මතක දිගහැරුම 56- අප්සාරි සිංහබාහු තිලකරත්න

පනස් හයවන දිගහැරුම ,

ජීවිතයේ ඉදිරි කාලය කුමන හේතුවක් නිසාවත් තනිවම ගෙවීම තවදුරටත් මට කළ නොහැකි දෙයක් විය.ඒ නිසා මගේ සිතුවිල්ල මා නොසඟවාම හෂාන්ට ඉදිරිපත් කලෙමි

” ඔයාට තවත් තනියම ඉන්න ඕනේ නැහැ .මම යන හැම තැනකම මම ඔයාව එක්කගෙන යනවා .හැමතැනකදිම අපි දෙන්නා එකටම ඉමු .ඒ ගැන පොඩ්ඩක් වත් හිතන්න එපා “

ඉදිරියේ දී කුමන ගැටලුවකට මුහුණ දීමට සිදුවුණත් මා සමගම සිටින බවට හෂාන් ඒ මොහොතේදී මට පොරොන්දුවක් දුන්නේය.එපමනක් නොව ඔහු යන සෑම තැනකටම මා කැටුව යන බවටද ඔහු මා සමග පැවසුවේය. මගේ සිතේ පැවති ගැටළු දෙකටම හෂාන් විසින් පිළිතුරු ලබා දුන් විට මගේ හිත නිදහස් විය .

මගේ බඩුබාහිරාදිය බොහෝමයක් තිබුණේ ඩුබායිහි මගේ නවාතැනේ ය.එම නිසා මා අනිවාර්යයෙන්ම එහි යා යුතු විය .ඒ වගේම එමිරේට්ස් ආයතනයෙන් මා ඉල්ලා අස්වන බව ආයතනයට මා දැනුම් දිය යුතු විය.ඒ සියල්ල මා රාජකාරි මට්ටමෙන් කළ යුතු නිසා ඉන්පසුව මා කළ යුතුව තිබුණේ ඩුබායි බලා නැවත පිටත් වීම ය.

” මට අනිවාර්යයෙන්ම ඩුබායි යන්න වෙනවා.මෙහෙ ඉඳලා අස් වෙනවා කියලා කියන්න බැහැ.ඒ දේවල් හරි විදියට officially වෙන්න ඕනේ “

මා එසේ කී විට හෂාන් කීවේ එක් දිනක් ඇතුළත කෙසේ හෝ රැකියාවෙන් ඉවත් වන බව ආයතනයට දැනුම් දී ,නවාතැනට ගොස් මගේ සියලු බඩු බාහිරාදිය අසුරා නැව් පටවා නැවත පැමිණෙන ලෙසයි .

මා ඩුබායි යාම සඳහා ටිකට් පතක් වෙන් කරවාගෙන පසු දිනම ඩුබායි බලා පිටත්ව ගියෙමි.මා මගේ නවාතැනට යන විට මගේ මිතුරියන් වන ආර්ති සහ අංජලී ද එහි සිටියහ.මා හට ගන්නට සිදු වූ තීරණාත්මක සිදුවීම පිළිබඳව මා ඔවුන් දෙදෙනා සමඟ පැවසුවෙමි.

” හෂාන් එක්ක ජීවිතය අලුතින් පටන් ගන්න ඕන නිසා මම ජොබ් එකෙන් අස් වෙනවා. ඒකට තමයි මම අද ආවේ “

මා කී දේ ඇසූ විට මගේ මිතුරියන් වන ආර්ති සහ අංජලී ඉතා පුදුමයට පත්විය.එයට හේතු වූයේ මා උපයන මුදලින් මා මගේ පවුල රැක බලා ගන්නා නිසාත් , මා මගේ රැකියාවට ඉතා ආදරය කළ අයෙකු වීම නිසාත්ය.ඔවුන් දෙදෙනා ඉන් පසුව අප නිවාස සංකීර්ණයේ සිටි අපගේ අනෙක් මිතුරු මිතුරියන් සියලු දෙනාටම අමතා මගේ තීරණය පිළිබඳ පවසා ඔවුන් හට අපගේ නවාතැන වෙත පැමිණෙන ලෙස දැනුම් දුන්හ.ඒ මොහොතෙහි නෝනා තැන්වල සිටි මිතුරු මිතුරියන් සියලු දෙනාම අප නවාතැනට පැමිණියේ ඉන් පසුවය

මා මගේ ඇඳ මත වාඩි වී සිටින අතර අනෙක් සියලු දෙනාම මගේ ඇඳ වටා බිම වාඩිවී මා දෙස බලා සිටියහ.ඔවුන් සියලු දෙනාම උත්සාහ කළේ මගේ තීරණය කෙසේ හෝ වෙනස් කර මහා රැකියාවෙන් ඉවත් වීම නවතා දැමීමට ය.

” ඔයාට පුලුවන්ද මේ ඔක්කොම අත ඇරලා දාලා යන්න ? “

” අපි මේකට ගත කරපු ජීවිතේ අමතක කරල දාන්න ඔයාට පුලුවන්ද ? “

” මේවා අතෑරලා දාලා ගිහින් පිරිමි කෙනෙක් යටතේ ජීවත් වෙන්න ඔයාට පුලුවන්ද ? “

” ඔයාට වෙන්නේ හැමදේම හස්බන් ගෙන් අහලා කරන්න තමයි “

මගේ මිතුරු මිතුරියන් එකිනෙකා මාරුවෙන් මාරුවට මගින් විවිධ ප්‍රශ්න අසන්නට විය.ඒ අතර එක් අයෙක් සිනාසෙමින් මෙසේ ද පැවසීය

” ඔයාට වෙන්නේ ටොකු කකා ඉන්න තමයි “

නිමක් නැති ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරියේ මට ඇතැම්විට සිනහ පහළ වෙන්නට ද විය.එක පවුලක් මෙන් මා සමඟ ජීවත් වූ ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ මා ඩුබායි හි නතර කර ගැනීමටය.හෂාන් ව මුණ ගැසී ඉතා කෙටි කාලයක් තුළදී මා මෙවැනි තීරණයකට එළැඹීම ඔවුන්ට සිතාගත නොහැකි නොහැකි විය.

” මෙච්චර පොඩි කාලයකින් ඔයාට තීරණය කරන්න පුලුවන්ද එයා මොන වගේ කෙනෙක්ද කියලා ? “

ඇතැමුන් එසේ ද අසන්නට විය.මොන තරම් උත්සාහ කලත් මගේ තීරණයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත.එතරම්ම හෂාන් කෙරෙහි මගේ සිතෙහි තිබුණු විශ්වාසය බලවත් විය.ඒ වගේම ජීවිතයේ ඉදිරි කාලය මා ගත කරන්නේ ඔහු සමඟ බවත් , ඔහු මට ඉතා හොඳ සැමියෙකු වන බවත් මම විශ්වාස කළෙමි

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles