හිමගිරි අරණ -26

දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට නොයෙකුත් අපහසුතා හිටිහැටියේ හට ගන්නට ඉඩ තිබේ.එනිසා ඒ රෝගී තත්ත්වය සාමාන්‍ය එකක් බව සිතන්නට ඔහු වෙහෙසිණ.ඒ සිතුවිල්ලට වෙනත් සිතුවිල්ලකට මාරු වන්නට ඉඩ නොතබාම සහන් හිමාෂා ඇමතී ය.

“මල්මි හදිසියේ ලෙඩ වුණානෙ.මේ දැන්.අපි ඩොක්ට ගාවට යන ගමන් ඉන්නේ.”

ඔහුගේ කටහඬෙහි ළතැවිල්ලක් ඇතැයි හිමාෂාට සිතිණ.එක දරුවෙකුට කැප කරන්නට තිබූ දවසක් අනිත් දරුවා විසින් උදුරාගෙන තිබේ.විවාහ දෙකක දරුවන් විසින් සහන්ව සිර කර ඇතැයි හිමාෂාට සිතිණ.කැපකිරීම කළ යුතු වන්නේ ඇගේ දියණිය ය.වයසින් වැඩී ගොස් නොසිටි නමුත් වැඩිමලිය වන්නේ දිනාරා ය.

“ඒකට කමක් නෑ.මල්මිගෙ අසනීප ගැන නොසලකා ඉන්න එපා.ඔය කාලෙට වෙන පොඩි අපහසුවක් වුණත් නොසලකන්න නරකයි.”

හිමාෂා අහිතක් නැතිව කියද්දී සහන්‍ට ලැජ්ජාවක් උපන්නේ ය.හිමාෂාගේ සමහර අපහසුතාවලට ඇය වෛද්‍යවරයෙක් වෙත ගියේ තනිව බව ඔහු දනියි.ඇය එවැනි අසීරු දවස් ගෙවා දැම්මා ය.ඇය සමඟම මේ කතා කියන්නට සිදුවීම දෛවයේ සරදමක් බව සහන්ට සිතේ.

“දූ මම එනකන් බලන් ඉන්නවා ඇති.”

තාත්තාගේ අයිතිය අලුත උපදින නංගිට හෝ මල්ලිට බව දියණියට වටහා දිය යුතු බව හිමාෂා සිතුවා ය.තාත්තා ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තබා ගන්නට දියණියට ඉඩ දිය යුතු නොවේ.ප්‍රේමයක් ගැන බලාපොරොත්තු තබා ගන්නා යුවතියකට වඩා තාත්තාගේ ආදරය ගැන බලාපොරොත්තු දල්වා ගන්නා දියණියගේ හදවත බිඳී යා හැකි ඉඩ වැඩි බව හිමාෂාට සිතේ.ඇය හිඳින්නේ ප්‍රේමයෙන් සහ විවාහයෙන් පරාජිතව ය.ඒ පරාජය වීම නිසාම දියණියට තාත්තාගේ ආදරයෙන් පැරදෙන්නට සිදුවීම ගැන හිමාෂාට දැනෙන්නේ ඉසිලිය නොහැකි වේදනාවකි.

“ඔය කීවට මල්මිට ලෙඩක් නැතුවත් ඇති.”

හිමාෂා සිතන්නට නොකැමති වූ අදහස අමායා කිසිම පැකිලීමකින් තොරව පැවසුවා ය.හිමාෂා නැගණියට පිළිතුරු නොදෙන්නට ප්‍රවේසම් වූවා ය.

“මල්මිට හිතෙන්න ඇති අක්කා එයාට බබෙක් ලැබෙන්න ඉන්න වෙලාවෙම සහන් අයියා එයාගෙ පළවෙනි දරුවට කිට්ටු වෙන්න ඕන නෑ කියලා.”

අමායා ඇයට දැනෙන දේ පැවසුවේ අක්කාගේ හිත රිදෙන බව දැන දැනම ය.සහන් සම්බන්ධයෙන් අක්කා හිත රවටා ගත යුතු නොවේ.ඔහු අක්කාව වේදනාවට පත් කළ මිනිසෙකි.එය දැන් හෝ වෙනස් වේයැයි සිතීම ම මෝඩකමක් වග අමායා සිතන්නට වූවා ය.

“මට තාමත් තාත්තා නැති පාළුව දැනෙනව නංගි.මේ සමහර දේවල් දරා ගන්නම බැරි උනාම අනේ තාත්තා හිටියා නම් කියල හිතෙනව.අපිට මෙච්චර උස්මහත් වෙලත් එහෙම හිතෙනවනම් මගේ දරුවට මේ පොඩි වයසෙන්ම එහෙම නොහිතී ඉන්න ඉඩක් නෑනෙ.”

අමායා අක්කාගේ උරහිස පිරිමැද්දේ ඒ වචනවල වේදනාව වැටහුණු හන්දා ය.සැබෑවටම දිනාරා උස්මහත් විය යුත්තේ පිය සෙනෙහසක් නැතිවදැයි ඈ සිතුවා ය.නැවත විවාහයකට අක්කාගේ මනාපයක් නැතිනම් එය එසේ වීම වැළකිය හැකි නොවේ.සහන් අයත් වන්නේ අලුත උපදින දරුවාට වග අක්කා වටහා ගත යුතු බව අමායා සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles