කිසිවෙක් විශ්වාස නොකළ හේතුවක් නිසා මිනිසුන් ඇසුරු කිරීමට බිය වූ දරුවෙක්

(මනෝ චිකිත්සක බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියගේ අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) 

“සුමාල්ගේ මොලේ එක්ක හැප්පෙන්න අපි කාටවත් බෑ.”

දහ අට හැවිරිදි සුමාල්ගේ මිතුරන් අතර තිබුණු ජනප්‍රියම කතාව තමයි ඒ. ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරමින් සිටි ඔහු ඉතාම දක්ෂ ළමයෙක්.

“එයා පොඩි කාලේ ඉඳලම පොත් කියවන එක තමයි වැඩේ. අවුරුදු අටෙන් විතර අපි computer එක අරන් දුන්නට පස්සේ ඊළඟ වැඩේ ඒකත් එක්ක. ළමයි ඉන්ටනෙට් එකත් එක්ක එක එක විකාර කරනවා කිව්වට අපේ පුතා ඔන්ලයින් මොන තරම් දේවල් ඉගෙන ගත්තද? කෝස් කීයක් ෆලෝ කරාද?”

සුමල්ගේ අම්මා නන්දනී හැම මොහොතකම ඔහු ගැන හරිම අභිමානයෙන් කතා කළා.

සුමල් පිටත සමාජයේ අයත් එක්ක ගනුදෙනු කළේ නැතිම තරම්. ඔහු තමන්ගේම කුඩා ලෝකයක ජීවත් වන්නට නිතරම උත්සාහ කළා.

“ඕක වුණේ කොවිඩ් හින්දා. ළමයි ගෙවල් වලටම කොටු උනා නේ. දැන් එයාලා ඒ ජීවිතයට හරි කැමතියි. සමාජෙට යන්න කැමති නෑ.”

නන්දනී එය ද ඒ ආකාරයට සාධාරණීකරණය කළා. සුමල් ඕනෑම කෙනෙක් සමග වචනයකට දෙකකට වඩා කතාවට ගියේ නැහැ.

සුමල් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්නට පටන් ගෙන ටික කාලයක් යද්දී ඔහුගේ ලකුණු මට්ටම සීඝ්‍රයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. එය ඔහුට පමණක් නෙමෙයි ඔහුගේ යාලුවන්ට පවා විශාල පුදුමයක් වුණා.

“මම දැන් අම්මා මගේ ලකුණු ඇහුවහම සුමල්ගෙ ලකුණු ගැන කියනවා. පැණි වරකා ගහටත් හෙන ගහලා නම් වැල ගස් වලට මොන උනහම මොකද කියලා අම්මලා වුණත් තේරුම් ගන්න එපැයි.”

ඇතැම් මිතුරෙකු සරදමට මෙන් එහෙම කිව්වත් ඔහුගේ ලකුණු සීග්‍රයෙන් අඩු වීම මිතුරන්ට පවා පුදුමයක් වුණා.

“දර්ශන සර් උගන්වන්න දන්නේ නෑ. ඒකයි මට පිසික්ස් වලට ලකුණු අඩු.”

දිනක් සුමල් එහෙම කියද්දී ඔහුගේ හොඳම මිතුරා පුදුමයට පත් වුණා.ඒ ගුරුවරයා භෞතික විද්‍යාව සම්බන්ධයෙන් විශිෂ්ට ගුරුවරයෙකු ලෙස පළාතේ ප්‍රසිද්ධියට පත් කෙනෙක්. ඔහු කිසිලෙසකත් අදක්ෂ කෙනෙක් නෙමෙයි. ඔහුගේ පන්ති වලට සහභාගි වන අයට සාමාන්‍ය සාමාර්ථයක් හෝ රැගෙන දෙන්නට ඔහු සමත් වෙනවා. නමුත් සුමල් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.සුමල් ඒ ගුරුතුමාගෙන් නොනැවතී ගුරුවරුන් දිගින් දිගටම විවේචනය කරන්නට පටන් ගත්තේ මේ කාලයේ දී.

“පුතාට හැම දෙයක් ගැනම තේරුම් ගන්න හොඳ බුද්ධියක් තියෙනවා. මේක පුංචි කාලෙ ඉඳලම දැකපු දෙයක්. එයා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මේක මේ ගුරුවරුන්ගේ වැරැද්දක්.”

ගුරුවරියක වූ නන්දනී ද අවසානයේ දී එහෙම තීරණයකට එළඹුණා. 

ගුරුවරු පාඩමක් අතර ප්‍රශ්න අසද්දී ඒවාට පිළිතුරු දෙන්නට ද සුමල්ට නොහැකි වුණා. තාරකාවක් පොළොවට කඩා වැටීමේ අත්දැකීම විඳ ගැනීම ඔහුට අසීරු වූ නිසා ඔහු අමතර පන්ති යාම නවත්වා දමන්නට තීරණය කළා.

“නිකං බොරුවට ටියුෂන් යන්න බෑ අම්මේ.බස්වලට නිකං කාලේ නාස්ති වෙනවා. මං ඔන්ලයින් ක්ලාසස් ටිකක් හොයා ගත්තා.”

සුමල් අවසානයේ අම්මාට එහෙම යෝජනාවක් ගෙන ආවා. සමහර පන්ති ගැන සුමල් දිගින් දිගටම චෝදනා නගා තිබීම නිසා ඔහුගේ මේ තීරණයට ඉඩ දෙන්නට අම්මා ද තීරණය කළා. නමුත් ඒ පන්ති ගැනද ඔහු යම් යම් චෝදනා නගන්නට උත්සාහ ගත් විට වැරැද්දක් ඇති බව නන්දනීට වැටහුණා. බුද්ධිමත් මවක් වූ ඇය දරුවා උපදේශනයට රැගෙන එන්නට තීරණය කළා.

මට සුමල් හමු වෙන්නේ ඒ ආකාරයටයි.

සුමල් ඔහුගේ සටහන් පොත් ආදිය මට පෙන්වනවා. ඔහු ඉතාම පිළිවෙලකට වැඩ කරන දරුවෙක්. ඒවා පිරිමි දරුවෙකුගේ කටයුතුවලටත් වඩා ඉහලට ගිය සටහන් පොත්. ඒ නිසා තමන්ට OCD ඇති බවට සුමල් ස්වයං රෝග විනිශ්චයකට එළඹෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම් ගැන සඳහන් කරමින් මව්පියන් පවසන්නේ ඔහුට ඇත්තේ විශාද මට්ටමක් බවයි.

රෝගියෙකු පවසන රෝගයම ඔහුට ඇති බව සිතා අප ප්‍රතිකාර කරන්නේ නෑ. සුමල්ව දිගින් දිගටම පරීක්ෂාවට ලක් කරද්දී ඔහුට ඇත්තේ Social phobia බව මට වැටහීමක් ලැබෙනවා.

” පහුගිය දවසක අපේ කසින් අක්කා කෙනෙකුගේ වෙඩින් එක තිබුණා. එයා පුංචි කාලේ ඉඳලම මට හරිම ආදරෙයි..නොයාම බැරි ක්ලාස් එකක් තියෙනවා කියන මම ඒ ගමන මඟ ඇරියා.”

සුමල් එසේ පවසා සිටියා. ඒ ගමන නොයා ඉන්නටත් ඔහුට තිබුණේ අමුතු හේතුවක්.

“මගේ වයසෙ ළමයි ජිම් ගිහින් ඇඟ හදලා ඉන්නේ. මං හාල් මැස්සෙක් වගේ. අනික හැමෝම මගෙ ස්ටඩීස් ගැන අහනවා. මට ඒක හරිම වදයක්”

ඒ වගේ තැන්වලදී තමන් කමකට නැති කෙනෙකු බව හෙළි වේයැයි සුමල් භීතියට පත් වී තිබුණා.

සුමල් මට පෙර වෙනත් මනෝ උපදේශකයෙකු මුණ ගැසී තිබුණා. එහිදී දෙමාපියන් විසින් ඔහුට ඔහු ගැන කතා කරන්නට නොදී ඔහුගේ තත්ත්වය ඔවුන්ගේ කෝණයකින් විස්තර කර තිබුණා. ඒ නිසා වැරදි රෝග විනිශ්චයක් ලැබී සුමල් ඉන් පවා පීඩාවට පත් වී සිටියා. වෘත්තිකයන්ට නිවැරදි තොරතුරු ලබා නොදීම ද විශාල ගැටළු ඇති කරන බව අමතක කරන්නට එපා.අනෙක් කතාව වැඩිහිටියන්ට සහ දරුවන්ට රෝගී ලක්ෂණ පහළ වන්නේ වෙනස් ආකාරයෙන්. ඒ නිසා පෙනෙන යම් වෙනසක් වෘත්තියවේදියෙක්ට පවසනවා මිසක දරුවාගේ මනසට රෝග ගැන ඇතුළු කරන්න.

සුමල්ට ප්‍රතිකාර කිරීම ඉතා ප්‍රවේසමෙන් සිදු කළ යුතු වුණා.

“සුමල්, ඔයා ඇඟ හදන්න ආසයි නම් ජිම් එකකට යමු?”

මම ඔහුට එහෙම යෝජනාවක් කළා. එහි අරමුණු දෙකක් තිබුණා. ඒ ඔහු සමාජයට යොමු කිරීම සහ ඔහුගේ රූපය සම්බන්ධ බිය සහ සැක සංකා දුරු කිරීමයි. නිවැරදි උපදේශනය සහිත හොඳ කාර්ය මණ්ඩලයක් සිටින තැනක් අප සොයා ගත්තා. මුලින් ඔහුට තනිව යාමට වෙලාවක් සකසා දුන්නා. පසුව Instructor සමඟ කතා බහ කර අනිත් අය සමඟ ගැවසෙන්නට සුමල්ට අවස්ථාවක් ලබා දුන්නා.ඔහුගේ Anxiety තත්ත්වයට මනෝ වෛද්‍යවරයෙක් හරහා ඖෂධ ප්‍රතිකාර ද ඒ අතරම ලබා දුන්නා. සමාජය සමඟ ගැටීමටත් සමාජයේ හැසිරීම සංකා රහිතව කිරීමටත් සුමල්ට ක්‍රමයෙන් හැකි වුණා.

දැන් ඔහු ඉංජිනේරු පීඨයක පළමු වසරේ සිසුවෙක්. සරසවි සිසුන් අතර සුමල් ඉතා ජනප්‍රිය චරිතයක් බව කියමින් නන්දනී බොහෝ සතුටට පත් වෙනවා.

දරුවන්ගේ ගැටළු සුළුකොට තකන්නට එපා. ඒවාට නිවැරදි මඟ පෙන්වීම ලබා දීමෙන් අපිට ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles