තමන්ගේ කැමැත්ත.

“ඇයි අනේ මෙයාව ගත්තේ..”

නීටා වැටට උඩින් එබිලා ලිහිණිගෙන් ඇහුවේ විස්සෝපයට පත් වුණු හඬකින්.අලුතෙන් අරන් ආපු බලුපැටියා එක්ක හුරතල් වෙමින් හිටිය ලිහිණි ඔළුව උස්සලා බැලුවේ අකමැත්තෙන්.නිවාඩු දවසට නීටා ආන්ටිගෙ කෝච්චියට අහු වෙනවා කියන්න කිසිම වැඩක් කරගන්න වෙන්නේ නෑ කියන එකයි.

“මම බල්ලන්ට ආස නිසා ආන්ටි.අපේ කූපර් නැති වුණානෙ.මට ඒ ජාතියෙන්ම පැටියෙක් ඕන වුණා”

විවිධ වර්ගවල බලු පැටව් ගැන හිතලා බලලා ලිහිණි ජර්මන් ෂෙපඩ් පැටියෙක්ම අරගෙන ආවේ කූපර් ඒ ජාතියේ හාදයෙක් නිසා.අවුරුදු හයක් ඉඳලා යන්න ගිය කූපර්ව මතක් වෙනකොට ලිහිණිගේ හිත හෝස් ගාලා ඇවිලෙනවා.ටිමී ඒ අඩුපාඩුව මකමින් ඉන්න වෙලාවක තමයි නීටා ඇන්ටි ගේට්ටුවෙන් එබුණේ.

“බොරු වියදමක්නෙ ළමයො.කීයද ඕකා?”

දරුවෙක් වගේ හදන බලු පැටියට ඕකා මේකා කියනවට අකමැති වුණාට ලිහිණි කේන්ති නොගෙන වැය වුණු මුදල කිව්වා.ඒ ගමන කේන්ති ගත්තේ නීටා ආන්ටි.

“ඈ ළමයෝ..එච්චර ගණන් දීලා සත්තු හදන්න පිස්සුද? පාරේ ඉන්න අහිංසක බලු පැටියෙක් ගේන්න තිබ්බනෙ.”

මිනිසුන්ගේ ආසාවල් වෙනස් බව කවමදාවත් තේරුම් නොගන්න නීටා අම්මා තාත්තාගේ සල්ලි නාස්ති කරන්න එපා කියලා ලිහිණිට දැනමුතුකම් දෙන්නත් අමතක කළේ නෑ.තමන් දැන් රැකියාවක් කරන බවත් හොඳ ඉපයීමක් තියෙන බවත් නීටා ආන්ටිට කියන්න නොගිය ලිහිණි බිම බලාගෙන හිනා වෙවී හිටියා.

ලිහිණිට උපදෙස් දුන්නු නීටා සන්තෝසෙන් තවත් ගේට්ටුවකට එබුණේ මොනවමහරි හොයන්න හිතාගෙන.මේ තරුණ කෙල්ලො මෙහෙම විකාර කරනවට නීටා නම් පොඩ්ඩක්වත් කැමති නෑ.

සාරා කොණ්ඩේ කපලා කලර් කළේ ඊයේ හවස.දූට මව්කිරි දුන්නු නිසා කාලයක් තිස්සේ ඒ විලාසිතා නොකර හිටපු සාරා ආපහු හෙයා සැලෝන් එක පැත්තෙ ගියේ කාලෙකින්.අලුත්ම විලාසිතාවකට කපපු කොණ්ඩය ගැන ජානු එක්ක කතා කර කර ඉන්නකොට නීටා ආන්ටි ගේට්ටුවෙන් එබෙන හැටි සාරාට පෙනුණා.

“මොකක්ද සාරා ඔය විනාසේ..”

සාරෙට වැවිලා තිබ්බ කොණ්ඩේ එක්ක සාරාට හොඳ අම්මා පාටක් තිබුණු බව නීටා කිව්වේ තද විශ්වාසෙකින්.සාරා දැන් මහ සංකර වෙලා.

“බබාව මොන්ටිසෝරි එක්ක යනකොට ඔහොම යන්න එපා.අම්මගෙ මිම්මෙන් තමා දරුවො මනින්නෙත්.”

නීටා උපදෙස් දුන්නේ බොහෝම බැරෑරුම් ව.ඊටත් පස්සෙ තවත් කාරණාවක් කියන්න නීටා අමතක කළේ නෑ.

“අනිත් එක ඔහොම සල්ලි නාස්ති කරන්න එපා.මේ වගේ වැඩකට මොනතරම් සල්ලියක් යනවද සාරා.හැම සතයක් ම ඉතුරු කරන්න පුරුදු වෙන්න.ගෑනියෙක් කොහොම නාස්ති කරන්න ගත්තාම ගෙදරකට හරියන්නේ නෑ..”

සාරාට හිනාවක් ඉපදුණා.ඉයන් නම් එහෙම සල්ලි නාස්ති කරපු කතාවක් ගැන කිව්වෙ නෑ.සාරා කාලෙකට පස්සේ හැඩවැඩ වුණු නිසා ගෙදරම එළිය වැටිලා කියලයි  ඉයන් නම් බොහොම ආදරයෙන් කිව්වේ.

“ලිහිණිත් බල්ලෙක් උස්සන් ඇවිල්ලා.අර හිටිය බල්ලට පිළිකාවක්  හැදුණා කිය කියා මොනතරම් සල්ලියක් වතුරෙ යැව්වද..අන්තිමට ඒ බල්ලත් මළා.දැන් ආයේ එකෙක් උස්සන් ඇවිල්ලා.”

නීටා කියන්නේ තරහින්.ලිහිණි සහ සුරතල් බල්ලන් අතරේ කිට්ටුවන්ත සම්බන්ධයක් තියෙනවා කියලා දන්න නිසාම ඒ කතාව සාරාට විහිළුවක්. අනිත් එක ලිහිණි ඒ හැමදෙයක්ම කරන්නේ එයාගේ වියදමින්.ඒ ගැන නීටා ආන්ටිට තියන රුදාව මොකක්ද?

“ජානු,ආයෙ බබෙක්ලු නේද?”

නීටා ඇන්ටි ලේන් එකේ සේරම ඕපාදූප හොයා ගන්න හැටි මතක් වුණු සාරාට හිනාවක් ඉපදුණා.ජානු දරුවෙක් වෙනුවෙන් ප්‍රතිකාර කරන කාලේ ළමයෙක් හදා ගන්න එකේ වටිනාකම ගැන දේශන තියමින් නීටා ආන්ටි මේ ගේ ඉස්සරහම පදිංචි වෙලා හිටපු හැටි සාරාට මතකයි.ගබ්සා වීම් කිහිපයක් නිසා දැඩි මානසික වේදනාවකින් හිටපු ජානූට ලොකුම මානසික කරදරය වුණේ නීටා ආන්ටි.හැම දුකක්ම ඉවර කරලා පුංචි දූ ආවට පස්සෙ නීටා ආන්ටිගේ කට වැහුණා.දුවට අවුරුද්දක් වෙද්දිම දෙවැනි දරු උපතක් සැලසුම් කරන්න ජානු වග බලාගත්තා.මේ වතාවත් සාර්ථකයි.

“ළමයට අවුරුදු දෙක තුනක් තුනක්වත්  වත් වෙනකන් ඉන්න එපාය. මොකක්ද අනේ ඔයාලගෙ හදිස්සිය.”

දුව ඉපදෙනකම් ජානුගේ සුබාරංචියක් වෙනුවෙන් ගේට්ටුව ඉස්සරහ පැල් බැඳගෙන හිටපු නීටා ආන්ටි මේ පාර ඉක්මන් වීම ගැන දොස් නඟනවා.ගෑනු සැලසුමක් නැතුව වැඩ කරාම හරිම කරදරයි කියලා නීටා ආන්ටි බොහොම උද්දාමයට පත් වෙලා කියන හැටි සාරා ටික වෙලාවක් අහගෙන හිටියා.

“ඔය ඔක්කොම අපේ කැමැත්තනෙ ආන්ටි.අපේ තෝරා ගැනීම්.ලිහිණි නංගි බල්ලො හදන්නේ එයාගෙ ආසාවට.ඒකට වියදම් කරන්නෙ එයාගෙ සල්ලි නිසා අපි කාටවත් එකේ ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑ.මං ස්ටයිල්ස් කරන්නේ මගේ සල්ලි වලින්.ඒක මගේ තෝරා ගැනීම.ජානු ඉක්මනින් දෙවැනි බබාව හදන්න හිතුවේ එයාගෙයි රවිඳුගෙයි තීරණේට.එහෙම තමයි අපි එක එක්කෙනා අපිට කැමති විදියට තීරණ ගන්නවා..”

හිටපු වෙලාවක එහෙම කියන සාරාට උත්තරයක් දෙන්න නීටා කල්පනා කළා.ඊට කලින් සාරා ඉක්මන් වුණා.

“දැන් මේ ගේට්ටුවක් ගේට්ටුවක් ගානේ ගිහිල්ලා අපේ තීරණ ප්‍රශ්න කරන එක ආන්ටිගෙ තෝරාගැනීම නේ.අපි ඒ ගැන වචනයක්වත් නොකියා ඉන්නේ ආන්ටිගේ තෝරා ගැනීමට බාධා කරන්න අපි අකමැති නිසා.ඒ වගේ තමයි.අපේ ගෙවල් ඇතුලෙ ගන්න තීරණ ආන්ටි කරදරයක් කරගන්න එපා.”

නීටා ගස්සගෙන යන්න ගියේ එහෙම කතාවක් අහන්න කීයටවත් බලාපොරොත්තු නොවුණු නිසා.

“මම ඕක කියන්න හිටියේ ගොඩක් දවසකට කලින්.ඉවසලා ඇති වෙන දවසක් එනවනේ. අද  දවස ආවා.”

සාරා හිනාවෙමින් එහෙම කියනකොට ජානුත් ඒ හිනාවට එකතු වුණා.

“අපි යං අනේ මොනවා හරි බොන්න.මේවට ලේ පුච්චා ගන්න ඕන නෑනෙ..”

සාරා ජානුගේ අතින් අල්ලාගෙන ගෙට ගියේ නීටා ආන්ටි වගේ අය කියන දේවල් වලට හිත නරක් කරගන්න ඕන නැති නිසා.

More Stories

Don't Miss


Latest Articles