ධනවත් පෙම්වතා අතැර ගෝත්‍රික තරුණයා සමඟ විවාහ වූ තරුණිය

ප්‍රේමය ඕනෑම මොහොතක හටගන්න පුළුවන්. ප්‍රේමයට සීමාවන් නැතැයි කියන කතාව ද ප්‍රබල සත්‍යයක්. ජාතියක්, වයසක් වගේම මූල්‍යමය හැකියාවන් පවා ආදරයකට අදාළ වන්නේ නෑ. ආදරය කියන්නේ ආදරයටයි.

මේ ආදරයේ සැබෑ ස්වරූපය මොනවට ඔප්පු වූ කතාවක්.

මේ . 1986 වසරේ සිදු වූ සිදුවීමක්.මේ ආදර කතාව The White Masai ලෙස චිත්‍රපටියකටත් නැඟුණා.

Corinne Hofmann ස්විස් විල අසල ජීවත් වූ තරුණියක්. ඇය මංගල ඇඳුම් නිර්මාණකරණයේ නිරත වුණා. අතිශය රූමත් ඇය ඉතාම ධනවත් තරුණියක්.ඇය ඇගේ පෙම්වතා සමඟ කෙන්යාවට එන්නේ නිවාඩුවක් ගත කිරීම සඳහා. ඔවුන් තුන්වැනි දවසේ හවස මුහුදු වෙරළක සිටියදී අපූරු සිදුවීමක් සිදු වෙනවා. මාක් උස් හඬින් කෑගසමින් කොරීන්ට යමක් පෙන්වනවා.

“කොරීන්, අර බලන්න. අර මනුස්සයව පේනවද? ඒ මසායි ගෝත්‍රිකයෙක්. මේ අය දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්.”

කොරීන් හරිම විමසිල්ලෙන් ඒ දිහා බලනවා. ඇය අඳුරු පැහැ සමක් ඇති උස් කඩවසම් තරුණයෙක් දකිනවා.ඒ දුටු ඇයට අමුතුම හැඟීමක් දැනුණු බවයි කොරීන් පවසන්නේ. ඔහු ඉතා ඉක්මනින් සෙනඟ අතර නොපෙනී යනවා. ඇයට විශාල හිස් බවක් සහ තනිකමක් දැනුණු බවයි කොරීන් පවසන්නේ. ඇයට ඔහු දකින්න අවශ්‍ය වෙනවා.

ඔවුන් ඒ නගරයේ දින කිහිපයක්ම රැඳෙනවා. කොරීන් නගරය පුරා ඔහු සොයන්නට පටන් ගන්නවා. සමාජ ශාලාවක් ළඟදී ඇය ඔහුව දකින්නේ අහම්බයකින්.වහාම ඇය ඔහු වෙත ගොස් ඔහුට කතා කරනවා.  ඔහු නමින් ලෙටින්ගා.

එහෙත් යමක් හරස් වෙනවා! ඒ භාෂාව!!

මාක් සහ කොරීන් හඳුනාගෙන පස් වසරක්. නමුත් ඇයගේ හිත ඔහුගෙන් මිඳී මසායි තරුණයා වෙත ඇදෙන බවක් කොරීන්ට වැටහෙනවා. ඇය මාක්ට මේ ගැන සෘජුව කතා කරන්නට තීරණය කරනවා.තමන්ගේ සිත ගෝත්‍රික තරුණයාට ඇඳී ගොස් අවසන් බව ද ඇය පවසනවා.

මාක් ඇයට ඉඩ දෙනවා!

කොරීන් පසුදා භාෂා පරිවර්තිකාවක් සමඟ ඔහු සොයා යනවා. ඔහු ගැන සත්‍යම තොරතුරු ඇය දැන ගන්නේ ගන්නේ ඒ අවස්ථාවේදී. ඔවුන් දෙදෙනා අතර ගැඹුරු ආදරයක් ඇති වන්නේ ක්‍රම ක්‍රමයෙන්. නමුත් එය නොබිඳිය හැකි සම්බන්ධතාවයක්. කොරීන්ට තම පෙම්වතාව තමන්ගේ රටට ගෙන යාමට අවශ්‍ය වුවත් එය සාර්ථක වන්නේ නැහැ. 

“මම මාස තුනකට පස්සෙ ඔයා සමග ජීවත් වෙන්න ආපහු පැමිණෙනවා”

කොරීන් පිටව යන්නේ ඒ පොරොන්දුව ලබා දෙමින්. 

“මාස තුනක් කියන්නේ පොඩි කාලයක්ද ?”

ගෝත්‍රික තරුණයා භාෂා පරිවර්තිකාවක් හරහා එහෙම අසන්නේ කඳුළු පිරි දෙනෙතින්. 

“පුර සඳ තුනකට පසු මම ඔයා ළඟට එනවා.”

කොරීන් ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා. ඇය තමන්ගේ රටට ගොස් තමන්ගේ සියලු දේපළ විකුණා දමනවා. මාස තුනකට පසු ඇය ලෙටින්ගා සොයා එනවා. ඒ පැමිණ ඇය භාෂා පරිවර්තිකාව සොයා යන්නේ පෙම්වතා දැක ගැනීමේ ආශාවෙන්.

“ඔයාගේ කවදාවත් එන එකක් නෑ කියලා එයාගේ යාළුවො එයාට නින්දා කළා. ඒව ඉවසගන්න බැරි තැන එයා මේ නගරය දාලා ගිහිල්ලා.”

නමුත් ඔවුන් උත්සාහය අත් හරින්නේ නැහැ. ඉතා දුෂ්කර ප්‍රදේශයක් වෙත ඔවුන් යන්නේ ලෙටින්ගා සොයා ගැනීමේ අරමුණින්. ඔහුගේ ඡායාරූපයක් අනිත් අයට පෙන්වමින් දින කිහිපයක් පුරා ම ඔහු සොයන්නට තරුණියන් දෙදෙනා ක්‍රියා කරනවා. ඒත් කිසිම ආරංචියක් ලැබෙන්නේ නෑ. අර්ධ කාන්තාරයක ඔහු සිටින බවට ආරංචියක් ලැබෙද්දී ඔවුන් පැය 7ක ගමනක් ඔහු සොයා යන්නට තීරණය කරනවා.

අඳුරු පැල්පතකින් මතු වූ අඳුරු සමක් ඇති ප්‍රේමවන්තයා කොරීන්ට පෙනෙන්නේ පුර සඳක් ලෙසින්. 

ඔවුන් මසායි චාරිත්‍ර අනුව විවාහ වෙනවා. ඉන්පසු ඇය අර්ධ කාන්තාර ප්‍රදේශයේ කුඩා වෙළඳසැලක් ආරම්භ කරනවා.නබිරායි නම් දියණියක බිහි කර ඉතා ආදරයෙන් ජීවත් වෙන්නට ඔවුන්ට හැකි වෙනවා.ඒ ජීවිතය සාර්ථක නොවෙන තැන් ද එනවා.නබිරායි සුන්නත් කිරීමට විරුද්ධ වීම ඉන් එකක්. ලෙටින්ගා සහ කොරීන් ගම අතැර දමා පැමිණ වෙනත් ප්‍රදේශයක වෙළඳ සැලක් ආරම්භ කරනවා. මසායි ගෝත්‍රිකයන් ඔවුන් දෙදෙනා වෙන් කිරීමට නිතරම කේළම් කියූ බව පැවසෙනවා.ලෙටින්ගා මත්පැනට ඇබ්බැහි වී ඒවා විශ්වාස කිරීමට පටන් ගන්නවා. ප්‍රේමයකට පවා නැවතීමක් තබන්නට මොහොතක් එනවා. ඉතිරි කරගත් මුදල් සහ වෙළඳ සැල ලෙටින්ගාට ලබා දී කොරීන් ස්විට්සර්ලන්තයට පිටත්ව යන්නේ ඒ නිසා.

ඇය ස්විට්සර්ලන්තයේ දී සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත් වෙනවා. කෙන්යාවේ ආදරණීය ජීවිතය ගැන The White Masai නමින් කෘතියක් පළ කරනවා. එය Best seller කෘතියක්. පසු කාලීනව ඇය දියණිය සමඟ ලෙටින්ගා බැලීමට ගියත් ඔහු ළාබාල බිරින්දෑවරු දෙදෙනෙක් සරණ පාවාගෙන සියළු ධනය නාස්ති කරගෙන කුඩා පැලක ජීවත් වන අන්දම කොරීන්ට දැක ගන්නට ලැබෙනවා.කොරීන් තවමත් ලෙටින්ගා සමඟ අමනාපයක් නැහැ. ඇය තවමත් ඔහුටත් මසායි ගෝත්‍රිකයන්ටත් උපකාර කරනවා.

ප්‍රේමය සීමා රහිත මෙන්ම විස්තර කරන්නට බැරිතරමේ හැඟීම් උපදවන දෙයක් බව මේ කතාව හොඳ උදාහරණයක්! ආදරය තුළ කැපකිරීම් පිරී ඇති බව කොරීන්, මාක්, මෙන්ම ලෙටින්ගා ද නැවත නැවතත් සිහි කරනවා.

Related Articles

Don't Miss


Latest Articles