මතක දිගහැරුම 73 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ තුන්වන දිගහැරුම ,

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවේ නියැලීමට නම් මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත්ය.පිටත ලෝකයට පෙනෙන සැපපහසු ජීවිතය පිටුපස ක්‍රීඩකයකුගේ අසීමිත වෙහෙස මහන්සිය සහ කැප කිරීම නොඅඩුවම ඇත. හෂාන් ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපකිරීම් ඉතා හොඳින් තේරුම් අරගෙන සිටි මා ඔහුට ඒ සඳහා ඉඩ සලසමින් නිවසේ කටයුතු, දරුවන්ගේ කටයුතු සහ අනෙකුත් වගකීම් මා අතට ගෙන කටයුතු කිරීමට වග බලා ගත්තෙමි.මා බොහෝ සේ විශ්වාස කල හෂාන් ඔහු උපයන සෑම මුදලක්ම මා අතට ගෙනැවිත් දුන්නේය. අපගේ කටයුතු සඳහා මා ඒ සියල්ල ඉතාම අරපරිස්සමින් වියදම් කළ අතර සෑම අවස්ථාවකදීම අප පවුලට ප්‍රයෝජනවත් වන යම් දෙයකට ඒ මුදල් ආයෝජනය කිරීමට මා උත්සාහ කළෙමි.කුඩා කල සිටම මගේ තාත්තා උපයන මුදල් මගේ අම්මා ඉතාම අරපරෙස්සමෙන් නිවසේ සෑම කටයුත්තක් සඳහාම වියදම් කළ ආකාරය මම දැක ඇත්තෙමි.ඒ අනුව මම ද මුදල් වල වටිනාකම කොතරම් ද යන්න හොඳින්ම වටහාගෙන සිටි නිසා හෂාන් මා අතට ගෙනැවිත් දෙන මුදල් නිසි අයුරින් කළමනාකරණය කළෙමි.වර්තමානය වන විටත් මා එම කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට වග බලා ගන්නෙමි.

අපගේ ජීවිත ඒ ආකාරයෙන් ගත වෙද්දී 1999 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ විය.එංගලන්තයේ පැවති එම තරගාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල සියලු දෙනාම වාගේ සහභාගි වූ අතර මම ද දරුවන් දෙදෙනා සමඟ එයට සහභාගි වූයෙමි. නැවත වාරයක් එසේ ලෝක කුසලාන තරගාවලියක් නැරඹීමට අවස්ථාව ලැබීම අප සැම දෙනාටම ඉතා හොඳ අත්දැකීමක් විය.නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය කරා ළඟා වීමට අවස්ථාව හිමිවූයේ නැත.එම නිසා සියලු දෙනාම නැවත ලංකාවට පැමිණියේ අතිශය කණගාටුවෙන් ය.

ඉන් පසුව සාමාන්‍ය ලෙස ගෙවුණු දින කිහිපයකින් අනතුරුව දිනක් හදිසියේම හෂාන් මා අමතා ඔහු ඇතුළු සිව් දෙනකු ම කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව පැවසුවේය.එදින හෂාන් සාමාන්‍ය ආකාරයට පුහුණුවීම් වලට සහභාගි වූ නිසා සිදුවී ඇත්තේ කුමක්දැයි එකවරම මට සිතාගත නොහැකි විය.මද වේලාවකට පසුව හෂාන් නැවත නිවසට පැමිණියේය.අර්ජුණ රණතුංග , අරවින්ද ද සිල්වා , රොශාන් මහානාම සහ හෂාන්ව ඒ ආකාරයෙන් කණ්ඩායමෙන් ඉවත් කර තිබුණි.හදිස්සියෙ සිදුවු දෙය නිසා ඇති වූ කම්පනය නිසා අරවින්දගේ වාහනයේ නැගී කොළඹ නගරය පුරා වටයක් ගොස් පැමිණි බව හෂාන් පැවසුවේය.හෂාන් ඇතුළු සිව්දෙනාව ඒ ආකාරයට ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ ඔවුන්ගේ වයස් මට්ටම වැඩිවීම ය.ඒ වන විට තිස් එක්වන වියේ පසුවූ හෂාන්ගේ ශක්ති මට්ටම හොඳ තත්ත්වයේ පසුවූ අතර ඔහු ඉතා හොඳින් පුහුණුවීම් වල සහ ක්‍රීඩාවෙහි නිරත වූයේය.ඉන්පසුව අර්ජුන රණතුංග ,රොෂාන් මහනාම සහ අරවින්ද ද සිල්වා යන සාමාජිකයන් ඒ සිදුවීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්හ.නමුත් හෂාන්ට එම තීරණය ගැනීමට අප කිසිවෙකුත් ඉඩ දුන්නේ නැත.කෙසේ හෝ ඔහු නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලිය යුතු බව කියමින් අප සැමදෙනාම නිරන්තරයෙන් ඔහුව ධෛර්යමත් කරන්නට වග බලා ගත්තෙමු.

අනපේක්ෂිත මොහොතකදී මුහුණ පාන්නට සිදු වූ සිදුවීම නිසා හෂාන් දැඩි ලෙස මානසික පීඩාවට පත්වී සිටියේය.කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලෙමින් ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදුකරමින් ඒ වෙනුවෙන්ම වෙහෙස මහන්සි වූ නිසා හදිසියේම කණ්ඩායමෙන් ඉවත් කිරීම ඔහුගේ මානසිකත්වයට දැඩි ලෙස බලපෑවේය.ඉන්පසුව ඔහු නිවසින් පිටතට නොයා , මිතුරන්ව පවා මුණ නොගැසෙමින් අවුරුද්දක පමණ කාලයක් නිවසටම වී ගත කළේය.එම කාල වකවානුව ඔහු ගත කළේ ඉතාම කලකිරීමෙන් ය.එම නිසා පවුලක් ලෙස අප සියලු දෙනාම එකතු වී ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක් ගත්තෙමු.” අනූශ සමරනායක ” අයියාව මා විශේෂයෙන් ම සිහිපත් කල යුතු අතර ඔහු දිනපතාම අපගේ නිවසට පැමිණෙමින් හෂාන්ට සමඟ කතාබස් කරමින් සිටි අතර ඔහු සිටින තත්ත්වය හොඳින්ම වටහා ගෙන සිටි ඔහු කිසිම අවස්ථාවක දී හෂාන්ව තනි නොකරන්නට වගබලා ගත්තේය.

හෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලෙමින් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය දරන සමයේ දී ඔහුට විශාල ලෙස මිතුරන් සිටියේය.සෑම අවස්ථාවකදීම ඔහු වටා විශාල මිතුරන් පිරිසක් සිටි අතර හෂාන් කඩා වැටුනු අවස්ථාවේ දී ඔහු සමඟ සිටි මිතුරන් බොහෝ සේ අඩුවී ගියේය.ඇතැමුන් හෂාන්ට කතා කිරීම පවා නතර කර දැමූ අතර ඔහුට අවංකව ආදරය කළ මිතුරන් පිරිස පමණක් දිගින් දිගටම ඔහු හා රැඳුනහ.එපමණක් නොව ඔවුන් නිරන්තරයෙන්ම හෂාන්ව ධෛර්යමත් කරමින් ඔහුව ශක්තිමත් කළහ.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles