Chat with star මාධවී වත්සලා ඇන්තනී.

ඇය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී සහ ප්‍රවීණ කලාකාරිය වූ කුමාරි මුණසිංහගේ ආදරණීය දියණියයි. රංඟනයට නර්තනයට ගායනයට පමණක් නොව ඇය නිවේදනයටත් එකසේ දක්ෂය.  2022 වසර උදාවත් සමඟ අපි ඇය හා කලා සොඳුරු කතාබහයි මේ..

මේ දවස්‌වල මොනවාද කරන්නේ..?

මේ දවස්‌වල රූගත කිරීම් වලට ගොඩක් කාර්ය්‍යබහුල වුණා. ප්‍රධාන චරිත කරන ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් මේ දවස්‌වල කරනවා. තුෂාරි අබේසේකර අධ්‍යක්ෂණය කරන “චන්දෝලි ” ටෙලි නාට්‍යයේත් චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන “චණ්ඩි කුමාරිහාමි ” කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. චන්දෝලි කියන්නේ කාන්තාවන්ට වෙන කරදර,කාන්තාවන්ට වෙන විවිධ හිරිහැර, අසාධාරණකම් වෙනුවෙන් නැඟී හිටපු කාන්තාවන් පිරිසක් ගැන කියවෙන කතාවක්.”චණ්ඩි කුමාරිහාමි “කියන්නේත් ලංකාවේ එකම කාන්තා වන්නි නායකවරිය වන්නට සිහින දැකපු වන්නි කුමාරිහාමි කෙනෙකුගේ කතාවක්.
අංගම්පොර සටන්, අසුන් පිට යාම,විවිධ කැති පොලු හරඹ වගේ දේවල් මේ නාට්‍ය දෙකේදීම කරනවා. ඒ වෙනුවෙන් පුහුණු වීම් කරනවා. ඔය දේවල් එක්ක මේ දවස්‌වල ගොඩක් කාර්යබහුල වුණා.

.”ආදරය ඕනෑ කෙරේ  ” ගීතයට පසුව මාධවී ආයෙත් ගීතයකට සුදානම් වුණා. “අපි තමයි අපිව දන්නේ “ආදර ගීතයක්ද..?

ඔව්. පහුගිය කාලෙදී මම මගේ අලුත් ගීතයටත් කාර්යබහුල වුණා. තව දින කීපයකින් ඒ ගීතය අහන්නට දකින්නට පුලුවන් වේවි. ඒ ගීතය “අපි තමයි අපිව දන්නේ “කියලයි හඳුන්වන්නේ. පද රචනයෙන් හා රූප රචනයෙන් කසුන් මහේන්ද්‍ර හීනටිගල, සංගීතවත් කලේ හේමක විජේරත්න වගේම ගායනයෙන් මම සම්බන්ධ වුණා. මේක ආදර ගීතයක්. මම ගායනා කරපු “ආදරය ඕනෑ කෙරේ” ගීතයට වගේම මේ ගීතයටත් බොහෝ පිරිසක් ආදරය කරාවියැයි මම විශ්වාස කරනවා. ලගදීම ඒ ගීතය එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.

මාධවීගේ ජීවිතේ පරමාදර්ශී චරිතය, වීරයා කවුද..?

මගේ ජීවිතේ වීරයා මගේ අප්පච්චි. මගේ අප්පච්චි සර්වකාලීනයි. මම පොඩි කාලෙත් ඔහු යාවත්කාලීනව හිටියා. අදටත් අප්පච්චි යාවත්කාලීනව ඉන්නවා. පවතින තත්ත්වය, තාක්ෂණය,සමාජ පසුබිම, මිනිස්සු හිතන විදිහ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මගේ අප්පච්චි ඒ හැම කාලයටම අලුත් වෙමින් යනවා. අදටත් ඔහු අලුත් වෙලයි ඉන්නේ. අප්පච්චිට මාව තේරෙන බව මට විශ්වාසයි. අප්පච්චි මාව හරියට කියවන බව මම දන්නවා. වෙන කාටවත්ම කියන්න බැරි ඕනෑම දෙයක් අප්පච්චිට මට හරි පහසුවෙන් කියන්න පුළුවන්. සමහර වෙලාවට මම ඒ දේවල් කියන්න ඕනෙත් නැහැ. මම හැසිරෙන විදිහට, ඉන්න විදිහට, අප්පච්චි මට මොනවාද වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. ඒ තරම් හොඳට අප්පච්චි මාව කියවනවා. කාලයක් මට එයා වගේ වෙන්න ඕනේ කියලත් හිතුණා. නමුත් එහෙම වෙන්න බැහැ කියලා මට දැන් තේරෙනවා . මම කාන්තාවක්. මට තවත් මගේ ජීවිතේ කලයුතු වගකීම් සම්භාරයක් තියෙනවා. ඒ වගේම ජීව විද්‍යාත්මකව මට එහෙම වෙන්න බැහැ කියලත් මම තේරුම් අරගෙනයි ඉන්නේ. නමුත් අප්පච්චි මට හයියක්. මට තීරණ ගන්න බැරි වෙලා මම හිරවුණු ඕනෑම වෙලාවක මම අප්පච්චි ලඟ තමයි නවතින්නේ. එයාගේ තීරණය මගේ අවසන් තීරණය කියලා මට පිළි ගන්න පුලුවන්. එයා ගන්නේ ගතයුතු නිවැරදිම තීරණය කියලා මම දන්නවා.

අම්මා සහ අප්පච්චි දෙදෙනාම කාර්යබහුල කලාකරුවන්. මාධවී කුඩා කාලයේදී ඒ දෙන්නව මඟ හැරුණ තැන් නැද්ද..?

අපෝ ඕනතරම් තියෙනවා. අප්පච්චි ඒ කාලේ අපිට ඒ හැම දෙයක්ම තේරුම් කරලා නිදහසට කරුණු කියලා දීලයි තිබුණේ. “අනිත් ලමයින්ට වගේ අපිට ඔයාලගේ පිටිපස්සෙන් හැම මොහොතකම ඉන්න බැහැ. අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා වගේ ඔයාලා පිටිපස්සේ ඉදන් අඩුපාඩු නිවැරදි කරන්න, මඟපෙන්වන්න, විදිහක් නැති වෙයි. ඒ නිසා අපි කවුද කියලා ඔලුවේ මතකේ  තියාගෙන ස්වයං විවේචනය ඇතුව පුලුවන්තරම් හොඳින් වැඩ කරන්න කියලා කිව්වා. සමහර වෙලාවට අපිටම අපේ හරි මාර්ගය හොයාගන්න වෙයි කියලා කිව්වා. තීරණ ගනිද්දී සමහර තැන්වලදී අපිට වැරදුණා.තව දුරටත් වරදින්න පුලුවන්. ලෝකේ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. මිනිස්සුන්ගේ ඉරණම විසඳෙන හැටි හරි වෙනස්. හැමෝටම එකම විදිහට ඉරණම විසදෙන්නේ නැහැ. එකම ගෙදර ඉන්න අපි පස්දෙනාගෙත්  ඉරණම් පහක්.ඒත් අපි එකට ඉන්නවා. කොච්චර වුණත් අපි අතහැර ගන්නේ නැතිව අපි පස්දෙනා සහ අපේ පවුලට එකතු වුණු අය පවුලක් විදිහට ඉන්නවා .හැබැයි එක එක්කෙනාගේ ඉරණම විසඳෙන විදිහ වෙනස්. සමහර වෙලාවට හරියයි කියලා ගත්තු තීරණ පහුකාලෙදී හරි නොවෙන්න පුළුවන්.

ඔබේ අප්පච්චි  සහ අම්මා අද ජීවිතේ යම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත් අයයි. නමුත් ඔවුන් ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත කලාකරුවන්. පවුලේ වැඩිමලා විදිහට මාධවී ඒ දෙන්නා වින්ඳ දුක, කැපකිරීම දැකලා ඇති..?

ඔව්. අද අපිට ඉන්න කියලා ගෙයක් තිබුණට ඒ කාලේ අපි හිටියේ කුලී ගෙවල් වල. අපිට යන්න වාහනයක් තිබුණේ නැහැ. අපි ගමන් බිමන් ගියේ පාරේ බස් වලයි. පහුකාලෙදී අප්පච්චිට අම්මා රැකියාවෙන් ලෝන් එකක් දාලා බයික් එකක් ගත්තා. අප්පච්චි කලා කටයුතු වලට ඒ කාලේ බයිසිකලෙන් යද්දී මායි අම්මයි බස් වල ගියේ. අප්පච්චි කලා කටයුතු වලට ගියාම මාව ගෙදර තනියම දාලා යන්න බැරි නිසා අම්මා මාව එයා වැඩකරපු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එක්කගෙන ගියා. අම්මා වැඩ කරනකම් අම්මා ලඟ පුටුවක් තියාගෙන මම වාඩි වෙලා හිටියා. එහෙම නැත්නම් ටිකක් එහාට මෙහාට ඇවිද්දා. මට තාම මතකයි රස්සාව ඉවර වෙලා අම්මයි මායි 154 බස් එකේ නැගලා ගෙදර ආපු කාලය.

බස් වල සෙනඟ පිරිලා. වාඩිවෙන්න තියා හිටගෙන යන්නවත් ඉඩක්  නැති තරම්. අම්මා මාව මුලින් බස් එකේ ඇතුලට නංගවලා එයත් නැඟගෙන ගෙදර ආවේ. ඒ එද්දී ලොකු එලවලු මල්ලකුත් ගත්තා. එක අතකින් මාව අල්ලගෙන අනිත් අතින් බඩු මල්ල අරගෙන තමයි අම්මා ගෙදර ආවේ. මගේ අම්මා හරි වේගයෙන් ඇවිදින කෙනෙක්. ඒ නිසා අම්මා ඇවිදිද්දී මම දුවගෙන තමයි ගියේ. ටික කලකට පස්සේ ලොකු මල්ලීත් අපේ පවුලට එකතු වුණා. මට තාම මතකයි අම්මා ලොකු මල්ලීව තියාගෙන අප්පච්චිගේ බයිසිකලේ පිටිපස්සේ වාඩි වෙලා එද්දී මම බයිසිකලේ ටැංකිය උඩ ඉඳගෙන තමයි ගියේ. හුළං පාරට ටැංකිය උඩ මට අනන්තවත් නින්ද ගියා. අප්පච්චි මාව පපුවට තුරුළු කරගෙන තමයි බයිසිකලේ පැද්දේ. අද මොන වාහන තිබ්බත්, මොන සැප පහසුකම් තිබුණත් අපිට ඒ අතීතය අමතක නැහැ.

කුමාරි මුණසිංහ කියන්නේ මේ රටේ ප්‍රවීණ කලාකාරියක්. ඇය ඔබේ ආදරණීය මවයි. ඇය මොන වගේ කෙනෙක්ද..?

මගේ අම්මා හරි ශක්තිමත් කෙනෙක්. කිසි දෙයකට බය කෙනෙක් නෙමෙයි.ඒකාලේ ස්ථාවරයක් නැතිව කලා කටයුතු කරපු අප්පච්චිට හිතේ නිදහසින් ඒ කලා කටයුතු වල නිරත වෙන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නේ අම්මයි. අප්පච්චි ස්ථිර ආදායමක් ලැබුණු කෙනෙක් නෙවෙයි. අම්මට තිබුණු රස්සාවෙන් ලෝන් එකක් අරගෙන තමයි මුලින්ම ගෙයක් හදන්න පවා මුල් වුණේ.අපි පුංචි කාලේ අම්මට අපි බයයි. කලා කටයුතු නිසා අප්පච්චිට ගෙදර රැදෙන්න තිබුණු කාලය අඩු වෙද්දි අම්මා අපිව බලා ගත්තා. අපිට විතරක් නෙවෙයි අපිත් එක්ක සෙල්ලම් කරපු ගමේ කොල්ලන් පවාඅම්මගෙන් ගුටි කෑවා. අම්මා තමයි මගේ ගායනා හැකියාව මුලින්ම හඳුනා ගත්තේ. මම අම්මගේ කුසේ ඉඳිද්දීත් අම්මා කලා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. කුසේ හිටපු මට ඇහෙන්න අම්මා සිංදු කියලා තියෙනවා. ඒ නිසා මමත් කලාවට ආදරේ කලා.

අම්මයි අප්පච්චියි රටේ ප්‍රවීණ කලාකරුවන්. කවදාහරි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුංචි කාලේ මාධවීගෙත් හීනයක් තිබුණාද?

ඔව්. පුංචි කාලේ එහෙම ආසාවක් මට තිබුණා. සමහර කලාකරුවන් , කලාකාරියන් ඒ අයගේ දරුවන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට කැමති නැහැ. එහෙම තමන්ගේ දරුවන්ව මේ කලාවට යොමු කරන්න තියෙන කැමැත්ත හරි අඩුයි. මෙතන තියෙන අමාරුකම් දන්න නිසාත්, දකින නිසාත් එහෙම හිතෙනවා ඇති. කලාකරුවන් තමන්ගේ දරුවන් ඒ විදිහට අමාරුවට වැටෙනවාට, දුක් විඳිනවාට කැමති නැතිව ඇති. මේකට තාම හරි පැවැත්මක් නැහැ. තාමත් මේ දේවල්වලට හරිහමන් නීති රීති නැහැ. කෙටුම්පතක් නැහැ. ආරක්ෂණයක් නැහැ. කලාකරුවෙක් මේ තැනට එන්නේ ලොකු අවදානමක් අරගෙනයි. පූර්ණකාලීන කලාකරුවෙක්, වෘත්තීය කලාකරුවෙක් කියන්නේ මහ අවදානමක් තියෙන රස්සාවක්. අද තියෙන්න පුලුවන්. හෙට නැතිවෙන්න පුළුවන්. ඒකට තමන්ගේ රූපය, හැකියාව, ලෙඩරෝග මත ඒ සියල්ල එක නිමේෂයකින් වෙනස් වෙනවා. මෙතන ආරක්ෂාවක් නැති,හරිම භයානක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි මේක හැම කලාකරුවෙක්ම කරන්නේ හරිම ආදරෙන්. ආසාවෙන්. ගෞරවයෙන්. මගේ දෙමව්පියන් අපි පොඩි කාලේදි එහෙම කලා ක්ෂේත්‍රයේ නියැලෙද්දී ඔවුන් වින්ද දුක අපි දැක්කා. මාසේ බිල් ටික ගෙවා ගන්න බැරිව රංඩු වෙන හැටි “අපි මොකද කරන්නේ “කියලා කතාවෙන හැටි අපි දැක්කා.හැබැයි කවදාවත් ඒ දෙන්නා කාටවත් අතපෑවේ නැහැ. අප්පච්චිල කවදාවත් කලාවට බැන්නේ නැහැ. කවදාවත් කාවවත් පහත් කරලා කතා කලේ නෑ. අපිට අපි කැමති දේ තෝරාගන්න නිදහස දීලයි තිබුණේ. ඒ වගේ පසුබිමක් ඇතුලේ ජනාදරය, රසික ආදරය අපි දැක්කා. ඒ වගේ දේවල් වලට අපි ආදරය කලා. ඒ වගේ ජීවිතයක් අපිත් ලබන්න ඕනේ කියන හැඟීමක් අපේ යටි හිතේ කොහේ හරි තැනක තිබුණා. ඒ නිසා අද අපි තුන්දෙනාම පූර්ණකාලීනව කලාකරුවන් විදිහට කටයුතු කරනවා.

මාධවී…ඉතා ඉහලට ඉගෙන ගත්ත කෙනෙක් .තමන් ඉගෙන ගත්තු දෙයින් ඒ ක්ෂේත්‍රයේ ඉහල තනතුරක්, නිලතලයක් දරනවාට අප්පච්චිගේ කැමැත්තක් තිබුණේ නැද්ද? පූර්ණ කාලීනව කලාවේ යෙදෙනවාට අකමැත්තක් තිබුණේ නැද්ද?

නැහැ. එහෙම කිව්වේ නැහැ. හැබැයි මම විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරියක් විදිහට අධ්‍යාපනික ජීවිතයක් ගෙවයි කියන බලාපොරොත්තුවක් අප්පච්චිගේ හිතේ තිබුණා කියලා මම දන්නවා. ඒ විදිහේ ආඩම්බරයක් ගැන ආසාවෙන්  අප්පච්චි හිටියේ. ඒ ආඩම්බරය මා තුලින් දකින්න පුලුවන් වෙයි කියන විශ්වාසය අප්පච්චිට තිබුණා. ඒ සම්බන්ධයෙන් හැකියාවක් තියෙන බව අප්පච්චි හඳුනා ගත්තා. මම හැම විභාගයක්ම හොදින් සමත් වුණු නිසා හරිම පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා අප්පච්චි හිතුවා. කාලයක් මම කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පෞද්ගලික විශ්වවිද්‍යාලයක දීර්ඝ කාලීනව කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කලා. නමුත් පූර්ණකාලීනව කලා කටයුතු වල යෙදීමේ අවශ්‍ය නිසා මම එයින් ඉවත් වුණා. මාව කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් ,විදියට දකින්න අප්පච්චි ආස කලා. බලමු. අධ්‍යාපනය, ඉගෙනීම තවමත් මම අතහැරලා නැහැ. මම පර්යේෂණ කරන්න,පොත් කියවන්න, පොත් ලියන්න, හරි ආසයි. මගේ කියවීම තුල,මම දන්නා දේ,මම හොයා ගත්තු දේ , අනිත් අය එක්ක හුවමාරු කරගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -31

එසඳි සිටියේ සතුටෙනි. පීසා කෑමෙන් පසු ඇය ට ළමා උද්‍යානයට යාමට අවැසි යයි කීවා ය. සාමාන්‍යයෙන් ඇය මුරණ්ඩු දරුවෙකු නොවේ. නමුත් ශරදාකාසයෙන්...

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...