හිමගිරි අරණ – අවසන් කොටස

හිම කන්දක් සේ ගල් ගැසී සියල්ල දරා ගත් කාලය අවසන් කරන්නට හිමාෂාට කාලය එළඹිණ.ඉතා චාම් විවාහ උත්සවයකින් පසු ඇය රවිඳුගේ පතිනිය බවට පත් වූවා ය.බොහෝ කාර්යබහුලව වූ බොහෝ වියදම් සහිත වූ ඇගේ පළමු විවාහය හිමාෂාට සිහි වූයේ විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ය.

“අන්තිමට අපේ අම්මා කිව්වා වගේම ඔයා පෝරුවට නැග්ගේ නෑ.”

රවිඳු එසේ කියන්නේ සැබෑවටම සිත් වේදනාවෙන් නොවේ.හිමාෂාට සරදම් කරන්නට ය.

“ඊට වඩා හොඳ නැද්ද ඉතුරු කරගත්ත සල්ලි වලින් වාහනයක් ගන්න අපි ගත්තු තීරණේ”

හිමාෂා පෙරළා විමසන්නී ය.රවිඳු එයට ද සරදමක් කරන්නට සිතුවේ ය.ඇය මෝටර් රථයක් මිලට ගැනීම සඳහා ඔහු උනන්දු කළේ ඔහු මෝටර් සයිකලයෙන් අනතුරු කරගන්නට හපන්‍රෙකු හන්දා ය.

“ආයේ මං ඇක්සිඩන්ට් එකක් කරගෙන අලුත් ඔෆිස් එකේ ගෑනු ළමයෙක් මගේ ලෙඩ බලන්න එයි කියලා බයයි නේද?”

රවිඳුට ඇත්තේ නෙත් කඩාගෙන යන සිනාවක් බව අතීත දවසක පැවසූයේ පාරමී ය.ඒ කතාවේ ඇත්තක් නැති බව හිමාෂාට සිතේ.ඔහුට ඇත්තේ ඇස් කඩාගෙන යන සිනාවක් නොවේ.එය හිත නිවන සිනාවකි.

“දැන් මම පාර පනින්නෙත් හතර වතාවක් විතර වට පිට බලලා.දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන්නේ එහෙම පිස්සු නටන්න පුලුවං කෙනෙකුට නෙවෙයිනෙ.”

ඒ වචන හිමාෂාට ගෙන ආවේ සියළු ලතැවුල් පිස දමන සන්තෝසයකි.මෙතැන රවිඳුගේ නිවසේ උදවිය රැඳුනේ නම් මොනතරම් අපූරුදැයි ඇය උදෑසන සිටම සිතුවා ය.නමුත් හීන ඉටු වෙද්දී කුමක් හෝ කාරණාවක අඩුවක් ද තිබීම අතිශය සාමාන්‍ය දෙයකි.මේ පවතින්නේ ඒ අඩුව බව ඇය හොඳාකාරවම දැන සිටියා ය.

“මගේ අක්කා බලා ගන්න ඕන.”

හිමාෂා දික්කසාද වූ දා පටන් ගලක් වී දරා ගත් කඳුළු අමායාගෙන් ගලා ගියේ හිමාෂා සමු ගන්නා මොහොතේ ය.රවිඳු වැළඳ ගෙන ඇය බොහෝ වේලාවක් වැළපෙන්නට ගත්තා ය.අක්කා හඬනවාට ශෝකයෙන් සහන්ට සාප කරන්නටත් බැන වදින්නටත් හුරුපුරුදු වී සිටි කටකාර කෙල්ලක් ඕනෑවටත් වඩා සංවේදී වෙද්දී හැඬීම නවතා ගැනීම තමන්ට මොන තරම් අසීරු වේදැයි හිමාෂා සිතන්නට වූවා ය.නමුත් අම්මාගේ දෑසින් කඳුළක් හෝ වැටුණේ නැත.ඇය දිලිසෙන දෑසකින් බලා හිඳින්නේ උදෑසන පටන් ය.ධනය සහ අන් සියළු කාරණා සැලකිලිමත් වෙමින් හිමාෂා වෙනුවෙන් ඉටු කර දුන් විවාහය කඳුළකින් අවසන් වීම ගැන ඇයටම ශාප කර ගත් අවස්ථා බොහෝ ය.නමුත් හිමාෂා හොඳම දේ සොයාගෙන තිබේ.මේ හොඳම දේ දැයි තීරණය කරන්නට කල් වැඩි බව අම්මාට නොසිතේ.රවිඳු ගැන තීරණ ගන්නට මේ කාලය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

“අපේ කතාව ෆිල්ම් එකක්,ටෙලි ඩ්‍රාමා එකක් නෙවෙයි නවල් එකක් හරි වුනානම් ඉවර වෙන විදිය ඔයා දන්නවද?”

නව නිවසේ ගෙවී යන තුන්වැනි දවසේ ‍රවිඳුගෙන් එවැනි ප්‍රශ්නයක් අසන්නට හිමාෂාට සිතිණ.හිමාෂාට නිවසේ කටයුතු වලට අත් උදව් දීම ගැන රවිඳුට කල්තබාම සිහින තිබිණ.නමුත් ඒවා ඉෂ්ට කරගැනී එතරමට පහසු වූයේ නැත.අම්මාට උයන්නට අත්උදව් දෙනවාට වඩා පෙර පාසලේ කතා අසමින් සෙල්ලම් කිරීම තාත්තාගේ එකම යුතුකම බව දිනාරාට සහතික ය.එනිසා ඇය රවිඳුගේ පූර්ණ අයිතිය සෑම මොහොතකම ඉල්ලා සිටින්නී ය.ආදරයක් නොමැති කාන්තාරමය ජීවිතයක් ගෙවීමට සිදු වූ කාලයේ තමන් ඉසිලූ වේදනාවට වඩා වේදනාවක් තාත්තා කෙනෙකු නොමැති කාලයේ දිනාරාගේ කුඩා හදවතට දැනෙන්නට ඇති බව හිමාෂා සිතන්නී ය. එනිසාම ඇය දියණියට රවිඳු අයත් කර ගන්නට දී තිබේ.

“කොහොමද?”

දිනාරාට තනිව මොහොතක් හිඳින්නට ඉඩ හැර රවිඳු විමසයි. හිමාෂා හිනැහෙන්නේ නැවතිල්ලේ ය.

“එකක් තමයි සහන් මල්මිව දාලා යනවා.එක්කොත් කොහොමින් කොහොම හරි මල්මි තනි වෙනවා.එයා පාඩමක් ඉගෙන ගන්න ඕන කියල තමයි කතාවක් ඉවර වෙන්නෙ.අනික ඉතින් අපි බැන්ද දවසෙ මොන තරහ තිබ්බත් ඔයාලගෙ අම්මලා එනවා.”

ඒ උස් හඬින් හිනා විය යුතු කතාවක්ම නොවේ.හිමාෂාගේ හදවතේ ඇති වේදනාවක් එසේ වචන වන්නට ඇති බව රවිඳු සිතී ය.

“මං ඔයාගෙන් ආයෙමත් අහනව.ඔයා තාමත් මල්මිට වෛර කරනවද?”

එය එසේ නොවන බව කියන්නට තරම් හිමාෂාට නොහැකි ය.ඇය තමන්ට අයත් ලෝකයක් ලෝකය කඩා බිඳ දැමූ බව හිමාෂාට නොසිතා සිටින්නට නොහැකි ය.

“මේ වහල යට අපි දෙන්නා ඉන්නව තරම් සැනසීමෙන් මල්මියි සහනුයිත් ඇති.එහෙම මොකක්ම හරි සැනසීමක් ඕනි නිසා තමයි සහන් ගියේ.ඔයා රණ්ඩු නොකරන කිසිම වැරැද්දක් නැති යහපත් මනුස්සයෙක් වුණත් සහන්ට ඕනේ ලෝකෙ ඔයා ළඟ තියෙන්න නැතුව ඇති. අපි තරම්ම සැනසීමෙන් එයාලා ජීවත් වෙන්න ඕනි කියන එක තමයි අපි හිතන්න ඕන එකම දේ.අපි සැනසීමෙන් ඉන්න කොට තව කෙනෙක්ගේ සතුට නැති වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා ඇති වැඩේ මොකක්ද?”

මේ සම්බන්ධයෙන් රවිඳු දින කිහිපයකට ඉහත පැවසූ කාරණාවක් හිමාෂා යළිත් සිහි කළා ය.ආදරය හෝ විවාහය වේදනා විඳිමින් පවත්වාගෙන යා යුතු නැති බව දැනෙන මොහොතක් එළඹෙන්නට පුලුවන.ඒ මොහොතේ සහන් ඇගෙන් සමු ගැනීම ගැන ඇති වූ වේදනා අමතක කරන්නට දැන් කාලය පැමිණ තිබේ.එක් අතකට මල්මි සමඟ කෝපයෙන් පසු වී ඵලක් නැත.ඇයට කොහොමටත් ජීවිතය සම්බන්ධයෙන් ගැටලු තැන් ඇති බව හිමාෂාට වැටහේ.ඇගේ දියණියට වඩා සහන් දිනාරාට ප්‍රිය කරන්නේදැයි පවා මල්මිට සැක තිබේ.එවැනි තැන් ගැන ඇය ඇගේ හෘද සාක්ෂිය සමඟ ගැටෙනු ඇතැයි හිමාෂා සිතුවා ය.ලෝකයට පෙනෙන්නට යහපත් බිරිඳක් ද හදවත නිවා ගන්නට ප්‍රේමයක් ද පවත්වා ගන්නට සිතූ සහන්ට අවසානයේ ප්‍රේමය බාර ගන්නට සිදු විණ.ඔහු ද තමන්ගේ වැඩිමහලූ දියණිය අහිමි වූ ශෝකය සදාකාලිකව විඳ දරා ගන්නට නියමිත බව හිමාෂා දන්නී ය.

ජීවිත අතර බොහෝ දෑ ඉරණම අනුව විසඳේ.ඉරණමට පිට ගොස් කරන සමහර කාරණා නිසා හෘද සාක්ෂිය හා ගැටෙන්නට ඕනෑම කෙනෙකුට සිදු වේ.

කාලය ගලා ගියේ ය.හිමාෂා සිහින දුටු අන්දමට රවිඳුගේ අම්මා ඈ දකින්නට නාවා ය.හිමාෂා ගැබිණියක බව දුමිඳුගෙන් දැන ගත් මොහොතේ රවිඳු වඩාත් ප්‍රිය කරන ව්‍යාංජන සහිත ආහාර පාර්සලයක් සකසා කලනි අත තබද්දී පවා ඇගේ ගල් හිත උණුව ගොස් තිබුණේ නැත.හිමාෂා අයහපත් ගැහැනියක නොවන වග කලනි කටේ කෙළ සිඳෙන තුරු නැන්දම්මාට පවසා තිබේ.”මට ඔයා හිටියම මදෑ” එවැනි මොහොතක සුරම්‍යා පවසන්නේ එවැනි කතාවකි.හිමාෂා දික්කසාද ගැහැනියකි.පුතුට ඊට වඩා හොඳ කසාදයක් කර ගන්නට තිබිණ.ඒ අදහස ඇගේ හදවතින් කවදා හෝ දිනක මැකී යන බව විශ්වාස කරමින් හිත හදා ගන්නටත් මඟ බලන්නටත් හිමාෂා සහ රවිඳු තීරණය කළ හ.

“අද පාරමී ආවනෙ ඔෆිස් එකට.”

දිනක් කාර්යාලය නිමවී නිවසට යන අතර හිමාෂා රවිඳුට පැවසුවේ මන්දස්මිතයකිනි.පාරමී ගැන ඇසුණේ කාලයකට පසු බව රවිඳුට සිහිපත් වූයේ ඒ මොහොතේ ය.

“වෙඩින් කාඩ්ස් දෙන්න ආවා.මට ඇරෙන්න අපේ කට්ටිය ඔක්කොටොම දුන්න.”

ඒ ගැන කිසිම අහිතක් නැති හඬකින් හිමාෂා කියන්නී ය.මේ කාලයේ විවාහ උත්සවයකට ආරාධනා නොලැබීම ම එක්තරා ආකාරයක වාසනාවක බව කියමින් රවිඳු හිනැහුණේ හිමාෂාට වේදනාවක් ඇත්නම් ඒ මඟ හැරෙන්නට ය.

“මට බබා ලැබෙන්න තියෙන්නෙ කොයි කාලෙද කියලනම් ඇහුව.ඊටපස්සෙ අපි මැරි කරලත් එච්චර කාලයක් නෑ නේද කියල හරිම අමුතුවට අහල යන්න ගියා.අපි ඇත්ත දන්නවනම් ඒ ඇතිනෙ.මම තර්ක කරන්න ගියේ නෑ.”

හිමාෂා දරා ගැනීම අතින් හිඳින්නේ පාරමීට වඩා ඉහල තැනක බව රවිඳු දනියි.එවැනි ප්‍රාථමික චෝදනා ඈ රිදවන්නට හේතු නොවේ.

“ජීවිතෙ ඔහොම තමයි.අපිට එක එක ජාතියේ මිනිස්සු මුණ ගැහෙනව.සමහරු ඔයා වගේ.ලේසියෙන්ම සමාව දෙනවා.අත් ඇරලා දානව.සමහරු පාරමී වගේ.හැමදෙයක්ම හැමදාම හිතේ තියාගන්නව.හිතෙන හිතෙන වෙලාවට පලිගන්නවා.කේන්තියෙන් ඉන්නව.ඔය ඔක්කොම අපේ තෝරා ගැනීම් හිමා.”

හිමාෂා රවිඳු දෙස බැලුවේ ආදරය උතුරන දෑසකිනි.දැන් ඇය හිම ගිරක් නොවේ.කුඩා කාරණාවකට පව දියවී වැගිරෙන හැඟීම්බර ගැහැනියකි.

“ජීවිතේ කියන්නෙම අපේ තෝරාගැනීමක් තමා රවිඳු.”

ඇය කියන්නේ සැනසීමෙන් ‍ය.අප්‍රමාණ තෝරාගැනීම් කරමින් රවිඳු සමඟ දිගු ජීවිත ගමනක් ඇවිද යාමට ඇය හිඳින්නේ අප්‍රමාණ සිහින දරා ගනිමිනි.ප්‍රේමයෙනි.

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...