Coffee with Karan වැඩසටහනේදී අජෙයි-කාජල් සෝෆාවේ දෙපසක හිටියේ ඇයි?

කාජල් – ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් – අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා අසමානකම් ඇති යුවලක් කියලා බොලිවුඩය ඔවුන් හඳුන්වා දෙනවා. ඒත් ඔවුන්ට සුරංගනා කතාවක් වගේ ආදර කතාවක් නැතුවාම නෙවෙයි.

Koffee With Karan වැඩසටහනකදී ඔවුන්ගේ ආදරය මෙතුවක් කල් රඳාපවතින හේතු කාජල් සහ අජේ මේ විදියට ප්‍රකාශ කරලා තිබුණා.

ඔවුන් දෙදෙනා සෝෆාවේ අත් අල්ලාගෙන ළං වී හිඳ ගන්නේ නෑ. කොන් දෙකේ ඉඳගන්නවා..කරන් ඒ ගැන අහනකොට කාජල් කියන්නේ අපි නිතරම සුවපහසුව තෝරා ගන්න වග බලාගන්නා බවයි. ඔවුන්ට කැමරාව ඉදිරියේ රඟපාන්නට අවශ්‍ය නැති බව ඉන් පැහැදිලි වුණා.

ඔවුන්ගේ විවාහ උත්සවය පවා බොලිවුඩයේ සෙසු විවාහ උත්සව තරම් උත්කර්ෂයට නගා නැහැ. ඔවුන් එය හදිසියේ සැලසුම් කර ඉන්පසු උත්සවය පවත්වා තිබුණා.

ඔවුන් දෙදෙනා මුණ ගැසුණු මුල් කාලයේ ඔවුන් අතර මිතුරුකමක්වත් තිබී නැහැ. ඔවුන් දෙදෙනා එකිනෙකා ප්‍රිය කර ද නැහැ. ඒත් පසුව ප්‍රේමයේ මල් පිපී තිබෙනවා.

“මම ඇත්තෙන්ම නපුරු, විවේචනාත්මක කෙනෙක්. අජේ මට වඩා ගොඩක් හොඳ කෙනෙක්. සෑම විටම සංවේදී කෙනෙකු වීම පහසු නෑ, නමුත් ඔහු එවැනි මහත්මයෙක්”

ඇය පවසනවා.

ඔවුන්ගේ එකිනෙකට වෙනස් ස්වභාවයන් නිසා ඔවුන් එකිනෙකාට හොඳින් ගැලපෙන බවයි ඔවුන් දෙදෙනා පවසන්නේ.

කාජල් වරක්  Pinkvilla ට පැවසුවේ ඔවුන්ගේ සම්බන්ධතාවය ක්‍රියාත්මක වීමට හේතුව අජේගේ නිශ්ශබ්දතාවය බවයි. ඇය එය විහිළුවක ආකාරයෙන් ප්‍රකාශ කරා.

“මම හිතන්නේ අපේ සම්බන්ධය පවතින හේතුව මම ගොඩක් කතා කරන නිසා සහ ඔහු නිහඬව සවන් දෙන නිසා. ඉතින් අපේ ප්‍රීතිමත් විවාහ ජීවිතයේ රහස තමයි අජේ වැඩි දෙයක් නොකියන එක.”

පසුව, Koffee With Karan වැඩසටහනේදී, ඔවුන්ගේ විවාහයේ රහස කාජල් කතා කිරීම සහ ඔහු සවන් දීමද කියලා කරන් ජොහාර් ඇසූ විට අජේ, “නැහැ, ඇය කතා කරනවා, මම සවන් දෙන්නේ නැහැ” කියා විහිළු කළා

“මම විවාහ වීමට පෙර, මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ කියලා හිතපු කෙනෙක්. නමුත් මට අජේව මුණගැසුණු විට ඔහු මට එවන් ස්ථාවරත්වයක් ලබා දුන්නා. ඔහු එතරම් ස්ථිර අදහස් ඇති පුද්ගලයෙකක්. ඔහු මාව අත් නොහරින බවත්, ඔහුව හැර යාමට මට අවශ්‍ය නැති බවත් මම ඇත්ත වශයෙන්ම දැන සිටියා.”

කාජල් අජේ සමඟ විවාහය ගැන එහෙම කියා සිටිනවා.

ඔහුගේ පවුලේ අය සහ මගේ පවුල හැර වෙන කිසිවෙකු අපි විවාහ වෙනවාට කැමති වුණේ නැහැ. මම කසාද බඳින්න ඕන කිව්වම තාත්තා සතියක් මාත් එක්ක කතා කළේ නැහැ. ඔහු, ‘ඇයි ඔයා විවාහ වීමට කැමති, ඔයා තරුණයි, ඔයාගේ වෘත්තිය ඉතා හොඳින් කරගෙන යනවා යැයි ඇසුවා. මම ‘නමුත් මට විවාහ වීමට අවශ්‍යයි!’ කියලා කිව්වා. අපි එකට දැක තිබුණේ නැති නිසා ගොඩක් අය අපේ විවාහය කොහොම එකක් වේවිද කියලා හිතන්නත් බැරි බව කිව්වා.

කොහොම නමුත් කරන් ජොහර් මෑතකදී කරපු රූපවාහිනි සාකච්ඡාවකදී අමුතුම කාරණාවක් හෙළි කළා. ඒ අජේ එක්ක විවාහ වෙන්න කලින් කාජල්ට බොලිවුඩයේ සුපිරි තරුවක් එක්ක ආදර සම්බන්ධතාවයක් තිබ්බා කියන කාරණාව.

නර්තන රියැලිටි වැඩසටහනක ප්‍රවර්ධන වැඩසටහනක් අතර  නිවේදක  මනීෂ් පෝල් කරන් ජොහාර්ගෙන් ප්‍රශ්නයක් අහනවා. “බොලිවුඩයේ කාජල්ගේ ක්‍රෂ් එක  වූයේ කවුද?” තමයි ප්‍රශ්නය.

“ආක්ෂේ කුමාර්” කරන්ගේ පිළිතුර වුණේ එහෙම එකක්. නමුත් එය ඔහුගේ සරදමක් බව පසුව හෙළිදරව් වුණා.

කාජල් වැඩියෙන්ම ගැලපෙන්නේ ෂාරුක්ට බව රසිකයන් පවසනවා. ඒත් රසිකයන් ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන කුමක් කීවත්, කාජල් සහ අජේ සෑම විටම ඔවුන්ගේම තාලයකට ගමනේ යෙදෙනවා. ඕපාදූප, කටකතා හෝ වෙනත් අයගේ අදහස් ඔවුන්ගේ විවාහයට බාධා කිරීමට ඉඩ නොදීම ඔවුන්ගේ සිරිතක්. ඕනෑම විවාහයක් සාර්ථක කර ගැනීම පිළිබඳ ඉතා හොඳ පාඩමක් මේ සදාකාලික ප්‍රේමවන්තයන් අපට උගන්වනවා.

Related Articles

Don't Miss


Latest Articles