අපේ පෞද්ගලිකත්වයට ගරු කරන්න – සුපිරි කොලිවුඩ් නළු ධනුෂ්

දකුණු ඉන්දියානු  සුපිරි නළු ධනුෂ්  සහ ඔහුගේ බිරිඳ වන අයිශ්වර්යා රජිනිකාන්ත් නිත්‍යානුකුලව  වෙන්වීමට තීරණය කර ඇති බව ධනුෂ් විසින්ම සිය  සමාජ මාධ්‍ය ඔස්සේ දන්වා තිබෙනවා.වසර දහ අටක පවුල් ජීවිතයට සමු දීමට තීරණය කර ඇති ධනුෂ් යුවළ පුතුන් දෙදෙනකුගේ දෙමාපියන්.

විවාහ දිවියට එළඹෙන විට ඓශ්වර්යාගේ වයස අවුරුදු විසි තුනක් වූ අතර ධනුෂ්ගේ වයස අවුරුදු විසි එකක්. මාධ්‍යවල පැතිර ගිය කටකතා නිසා මොවුන් දෙපළගේ විවාහය ඉතා ඉක්මනින් පැවත් වූ බවද වාර්තා වන්නක් .

ධනුෂ් සහ  අයිශ්වර්යාගේ   පළමු හමුවීම සිදු වූයේ  ‘කාදල් කොන්ඩේ’ චිත්‍රපටයේදීයි . ප්‍රදර්ශනයේ පළමු දිනයේ ධනුෂ් ඔහුගේ පවුලේ අය සමඟ රඟහලට පැමිණ ඇති අතර එම අවස්ථාවට දකුණු ඉන්දියානු සිනමාවේ රජු  රජිනිකාන්ත්,  තම දූවරු වන  අයිශ්වර්යා සහ සෞන්දර්යා සමග පැමිණ තිබෙනවා. චිත්‍රපටිය අවසන් වූ පසු සිනමාහල් හිමියා දියණියන් දෙදෙනාව ධනුෂ්ට හඳුන්වා දී තිබෙනවා.මෙම අවස්ථාවෙන් පසුව අයිශ්වර්යාගේ ඇරයුමින් ධනුෂ් ඇය හමුවීමට පැමිණ ඇති අතර ටික කලකින් මොවුන් පෙම්වතුන් වී තිබෙන බවයි පැවසෙන්නේ.

ධනුෂ් සහ ඓශ්වර්යා වසර දෙකක් තිස්සේ එකිනෙකා සමඟ පෙම් සබඳතාවක් පැවත්වූවා. මේ අතර දෙදෙනා ගැන පුවත් වාර්තා වෙන්නට පටන් ගත්තා. රජිනිකාන්ත්ගේ පවුලේ අය තම දියණිය ගැන කටකතා පැතිරීමට අකමැති වූ නිසා ඔවුන්ගේ විවාහය ඉක්මන් කර තිබෙනවා.

ඒ අතීතය!

නමුත් සෑම කතාවකටම අවසානයක් එළඹෙන දවසක් එන්නට පුලුවන්.ධනුෂ් ට්විටර් පණිවිඩයක් මඟින් ඔවුන්ගේ කතාවේ අවසානය නිල වශයෙන් දැනුම් දී තවම පැය කිහිපයක් පමණයි ගෙවී තිබෙන්නේ.

“අවුරුදු දහ අටක් තිස්සේ මිතුරන් ලෙස යුවලක් ලෙස සහ දෙමාපියන් ලෙසත් එකිනෙකාව ධෛර්යමත් කරමින් අපි එක්ව පැමිණියා.අපේ ගමන වර්ධනය වෙමින් පැවති අතර අවබෝධය,ගැලපීම සහ අනුවර්තනය වීම් ද අප අතර පැවතියා.අද අපි අපට මාවත් දෙකක් ඇති බව අවබෝධ කරගෙන අවසන්.අපිව යුවළක් ලෙස නොව වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස අද සිට අවබෝධ කර ගන්න.

එසේ තම තීරණය දැනුම් දුන් ධනුෂ් වඩාත් වැදගත්ම කාරණාව සඳහන් කරන්නේ ඉන්පසුව.

“කරුණාකර අපේ තීරණයට ගරු කරන්න.අපට මේ සඳහා පෞද්ගලික මට්ටමෙන් ගනුදෙනු කරන්නට ඉඩ ලබා දෙන්න.”

ඓශ්චර්යා ඔවුන් දෙදෙනාගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ එය නැවත පල කරන්නේ ඓශ්චර්යා රැජිනිකාන්ත් යන නමින්.ඇය එයට සිරස්තලයක් එක් කරන්නේ “සිරස්තල අවශ්‍ය නැත.අවශ්‍ය ඔබේ ආදරය සහ අවබෝධය පමණි.”ඓශ්චර්යා එහි නම සටහන් කරන්නේ ද ඓශ්චර්යා රැජිනිකාන්ත් ලෙසට.

තාරකාවන් පමණක් නෙවෙයි, එදිනෙදා අපට මුණ ගැසෙන මිතුරන් පවා ඉතා හොඳ පවුල් ජීවිත පවත්වාගෙන ගොස් හදිසියේ වෙන් වන්නට තීරණය කළහොත් ඒ ගැන හාරහාරා විමසීම බොහෝ දෙනෙකුගේ සිරිතක්.එනිසාම ධනුෂ් මේ සඳහන් කර ඇති කාරණාව ඉතා වැදගත්.

“පෞද්ගලිකත්වයට ගරු කරන්න.”

දෙදෙනෙකුට වෙන් වෙන්නට බොහෝ හේතු තිබිය හැකියි.එකිනෙකාට අවලාද නඟමින් මඩ ගසා ගන්නා අය සෙලිබ්‍රිටි කුලකයේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් සිටිනවා.නමුත්,සමහරුන් හේතුව ඉදිරිපත් කරන්නට සතුටු නැහැ.එය එසේ නම් එයට හේතුව හාරා හාරා අවුස්සන්නට කිසිවෙකුටත් ඉඩ දිය යුතු නැහැ.අනෙක් කාරණාව එක්වීම ප්‍රේමණීය වන තරමටම වෙන් වීම ගෞරවාන්විත විය යුතුයි.කාලයක් තිස්සේ යහන බෙදා ගත් ජීවිතය බෙදා ගත් කෙනා සම්බන්ධයෙන් අප්‍රමාණ වැරදි ද අඩුපාඩු ද ප්‍රසිද්ධියේ කියන්නට යාමෙන් වෙන්නේ දෙදෙනාම සමාජයට විහිලුවක් බවට පත් වීම පමණයි.

රැජිනිකාන්ත් මේ සම්බන්ධයෙන් ඔහුගේ මතය තවම ප්‍රකාශ කර නැහැ.ඇතැම් සිනමා විචාරකයන් මෙය ධනුෂ්ගේ සිනමා ගමනට දැඩි තර්ජනයක් එල්ල කරන්නට ඉඩ ඇති බවත් සඳහන් කරනවා.එයට හේතුව රැජිනිකාන්ත් දමිළ සිනමාවේ එපමණකට ඒකාධිකාරයක් පවත්වා ගැනීම.නමුත් ධනුෂ් වන් තාරකාවකට පෞද්ගලික සිදුවීම් හේතු කරගෙන වෘත්තිය අනාගතයට බලපෑම් එල්ල වන්නට ඇති ඉඩ අල්පයි.ඔහු ලෝකය පුරා ජීවත් වෙන සිනමා ලෝලීන්ගේ ආදරය නොඅඩුවම දිනාගත්තෙක්.

ධනුෂ් සහ ඓශ්චර්යාගේ තනි තනි ගමන් මඟ ඉදිරියේ දී කෙබඳු වේදැයි කියන්නට බැහැ.ඇතැම්විට ඒ ගමන් මාර්ගවලදී ඔවුන්ට අත්වැලක් වෙන්නට වෙනත් අය මුණ ගැසේවි.

නමුත් වෙන්වීමක් මෙලෙස ගෞරවාන්විත විය යුතුයි.සුපිරි තාරකාවත් ඔහුගේ බිරිඳත් අපට හෙළි කරන්නේ ඒ වටිනා පාඩමයි.

Related Articles

Don't Miss


Latest Articles