍රණ කලාව ඉගැන්වීම් කලා. ඒවායින්ද නිවසේ සිටම මම ආර්ථිකය ශක්‌තිමත් කරන්න උදව් කලා

අද ආර්ථිකය ශක්‌තිමත් වුණත් දෙන්නා එකතු වෙලා මේ ආර්ථිකය ශක්‌තිමත් කරගන්න ගත්තු වෙහෙසත් අමතක නැතිව ඇති ?

පොඩ්ඩක්වත් අමතක නැහැ. මම හැමවිටම ධනාත්මකව හිතන්න පුරුදු වුණු කෙනෙක්. ඒ වගේම මගේ උත්සාහය මම කවදාවත් අතහැරියේ නැහැ. අද කලයුතු දේ අද කරලා ඉවර කරන්න කැමති කෙනෙක්. මට එයින් වෙහෙසක් දැනෙන්නේ නැහැ. යමක් නොකර ඉදීමෙන් හිතට වෙහෙසක් දැනෙනවා කියලා මම විශ්වාස කලා.මට ලෙහෙසියෙන් වැරදි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ. මම තව කෙනෙක් රිදවන්න හිතාගෙන කිසිම තීරණයක් අරගෙන නැහැ. මට හරියට අනිකාගේ දුක දැනිලා තියෙනවා. අනිත් කෙනා සතුටු කරලා විදින සතුට තරම් සතුටක් කොහින්ද…?මායි ශ්‍රියන්තයි විවාහ වුණේ 1986 අවුරුද්දේ. අපි දෙන්නා විවාහ වෙලා මුලින්  ගියේ හික්කඩුවේ. එදා රෑ අපි දෙන්නා නතර වුණු නිවස සුනාමියට සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ ආරංචිය අපිට ලොකු කම්පනයක් වුණා. එදා අපේ යාලු මිතුරන්ගේ උදව්වත් ඇතිව අපි ලස්සන පොඩි ගෙයක් ඒ ආදරණීය මිනිසුන්ට හදල  දුන්නා. ඒ වෙද්දීත්  අපිට ගෙයක් තිබුණේ නෑ.අපි හිටියේ කුලී ගෙයක. සුනාමිය අපිට අලුත් පාඩමක් කියලා දුන්නා. අපේ ගේ  එහාට මෙහාට අස් කරද්දී පාවිච්චි නොකර අල්මාරියේ,  ඇද යට,පෙට්ටි වල මොනතරම් බඩු කොටසක් අපි ගොඩගහගෙන තිබුණාද…ඒවා පාවිච්චියට නොගත් ඒවා.ඒ හැම දෙයක්ම අපි ඒ මිනිස්සුට ලබලා දුන්නා. එදා සුනාමියෙන් පසුව සුන්බුන් විතරක් ඉතිරි වුණු ඒ මිනිසුන්ගේ කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඒ අය මුහුදේ නාන්න ගිහින් තිබුණු නිසා රත්තරන් ආභරණ පවා ගෙදර තියලයි ගිහින් තිබුණේ. .ඒ අයව බලලා අපි ගෙදර එන්න ලෑස්ති වෙද්දී මගේ දරුවෝ දෙන්නා ඒ දෙන්නගේ කනේ තිබුණු කරාබු ජෝඩු දෙක ගලවලා අර දරුවන්ගේ කනේ දැම්මා. ඒක මට හිතාගන්න බැරි වුණා. අම්මා කෙනෙක් හැටියට එදා මගේ දරුවන්ගේ සිතිවිලි ගැන මම ආඩම්බර වෙනවා. ජීවිතේ මමයි ශ්‍රියන්තයි නැගිට්ටේ අඩියෙන් අඩිය.හැබැයි මේ ආ ගමන ගැන තියෙන්නේ ලොකු සතුටක්.

ඇස් දෙක වගේ හදපු තුරුලේ තියාගෙන හදපු ලොකු දෝණි මුලින්ම විවාහ වෙලා ගෙදරින් ගිය දවසේ ආදරණීය අම්මාට මොකද හිතුණේ?

මම දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් වගකීම් හරි විදිහට ඉෂ්ඨ කලා කියල ලොකු සතුටක් දැනුණා. මම බෞද්ධ දර්ශනය තුල තදින්ම ජීවත් වෙන කෙනෙක්. ජීවිතේ බැදීම් තියෙනවා. හැබැයි බොහෝ ඇලීම් නැහැ. මගේ ලොකු දූ බැංගලෝර් යුනිවර්සිටි යද්දී මම එයාට යාම් ඒම් විවෘත ටිකට් එක හදලා දීලයි යැව්වේ. “හෙට අවසාන් විභාගය තියෙද්දී අද ඔයාට ගෙදර එන්න හිතුනොත් අපෙන් අහන්නත් එපා ඔයා ගෙදර එන්න පුතේ.”කියලයි අපි එයාට කියල තිබුණේ. අපිට දරුවන්ට පීඩනයක් ලබලා දෙන්න ඕන වුණේ නෑ. මම හැම සති තුනකට මාසයකට සැරයක් ගිහින් දරුවව බලලා ආවා. අවුරුදු තුනක් තිස්සේ රාජකාරියක් විදිහට මම ඒ දේවල් කලා. එදා දුව විවාහ වන දවසේ මට ලොකු දුකක් දැනුනේ නැහැ. ඒත් දුව විවාහ වෙලා සතියකින් ඒ පුතා එක්ක විදෙස් ගත වෙද්දී මට ලොකු දුකක් දැනුණා. එයාලා  එක්ක එයාර්පෝට් එකට යනතුරුම මගේ ඇස් වලින් වැටුණු කදුලු නතර කරගන්න මට පුලුවන් වුනේ නැහැ. “පුතේ ඔයා කවදාද ආයෙත් එන්නේ කියල අහන අයිතිය මට නැහැනේ..”කියලා එදා මට හිතුණා.

දියණියන් දෙදෙනා තුල කලා හැකියාවන් තිබුණත් අම්මා තාත්තා වගේ ඒ දෙන්නා ඉදිරිපත් නොවන්නේ ඇයි?

ඒ දෙන්නටත් හොදට ගායනය රංගනය පිහිටලා තියෙනවා. මට තාම මතකයි සෙනග අපිව වටකරගෙන අපිත් එක්ක කතා කරද්දී සෙනග අස්සේ තල්ලු වෙවී පිටිපස්සට ගිහින් ඒ දෙන්නා අපි දිහා බලාගෙන ඉඳල තියෙනවා. මම ඇස් කරකවා දරුවන් හොයද්දි ඈතට වෙලා හිටපු ඒ දෙන්නව අපේ තුරුලට අර ගත්තු වෙලාවල් තිබුණා. අපේ ජනප්‍රියත්වය නිසා ඒ අයගේ ජීවිතේ යම් අහිමි වීම් තියෙන්න පුළුවන්.  නමුත් අපේ ජනප්‍රියත්වයෙන්  ඒ දෙන්නා කිසිම අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. චූටි දූ හොඳ හඬකැවීම් ශිල්පිණියක්. මේ වෙද්දි නිර්මාණ කිහිපයකටම දායක වෙලා ඉන්නවා. චූටි දූ තාත්තගේ නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ලොකු දූත් නාට්‍ය වල ඇඳුම් නිර්මාණ කරල තියෙනවා. එයා ඇඳුම් මෝස්තර ශිල්පිණියක්. මේ කාලයේදීත් එයා ඔස්ට්‍රේලියාව,ඉතාලිය වැනි රටවල් වල ඉන්න මනාලියන්ගේ තාක්ෂණය ඔස්සේ අවශ්‍ය මිමි ගෙන්වා ඇඳුම් නිර්මාණය කරල ඒ රටවල්වලට යවනවා. කලාව පැත්තෙන් මුහුණ නොපෙන්නුවත් ඒ දෙන්නම කලා කටයුතුවල නිරත වෙලයි ඉන්නේ.

මව් පදවිය ලැබූ ඔබ අද ආදරණීය මිත්තණියක්. ඒ පදවිය ගැන මොකද හිතෙන්නේ?

ඒක හරියට මට ඔටුන්නක් ලැබුණා හා සමානයි. මිණිපිරී අපිට වටිනා ආභරණයක්. අපි අපේ ජීවිත ප්‍රශ්නත් එක්ක ඉදලයි දරුවන් උස් මහත් කලේ. හැබැයි මම මගේ ලොකු දුවව යම්තාක් දුරකට “ගැබී”  තුලින් දකිනවා. මගේ මිනිපිරීගේ නම ගැබ්රියේලා.අපි ආදරයට කියන්නේ “ගැබී”කියලයි. මට ලොකු දුවගෙන් විඳින්න බැරිවුණු සියලුම දේ අද ගැබීගෙන් විඳිනවා. මම සෙල්ලම් මැටි මුට්ටි වළං අරගෙන ගිහින් එයා එක්ක ඉදගෙන සෙල්ලම් කරනවා. එයා එක්ක අද මට කාලය ගත කරන්න පුළුවන්. එයා අම්මා බැන්නත් “අම්මම්මා මට අම්මා බැන්නා “කියලා කියනවා. ආච්චිලා සීයලා කියන්නේ පුංචි දරුවන්ගේ වීරයෝයි. එයාට හොදට ආදරේ දැනෙනවා.

දැන් මාත් එයා එක්ක එයාගේ වයසට ගිහින්. ඒ ලෝකය හරි ලස්සනයි.

අද ආච්චි අම්මා කෙනෙක්. ඒත් තාමත් එදා හිටියා වගේ ලස්සනයි. කුසුමක් වගේ මේ ලස්සනට රහස මොකක්ද?

මේ කාලයේදී හරිම නිදහස් මනසකින් ජීවත් වෙනවා. දරුවන් උස් මහත් වෙන දිහා බලාගෙන ඉදීමත් හරි ලස්සනයි. මගේ දරුවන් දෙන්නටම මටත් වඩා රහට කෑම හදන්න පුළුවන්. ඒ නිසා ඒ හැම දෙයකින්ම මම ජීවිතේ විඳිනවා. ඒ නිසා මගේ ලේ ධාතුව පිරිසිදුයි. මම හැම දවසකම උදේ රෑ ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝ වැසි සියලු දෙනාටම දුකක් දැනෙන්න සිදුවෙන්න එපා.මට එහෙම දුකක් අහන්න සිදුවෙන්න එපා කියලයි.අඩුම ගානේ ගිලන් රථයක හඬවත් මට අහන්න නොලැබේවායි මම පතන්නේ…මේ ප්‍රාර්ථනා මම කරන්නේ මගේ මුලු හදවතින්මයි.

-දිශානි ජයමාලි කරුණාරත්න –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here